රැව් පිළිරැව් දුන් සාධුකාරය මැද මහා සෑසේ කොත් පැලඳූ හැටි | සිළුමිණ

රැව් පිළිරැව් දුන් සාධුකාරය මැද මහා සෑසේ කොත් පැලඳූ හැටි

අවසන් කොටස

සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නං­ගර, එච්. ඩබ්ලියු. අම­ර­සූ­රිය, ඒ. රත්නා­යක, ජොර්ජ් ද සිල්වා, ඩේවිඩ් වනි­ග­සේ­කර, රාජා හේවා­වි­තා­රණ, මේ දූත පිරි­සට අයත් වූහ. ඔවුන්ගේ අභි­ප්‍රාය වූයේ අප්‍රේල් මස 10 දා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ මල්වතු කාරක සංඝ­සභා රැස්වී­මට තුන් නිකාය එක්ව පිරිත් කීමේ යෝජ­නාව ඉදි­රි­පත් කිරී­මය. මේ වන විට රුව­න්මැලි චෛත්‍ය­ව­ර්ධන සමි­තිය විසින් රුව­න්මැලි චෛත්‍යා­රා­මා­ධි­පති හිමි­යන් විසින් ගොඩ­නැඟූ පරි­ස­ර­යට එරෙ­හිව රට තුළ විරෝ­ධ­තා­වක් සංවි­ධා­නය කර­මින් සිටි­යේය. ඔවුහු 1940 අප්‍රේල් 9 දා අනු­රා­ධ­පුර උසා­විය අසල මහ­ජන රැලි­යක් කැඳ­වූහ. සිවු දිගින් පැමිණි පිරිස් එතැන රොද බැඳ­ගෙන සිටි­යහ. මහා පුණ්‍යෝ­ත්ස­ව­යක අර­මුණ වෙනත් දිශා­න­ති­ය­කට යොමු වෙමින් තිබිණි.

මේ අව­ස්ථා­වේදී මල්වතු මහා­නා­යක හිමි­යන්ගේ පණි­වු­ඩ­යක් රැගෙන පැමිණි සම­ස්ත­ලංකා බෞද්ධ සමිති සම්මේ­ල­නයේ සභා­පති ගුණ­පාල මල­ල­සේ­ක­ර­යන් චෛත්‍ය­ව­ර්ධන සමි­ති­යෙන් ඉල්ලා සිටියේ අප්‍රේල් 11 දා තීර­ණ­යක් එන තුරු මෙම රැස්වීම නොප­ව­ත්වන ලෙසය. එහෙත් සංවි­ධා­නය කළ රැස්වීම පැවැ­ත්විණි. පිරිස සිටියේ ආවේ­ග­යෙනි.

සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේ­ල­නයේ සභා­පති ගුණ­පාල මල­ල­සේ­ක­ර­යන් මේ වන විට ඍජු­වම අදාළ ප්‍රශ්න­යට මැදි­හත්ව සිටි­යේය. ඔහු රටේ බෞද්ධ­යන් වෙනු­වෙන් මල්වතු මහා නා හිමි­ය­න්ගෙන් ලිඛි­තව ඉල්ලා සිටියේ රුව­න්මැලි චෛත්‍යයේ කොත නිරා­ව­රණ පින්ක­මේදී තුන් නිකා­යික භික්ෂූන්ට පිරිත් කීමට අව­සර ලබා දෙන ලෙසය.

තීන්දුව ලබා­දීම සඳහා මල්වතු අස්ගිරි නායක හිමි­ව­රුන් ඇතුළු සියම් නිකා­යික හිමි­ව­රුන් එකතු වූයේ අප්‍රේල් මස 10 දාය. එහෙත් රුව­න්මැලි චෛත්‍යා­රා­මා­ධි­පති හල්මි­ල්ල­වැවේ ශ්‍රී සුමන රේවත හිමියෝ අස­නීප බව දන්ව­මින් එදින කාරක සංඝ සභා රැස්වී­මට සහ­භාගී නොවූහ. අප්‍රේල් 10 රැස්වීම නොපැ­වැ­ත්විණි. යෝජ­නාව මතු නොව, පින්කම සඳහා දින නිය­ම­යක්ද නොවිණි. බුරුම රජයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදා­න­යක් ලෙස පූජා කළ චූඩා­මා­ණි­ක්‍යය පිළි­ගැ­නීමේ කාරක සභාවේ ලේකම් ලෙස එදා කට­යුතු කළේ රාජා හේවා­වි­තා­ර­ණය. ඔහු එදි­නම විදුලි පණි­ව­ඩු­යක් මගින් සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේ­ල­නය ඇම­තු­වේය. අමතා කීවේ තුන් නිකා­යික හිමි­ව­රුන් පිරිත් කීමට සහ­භාගී කර ගන්නේ නැත්නම් බුරුම බෞද්ධ­යන් ලංකාව සමග ගොඩ­න­ඟා­ගෙන ඇති හොඳ හිත පලුදු විය හැකි බවය.

තීන්දුවේ දෝල­නය

 

අන­තු­රුව 1940 අප්‍රේල් 18 දින මල්වතු කාරක සංඝ සභාව රැස් විය. රැස්වීම විනාඩි 15 සීමා වී තිබිණි. රුව­න්මැලි සෑ නායක හිමිත් ඒ සඳහා එක් විය. ගිහි­යන් අත­රින් ඊට එක්වූයේ එව­කට අධ්‍යා­පන ඇමති සී.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නං­ග­රය. තීර­ණය ප්‍රකාශ විය. නිකාය අනුව බෙදුණු සති පිරිත් සජ­ඣා­යනා නැත. විශේෂ පින්කම් නැත. චූඩා­මා­ණි­ක්‍යය පල­ඳවා කොත නිරා­ව­ර­ණය කරන දිනයේ සෑම නිකා­ය­කම භික්ෂූන් එක පෙළට හිඳ පිරිත් සජ්ඣා­ය­න­යට තීන්දු විය. කොත පල­ඳ­න්නට තීන්දු වන්නේ 1940 මැයි 17 ය.

රැස්වී­මෙන් පසු පිට­තට පැමිණි කන්නං­ග­රයෝ මෙසේ කීහ. “මෙවැනි දේවල් සම්බ­න්ධව ගිහි­යන්ට සම්බන්ධ වී කළ හැකි වැඩි දෙයක් නෑ. මේ තීර­ණය සතු­ටු­දා­කය නොවේ යැයි මා හිතන්නේ නෑ.”

එහෙත් මැයි 17 කොත් පල­ඳන උත්ස­ව­යත් කල් ගියේය. වින­යා­ලං­කාර හිමි ඇතුළු බුරුම බෞද්ධ ප්‍රභූන් එක හෙළා ප්‍රකාශ කළේ ලංකාවේ භික්ෂූන් තුන් නිකායේ වාද නිමවා සමගි වන තුරු බුරුම ජාති­ක­යන් කොත් පැල­ඳ­වීමේ උත්ස­ව­යට සහ­භාගී නොවන බවය.

අව­සන් සාක­ච්ඡාව

රට ඇතු­ළෙන් පම­ණක් නොව ජාත්‍ය­න්ත­ර­යෙන් ද මේ හැසි­රී­මට විරෝ­ධතා මතු­වී­මත් සමග ගැටලු නිරා­ක­ර­ණය සඳහා තීර­ණා­ත්මක මැදි­හ­ත්වී­මක් අවශ්‍ය විය. ප්‍රශ්නය සම­ථ­ය­කට පත් කිරී­මට මැදි­හත් විය හැකි වැඩිම වග­කී­මක් සහිත ගිහි ප්‍රභූ­ව­රයා වූයේ අට­ම­ස්ථා­නය සම්බ­න්ධව තීර­ණා­ත්මක උරු­ම­යක් හා බල­යක් සහිත ගිහියා වන බුල­න්කු­ලම වලව්වේ පී.බී. බුල­න්කු­ල­මය. හේ 1940 අප්‍රේල් මස 30 දා අඟ­හ­රු­වාදා රුව­න්මැලි සෑයේ නායක හිමි සමඟ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි­යන් මුණ­ගැ­සු­ණේය.

දීර්ඝ කරුණු දැක්වී­ම­කින් අන­තු­රුව තීන්දුව ලැබිණි. ඒ අනුව කොන්දේසි සහි­තව තුන් නිකා­යික හිමි­ව­රුන්ට පිරිත් කීමේ අව­ස­රය දී තිබිණි. පළමු හා අව­සන් සති දෙක සියම් නිකා­යත්, දෙවන සතිය අම­ර­පුර නිකා­යත්, තුන්වන සතිය රාමඤ්ඤ නිකා­යත් පිරිත් කීමට තින්දු විය. චෛත්‍ය­ව­ර්ධන සමි­තිය පින්කමේ සියලු කට­යුතු සඳහා විහා­රා­ධි­පති හිමි­යන්ගේ අව­සර ගන්නට උව­මනා බව කියැ­විණි. ඉල්ලීම් උන්ව­හ­න්සේට ලිඛි­තව දැනුම් දිය යුතුව තිබිණි. උන්ව­හන්සේ ඊට දෙන පිළි­තුරු පුව­ත්ප­ත්වල පළ කළ යුතුව තිබිණි. අව­සා­නයේ 1940 ජූනි 17 දා කොත් පල­ඳ­ව­න්නට නියම විය. පොසොන් පොහොයේ සිට ඇසළ පොහොය දක්වා පුරා මසක් තිස්සේ උත්සව පැවැ­ත්වී­මට අව­සර ලැබිණි.

නිර්මා­ණය වූ විසං­වා­දය මේ තීන්දු­වත් සමග මග­හැ­රිණි. ඒ වන­තුරු මහා සෑයේ චූඩා මාණි­ක්‍යය තැන්පත් කර තැබුණේ දෙම­ට­ගොඩ ශ්‍රී මකු­ටා­රා­මයේ ය. එය මහා පෙර­හ­රින් අනු­රා­ධ­පු­රය වෙත වැඩම කර­වනු ලැබු­වේය. චූඩා­මා­ණි­ක්‍යය ජුනි 10 වැනිදා අනු­රා­ධ­පු­ර­යේදී පිළි­ගනු ලැබුවේ අට­ම­ස්‌ථාන කමි­ටුව වෙනු­වෙන් පී. බී. බුල­න්කු­ලම දිසාවේ, රුව­න්මැලි චෛත්‍ය වර්ධන සමි­තිය වෙනු­වෙන් එච්. බී. කිරි­මැ­ටිය සහ අනු­රා­ධ­පුර නගර සභාව වෙනු­වෙන් එස්‌. නඩ­රාජා විසිනි.

උත්සව සිරිය

 

අනු­රා­ධ­පු­රය මහා උත්සව ශ්‍රීය­කින් ඇළලී ගියේය. ලක්ෂ ගණන් මහා ජනයා සිවු­දෙ­සින් අනු­රා­ධ­පු­ර­යට පැමි­ණි­යහ. ඒ වෙනු­වෙන් විශේෂ දුම්රිය සේවා­වක් පැවැ­ත්විණි. මහා සෑයේ කොත් පැල­ඳ­වීමේ පින්කම් මාලාව ජුනි 15 වැනිදා ආරම්භ විය. සෑයේ කොත පල­දවා එයට චූඩා මාණි­ක්‍යය සවි කිරීම ජුනි 17 වැනි දා උදෑ­සන 8. 50 ට යෙදුණු සුබ මොහො­තින් සිදු කරනු ලැබුවේ රුව­න්මැලි සෑයේ භාර­කාර උදු­ර­ව­හ­ල්මි­ල්ලෑවේ රේවත, යූ. වින­යා­ලං­කාර, බද්දේ­ගම පිය­ර­තන යන නාහි­මි­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් රුව­න්මැලි චෛත්‍ය­ව­ර්ධන සමි­තියේ නිල­ධා­රීන් විසිනි. අන­තු­රුව දක්‌ෂි­ණා­වෘත ශංඛ­ය­කින් චූඩා­මා­ණි­ක්‍යය මතට පැන් ඉස සෑය අභි­ෂේක කර­වනු ලැබීය.

ජුනි 19 පොසොන් පුර පස­ළො­ස්‌වක පොහෝ දින සවස 4. 00 ට යෙදුණු සුබ මොහො­තින් හාත්පස ගිගුම් දුන් සාධු­කා­රය මැද රුව­න්මැ­ලි­සෑයේ කොත්ව­හන්සේ නිරා­ව­ර­ණය වූයේය. ඒ සාධු­කා­රය ජාති­යක අධ්‍යා­ත්මය පුබු­දුවා තිබිණි. මහා සෑය ඉදි­වීමේ ඉති­හාස කතා­වම හුදු චෛත්‍ය කර්මා­න්ත­ය­කට ලඝු වන්නේ නැත. මහා­සෑය ඉදි­වී­මෙන් අන­තු­රුව ලෝකයේ දැවැ­න්තම ගඩොල් නිර්මාණ ලෙස අනු­රා­ධ­පු­රයේ මහා­වි­හා­ර­යට නුදු­රින් දාගැබ් ඉදි වුවද රුව­න්මැලි මහා සෑය මේ දූප­ත්වා­සීන්ගේ අධ්‍යා­ත්මය පිබි­දවූ මහා සෑය ම වූයේ ඒ නිසාය. නාර­න්විට සුම­න­සාර හිමි­යන් විසින් ආරම්භ කර තිබුණේ ලැබූ රුව­න්මැලි මහා සෑය යළි ගොඩ­නැං­වීමේ ව්‍යාපා­රය නොව පරා­ධී­නව සිටි ජාති­යක අධ්‍යා­ත්මය බල­ගැ­න්වීමේ ව්‍යාපෘ­ති­යකි. ඒ ව්‍යාපා­රයේ විශිෂ්ට ඵලය ජාති­යක ගමන් මඟ වෙනස් කළේය.

Comments