බන්ධනාගාර බුද්ධි අංශය හිර ගෙදර ගුබ්බෑයමක් කළ හැටි | සිළුමිණ

බන්ධනාගාර බුද්ධි අංශය හිර ගෙදර ගුබ්බෑයමක් කළ හැටි

‘වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම විසුරුවා හරි‘

මේ ඉකුත් සිකුරාදා උදෑසන පිට වූ බොහො පුවත්පත්වල ශීර්ෂ පාඨයයි. 'ඇති යන්තම් හොඳ තීරණයක් අරන් තියෙනවා.' මේ තොරතුර දැන ගැනීමත් සමඟ බන්ධනාගාරය පිළිබඳ උන්නදු වන්නන්ගේ අදහස එසේ විය. ඇත්ත ම නම් වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශයෙන් කැරෙන ක්‍රියා යනු හොරාගේ අම්මාගෙන් පේන අසනවා වැනි වැඩකි. එසේ කීමට හේතු කාරණා කිහිපයක් ම වේ. මීට වසර කිහිපයකට පෙර බන්ධනාගාර බුද්ධි අංශය ආරම්භ කෙරුණේ බන්ධනාගාර නිලධාරීන් සිදුකරන වැරදි සෙවීමට ය. නිලධාරීන්ගේ හොර ඇල්ලීමට ය. ඇත්තට ම නිලධාරීන්ගේ හොර ඇල්ලුවා ද?

මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට කිසිවෙකුත් නැත

‘ඔව් හොර ඇල්ලුවා‘. මේ කණ්ඩායමට කැමැති, මේ කණ්ඩායම නිසා තමන්ගේ මඩිය තරකර ගත්තවුන් එසේ පවසනු නොඅනුමාන ය. එහෙත් සැබෑව නම් මීට හාත්පසින් ම වෙනස් ය.

බන්ධනාගාර බුද්ධි අංශය පත් කිරීමට පෙර සිරගෙදර ප්‍රධාන දොරටුවලදී සිරකරුවන් පමණක් නොව නිලධාරීන් ද සෝදිසි කරනු ලැබුවේ ඒ ඒ තැන්වල මුරට සිටි නිලධාරීන් විසිනි. මෙහිදි සිරකරුවන් මෙන්ම නිලධාරීන් ද හොර බඩු ගෙන යන්නේ නම් ඒවා අල්ලා ගැනීමට ඒ නිලධාරීන්ට හැකියාව ලැබිණි. සිරකරුවන්ට මෙන්ම නිලධාරීන්ට ද දඩුවම් ලැබිණි. ඇතැම් විට සිරකරුවන්ට දඩුවම් ලැබුණත් නිලධාරීන්ට දඩුවම් නොලැබුණ අවස්ථා ද විය. හිරගෙර ඇතැමෙක් තනි තනිව හොරා කන විට ඇතැමුන් හොරා කන්නේ එකට එකතු වීය. මේ එකට එකතු වී හොරා කන කණ්ඩායම්වල ඉහළ නිලධාරීන් මෙන්ම සිරකුරවෝ හා බුද්ධි අංශයේ නිලධාරීන් ද වේ.

බන්ධනාගාරයයේ බුද්ධි අංශයට පත්කරන ලද්දේ ඇතුළේ සිටින තෝරා ගත් නිලධාරන් පිරිසකි. මේ තෝරාගත් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ද දෙන ලදි. පුහුණුව ලද නිලධාරීන් තම සේවය ඉතා අවංකව සිදු කරන ලද්දේ ටික කළක් පමණි. (මෙයින් අදහස් කරන්නෙ බන්ධනාගාර දෙපාර්ත මේන්තුවේ සිටින නිලධාරීන් සියල්ලෝම දූෂිතයින් කියා නොවේ.)

හිරගෙදර සිටින කරදරකාරයෝ නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් ය. හිරගෙදර දෙයක් වූ විට එය වන කරන්නේ මොවුන් ය. ඕනෑ දේටත් එපා දේටත් අත පොවන්නේ මොවුන්ය. එනිසාම යම් යම් ගැටුම් දුරදිග ගිය අවස්ථා ද නැතිවාම නොවේ.හිරගෙදර බිස්නස්කාරයෝ එනම් කුඩු බිස්නස් වල නියැලෙන්නෝ 'සයිලන්ස්'එකේ තම කටයුතු කරගෙන යති. අනවශ්‍ය ගැටුම් ඇතිකර ගත් විට ඔවුන්ගේ බිස්නස්වලට එය බාධාවකි. එනිසා බිස්නස්කාරයෝ හැම විටම වෙහෙසෙන්නේ නිලධාරීන් යාප්පුවෙන් තබා ගැනීමටය. නිලධාරීන් යාප්පුවෙන් තබා ගැනීමට නම් ඔවුන්ට සැලකිය යුතුය. නිලධාරීන්ට සැලකිය යුතු ආකාරය බිස්නසකාරයෝ හොඳින් ම දනී.

ඇතුළේ දස දහස් ගනනින් කුඩු බිස්නස් කරනවා; දුරකථන විකුණනවා; උසට උස තාප්ප තියෙන, නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබෙන ජංගම දුරකථන සන්නිවේදන මාර්ග අවහිර කර තිබෙන හිර ගෙදරට කුඩු , දුරකථන ඇතුළට එන්නේ කොහොම ද? කලක් ඇතැම් නිලධාරීන් හිරගෙය තුළට කුඩු ගෙන ආවේ සපත්තුව ඇතුලේ දමාගෙන ය; තවත් කලෙක ආවේ තොප්පියේ සඟවාගෙන ය. කාලෙන් කාලෙට ඔවුන් විවිධ ක්‍රම භාවිත කරන්නට විය. විශේෂයෙන් ම බුද්ධි අංශයේ නිලධාරී සිරගෙදරට යන එන ගමන්වලදී සෝදිසියට ලක් නොකිරීම නිසා ඔවුහු කලිසම් සාක්කුවේ ජංගම දුරකථන දෙක තුන රැගෙන විත් සිරකරුවන්ට දී එයින් වාසි ලබාගැනීමට හුරු විය. එපමණක් නොව වාට්ටූවල සෝදිසි මෙහෙයුම් කරන වි‍ට කල්වේලා ඇතිව ම ජංගම දුරකථන, කුඩු පැකට් සඟවා ගැනීමට ඔත්තුව දෙන්නේ ද ඔවුන් ම ය. මේ සියල්ලට ඇතුළේ සිටින කුඩු මුදලාලිලා නිලධාරීන්ට සලකන්නේ ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් දැමීමෙනි.

ඇතැම් විටෙක ඇතුළට එන නිලධාරීන් සෝදිසි කිරිමට බුද්ධි අංශයේ නිලධාරින් දෙදෙනකු සේවයේ යොදවා සිටී. කොහොම වූණත් නිලධාරීන් හොරා කන්නේ තමන් ළඟ සිටින ‍අනෙකාටවත් නොදැනෙන ලෙස ය. නිලධාරින් දෙදෙනෙක් සෝදිසියේ සිටින විට එක් අයකු තේ එකක් බොන්න හෝ වෙනත් දෙයකට එහා මෙහා වූ විට අනෙකා තමන් සන්තකයේ ඇති ජංගම දුරකථන හෝ කුඩු පාර්සලය අදාළ සිරකරුවාට ලබා දේ. මේ අයුරින් හොර බඩු එහා මෙහා කරන්නට සිරකරු හා නිලධාරියා අතර ඇත්තේ හොඳ විශ්වාසයකි. නිලධාරීන් සිරගෙය තුළට හොර බඩු ගෙන යන්නට පටන් ගත්තේ අද ඊයේ සිට නොවේ. බුලත් විට , දුංකොළ ඇතුළට ගෙනියන්ට පටන් ගත් නිලධාරීන් දැන් ඊටත් වඩා දේ ගෙන යන්නේ ය. ඇතැම විට නිලධාරීන්ට ලැබෙන සපත්තු කුට්ටමෙන් කුට්ටියක් කඩා ගත්තේ ද, සිරකරුවන්ගේ කෑම වේලට ගෙනෙන එළවළු ගෝනියෙන් , හාල් මිටියෙන්, මිරිස් කුඩු ටිකෙන් ,මස් කෑල්ලෙන්, මාළු කෑල්ලෙන්, පොල් ගෙඩියෙන් ගසා කන ඇතැම් නිලධාරියෝ ද මේ අතර වේ.

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වු සිරකරුවන් එල්ලා මරන්නට පිඹුරුපත් සකස් කරන මෙවන් වේලාවක ඇතුළේ සිටින සිරකරුවන්ට හොර බඩු ප්‍රවාහනය කරන නිලධාරීන් සම්බන්ධයෙන් ද දැඩි ව නිතීය ක්‍රියාත්මක කළ යුතුව ඇත. සිරගෙදර හොර වැඩ නැති කිරීමට බුද්ධි අංශය විසුරුවා හැරීමෙන් පමණක් පලක් වේද?

කෙහොම වුවත් ගසක් සරුසාරව වැඩිමට නම් එහි මුල ද ශක්තිමත් විය යුතුය. මුල ශත්තිමත් නැති විට එය අසාර්ථක ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියනවාට වඩා දූෂණයෙන් මේ ආයතනය මුදවා බන්ධනාගාර දෙපාර්ථමේන්තුව ආදර්ශවත් ආයතනයක් කිරීමට නම් එයට ශක්තිමත් නායකත්වයක් ද ලැබිය යුතු ම ය.

Comments