පතොක් මල් පිපිලා... | සිළුමිණ

පතොක් මල් පිපිලා...

අතු අගක මිස නොපිපෙන්න....

මොහොතක නිහැඬියාවෙන් සිතිවිලි අවදි වෙලා. ඒ සිතිවිලි තෙරක් මායිම් නොවූ අපූර්වත්වයෙන් ගලා යාවි. මේ මොහොත තෙක් මා රැඳී හුන් කාලය කෙතරම් ද කියා නැහැ මටම නිනව්වක්. ඒ තරම් දිගු වන්නට ඇති. නැත්නම් දිගු සේ දැනුණු කෙටි කාලයක් ගෙවෙන්නට ඇති. ඒත් ඒ එක ම ප්‍රාර්ථනාවේ සේයාවක් වෙනුවෙන්ම යි. විකසිත වේවි ඔබ තත්පර ගෙවි තෙක් හෝරාවන් කිහිපයක් ම. හදවත කිති කැවූ ඒ හැඟුම් සියල්ලේම ගැහෙන රිද්මය පෙති මත තබාගෙන. ඒත් .... මොන තරම් කාලයක් පුරා ඔබ පිපේවි ද...? කාලයක් පුරා හිත අද්දරක හිඳන් දැල්වී උන්නු ඒ හැඟීම් මොන පැහැයක් වේවි ද ...? ඒ පැහැයන් හා එක් වූ සිතිවිල්ල සුවඳවත් කරාවි ද දසත ම...? අවසන මේ සියල්ල ම දෝතින් ගෙන මොන තරම් ඔබ හැඩ වේවි ද... ? විෂ තවරාගත් බිඟු තුඩු රිදවාවි ද නැවුම් ඔබේ ඒ හිත. මගේ හිත කීකරු නැහැ. ඒ ඔබ විකසිත වෙන බව ඇහුණු නිමේෂයේ හිඳන්.

ඔබ විකසිත වෙයි කියූ ඉසව්ව ගැන නිනව්වක් තිබුණා නම් මේ මොහොතේත් මම ඒ අසල. හිමිදිරිය ගෙවි යනවා තව මොහොතකින්. හදවත් ලා පැහැයෙන් වර්ණ කර උණුසුමෙන් තැවූ ඒ හිරුම මදකින් දාහය නන්වාවි සියලඟ ම. ඔබ එන පෙරමග සනසන්නට සුසිර මද පවන නොඉවසිල්ලෙන් හමා ගියා කිහිප වාරයක්. ඒ හැම වරකදී ම ඔහු මට කීයේ “නැහැ... තවම පිපී නැහැ.” ඒත් ඇත්තටම ඔබ විකසිත වේවි. ඔබත් එක්ක තවත් මල් විකසිත වේවි.

ඔබ විකසිතව හිනැහේ දැයි සොයා එන සුළඟත් ඉඳහිට ඔච්චම් කරන වැස්සත් ඔබේ බලාපොරොත්තු අවුළුවාවි. ඒ දෙන්නා ම වසන්තය රැගෙන ආවත් ඔබ පිපෙන්නේ ඔබේ වසන්තයේදි යි. ඇත්තටම ඔබට අමතක වෙලා, ලෝකයේම වසන්ත ඍතුව ඔබේ වසත් කාලය නොවෙයි. හිරු පායාවිත් ඇත්තේ බලාපොරොත්තුවේ වසන්තයට අතවනමින්ම යි.

පෙර දවසක මා ඔබ අසල නතර වූ විට ඔබේ හිත පැතුම් ගොන්නකින් පුරවාගෙන ඔබ කෙඳිරූ වදන් මේ සුළඟට මුසු වෙලා.

පෙති විහිඳලා විකසිත වූ පසුත් ඒ පැතුම් එලෙසින් ම කොඳුරාවි ද...? ඔබේ හිතට ඒ අතීතය වසන් වුණත් සුළඟ යළි යළි සිහිපත් කරාවි සියල්ල. අමනාප නොවී ආපහු දල්වන්න ඒ සැහැල්ලු, සසුන්දර පැතුම් ගොන්න.

හිරු විකසිත වෙන්නට දඟ කරන ඔබව තව මොහොතකින් මලක් සේ දකීවි.

ඒත් විකසිත ඔබ මලක්සේ ම ආපසු දකීවි ද...? ඒ හින්දාම සුළඟ අතේ හිරුගෙන් අසා යවන්න පණිවිඩයක්, “ ඇත්තටම විකසිත වූ පසු මම ඔබ අසල රැඳෙන්න ද...? කියා. විකසිතව වසන්තය විඳ සඟවා ගන්න පෙති සියල්ල. ඒ වසන්තය කෙළවර ඔබ පල දරාවි. ඵල හටගත් බව හිරු නම් කෙදිනකවත් නොකියාවි ලොවට. ඒත් සුළඟ මුමුනා කියාවි ලොවට ම.

රාත්‍රිය දිගුයි. ඒ දිගු රැ ගෙවිලා අරුණෝදය නැගෙන තුරු ඔබ නොඉවසිල්ලෙන් බලා ඉන්න ඇති. දැන් අරුණට පහන් වෙලා. හිරු ඔබට ඉඟි කරනවා විකසිත වෙන්න කියා. ඔබ විකසිත වෙන්න. සත්තකින්ම විකසිත වෙන්න. කාටවත් ළං වෙන්නට බැරි අතු අගක පිපෙන්න.

චමත්ක

Comments