වයඹ පවස නිවන අලුත් ජල සම්පාදන ක්‍රමය | සිළුමිණ

වයඹ පවස නිවන අලුත් ජල සම්පාදන ක්‍රමය

 වයඹ පළාතේ අග නගරය වන කුරුණෑගල නගරය ඇතුළත 30000 ක ජනගහනයක් සිටිති. ඊට අමතරව නගරය ඇතුළත පිහිටි ජනප්‍රිය පාසල්, ප්‍රධාන බස් නැවතුම් පළ හා රජයේ හා පෞද්ගලික රෝහල් ඇතුළු සුවිශේෂී ස්ථානවලට ඈත පළාත්වල ජනතාව දිනකට ලක්ෂයක් පමණ ඇදී එති‍. එසේ වුවත් මේ ජනතාවට අවශ්‍ය බීමට පිරිසුදු ජලය ටිකක් ලබාදීමට නගර පාලකයෝ මෙතෙක් අසමත් වී සිටියහ.

මේ නිසා බාහිරින් පැමිණෙන ජනතාවගෙන් බහුතරයක් සිය පානීය ජල අවශ්‍යතාවයන් සහ සනීපාරක්ෂක කටයුතු නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වේ. ඊට හේතුව වන්නේ නගරයේ පවතින විවිධ ආයතනවලට තම සේවාදායකයන් වෙනුවෙන් ප්‍රමාණවත් සහ ගුණාත්මක පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට නොහැකිවීමයි. එමෙන් ම නගරයේ පවතින අධික ජනගහනය, ඉඩකඩ අවම වීම සහ භූමියේ අඩි කිහිපයක් යටින් දිවෙන කළු ගල් තට්ටුව, විධිමත් සහ කල් පවතින ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් නගරය තුළ ස්ථාපිත කිරීමට පවතින ප්‍රධාන බාධාවන් විය.

එපමණක් නොව කුරුණෑගල නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු බොහොමයක් ප්‍රමාණවත් ජල සැපයුමක් හා විධිමත් අපජල කළමනාකරණය කිරීමේ පද්ධතියක් නොතිබීම නිසා මෙතෙක් ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ. විශේෂයෙන් ම සංචාරක හෝටල්, නිවාස ව්‍යාපෘති, සාප්පු සංකීර්ණ, කර්මාන්ත ශාලා, විශ්වවිද්‍යාල සහ ආරෝග්‍යශාලා ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එම නිසා නගරවාසී සහ නගරය භාවිත කරන ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව දියුණු කිරීමටත්, කුරුණෑගල නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු වේගවත් කිරීමටත්, නවීන තාක්ෂණය භාවිතා කරමින් පානීය ජල පහසුකම් ලබාදීමටත්, නිවාසවල අපජලය නළ මඟින් බැහැර කිරීමටත්, එකී අපජලය පිරිපහදුවට ලක්කිරීමටත් විධිමත් පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය විය.

රජය එයට විසඳුමක් මහා පරිමාණයෙන්ම ඉටුකිරීම සඳහා විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ඓතිහාසික කුරුණෑගල පුරවරයේ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමත්, කුරුණෑගල නගරයේ වෙසෙන ජනතාව සඳහා ක්‍රමවත් සනීපාරක්ෂක පහසුකම් ලබාදීමත් යන අරමුණු පෙරදැරිව, විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මේ වනවිට ව්‍යාපෘතියේ නිර්මාණ කටයුතු අවසන් කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට සූදානම්ව පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයේ ණය ආධාර ඇමෙරිකන් ඩොලර් මිලියන 77.3 ද, ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 3,200 ක් ද, ඇතුළුව එකතුව රුපියල් මිලියන 13,250 ක මුදලක් වියදම් කර ඇත‍.

මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍යාංශ ඍජු අධීක්ෂණය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉදිකොට අතර අතර ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චයිනා මැෂිනරි ඉංජිනේරු ආයතනය කටයුතු කරන ලදී.

විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ජනපති සහ අගමැති තුමන්ලාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු සංවිධාන කරමින් පවතී. ඊට පෙර එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණි.

මෙම චාරිකාවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.අන්සාර්, සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම් එම්. නයිමුල්ලාහ් ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.වී.‍ මැදවත්ත මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පළමු වරට ජල සම්පාදන හා මලාපවහන සම්බන්ධතා ලබාදීමේ සේවා දෙකම එකම ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කරන අතර කොළඹින් පිටත ඉදි කරන ලද විශාලතම මලාපවහන ව්‍යාපෘතිය ද මෙය වේ.

දැදුරුඔය ආශ්‍රිතව බක්මීගොල්ල ප්‍රදේශයෙහි ඉදිකරන ලද ජල තුළුමුව මගින් ලබා ගන්නා ජලය කි.මී. 8 ½ පමණ වන සම්ප්‍රේෂණ නළ මාර්ග හරහා කුරුණෑගල නගරය තුළ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද දිනකට ඝන මීටර් 5000 ක ධාරිතාවයෙන් යුත් නව ජල පිරිපහදුව හා දිනකට, ඝන මීටර් 9000 දක්වා වැඩි දියුණු කරන ලද දැනට පවතින ජල පිරිපහදුව වෙත ජලය රැගෙන එයි. පිරිපහදු කරන ලද ජලය, ජල ගබඩා ටැංකි තුනක් හරහා කලාප තුනක් ලෙස අලුතින් එලන ලද, කි.මී. 110 ක නල පද්ධතිය ද ඇතුළුව කි.මී. 190 ජල නල පද්ධතියක් මගින් ග්‍රාම නිලධාරි වසම් 27 ක ජීවත්වන 106,000 පමණ වන පිරිසකගේ හා දිනපතා නගරයට පැමිණෙන ලක්ෂයකට අධික ජනගහනයකට පානීය ජල අවශ්‍යතාවය සපුරාලයි. තවද මෙම ජල ව්‍යාපෘතිය මගින් තවත් නව ජල සම්බන්ධන 6,500 ක් පමණ ලබාදීමට කටයුතු කරනු ලැබේ.

මෙම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජනතාවට හා පොදු සථානවලට අත්වන සේවාවන් රැසකි. සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් වර්ෂය පුරා, දිනපතා, පැය 24 පුරාවට, මනා පීඩනයකින් යුක්තව ලබාදීමට හැකිවීම, කුරුණෑගල නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල නගරයේ මෙන් ම කුරුණෑගල ප්‍රාදේශීය සභා සීමාව මේ වෙසෙන ජනතාවට පානීය ජල පහසුකම් ව්‍යාප්තවීම වැනි ප්‍රතිලාභ ප්‍රමුඛත්වය ගනී.

කුරුණෑගල නගරය ආශ්‍රිත ග්‍රාම නිලධාරි වසම් 18 ක ජීවත්වන 41,000 ක් පමණ වන ජනගහනයක් සඳහා ක්‍රමවත් සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට දිනකට ඝ.මී. 4500 ධාරිතාවය ඇති අපජල පිරිපහදු මධ්‍යස්ථානයක් ව්‍යාපෘතිය මගින් ඉදිකොට ඇත. අපජල සම්බන්ධන කුටීරයන් (IC) හරහා නිවාස හා සම්බන්ධ වන අපජල නළ පද්ධතිය කි. මී. 138 දිගින් යුක්තවේ. මෙම පද්ධතිය තුළ මනුවලවල් 2,000 ක් පමණ හා එසවුම් පොම්පාගාර 7 ක් ඉදිකොට ඇත. මෙම සියලු පොම්පාගාර, අතිරේක පොම්ප (Stand by Pumps) විදුලි ජනන යන්ත්‍ර (Generator) දුගඳ නැති කිරීමේ ඒකක Deodorization Unit) ඇතුළුව විදුලිය බිඳවැටීමකදී ද ක්‍රියාත්මක විය හැකි ලෙසට හා පරිසරයට දුගඳ එකතු නොවන ලෙසට ඉදිකර ඇත. ව්‍යාපෘතිය මගින් නගරය තුළ නිවාස, රජයේ කාර්යාල, හෝටල්, රෝහල් ඇතුළු ගොඩනැගිලි ස්ථාන 3,500 ක් මෙම පද්ධතියට සම්බන්ධ කරනු ලබන අතර, ඉදිරියේදී ඉදිකෙරෙන නිවාස හා ආයතන 1,500 ක් පමණ ද සම්බන්ධ කිරීමට නියමිත ය.

අප ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඇති එසවුම් පොම්පාගාරය වෙත රැගෙන එන අපජලය එහි ඇති දළ පෙනේර (Course Screen) හා සියුම් පෙනේර (Fine Screen) මගින් ඝන කොටස් පෙරීම සිදු කරනු ලබයි. ඉන් ඉක්බිති අපජලයෙහි ඇති වැලි (Grit) ඉවත් කිරීම සඳහා Grit Chamber හා Grit Separator යන්ත්‍ර හරහා වැලි වෙන් කොට ඉවත් කරයි‍. වැලි ඉවත් කරන ලද අපජලය සමතුලිත ටැංකිය (Balancing Tansk) හරහා අපජල ස්ථායි ප්‍රවාහනයකින් (Constant Flow) Anoxic Tank වෙත පොම්ප කරයි. මේ දක්වා වූ සියලුම පිරිපහදු ඒකක සම්පූර්ණයෙන් ම ආවරණය කර නිර්මාණය කර ඇති අතර, දුර්ගන්ධය නැති කරන වායුව එකතු කර, විඝන්ධන ඒකකය (Deodorization Unit) හරහා පිරිපහදු දුර්ගන්ධය රහිත වායුව ලෙස පරිසරයට මුදා හරියි‍.

මින් පසු අපජලය ප්‍රධාන පිරිපහදු ඒකකය වන වාතන ටැංකිය (Aeration Tank) වෙත ගොස් බැක්ටීරියා මගින් සිදුවන ජීවවිද්‍යාත්මක පිරිපහදුවෙන් අනතුරුව අපජලය ද්විතීයික තැන්පත් වීමේ ටැංකිය (Secondary Settling Tank) වෙත ගමන් කරන අතර, එහිදී රොන් බොර (Sludge) වෙන් කර ගැනීම සිදුකර Sludge Storage Tank හි තැන්පත් කර Sludge Dewatering Machine) හරහා වියළීමට ලක් කරයි. ඉන්පසු සූර්ය තාපය මගින් ද වැඩිදුරටත් වියළන රොන්මඩ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. ඉවත්වන පිරිපහදු ජලය ක්ලෝරීන් වායුව මගින් ජීවානුහරණ ක්‍රියාවලියට ලක් කොට අවශ්‍ය පාරිසරික ප්‍රමිතියට ළඟා වූ පසු බූ ඇළ වෙත මුදා හරියි.

මෙම අපජල ව්‍යාපෘතිය නිසා ජනතාවට, පරිසරයට, නගරයට සිදුවන වාසි රැසකි. අපජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවීම මගින් කුරුණෑගල නගරයට දීර්ඝ කාලීනව ප්‍රශ්නයක්ව පැවැති අවිධිමත් අපජල බැහැර කිරීම නවතාලීමට හැකිවීම, භූගත ජලය අපවිත්‍රවීම වැළකීම හා කුරුණෑගල වැව දූෂණය වීම වැළැක්වීම සිදුවේ. එසේම වැවෙහි ජලය පානීය ජලය ලෙස භාවිතයට ඇති හැකියාව වැඩිවීම, නගරය මධ්‍යයෙහි ඇති ජල මාර්ග අපවිත්‍රවීම වැළකීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අප ජලනළ පද්ධතිය නවීකරණය කිරීම හා එම අප ජලය නිසි ලෙස මුදාහැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය මගින් රෝහල් පරිශ්‍රය තුළ ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම, නිවාසවල අපජලය විධිමත්ව මෙම පද්ධතියට බැහැර කිරීම මඟින් නිවාස වඩා සෞඛ්‍යාරක්ෂිත වීම හා භූමිය වඩා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවීම සිදුවෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි. අප ජලය ආශ්‍රයෙන් ඇතිවිය හැකි රෝගාබාධ වලින් වැළකී සිටීමට හැකියාව ලැබීම, පූතික ටැංකි හිස් කිරීමට වියදම් වන මුදල ඉතිරි කරගැනීම හා එම පූතික ටැංකි ඉදිකිරීම සඳහා ඇති ඉඩම් ප්‍රමාණය වෙනත් ප්‍රයෝජනවත්, වැඩක් සඳහා යොදාගත හැකිවීම, කුරුණෑගල නගරය සංවර්ධනයේදී ඉදිවන හෝටල්, සංචාරක නිකේතන, නිවාස යෝජනා ක්‍රම, රෝහල්, විශ්ව විද්‍යාල සඳහා මලාපවහන බැහැර කිරීමේ පහසුකම් ලබාදීමට හැකිවීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙමගින් කුරුණෑගල නගරයට හා එහි වෙසෙන ජනතාවට හිමිවේ.

මෙම මලාපවහන ව්‍යාපෘතිය වඩාත් ස්ථිරසාර (Sustainable) පරිසර හිතකාමී ලෙස ඉදි කර තිබේ. මලපවිත්‍රාගාරයේ හා පොම්පාගාරවල දුර්ගන්ධය වැළැක්වීම සඳහා සම්පූර්ණයෙන් ආවරණය කරන ලද පිරිපහදු ඒකක ඉදිකර ඇති අතර, එහි වාතය පොම්ප කර දුර්ගන්ධය ඉවත් කිරීමේ උපකරණය මතින් (Deodorization Unit) යවා වාතයට නිදහස් කිරීම සිදුකෙරේ. මල‍පවිත්‍රාගාරය වටා හරිත වන ආවරණ තීරුවක් (Tree Barrier) නවීනතම යන්ත්‍රෝපකරණවලින් (Jetting Machines, Sucking Machines etc.) සමන්විත වේ.

මෙසේ තාක්ෂණික ගුණාත්මක භාවයෙන් යුතුව ඉදිකරන ලද මලාපවහන ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර, නගරයේ නිවාස හා ආයතන අපජල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. තව නොබෝ දිනකින් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කොට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතී. ජලය අපට ජීවත්වීමට අත්‍යවශ්‍යය. මේ අනුව මේ ජල සම්පාදන ක්‍රමය හා මලාප්‍රවාහන පද්ධතිය වයඹ පළාතටම සෙතකි. ප්‍රදේශය සෞඛ්‍ය ප්‍රශ්න අඩු කිරීමට වකුගඩු රෝග ව්‍යාප්තිය අඩු කිරීමට මේ ව්‍යාපෘතිය ලොකු පිටුබලයකි. ඒ අනුව මේ නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සියලු දෙනාගේම පූර්ණ සහාය ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට ලැබිය යුතුව ඇත.

ඡායාරූප හා තොරතුරු
ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හිල්මි මොහොමඩ්
නිහාල් පී. අබේසිංහ

Comments