රක්වානේ මිනීමැරූ සිවුරු පෙරවියා මානසික රෝගියෙක්ද? | සිළුමිණ

රක්වානේ මිනීමැරූ සිවුරු පෙරවියා මානසික රෝගියෙක්ද?

පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබිණි. මිනීමැරුම සිදුවී තිබුණේ රත්නපුර ගෝල්ඩන් ග්‍රේ කොටසේ ගල්ඇන්ද ශ්‍රී සම්බුද්ධාරම නම් විහාරස්ථානය තුළය. පොලිස් නිලධාරියාව මරා දමා තිබුණේ චීවරධාරියෙක් විසිනි. ඔහුව හඳුන්වා තිබුණේ කොස්වැලැනේ ධම්මසාර නමිනි.

කාන්තාවකට අතවර කිරීම, පුද්ගලයෙකුට බැණ තර්ජනය කිරීම යන චෝදනා මත මේ චීවරධාරියාට එරෙහිව අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් තිබිණි. නඩුවලට ඉදිරිපත් නොවී අධිකරණය මගහැරීම නිසා ඔහුට වරෙන්තු දෙකක් නිකුත් විය. ඝාතනය වන පොලිස් නිලධාරියා පන්සලට ගොස් තිබුණේ චීවරධාරියාට ‍‍ෙම් වරෙන්තු දෙක භාරදීමටය.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව බෙල්ලට හා පපුවට කර ඇති පහරදීම් හා තෙරපීම්වලින් සිදුවූ තුවාල නිසා පොලිස් නිලධාරියා මිය ගොස් තිබේ. මේ පහර කෑමෙන් පොලිස් නිලධාරියාගේ ඉලඇට 11 බිඳීගොස් තිබිණි. අසල්වැසියන්ගේ දැනුම්දීම මත පොලිසිය එනවිටත් චීවරධාරියා හිඳ ඇත්තේ සිහිසුන්ව වැටී සිටි පොලිස් නිලධාරියාට පහර දෙමිනි.

රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය රත්නපුර පොලීසියට නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර, ගෝල්ඩන් ග්‍රේ කොටසේ ගල්ඇන්ද ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානය වෙත ගොස් ඇත්තේ පොලිස් සැරයන් 44101 ජයමාන්න මොහොට්ටිලාගේ චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතාය.

ඔහු 1985 අප්‍රේල් 20 දින ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් විය. ඒ, උප සේවා පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස. හෙතෙම 2010 ක් වූ ඔක්තෝබර මස 24 දා නිල අංක 44101 යටතේ පොලිස් සැරයන් තනතුරට උසස් කරන ලදි. ඔහු සේවයේ දැක්වූ විශිෂ්ටතා අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

ඔහු වෙත පැවරුණ අවසන් රාජකාරිය වූයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ 97013 දරන නඩුවේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමයි. විත්තිකරු වූයේ පූජ්‍ය කොස්වැලෑනේ ධම්මසාර නම් හිමිනමකි. වයස අවුරුදු තිස් හතකි.

අදාළ හිමිනම රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයට පැමිණ ඇත්තේ මීට අවුරුදු දහයකට පෙරය. ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරය දැරූ මීගස්තැන්න ගමරාලලාගේ පත්මසිංහ (59) මේ පිළිබඳව සඳහන් කළේ මේ ලෙසය.

මෙම විහාරස්ථානයේ හාමුදුරුවරු එනවා යනවා. නිතර ම වැඩිකල් ඉන්නෙ නැහැ මොනවා හරි ප්‍රශ්නයක් දාගෙන ආගිය අතක් නැතිවෙන හාමුදුරුවරු තමයි ආවේ. ධම්මසාර හාමුදුරුවො ගමට කොහොම ආවද දන්නෙ නැහැ. පන්සල වහල යතුර තිබුණේ ළඟ ගෙදරක. දවසක් මේ හාමුදුරුවො ගිහින් පන්සලේ යතුර ඉල්ල තියෙනවා. සිවුරට තියෙන ගෞරවයට යතුර දීලා. අපි ගමේ අය එක්ක පන්සලට ගියා. හාමුදුරුවො කිව්වා අපිට උදව් කරන්න කියලා. අපි කිව්වා අවුරුද්දක් හොඳට ඉන්න. පස්සෙ අපි උදව් කරන්නම් කියලා. ඒකට හාමුදුරු‍වො එකඟ වුණා. පස්සෙ හොඳට ඉඳල ගම පන්සලට එකතු වුණා. පන්සලේ පිං කැටය කඩපු ප්‍රශ්නයට පාසල් දරුවො තුන්දෙනෙක් පොලිස් කූඩුවට ගෙන ගියා. ඒකට ගමේ කට්ටිය ටිකක් විරසක වුණා. එදා ඉඳලා ගමේ පිරිස හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙතට කැමති වුණේ නැහැ. දවසක් ගමේ කාන්තාවක් හාමුදුරුවන්ට කිසියම් සිදුවීමකට කොස්සෙන් පහර දීලා තිබුණා. ඇය ගැබිණි කතක්. මෙම පැමිණිල්ල විභාග කරපු පොලීසිය, පන්සලට උදව්වක් කරන ලෙස දන්වල තිබුණ. හාමුදුරුවො ගැබිණි කාන්තාව ලවා වැලි කියුබ් එකක් පන්සලේ ගල උඩට අදින්න කිව්වා. ඒ වෙලාවේ ගමේ කට්ටිය එකතු වෙලා ඒක ඇද්දා.

ඒ දවස්වල ඉඳලා ගමේ අය සමඟ නිතරම ගැටුම්. හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා. කුණු බිත්තරවල විවිධ රූප ඇඳලා ගෙවල් වලට ගෙනැවිත් දමනවා. සමහර මිනිස්සු ඒවායින් ම හාමුදුරුවන්ට ගැසූ අවස්ථා තියෙනවා. මේ විදිහට ආරවුල් කරපු පවුලක විසි හතර හැවිරිදි තරුණයෙක් මිය ගියා. ඒක වුණේ කොඩිවිනයක් කරලා කියලයි හිතන්නේ. පසුව ඒ පවුලෙම අය ගමෙනුත් ගියා. මේ වගේ පුදුම පීඩනයක් ගමට දුන්නේ.

ශ්‍රියාණි ඇනට් මංගලිකා (31)

හාමුදුරුවො මානසික අසනීපයකින් හිටියද කියල හිතෙනවා. පන්සල තිබුණට අවුරුදු ගාණකින් මලක් පහනක් පූජා කරල නැහැ. ආගමික වැඩ මොකුත් නැහැ. ගමේ අයගෙන් දානය ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කළා. ගමේ උදවිය හාමුදුරුවන්ට වස දෙයි කියලා සැක සහිතවයි හිටියෙ. වසර හය හතකට කලින් දහම් පාසල තිබුණා. ආවාස ගේ ඉතා කුඩාවට තිබුණේ. හාමුදුරුවො තනියම ගල් වැලි සිමෙන්ති ඇදලා කුඩා ශාලාවක් සහ ආවාස ගෙයි කොටසක් ඉදිකළා. මේ සිදුවීමෙන් ගමට මහා විනාශයක් වුණා. මැකිය නොහැකි කැලලක්. හාමුදුරුවො ගමේ අය දැක්ක ම කෙළ ගහනවා. කතා කළොත් පොලීසියට ගිහින් පැමිණිලි දානවා. නිතරම පොලීසියෙ ඉන්නේ. අන්තිමේ දී ගමේ කිසිම කෙනෙක් පන්සලට ගියෙ නැහැ.

ඒ හිමිනම විසින් මහත් පීඩනයට පත්කළ ගමේ මිනිස්සු කියන කතාය.

“චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම කියන්නේ ඉතා නිවුණු තැන්පත් සිවුරට ගරුකරන ඉතා හොඳ නිලධාරියෙක්. අදාළ හිමිනම තම විහාරස්ථානයට ගොඩවූ පොලිස් සැරයන්වරයාට පහර දී ගෙල සිරකර මරා දමා තිබියදී සොයා ගත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මතය. සිද්ධිය මෙසේ වෙද්දී බුද්ධ චීවරය දැරූ දහස් සංඛ්‍යාත පූජණීය මහා සංඝරත්නය පත්වන අසීරුතාවය පිළිබඳ සංඛ්‍යාත්මකව පැවසිය හැකිද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍යාමෝපාලීවංශික මහා නික‍ායේ මල්වතු පාර්ශ්ව‍යේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක කෝම්පිටියේ ශ්‍රී සුසිල නාහිමියෝ.

බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් බුද්ධ චීවරය දරන කවුරුන් වුවද සිත කය වචනය යන තිදොරින් ම සංවර විය යුතුය. උන්මත්තක, විරූප, කතා කළ නොහැකි උදවියට සිවුර දැමීමට ඉඩ දුනහොත් එය අපවාදයකට අපරාධයකට ශක්තියක් වනු ඇත. රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක පසුගියදා ඇති වූ සෝචනීය සිදුවීමත් එවන් චීවරය දරා ගත් අසංවර, අවිනීත, පුද්ගලයෙකුගේ ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. එකී පොලිස් නිලධාරියා අප දන්නා පරිදි ඉතා ගුණගරුක, නීති ගරුක හොඳ මහත්මයෙක්. අහිංසක පුද්ගලයෙක්. එවන් අයෙකු මෙලෙස ඉතා ක්‍රෑර ලෙස ඝාතනය කිරීම සමස්ථ මහා සංඝරත්නය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. උන්මන්තකයෙකුට හැර එවැනි අධම ක්‍රියාවක් කළ නොහැකියි.

මියගිය පොලිස් නිලධාරියාගේ සහෝදරයාත් ඉතා ගුණ යහපත් භික්ෂූන් වහන්සේ නමක්. මේ සිදුවීම හේතුවෙන් උන්වහන්සේ කොතෙක් අපහසුතාවයකට පත්වන්නට ඇත් ද? මෙවැනි චීවරධාරීන් සමාජයෙන් ඉවත් කළ යුතු කතිකාවක් භික්ෂු සමූහයා තුළ කඩිනමින් සිදු කළ යුතුයි.

එම නිසා වගකිවයුතු අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා තම සංඝ සභා සමඟ සාකච්ඡා කර උන්මන්තක සොරුන්ගෙන් බුද්ධ චීවරයත්, ශාසනයත් ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබේ. මේ සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ශාසනාරක්ෂක මණ්ඩල උපයෝගී කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ද ඇතිව මෙවැනි වංචනික චීවරධාරීන් අපරාධකරුවන් සංඝ ශාසනයෙන් ඉවත් කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම කාලෝචිතව ඇත.

‍ෙම් සම්බන්ධයෙන් රත්නපුර පොලීසියේ අපරාධ අංශය “වරෙන්තු ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් සැරයන් වරයෙකුට රාජකාරියට බාධා කිරීම, පහරදී පිහියකින් කපා ගෙලසිර කර මරණයට පත් කිරීම සහ විදේශීය ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම” යන චෝදනා මත හිමිනමට එරෙහිව චෝදනා ගොනු කර ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත පොලිස් සැරයන්වරයා උ‍පපොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ.

මෙම චීවරධාරියාට එරෙහිව රත්නපුර පොලීසියේ සුළු පැමිණිලි දොළහක් ද, ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු දෙකක්, මොහු විසින් කරන ලද පැමිණිලි කිහිපයක් ද පවතී. දින දෙක තුනකට වරක් කුමන හෝ සිද්ධියකට පොලීසියට පැමිණෙන ඉතා කරදරකාරී අයෙකු බව ද පොලීසිය පවසයි. කාන්තාවන් ස්නානය කරන ස්ථාන වීඩියෝ ගත කිරීම්, කඩු කිහිපයක්, ඇසිඩ්, පෙට්‍රල්, ජංගම දුරකතන තුනක්, ලැප්ටොප් පරිගණකයක්, සී ඩී තැටි විශාල ප්‍රමාණයක් විහාරස්ථානයෙන් සොයා ගෙන තිබේ. විටෙක චීවරය රහිතව කටයුතු කිරීම පිළිබඳව ද දායකයන් ‍‍තොරතුරු පවසයි. මෙම සිද්ධිය සිදුවන අවස්ථාව ද ඊට උදාහරණයකි.

මේ චීවරධාරියා ශාසනානුකූලව මහණ වූවෙක් නොවන බව ද මේ වනවිට හෙළි වී ඇත. ඕනෑම හොරෙකුට, අපරාධකරුවෙකුට, මානසික රෝගියෙකුට චීවරයක් පෙරවාගෙන ඕනෑම අලජ්ජි වැඩක් කිරීමට ඇති හැකියාවට ශාසනය තුළින් ම වැට කඩොළු නොබැන්දහොත් ඇස්පනාපිට මහා සමාජ ව්‍යසනයන් නිර්මාණය වනු ඇත.

Comments