නික්ම ගිය කුරුලු හඬ | සිළුමිණ

නික්ම ගිය කුරුලු හඬ

කර්ණ රසායන මධුර ගීත රැසක හිමිකාරිත්වය සන්තකව පැවතිය ද බොහෝ විට අයිවෝ කරළියට ආවේ, අවුරුද්දකට වතාවක් දෙකක් ඇතුළත ය. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන් හෝ නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි. එහෙත් ඔහු වෙතින් ගැයුණු සුමධුර ගීත බොහෝ ය. කලාතුරකින් අයිවෝ ඩෙනිස්ගේ හඬින් ඇසෙන ප්‍රේම ගීත වල දැකිය හැක්කේ අපූරු සෞන්දර්යයකි. ගායන ශිල්පියකු ප්‍රේම ගීයක් ගායනයේදී ප්‍රේමය වැනි මාතෘකාවක් ස්පර්ශ කරන ආකාරයට හාත්පස ගැඹුරු හෘදය සංවේදී ගායන රීතියක් කරා ළඟා වන අයුරු අයිවෝගේ ප්‍රේම ගී වලින් අපට දැනෙයි.

ඉකුත්දා ස්වකීය ජීවන චාරිකාව නිමා කළ අයිවෝ ඩෙනිස් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ගී කෙතෙහි අතිශය මනෝහර අස්වැන්නක් වූ අග්‍රතර කලා ශිල්පියෙකි. ශ්‍රේෂ්ඨ කලා ශිල්පී සුනිල් ශාන්තයන්ගේ අසිරිමත් හදුන්වාදීමක් වූ අයිවෝ ඩෙනිස් සම්භාවනාවට පාත්‍ර වන්නේ සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ සුනිල් සාන්තයන්ගේ සංගීත දැනුම කටහඬ ද සමඟ උරුම කරගත් සුවිශේෂී එකම පුද්ගලයා ලෙසය. 1932 මැයි 28 දිනපැස්කුවල්ගේ දොන් ඔගස්ටින් අයිවෝ ඩෙනිස් නමින් සීදුවේ දී උපත ලැබූ හෙතෙම පසුව ජනගත වූයේ අයිවෝ ඩෙනිස් නමිනි.

සීදුව කතෝලික පල්ලියේ ගායනා කණ්ඩායමේ ආභාසය ස්වකීය කටහඬ පෞරුෂය සඳහා උදක් ම හේතු වූ බව අයිවෝ නිතර කී කතාවකි. රුක්මණී දේවි, ලතා වල්පොළ, මර්වින් පෙරේරා වැනි හඬ පෞරුෂයන් බිහිවීමට මූලික වන්නේ පල්ලියේ ගායනා කණ්ඩායම් බව නොරහසකි.

සුනිල් සාන්ත, මකුලොලුව, කේමදාස යන එකිනෙකට වෙනස් තලවල බුහුටිකම් පෑ ශ්‍රේෂ්ඨ සංගීතවේදීන් තිදෙනකුගේ ආභාසය ලැබීමට තරම් භාග්‍යවන්ත වූ අයිවෝ, ඒ තුලින්ම ස්වකීය සංගීතමය පරාසය පුළුල් කරගත්තේ ය.

1968දී නවසීලන්තයේ ABU අන්තර්ජාතික ගායනා තරගාවලිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරන අයිවෝ එහිදී ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ එවැන්නක් කළ පළමු ශ්‍රී ලාංකේය ශිල්පියා බවට පත් වෙමිනි.

1952 එවක ශ්‍රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වකට වෙළෙඳ සේවය මඟින් පවත්වන ලද 'ආධුනික පැය' වැඩසටහන උදෙසා එක් වී සුනිල් සාන්තයන්ගේ ‘වරෙන් හීන්සැරේ රිදී වලාවේ’ ගීතය ගායනා කරමින් සුනිල් සාන්තයන් පවා විමතියට පත් කළ අයිවෝ ඩෙනිස් ඒ වකවානුවේ ම මරදානේ නිව්ටන් ස්ටුඩියෝ හී පැවැති සුනිල් සාන්තයන්ගේ සංගීත ආශ්‍රමයට එක්ව සංගීතය හැදෑරීය.

1959දී රත්නපුරේ ගැටන්ගම විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කරන අයිවෝ, එහි තෙවසරක කාල පරාසයක් ගතකොට, මීගමුවේ තිරිඹිගස්කටුව මහා විද්‍යාලයටත්, මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයටත් පැමිණේ. 1974දී සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන ගී සම්බන්ධයෙන් උපදේශකවරයකු ලෙස කටයුතු කරන හෙතෙම, ඒ සමඟ ම, හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සංගීත උපදේශකවරයා ලෙස කටයුතු කළේය. 1993දී රජයේ සේවයෙන් විශ්‍රාම ගත් ඔහු පසුගියදා ජීවන චාරිකාව නිමා කරන තෙක්ම සංගීත චාරිකාවෙන් විශ්‍රාම ගියේ නැත.

1972දී සුනිල් සාන්තයන් ඉදිරිපත් කළ ‘රන්වලාව’ කියලා සංගීත වැඩසටහනට එක්වූ හෙතෙම ඒ වකවානුවේම තිලක සුදර්මන් ද සිල්වා රචනා කළ සුනිල් සාන්තයන් සංගීතය එක් කළ ‘කුරුලූ පරාදීසයේ කුරුලූ ගීත සාගරේ’ ගීතය ගායනා කරමින් ස්වකීය චාරිකාව ආරම්භ කළේ ය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය උදෙසා සුනිල් ශාන්තයන් නියෝජනය කරමින් ඉන්දියාවට ගිය හෙතෙම “ඕලු නෙලුම් නෙලිය රඟාලා”, “සුදු සඳ එළියේ නළ මත පොපියන”, “සීගිරි ළඳකගෙ මල් වට්ටියෙහිලා” වැනි සුනිල් ශාන්තයන්ගේ ගී තනු ගායන ශිල්පීන්ට පුහුණුවීම් සිදු කළ අතර “අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්ධනීය” යන විරුදු ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් සංගීතයට ද එක් වීය.

සිංහල දෙබස් කැවූ අම්බපාලි යන හින්දි චිත්‍රපටයේ රැපියල් තෙන්නකෝන් පද රචනය කළ සුනිල් ශාන්තයන් ගායනා කළ තේමා ගීතයට ද අයිවෝ ඩෙනිස් ගායනයෙන් සහාය වූ අතර බඹරු ඇවිත්, හිමකතර, පාර දිගේ, දෙවනි ගමන වැනි චිත්‍රපටවලට ඔහු පසුබිම් ගායනයෙන් එක්වූයේය. අතර හිමකතර චිත්‍රපටයේ අයිවෝ ඩෙනිස් ගායනා කළ “කන්ද එහා වැස්ස වසින්නා” ගීත‍ය වෙනුවෙන්, හොඳම චිත්‍රපට ගීතය සඳහා වූ 1985 ජනාධිපති සම්මානය හිමි විය. එහි සංගීතය කේමදාසයන්ගේ ය.

1984 දී “අභිමාන ගී” යනුවෙන් නිකුත් කළ කැසට් පටය ඔහුගේ මුල් ම හා එක ම කැසට් පටය ලෙස සැලකේ.

මකුලොලුව මහතා විසින් නිර්මාණය කළ “දෙපානෝ” “පහනින් පහන” සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ “තහංචි” රසාංජලී කිතුනු කලා සංවිධානයේ “එසේ ය අපි ඔහු මැරුවෙමු” යන නාට්‍යවලට රංගනයෙන් ද දායක වී ඇති අයිවෝ ඩෙනිස් විවිධ අවස්ථාවල සම්මානනීයත්වයට පාත්‍රව ඇත. 1995 උන්ඩා ගුවන් විදුලි සම්මානය ද, වසර පනහක කාලය තුළ සිංහල ගීත ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් උන්ඩා සම්මානය ද, බී. බී. සී. ගුවන් විදුලියේ “ලංකා උදානය” වැඩ සටහනට දස වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ සම්මානයක් ද දේශාභිමානී ගීතවලට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2004 දී ලක්හඬ ගුවන් විදුලියේ විශේෂ සම්මානයක් ද හිමිකරගෙන ඇති මේ අපූර්ව සංගීතවේදියා එක්දහස් නවසිය අනූනවයේ දී ආසියා ශාන්තිකර ගුවන් විදුලිය ඒ රටවල් අතර නවසීලන්තයේ පැවැත්වූ විද්යුත් මාධ්‍යවල නව ගී නිර්මාණ සඳහා පැවැත්වූ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ද සමත් විය.

කර්ණ රසායන මධුර ගීත රැසක හිමිකාරිත්වය සන්තකව පැවතිය ද බොහෝ විට අයිවෝ කරළියට ආවේ, අවුරුද්දකට වතාවක් දෙකක් ඇතුළත ය. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන් හෝ නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි. එහෙත් ඔහු වෙතින් ගැයුණු සුමධුර ගීත බොහෝ ය. කලාතුරකින් අයිවෝ ඩෙනිස්ගේ හඬින් ඇසෙන ප්‍රේම ගීතවල දැකිය හැක්කේ අපූරු සෞන්දර්යයකි. ගායන ශිල්පියකු ප්‍රේම ගීයක් ගායනයේදී ප්‍රේමය වැනි මාතෘකාවක් ස්පර්ශ කරන ආකාරයට හාත්පස ගැඹුරු හෘදය සංවේදී ගායන රීතියක් කරා ළඟා වන අයුරු අයිවෝගේ ප්‍රේම ගී වලින් අපට දැනෙයි.

අසූවැනි වියෙහි පසුවෙත්දීත් නියම ශ්‍රැති සහ තාලස්ථානයන්හි පිහිටා ගී ගැයීමට තරම් ශක්තියක් ඔහුට තිබිණි. දශක පහකට අධික කාලයක් මුළුල්ලේ ම එකී අයස්කාන්ත ස්වර පරාසයෙන් ජාතියක් ආලෝලනය කළ ඔහු සදාකාලික නිීද්‍රාව තෝරා ගත්තේ ප්‍රභාවත් හඬ පෞරුෂයක සදාතනික හිස් බව සටහන් කරමිනි.

විසල් වෘක්ෂයන් කල් පිරී දෙරණත වැලඳ ගත්ත ද, නොකල්හී වැලඳ ගත්ත ද ඉතිරි වන්නේ මහමෙරක් තරම් වූ හිස් පාළුවකි.

අයිවෝ ඩෙනිස් ජීවිතයේ උපරිමායුෂ වැළඳු බව සැබවි. එහෙත්, ඔහු නික්ම ගියේ තුංග වෘක්ෂයන් ළඟ ළඟම කඩා වැටුණු කාල සමයක ය.

ඔහුට පෙර නික්ම ගියවුන් එහි සිට ස්වකීය මිතුරාණන් පිළිගැනීමේ 'සාදය' සූදානම් කරනවා ඇත. ඉදින්, එහේ 'කුරුලු පරාදීසයකි.'

 
 

Comments