තමන්ට ඕනෑ ‘යහ’ පාලනයක්ද? ‘යුහ’ පාලනයක්ද? | සිළුමිණ

තමන්ට ඕනෑ ‘යහ’ පාලනයක්ද? ‘යුහ’ පාලනයක්ද?

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන

වත්මන් රජය බලයට පත්ව තුන් වසරක් සපිරෙන මොහොතේ, ගෙවුණු තෙවසර පිළිබඳ කරුණු සමාලෝචනයක යෙදෙමින්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ‘සිළුමිණ’ සමඟ සංවාදයකට එක් වූයේ මෙලෙසිනි.

  • තව අවුරුදු 2ක් රාජපක්ෂ රෙජීමය තිබුණා නම් මොකද වෙන්නේ?
  • අවුරුදු තුනට ගම්වල වැඩ 42000ක් කළා

‘හුස්ම ගත්ත වසර තුනක්’ කියන එකෙන් ආණ්ඩුව අදහස් කරන්නේ මොකක්ද?

එකම රාජ්‍ය පාලනයක් එක්ක අවුරුදු විස්සක් එකදිගට ගමන් කරල, ඒ එක්කම රටේ යුද්ධයක් අවසන් වෙලා, ඒ සමඟ ඇතිවෙච්ච සමාජ ක්‍රමය එක්ක තැළුණු මහා විශාල ජනකායක් 2015 ජනවාරි 08 දා නිදහස ලැබුවා. අගෝස්තු 17 නැවත වතාවක් ඒ ලබපු නිදහස තවත් අර්ථවත් වුණා. සිවිල් සමාජ ක්‍රියාකාරකම් නොමැති යුද මානසිකත්වයකටත් අනික් පැත්තෙන් නීතියට පටහැණිව ක්‍රියා කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධි පීඩාකාරි රාජ්‍ය පාලනයකටත් හුරු වෙලා හිටපු ජන සමාජයක් ජනවාරි අට වැනිදා යන්තම් හුස්මක් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ක්‍රමයක් තුළ කටයුතු කිරීමට හුරු වුණා. ඒ ආපු ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, පුළුල් කරමින් ඉදිරියට යන ගමන් රට සංවර්ධනයේ හිණිපෙත්තට ගෙනයන්න අප සැලසුම් කර අවසන්.

එහෙත් ඒ උදා කර දීපු නිදහස බොහෝදෙනා අර්ථාන්විතව ප්‍රයෝජනයට ගත්තත්, සමහරු ඒ නිදහස අනවශ්‍ය දෙයක් බවට ඒත්තු ගැන්වීමට කටයුතු කරමින් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ගොඩක් ප්‍රශ්න තියෙන සමාජයකට නිදහස දුන්නාම ඔවුන් දන්නවා ඒ නිදහස පාවිච්චි කළ යුතු ආකාරය. උදාහරණයක් හැටියට ගත්තොත් ලෝකයේ සමහර රටවල්වල විරෝධතා ව්‍යාපාර කරන අය එන්නේ ‍පේළියට. විරෝධතාවක් කරන කොටත් පේළියට ඉඳගෙන ඒක කරනවා. එතකොට අපට පේනවා ඔවුන් විරෝධතා පැවැත්වුවත් විනයක් ශික්ෂණයක් ඔවුන් තුළ තිබෙන බව. ඔවුන් පොදු දේපළවලට අලාබ-හානි කරන්නේ නැහැ. ඔවුන් දන්නවා ඒ දේවල් ගොඩනඟල තියෙන්නේ තමන්ගෙන් අය කරගන්නා බදු මුදල්වලින් කියල. අපට ඒ අය හැසිරෙන විදයයි, මෙහේ අය හැසිරෙන විදියයි සංසන්දනය කරල බලන්න පුළුවන්. එතකොට මේ දෙකේ වෙනස අපට තේරෙනවා. එහෙම හිතල කටයුතු කරන්නේ නිදහසේ අගය දන්නා සමාජයක්. අපේ සමාජයටත් ඒ විදියට නිදහස දී තිබෙනවා. ඒත් ඒ නිදහස භුක්ති විඳින්න තරම් අවබෝධයක් තිබෙනවද කියල පැහැදිලි නැහැ. මරණ දැන්වීමක් මුද්‍රණය කරනවා නම් ඒකෙ වුණත් ලියන්න ඕන අහවලා විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී කියල. ඒත් අද මුහුණු පොතත් එක්ක එහෙම වගකීමකින් බැඳී නැහැ. පුද්ගලයන්ට අපහස කිරීම, වැරදි ප්‍රවෘත්ති මැවීම... වැනි තැනකට ගමන් කර තිබෙනවා. මේවයින් හානි වෙන්නෙ තමන්ටමයි කියල මේ අයට අවබෝධයක් නැහැ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැළපෙන දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්. ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව ක්‍රියා නොකළාත් ලෝකේ අනෙක් රටවල්වල නීති-රීති හදල තියෙනවා වගේ අපේ රටෙත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න වෙනවා.

උද්ඝෝෂණ, වැඩවර්ජන, විරෝධතා නොකළ යුතු දේවල් විදියටද ඔබ දකින්නේ?

ඇත්ත වශයෙන්ම මේ දේවල් ඉතා වැදගත්. උදාහරණයක් විදියට: 1977 ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා රට බාරගත් වෙලාවේ පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති අරගෙන බැලුවොත්, උද්ඝෝෂණ තමයි තිබෙන්නේ. දකුණු පළාතේ කරාපිටිය රෝහල හදන්න මුල්ගල තබන අවස්ථාවේ විශාල උද්ඝෝෂණයක් තිබුණා. අද එය ඇඳන් 2000ක රෝහලක්, අද උද්ඝෝෂණය කරන්නේ තව ඇඳන් ඕනෑ කියලා. තව ගොඩනැඟිලි ඕනෑ කියලා. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය පටන්ගන්න කොට ලොකු උද්ඝෝෂණයක් තිබුණා. හැබැයි අද එය විශාල ඇඟලුම් කරමාන්ත පුරයක්; විශාල පිරිසක් රැකියාවල නිරත වෙනවා. කැලණි ටයර් සංස්ථාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෞද්ලිකකරණය කරන වෙලාවේ මහා විශාල විරෝධතාවයත් ඇති වුණා. හැබැයි අද ලංකාවේ පෞද්ගලික බස් රථ 10,000ක් මාස හයකට සැරයක් ටයර් සෙට් දෙක බැගින් දාන ගමන්, ලෝකෙටත් ටයර් විකුණනව. විරෝධතාකරුවන් දන්නවා ආර්ථිකයෙ යම් පිම්මක් පැන්නොත් වාමාංශික මත දරන පිරිස්වල ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වෙනව කියල. ඒ නිසා ඔවුන් විරෝධතා දක්වනවා. ඒක ඔවුන්ගේ අවශ්‍යතාවක්. අප ඒවට ඇහුම්කන් දෙනවා. ඒත් අපේ අරමුණ වෙන්නෙ රට ඉදිරියට අරන් ගිහින් සම්පූර්ණ ආර්ථික වෙනසක් ඇති කරල ජනතාවට යහපත සැලසීමයි.

ඒත් බදු බර එන්න එන්නම වැඩි වෙනවා. ඒවත් එක්ක භාණ්ඩ හා සේවා මිලත් ඉහළ යනවා...

මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා, ඒ ලේබලය ඇලවෙමින් තිබුණු මොහොතක තමයි අප බලයට ආවේ. ඒ ඇවිත් මේ ණය උගුලෙන් ගැලවෙන්නෙ කොහොමද කියල තමයි අපි මුලින්ම සැලසුම් සකස් කළේ. එහෙම කරලා මේ රට බංකොලොත් රටක් නොවන බව ලෝකයට ඒත්තු ගැන්වීමට විශාල වැඩකොටසක් කළා. අප ගත් ඇතැම් බදු තීරණ නිසා ජනතාවට යම් අපහසුතාවක් වෙන බව අපි දන්නවා. හැබැයි ඒ අපහසුතාව දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න අප බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ මහා ණය කන්ද නිසා රට බංකොලොත් වෙන එක නවත්වන ගමන් රට ආර්ථිකව සංවර්ධනය කරන අභියෝගයට අපි මේ වෙන කොට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා ඉදිරියේදී සියලු සහන ජනතාවට ලබාදෙන්න අපිට හැකියාව තියෙනවා. රාජ්‍යයක පුරවැසියන් විදියට මහජනයා කල්පනා කරල බලන්න ඕනෑ 2014 අවසාන කාලය වෙනකොට තව අවුරුදු දෙකක් රට කරන් යන්න බලය තියෙද්දි රජපක්ෂ රෙජිමය ජනාධිපතිවරණයක් කැ‍ඳෙව්වේ ඇයි කියලා. ඔවුන්ට ඒ ඇති වෙමින් තිබුණු ආර්ථික ව්‍යසනයට මුහුණ දෙන්න බැරි නිසයි එහෙම කළේ. ඒ නිසා යම් ප්‍රසාදයක් තියෙන වෙලාවේ නැවත බලය තහවුරු කරගෙන මිලිටරි පාලනයක් යටතේ බදු වැඩි කරලා මේ ප්‍රශ්නය විසඳාගන්න ඔවුනුත් කල්පනා කළා. එදා මේ යථාර්ථය ජනතාව තේරුම් ගත් නිසා තමයි ඔවුන්ව පරාජය කළේ. ඒ කාලේ ලෝක වෙළෙඳපළේ තෙල් මිල අඩු වෙද්දිත් මෙහේ තෙල්මිල අඩු වුණේ නැහැ. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දී තිබුණත් ඒක ක්‍රියාත්මක කළේ නැහැ. අප ඉන්ධන මිල වැඩි කළත් තාමත් ඔවුන්ගේ මිලට සාපේක්ෂව මිල ඉහළ ගිහින් නැහැ. ඒත් ඔබ කිව්වා වගේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිහින් තිබෙනවා. දැන් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා ලෝකයේ තෙල් මිල අඩු වන විට එහි ප්‍රතිලාබ ජනතාවට ලැබේවි. ඒ වගේම මිල වැඩි වන විට ඒ පාඩුවත් අපට බෙදාගන්න වෙනවා. නැතුව රටක් ණය වෙලා ඒවා විඳදරාගෙන ඉදිරියට යන්න බැහැ.

යම් විදියකින් ඉන්ධන මිල අඩු වුණොත් ඒ වාසිය ජනතාවට ලැබේවි කියල විස්වාස කරන්නේ කොහොමද?

අපි දැකල තියෙන්නෙ මිල වැඩි වෙනව විතරයි. මිල අඩු වුණාම ඊට සාපේක්ෂව ඒව කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඇත්ත. අපි මිල සූත්‍රයත් එක්කම මේ වෙනස යථාර්ථයක් කරන්න ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙනවා. මේ සඳහා අවශ්‍ය කරන දත්ත එකතු කිරීම සඳහා පරිගණක පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේදී හිතෙන හිතෙන විදියට මිල ගණන් වෙනස් කළ නොහැකි ආකාරයට ක්‍රමවත් ආකාරයකට විධිමත් ක්‍රියාවලියක් හඳුන්වා දෙනවා. ඒ වගේම මේ දේවල් කඩ කරන අයට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයකුත් සකස් කරගෙන යනවා. මේ නිසා ජනතාවට ලබන වසර අවසන් වීමට ප්‍රථම විශාල පරිවර්තනයක් දකින්න ලැබේවි.

සමහරු අහනවා මේ ආණ්ඩුව ඇවිත් මොනවද ජනතාව වෙනුවෙන් කළේ කියල. ගම්පෙරළිය වැඩ සටහන මොන විදියටද රටේ ජනතාවට බලපාන්නේ?

ගම්පෙරළිය පමණක් නොවෙයි, 2015වේ ජනවාරි 08 වැනිදා බලය ලැබුණට පස්සේ ක්‍රියාත්මක කළ දින 100යේ වැඩ පිළිවෙළත්, අගෝස්තු 17 වැනිදායින් පස්සේ ලක්ෂ දහයෙ වැඩ සටහන් 14,000ක් ක්‍රියාත්මක කළා. ඊට පස්සේ 2016යේ ලක්ෂ දාහයෙ වැඩසටහන් 14000ක් ක්‍රියාත්මක කළා. හැබැයි ඒව ප්‍රචාරය කරන්න බෝඩ් 28,000ක් ගැහුව්වේ නැහැ. ඊට පස්සෙ 2017 දි දිස්ත්‍රික්ක 19ක පෑවිල්ල එක්ක ඇති වුණු නියඟයත්, අධික වර්ෂාව හා සැඩසුළං නිසා ඇති වුණු ගං වතුරටත් මුහුණ දෙන ගමන් 500,000 වැඩසටහන් 14,000ක් ක්‍රියාත්මක කළා. ඒත් එක බෝඩ් එකක් දාන්න අපි ගියේ නැහැ. ඒ වගේම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන ගම්පෙරළිය වැඩසටහනත් එක්ක මේ වෙද්දි අපි විශාල වැඩ කොටසක් රජයක් විදියට කරල තියෙනවා. මේවට අනවශ්‍ය විදියට ප්‍රචාරයක් නොදුන් නිසා අපෙන් අහනවා මොනවද මේ ආණ්ඩුව කළේ කියලා. මොකද: ඔවුන්ට මෙච්චර කාලයක් හුරු වෙලා තිබුණේ වැඩේට වඩා ගෙන ගිය ප්‍රචාරයට. ඒත් කණගාටුවට කරුණක් තමයි අපේ පොඩි වැරැද්දක් දැක්කත් උලුප්පල පෙන්වන මාධ්‍ය මේ ක්‍රියාත්මක කරපු වැඩසටහන් පිළිබඳ කිසිම ප්‍රචාරයක් ලබා නොදීම. අද විපක්ෂය ගම්පෙරළිය ඩැඩසටහනට බය වෙලා ඒක කඩාකප්පල් කරන්න එක-එක කතා කියනවා. මාධ්‍ය අද ඒවා උලුප්පල පෙන්නන්නවා. ඒත් ගම්පෙරළිය මඟින් මොනවද ජනතාවට වෙන්නෙ? ඒවයෙ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවද? මේවා ගැන හොයල වාර්තා කරන්නෙ නැහැ. මේකෙ තියෙන නරකම තත්ත්වය තමයි මොවුන් මේ අසාධාරණය කරන්නේ ජනතාවට. ඔවුන් මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වැඩසටහන මඟින් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරගන්න පුළුවන් කොහොමද? මේ කිසිම දෙයක් ජනතාවට දැනුම් දෙන්න මේ මාධ්‍යවලට වුවමනාවක් නැහැ. ඒත් ජනතාවට මේවයේ ප්‍රතිලාභ අත් වෙනකොට මේ අය මොන තත්ත්වයක් මවාපාන්න හැදුවත් ජනතාව රැවටෙන එකක් නැහැ. ඉදිරියේදී මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න වැඩ පිළිවෙළක් සකස් කරනවා. එතකොට ඔය ප්‍රශ්නය අපෙන් අහන අයට ජනතාවම උත්තර දේවි.

සමහරු කියනවා ආණ්ඩුව නියමිත කාලයට ඡන්දය පවත්වන්නෙ නැහැ. ඒවා කල් දමනවා කියල...

ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් නෙමෙයි, තමන්ට සුවපහසුව අගහිඟයක් ජීවත් වෙන්න පුළුවන් සමාජ පරිසරයක්. ජනතාව දන්නවා අපි එනකොට මේ රට විශාල ණය උගුලක රට හිර කරල තිබුණ බව. අපේ රට බංකොලොත් රාජ්‍යයක් වුණා නම් එහෙම මේ රටට බංකොලොත් සීල් එක වදිනවා. එහෙම වැදුණා නම් අපට රටක් විදියට ඉදිරියට යන්න බැරි වෙනවා. ආයෝජකයො එන්නෙ නැහැ. ඒ තත්ත්වය මේ වසර තුන ඇතුළත අපි වෙනස් කරලා තියෙනවා. ඉදිරියේදී රට නිවැරදි දිසානතියකට ගෙනයන්න පරිපාලන වෙනස්කම් රාශියක් සිදු කරමින් තිබෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් කරගෙන යනව... මේ විදියට සෑම අංශයකම වෙනස්කම් කරමින් ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම මහා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වෙලා තියෙනවා. මේ අතර ලෝකයත් එක්ක හොඳ හිත වර්ධනය කරගනිමින් අපේ නිෂ්පාදන ඒ රටවලට යවන්න පුළුව‍‍‍‍‍‍‍න් අවස්ථා පුළුල් කරගනිමින් ලෝකය තුළ තරගකාරි වෙළෙඳපළක් ඇති කරගැනීමට ක්‍රියා කරමින් සිටිනවා. මේ මහා ආර්ථික වෙනස ජනතාවට දැනෙන වෙනසක් බවට ලබන වසරේ මැදක් වෙනකොට පත් වනවා; එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා හුඟ දෙනෙක් මේ යන ගමන වළක්වන්න විවිධ අවලාද නඟන්න පුළුවන්. අපි පළාත් සභා මැතිවරණය මේ වෙන කොට පවත්වා තිබෙනවා. නව මැතිවරණ ක්‍රමයේ අඩු-පාඩු හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරි මැතිවරණ පවත්වන්නේ මොන මැතිවරණ ක්‍රමයක් යටතෙද කියන සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඒවා සමථයකට පත් වූවාම ඉදිරි මැතිවරණ පවත්වනවා.

මේ වෙද්දී ජනාධිපතිවරණයක් සහ නව ජනාධිපතිවරයකු පිළිබඳ සාකච්ඡා මතු වෙනවා. සමහරු මේ රට හදන්න හිට්ලර් කෙනකු යෝජනා කරනවා. ඇත්තටම ඉදිරියේදී මේ රටට අවශ්‍ය මොන විදියෙ පාලකයෙක්ද?

අපි මොන දේ කිව්වත් මේ සම්බන්ධයෙන් තීරණය ගන්නේ රටේ මහජනතාවනේ... ඒ නිසා තමන්ට ඕනෑ 'යහ' පාලනයක්ද? 'යුහ' පාලනයක්ද? කියන එක ජනතාවම තීරණය කළ යුතු වෙනවා. එහෙම කල්පනා කරද්දි 'යහ' පාලනය වෙනුවෙන් තමන්ට ගෙවන්න සිද්ද වුණේ මොනවාද? තමන්ට ලැබුණේ මොනවාද? කියලා කල්පනා කරලා බලන ගමන්, 'යුහ' පාලනයක් යටතේ තමන්ගෙ ඉල්ලීම් දිනාගැනීමට සටන් කළ හැකිද? එසේ සටන් කිරීමට යෑමේදී වන්දි වශයෙන් ගෙවන්න වන්නේ මොනවාද? එහෙම වන්දි ගෙවලාත් ඒවා ඉෂ්ට කරගන්න පුළුවන්ද? කියල ජනතාවට කල්පනා කරලා බලන්න පුළුවන්!


 

 

 

 

Comments