දෙතනේ කිරි බොම්මා | සිළුමිණ

දෙතනේ කිරි බොම්මා

පසුගිය දවසක මහනුවරදී අපූරු අත්දැකීමකට මුහුණ දුනිමි. ගෙදර යන ගමන් මිලට ගත් බඩු මල්ලත් ඔසවාගෙන මම සුපර් මාර්කැට්ටුවෙන් එළියට එමින් සිටියෙමි. ඒ සමඟ මිතුරෙක් මා දැක නතර විය. ඒ වචනයක්-දෙකක් කතා කිරීමට විය හැකිය. එකෙණෙහිම ලොතරැයි වෙළෙන්දියක් අප දෙදෙනා අතරට පැමිණ ටිකට් ලෑල්ල දක්වා සිටගත්තාය. ‘සමා වෙන්න...’ වැනි බැල්මකින් මදෙස බැලූ මිත්‍රයා වහා සාක්කුවට අත දමා නෝට්ටු කිහිපයක් අත ගා ලංකා රුපියල් විස්සේ කොළයක් තෝරාගත්තේය. ඒ ලොතරැයි පතක් මිලට ගෙන වාසනාව උරගා බැලීමේ අරමුණෙන් බවට කිසිදු සැකයක් නැත.

එකෙණෙහිම දිළිඳු අම්මා කෙනෙක් අප සමීපයට පැමිණ නිහඬව අත පෑවාය. මගේ අත සාක්කුවට යෑමට පෙර මිත්‍රයා ඉස්සර විය. ඔහු අතට ගත් රුපියල් විස්සේ කොළය දෑතින්ම අර අම්මාගේ අතෙහි තැබුවේය. සුපුරුදු ලෙස ඒ අම්මා මොනවාදෝ කියමින් පින් දී යන්ට ගියාය. මේ වන විට අර ලොතරැයි වෙළෙන්දිය අප වෙතින් නික්ම ගොස්ය.

යමක් ලියන අතර ‘කාලය නතර වුණා’ යැයි සඳහන් කරන අවස්ථා ඉඳ-හිට හමු වේ. ඒ නිශ්චිතව යමක් කියාගත නොහැකි, නිර්වචනයක් දිය නොහැකි අවිනිශ්චිතයන් හමුවෙහිය. මේත් කාලය නතර වූ ගොළු වූ අවිනිශ්චිත වූ මොහොතක් බව ලියා තබනු කැමැත්තෙමි.

‘මොකක්ද ඒ කළ වැඩේ?’ කියා මට ඇසිය නොහැකිය. සූසැට බරණින් සැරසුණත්, වැරහැලි ඇඳ පැමිණියත් අම්මා නම් අම්මාමය. පුලන්නකු වෙසින් ඒ පැමිණියේත් දරුවන් වැදූ අම්මා කෙනකු බවට සැක නැත. දෙතනේ කිරි ඇතත් නැතත් අම්මලා දරුවන් බඩගින්නේ තබන්නේ නම් නැතිවාම වුවත් නැති-බැරිකමට අම්මලා පාරට වැටෙන අවස්ථා අනන්තය. අප අතරට පැමිණි ඒ අම්මාගේ අහිංසක සිනාව මට තවමත් මැවී පෙනෙයි.

“පින්කඳ කන්ට යමක්...” බොහෝ ඉහත දවසක අපේ මහගෙදර ඉදිරිපිටින් ඇසුණු ස්වර බිඳුණු හීන් හඬක් මට සිහිපත් වේ. ඉන්තේරුවටම ඒ අහිකුණ්ඨික කාන්තාවකි. දරුවකු ඇකයේ ගන්නාගෙන ඇය හිටිපියෙන් නොසෙල්වී ඉඳිකඩ ළඟ සිට අපේ ගේ දෙස බලා සිටින්නීය. ඉඳිකඩ පැන මිදුල පෑගීමේ සමාජ තහංචිය ඔවුන්ට විලංගුවකි. ඒ අහිකුණ්ඨික කාන්තාව ගෙපැලක් පාසා යමින් එසේ ඇවිද්දේ සිය ජීවිකාවෘත්තිය පිණිසය. දළදා වීදියේදී අර අම්මා අත පෑවා හැර කිසිවක් කීවේ නැත. දෙදෙනාම කළේ එකම ක්‍රියාවදැයි මම නො දනිමි. එහෙත් ඒ චරිත දෙක අපට ඇති කරන හැඟීම අහසට පොළොව මෙන් වෙනස්ය.

සංස්කෘතිය යනු සරල විග්‍රහයකින් තේරුම් කළ හැකි වචනයක් නොවේ. එහෙත් එය ජීවන පිළිවෙළ හෝ සැකැස්ම යන ලෙස අරුත් ගැන්විය හැකිය. අපේ හිස්වලට ඒකරාශි වූ දැනුමට අමතරව සියුම් ඉවක් සංස්කෘතිය විසින් අප තුළ රෝපණය කර ඇතුවාට සැක නැත. හොඳ-නරක ඒ ඉව විසින් වහා හඳුනාගනු ලබයි. ආගමික වස්තුවක්, භික්‍ෂුවක, වැඩිහිටියකු දුටු වහා අප තුළ ඇති වන අමුතු වේදයිතය ඒ ඉව විය හැකිය. සවසට රහමෙර සුඟක් කටගාගෙන ජීවිතය පිරිමදින ගැමියා සමහර විට ගමට අදාන්තයෙකි. එහෙත් ඔහුත් අර ඉහතින් කී අවිඤ්ඤාණක දැනුම විසින් මෙහෙයවනු ලබන බවට ඇසූ දුටු සාක්‍ෂි බොහෝ වෙති.

කන්තෝරුවල ලියන්නට නොගියාට, ෆැක්ටරිවල ඇඳුම් මහන්නට නොගියාට ගමේ අම්මාවරුන්ගේ දහවල් දවස විවිධ කාර්ය නිසා සමහර විට ගෙයින් පිටත ගෙවී ගිය බව ගමට රහසක් නොවේ. ඒ දිවා කාලයේ කිරි දරුවන්ට ආරක්‍ෂාව සපයන ලද්දේ වැඩිමහල් සොහොයුරු-සොහොයුරියන් විසිනි; එක්කෝ අසල්වාසි තවත් වැඩිහිටි කතක විසිනි. එසේ බලාගන්නට තබා යන කිරි දරුවන්ට තම දෙතනෙන් කිරි දී ඔවුන්ගේ බඩගින්න නිවූ අම්මාවරු අනන්තය. ඒ සත්ක්‍රියාව තුළ ඇත්තේ අසල්වාසි දරුවකු බලාගැනීමේ වගකීමට එහා ගිය මනුස්සකමක් හෝ දේවත්වයකි.

මට මෙහිදී අපේ අම්මා සහ අල්ලපු ගෙදර රන් බණ්ඩා මාමාලාගේ ටිකිරි බණ්ඩා මල්ලී සිහිපත් වේ. ටිකිරි බණ්ඩා මල්ලී අපේ මල්ලිගේ වයසේය. සමහර විට බිසෝ නැන්දම්මා ටිකිරි බණ්ඩා මල්ලී අපේ ගෙදර රඳවා කුඹුරට යන්නීය. එවැනි අවස්ථාවල අම්මා අපේ මල්ලීට කිරි දෙන ගමන් ටිකිරි බණ්ඩා මල්ලීත් උකුළට ගෙන කිරි ටිකක් පෙවූ බව රහසක් නොවේ.

“අක්කා පොඩි එකා ඇඬුවා, මම කිරි ටිකක් පෙව්වා...” ටිකිරි බණ්ඩා මල්ලී ගෙනයන්න එන බිසෝ නැන්දම්මාට අම්මා ඒ ටික කියනවාමය. හේතුව සමහර අම්මලා මේ කිරි පෙවිල්ලට කැමැති නැත. එහිදී දරුවා කාගේද යන තර්කයක් අපේ අම්මාට තබා මේ ලෝක ධාතුවේ කිසිම අම්මා කෙනකුට මතු නොවේ. එපමණක් නොවේ. මේ කිරි අම්මාකම ජීවිතය පුරා බැඳී පවතින්නක් නිසාය. කිරි බිව් එකා තුළ සමහර විට ඒ ඇල්ම නැතිවා විය හැකිය. එහෙත් අම්මලා එසේ නොවේ. ජීවිත කාලය පුරා ඔවුහු ඒ ඇල්ම පුසුඹ කරමින් අපූරු ආස්වාදයක් ලබන්නාහ.

චුදිතයෝ සමහර විට අධිකරණය මඟහැර යති. එවිට එකී චුදිතයන්ට වරෙන්තු නිකුත් කරනු ලැබේ. ඒ සමඟ චුදිතයන්ගේ ඇපකාරයන්ට නොතීසි නිකුත් කෙරේ. දිනක් අධිකරණයෙන් නොතීසි ලද වයසක අම්මා කෙනෙක් පැමිණ මා ඉදිරියේ සිට ගත්තාය.

“ගමේ කොල්ලෙකුට ඇප වුණා. ඒකා ගමෙත් නැහැ. මට වරදක් වෙයිද?” ඒ වියපත් අම්මා එසේ ඇසුවේ සිනා සෙමිනි.

“කෝ මේ හාදයා...?”

“ඌ ගමෙත් නැහැ... තක්කඩි වෙලා. උන්ගේ අම්මලාට වත් මායිං කරන්නේ නැහැ...” වයසක අම්මා ගමේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තාය.

“දැන් ඉතින් හොයලා උසාවියට ඉදිරිපත් කරන්ට සිද්ධ වෙනවා...” මම ඇයට වගකීම් සිහිපත් කළෙමි.

“මං කොහෙන් කියලා හොයන්ටද?” ඇයගේ මුහුණේ ඇඳුණේ පසුතැවිල්ලක ලකුණුය.

“ඇයි ඉතින් මෙහෙම තක්කඩියන්ට ඇප වෙන්නේ?” මම එසේ කීවේ අම්මා පත්ව සිටින අසරණකම ගැන කල්පනා කරලාය. මගේ විමසීමට ඇය ළාවට සිනා සුණා පමණි. ඒ සිනාව තුළ සටහන්ව තිබුණේ කලකිරීමක් නොවේ; මහා තෘප්තියක් විය හැකිය.

“මේ හාදයා නෑයෙක්ද?”

“නෑ, අපේ ගමේ එකෙක්. ඔය දරුවාට මයෙ තනෙන් කිරිත් පොවලා තියෙනවා. එහෙම තැන වරදක් වෙනවා බලාන ඉන්ට බැහැ. අපි අම්මලානේ...”

මුලින් ‘ඌ’, ‘තක්කඩියෙක්’ ආදි ලෙස ඇය පටන් ගත් කතාව මේ වන විට ‘දරුවා’ තෙක් මුදු-මොළොක් වී ඒ අම්මා හැඟීම්බරව සිටින්නීය. ඇය කාගේදෝ දරුවකුගේ දුක දරා සිටිතියි මට දැනිණි. මම ඒ අම්මා වෙනුවෙන් පෙනී සිටියෙමි.

“මේ චුදිත තමුන්ගේ කවුද?” අධිකරණයෙන් පළමු ප්‍රශ්නය නිකුත් විය. අප නීතිඥයන් ලෙස සමහර අවස්ථාවල මෙවැනි විමසුම්වලට උත්තර දීම අපේ සේවාදායකයන්ටම භාර කරන්නෙමු. හේතුව ඒ ප්‍රකාශ හරහා මතු වන අතුරු ප්‍රශ්න සමහර විට ගැටලු මතු කරවන හෙයිනි. එහෙත් මම කතා කළෙමි.

“උතුමාණෙනි! මේ ඇපකාර මාතාව සහ චුදිතයා අතර කිසිදු නෑ-සබඳකමක් නැත. ඇති එකම බැඳීම කුඩා අවදියේ මේ තැනැත්තිය චුදිතට මවු කිරි පෙවීමෙන් ආරක්‍ෂාව දීමෙන් ඇති වුණු ළෙන්ගතු බැඳීම පමණකි.” මම ඇය වෙනුවෙන් එසේ කරුණු දක්වා සිටියෙමි.

“චුදිතගේ මව නැද්ද?” ප්‍රශ්නයට දිය යුතු උත්තරය මම දැන නො සිටියෙමි.

“ඉන්නවා හාමුදුරුවනේ! ඒකි දැන් ටිකක් ලෙඩ ගානේ...” ඇපකාර මාතාව ගමේ වැටට හේත්තු වී කතා කරන විලාසයෙන් සැහැල්ලුවෙන් උත්තර බැන්දාය.

“මොකක්ද මේ කිරි පෙව් කතාව...?” විනිසුරුතුමා මා වෙත නැඹුරුව විමසීය.

“උතුමාණෙනි! ගමේ කතාවක් තියෙනවා අලි පැටියෙක් බිහි වුණාම රැළේ හැම ඇතින්නටම කිරි එරෙනවා කියලා...” මගේ එකී ප්‍රකාශයෙන් අධිකරණය සෑහීමට පත් වුණා විය හැකිය. මට තවත් කතා කරන්නට ඉඩ නොතබා කඩිනමින් චුදිත සොයා ඉදිරිපත් කරන ලෙස අවවාද කර විනිසුරු ඇපකාරිය මුදාහැරියේය. පසු දවසක මගේ කරුණු දැක්වීම සිහිපත් කළ එකී විනිසුරුතුමා කීවේ ඒ කරුණු දැක්වීම නිසා එතුමාට අම්මා පෙවූ කිරි රස දැනුණු බවය. අද අපෙන් ඈත්ව යන මේ සහ-සම්බන්ධතා ‘ඇහැවෙලාම’ ගිහින් නැත. දළදා වීදියේ සිදුවීම ඊට උදාහරණයකි. “මචං සූදු කෙළින්න ලැහැස්ති වෙන ‍කොට අපේ අම්මා ඇවිත් එපා කිව්වා කියලා මට හිතුණේ.” සිද්ධිය අවසානයේ මගේ මිත්‍රයා සිය හැඟීම් විස්තර කළේ එසේය. වැඩිහිටි ගෞරවය හා බැඳුණු ජීවන රටාවක හිමිකම අප සතුව තිබිණි. ඒවා නැති කරගත් අප මේ කරන්නේ සාරධර්ම උගස් කර රුපියල් සත ලබාගෙන ඔට්ටු ඇල්ලීමකි.

Comments