සන්ධි රෝග වළක්වා ගැනීමට නිවැරදි ඉරියව් පවත්වා ගන්න | සිළුමිණ

සන්ධි රෝග වළක්වා ගැනීමට නිවැරදි ඉරියව් පවත්වා ගන්න

සන්ධි ආශ්‍රිතව වැළැඳෙන රෝගීතත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගී තත්වයෙන් මිදී ප්‍රීතිමත් දිවියක් ගෙවීමට උපකාරීවේ. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වේ.

සන්ධි ආශ්‍රිත වේදනාවන් හා රෝගී තත්ත්වයන් වර්තමානයේ බහුලව දක්නට ලැබේ. කාන්තා පුරුෂ භේදයකින් තොරව අසන්නට ලැබේන පීඩාකාරී තත්වයන්හිදි බොහෝ දෙනා සිදු කරනුයේ වේදනාවන් සමනය කර ගැනීම සඳහා ආලේපන හෝ වේදනා නාශක භාවිත කිරීමයි‍.

වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් අතර උරහිස් සන්ධි හා බෙල්ල අශ්‍රිත වේදනා, කොන්ද අශ්‍රිත වේදනා, විලුඹ හා දණහිස් සන්ධි ආශ්‍රීත තද බල වේදනා තත්ත්වයන් ප්‍රධාන වේ. මැණික් කටුව හා වළලුකර ආශ්‍රිත පොකුරු සන්ධිවල ඇති වන වේදනා අධික පීඩා කාරීවන අතර මේ කිසිදු වේදනාකාරි තත්ත්වයක් නොසලකා හැරිය නොහැක. එම තත්ත්වයන් නොසලකා හැරීමෙන් රෝගි තත්ත්වය උත්සන්න වී අධික වේදනාව, සිරුර පාලනය කර ගැනිමේ හා හැසිරවීමේ අපහසු තා ඇති වී පුද්ගලයා අසීරු තාවයට පත්වේ.

සන්ධි ආශ්‍රිතව වැළැඳෙන රෝගීතත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගීතත්වයෙන් මිදී ප්‍රීතිමත් දිවියක් ගෙවීමට උපකාරීවේ. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වේ. වැඩි ප්‍රමාණයක් සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳ පැමිණිලි කරන්නේ කාන්තාවන්ය. එයින්ද කාර්යාල සේවයෙහි යෙදෙන කාන්තා පුරුෂ දෙපිරිස ප්‍රධානය. ඒ හැරුණු විට එකම ඉරියව්වෙන් වැඩ කරන පිරිස් මෙන්ම අධිකව වෙහෙසෙන පිරිස් ද සන්ධි ආශ්‍රිත රෝගයන්ට ‍ගොදුරුවේ.

සන්ධියක් යනු අස්ථි දෙකකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වන තැනකි. චලනය වන සන්ධි මෙන්ම චලනය නොවන සන්ධි ද තිබේ. සිරුරේ ස්ථාවරත්වය ශක්තිය හා ක්‍රියාකාරකම් පහසුකර වීම සඳහා අස්ථි උපකාරීවන් අතර සිරුරේ බර දරා සිටීමේ ක්‍රියාවලිය අස්ථි මගින් සිදු කරනු ලබයි. චලනය වන අස්ථි කෙළවර තරුණාස්ති නම් මෘදු පටකයක් පවති. ඒහා බැඳි ඇති ලසිකා මගින් අස්ථිය ලිස්සා යෑම සිදු කරවයි.

ආයුර්වේ ද වෛද්‍ය ක්‍රමයට අනුව පුද්ගලයෙකු රෝගී වීම කෙරෙහිබලපෑම් කරන්නේ වා - පිත්- සෙම් යන ත්‍රිත්වයයි. මින්ස් සිරුරේ ප්‍රකෘතිය නිසි ලෙස පවතිද්දී මිනිසා නීරෝගි වේ. මේ ත්‍රිත්වය සමතුලිත නොවීම හේතුවෙන් රෝගී වේ. සන්ධි රෝග බොහෝමයක් ප්‍රදාහයන් හෝ දීරායෑම් වේ. මේ අවස්ථාවන්න් හිදී රතුවීම, ඉදිමුම හා වේදනාව ඇතිවේ. උණ ආදී රෝග ලක්ෂණ පහළ වේ.

ආයුර්වේදයේ මුලික වශයෙන් සන්ධි රෝග අවස්ථා පහක් හඳුන්වා දී ඇත. ඒ අතර ආමවාත සන්ධි ශ්‍රෝතය, ගම්භීර වාත රක්ත සන්ධි ශ්‍රෝතය, මන්සස්ථාම්භය ( බෙල්ල ආශ්‍රිත),අවභාහුක උර කැටිගැසීම්, ගුඩරසී හෙවත් සයිටිකා , කෝෂ්ඨක ශීර්ෂය(දණහිස් නරි හිසක් මෙන් ඉදිරියට නෙරා ඒම)

ආමවාත සන්ධි ශ්‍රෝතය ඇති වීමට ප්‍රබල ලෙස බල පෑම් කරනුයේ දිගින් දිගට විරුද්ධ ආහාර ගැනීම, අග්නි මාන්දය හෙවත් බඩගින්න අඩු බවයි. විරුද්ධ ආහාර නිරතුරුව ගැනීම හේතුවෙන් මිනිසාගේ සිරුරේ ආහාර ජීර්ණයේ දි ඇතිවන විෂ සහිත පදාර්ථ රුධිරයට මුසු වී පුද්ගලයා රෝගී කරවයි. අග්නි මාන්දය හේතුවෙන් නොදිරවු ආමරසය රක්ත රස මාංශ ආදී වූ සප්තධාතු ගතවී ශරීර ගතවීමෙන් වාත කෝපවේ. මේ කෝපවූ වාතය සන්ධි ආශ්‍රිතකර ගෙන රෝග ඇති කරවයි. ඇඟ බරගතිය, පපුවේ බර ගතිය, උණ ඇති කරවයි. බාල කාලයේ සිට ආමවාතය ඇති වේ. ආමවාතයේ දී කෝපවු වාතය තදබල ලෙස හානි කරනු ලබන්නේ හෘදයේ කපාට වෙතය. වෛද්‍ය ක්‍රමයේ හෘත් කපාට සන්ධි සේ ගැනේ. එක වර නොදැණුන ද දිගු කාලිනව ආම වාතයේ බලපෑම් ඇති විමෙන් හෘදය පිඩාවට පත්වේ.

ආම රසය ත්‍රිදෝෂ ගතවීමෙන් ඇතිවන රෝගී තත්වයන් සමනයට දක්ෂ ආයුර්වේ ද වෛද්‍ය ‍වරයෙකු වෙත ගොස් ඖෂධ ගැනීම වැදගත්ය. යම් ලෙසකින් කුසගින්න නොදැනීම හෝ කුසගිනි අඩු බවක් දැනේ නම් සරල ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත බඩ විරේකයක් කර ගැනීම, තැම්බුම් හොදී පානය හෝ තැම්බුම් හොද්ද සමග බත් ආහාර ලෙස ගැනීම , ලුණු කැඳ හෝ කැකුලු බතින් පෙරාගත් කැඳ ස්වල්පයක් පානය කිරීම, උණු වතුර පානය යෝග්‍ය වේ. ඉන් කුසගින්න වැඩේ. ආහාර රුචිය ද වර්ධනය වේ. ඉන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස පවත්වා ගත හැකිය.

වාතරක්ත තත්ත්වය ඇති විම සඳහා බලපෑම් කරන්නේ බොහෝ වේලා ඉඳගෙන සිටීම, නිතර යානවාහන පැදවීම, උෂ්ණ, තීක්ෂණ, ඇඹුල් , ලුණු, තෙල් අධික ආහාර ගැනිම හේතුවන් සිදු විය හැකිය. මෙහි දී වාතය හා කඵ හා රක්තය කෝපවේ. වාතය කෝපවී දූෂණය වූ රක්තය සමඟ එක්වූ විට විශේෂයෙන් පාද කරා ගමන් කර අස්ථි හා ස්නායු ඛණ්ඩරා හා සන්ධි පීඩාවට පත් කරයි. ක්‍රමයෙන් වේදනාව හා රෝගී තත්ත්වය ශරීරය පුරා පැතිර යයි. කල් යෑමේදී රෝගය සන්ධි කෙරෙහි බලපෑම් කරයි. රෝග තත්ත්වය වසර තිහෙන් පසු ඇතිවේ.

කෝෂ්ටක ශීර්ෂ රෝගී තත්ත්වය ඉතා පීඩාකාරීය. මේ හිදි දණහිස සන්ධිය නරියෙකුගේ හිසක් මෙන් ඉදිරියට නෙරා ඒ. මෙය නොසලකා හැරීමෙන් අස්ථි ලියලා වැඩී වේදනාව ඇති කරවයි. අජීර්ණය ආම වාතය හා ගම්භීර වාත රක්ත රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් මෙ තත්ත්වය ඇතිවීමේ ඉඩ කඩ වැඩිය.

අවබාහුක සන්ධි ප්‍රදාහය ඇතිවන්නේ උරහිස් සන්ධිය ආශ්‍රිතවය. වැටිම්, තැලීම්, ඇදීම බස්රථවල එල්ලී ඒ - මේ අත පැද්දෙමින් යෑම, කාර්යාල සේවයේ දි උරහිස් එක් ලෙසම පවත්වාගෙන යෑම පරිගණක භාවිතයේ දී වැරැදි ඉරියව් හා නුසුදුසු ආසන භාවිතය මේයට හේතුවේ. පළමුව අතේ ක්‍රියා කාරීත්ව අපහසු වේ. අධික වේදනාව හා ඉදිමුම රෝගය හඟවයි. නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් රෝගය උත්සන්න වේ. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගතයුතු අතර වෙහෙසකර හි පීඩාකරී තත්ත්වයන්ගෙන් ඈත්ව සිටිම වැදගත්ය.

ගුඩ්රසී(siteca) මෙහිදී කෙඳු ඇට පෙළ 5හි 6 කශේරුකා පීඩාවට පත්වීමෙන් රෝගී තත්ත්වය ඇතිවේ. වැටීම, තැලීම, කශේරුකා තෙරපීම, මගින් ගුඩ්රශි ස්නායුව පීඩාවට පත්වීමෙන් මේ තත්ත්වය ඇති වේ. කොන්දේ කැක්කුම , ඇවිදගෙන යද්දී වරන්වර නැවැතීමට සිදු වීම හෝ වේදනාව වැඩි වීම සිදුවේ. මෙහිදී නිවැරදි ඖෂධ මෙන්ම සුදුසු වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ගැනීම වඩාත්ම යෝග්‍ය වේ.

සන්ධි හා අස්ථි දිරාපත්විම හා කාටිලේජ වෙළීයාම හෝ සිඳියෑම හේතුවෙන් ද සන්ධි වේදනා ඇතිවේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී අස්ථි දිරායෑම වැලැක්විය හැකි ඖෂධ තිබේ. එම ඖෂධ මගින් ආහාරවල අන්තර ගත පෝෂ්‍ය කොටස් ශරීරයට හොඳින් උරා ගනිමින් අස්ථි ශක්තිමත් කරවයි. එමන්ම කාටිලේජ වර්ධනයට ද දේශීය හෝ පාරම්පරික වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගැනීමෙන් කරගත හැකි ය . වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවට අනුව ඖෂධ හා සුදුසු ආහාර විහරණ පවත්වාගෙන යෑම වැදත්වේ. ව්‍යායාම එකතැන සිටගෙන නොසිටීම කැලිසියම් අඩංගු ආහාර පලා අහාර වේලට නිතර එක්කර ගැනීම, ස්වභාවික ආහාර පානවලට යොමු වීම වැදගත්ය. රෝග ලක්ෂණ පහළ වෙද්දීම වෛද්‍ය උපදෙස් පැතීමේන් බොහෝ පීඩා අවම කර ගත හැකිවේ. පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම විවිධ රසයෙන් යුතු ආහාර භාවිතය නීරෝගී දිවියක් පවත්වා ගැනීමට උපකාරී වේ.

Comments