මානව වර්ගයාගේ තොටිල්ල සොයා ගියෙමු | සිළුමිණ

මානව වර්ගයාගේ තොටිල්ල සොයා ගියෙමු

ඩග්ලස් බී. රණසිංහ මහතා අත්දැකීම් බහුල ප්‍රවීණ පරිසරවේදියෙකි. කුරුල්ලන් පිළිබඳ ඔහු සතු විෂය ඥානය ඉතා ඉහළය. 1976 සිට ඔහු ලියූ පොත පත අතර අසිරිමත් කුරුලු ලෝකය, ශ්‍රී ලංකා කුරුලු නාමාවලිය, මැකී යන වන පෙත්, කොළොම්තොට පුරාණය, අසිරිමත් සමනල ලෝකය ආදී ග්‍රන්ථ රැසක් වන අතර පරිවර්තන ලෙස වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල්ගේ (The Devil Birds of Ceylon) ශ්‍රී ලංකාවේ යක්කුරුල්ලෝ, එච් රැන්ඩොව්ගේ (Zoo search in Ceylon) ශ්‍රී ලංකාවේ සත්ත්ව ගවේෂණයක්, (අයිරිස් ඩාටන්ගේ) Jungle Journeys of Ceylon ලක්දිව වනගත චාරිකා වැනි කෘති 35ක් පමණ වේ. රණසිංහ මහතාගේ (The Faithful Foreigner - Thilo Hoffmann, the Man who Saved Sinharaja) ඉංග්‍රීසි කෘතිය 2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මෙරට පරිසරයේ සුන්දරත්වය පමණක් නොව විවිධ රටවල සංචාරය කරමින් ඔහු ලබා ගත් අත්දැකීම් 'සිළුමිණ' වෙනුවෙන් විශේෂයෙන් දායක කිරීමට ඔහු නිර්ලෝභී විය. එහි පළමු අත්දැකීම මානවයාගේ තොටිල්ලයි.

- අරුණි -

මානව වර්ගයාගේ තොටිල්ල (Cradle of Humankind) ඇත්තේ දකුණු අප්‍රිකාවේ බව එහි ගිය අපට දැකගන්නට ලැබිණි. මෙය ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් බව දැනගත් විට එය නෙතින් දැකබලාගැනීම පැහැරහළ නොහැකි විය. ඒ අනුව අපි දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ සිට කිමී 60ක් පමණ දුර ගවුටන් ප්‍රාන්තයේ (Gauteng Province) පිහිටි මිනිසාගේ තොටිල්ල ලෙස සැලකෙන ස්ථානයට ගියෙමු.

මානව වර්ගයාගේ ආරම්භය වානරයාගෙන් පැවත එන බව විද්‍යාඥයන් විශ්වාස කළේ 1871 වර්ෂයේදී ඩාවින් ලියූ ‘මිනිසාගේ පරිණාමය’ යන පොතින් කළ හෙළිදරවුවට පසුවය. එහි ඔහු සඳහන් කොට ඇත්තේ මිනිසාගේ සමීපතම නෑයන් ලෙස හැඳින්විය හැකි චිම්පන්සි හා ගෝරිල්ලා සතුන්, දැනටමත් වාසය කරන්නේ අප්‍රිකාවෙහි බැවින් මිනිස් වර්ගයාගෙන් ආරම්භය හෙවත් තොටිල්ල ඇත්තේද අප්‍රිකාවෙහි බව තමා අනුමාන කරන බවයි. දැනට ජීවතුන් අතර නැති විශාල වානරයකු මීට වර්ෂ මිලියන ගණනකට පෙර යුරෝපයේ විසූ බවත්, ඒ වානරයා අප්‍රිකාවට සංක්‍රමණය වීමට ඉඩප්‍රස්තා තිබූ අතර කෙසේ වෙතත් ඒ ගැන අනුමාන වශයෙන් සිතා බැලීම අනවශ්‍ය බවත් ඔහු සඳහන් කොට ඇත.

20 වැනි ශත වර්ෂය ආරම්භයේ කායච්ඡේද විද්‍යාඥයන්ගේ (Anatomists) මතය වූයේ මිනිස් වර්ගයා යුරෝපයේ හෝ ආසියාවේ යම් ස්ථානයක පරිණාමය වී ඇති බවයි. නියැන්ඩතාල්ට (Homo neanderthalensis) අයත් වර්ෂ 50000ක් පැරණි හිස් කබලක් 1908දී ප්‍රංසයේ ලාපොරසි නම් ස්ථානයෙන් හමු වී ඇත. මේ මිනිසා වර්ෂ 150,000 - 30,000 දක්වා කාලය තුළ ආසියාවේ කොටසක හා මැදපෙරදිග වාසය කළ බවට සාධක පවතී. නූතන මිනිසා ලෙස සැලකෙන මුල්ම හෝමෝ සේපියන් (Homo sapiens) හෝමෝ නියන්ඩතාල් මානවයාගෙන් වෙනස් වූ ශාරීරික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ ගණනාවකින් යුක්තව සිටි බව පර්යේෂණවලින් සනාථ වී තිබේ.

එමෙන්ම 1891දී ‘ජාවා මිනිසා’ ලෙස හැඳින්වුණු ‘හෝමෝ ඉරෙක්ටස්’ (Homo erectus) ඉන්දුනීසියාවෙන් සොයාගෙන ඇත. හෝමෝ ඉරෙක්ටස් වසර මිලියන 1.3 - 0.3 දක්වාද ‘හෝමෝ නියන්ඩතාල්’ වසර මිලියන 0.3 - 0.15 දක්වාද සිටි අතර, ‘හෝමෝ සේපියන්’ වසර මිලියන 0.4 සිට අද දක්වා ජීවත් වන බව අමෙරිකාවේ ස්මිත් සෝනියන් ආයතනය පැහැදිලි කරයි. මානව විද්‍යාඥයන් පවසන්නේ මොවුන්ගේ සොයාගත් පැරණි ෆොසිල නූතන මිනිසාගේ ඇට-කටු හා සමාන බවයි.

1924දී දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ෆොසිල නිසා ඉහත සදහන් මානව විද්‍යාඥයන් පළ කළ මිනිසාගේ ආරම්භය යුරෝපා-ආසියානු කලාපයෙන් පැවත බවට වූ මතය අභියෝගයට ලක් විය. එය මිනිස් පරිණාමය පිළිබඳ පර්යේෂණ විප්ලවකාරි තත්ත්වයකට පත් කළේය.

දකුණු අප්‍රිකාවේ විසූ ඔස්ට්‍රේලියානු ජාතික මානව විද්‍යාඥ රේමන්ඩ් ඩාට් (Raynond Dart) ෆොසිල පිළිබඳ උනන්දුවක් දැක්වූ අයෙකි. 1924 ශීත ඍතුවේදී ටාඋන් (Taung) නගරයෙහි පිහිටි හුනුගල් ආකරයෙන් ගල් පෙට්ටි දෙකක් ඔහුගේ නිවෙසට නත්තල් සමයේදී භාර දී ඇත. වහාම ඒවා පරීක්ෂා කළ ඩාට්ට දක්නට ලැබුණු දෙයින් ඔහු පුදුමයට පත් විය. එහි එක් පෙට්ටියක ෆොසිල බවට පත් වූ මොළයේ පිහිටීම අනුව එය යම් පැරණි මිනිසකුගේ විය යුතු බව පැහැදිලි විය. ආකරයට ගිය ඩාට් තවත් හුනුගල් කැණීමෙන් පසු මොළය අයත් මුහුණෙහි හා හකුවල ඇටසැකිලි සොයාගත්තේය. එය මානව විද්‍යාඥයකුට ලැබිය හැකි කදිම නත්තල් තෑග්ගකි. එහි දත්වලින් සහ පසුව හමු වූ ඇටසැකිලිවලින් පැහැදිලි වූයේ එම මොළය හා හිස්කබල අවුරුදු 3ක් - 4ක් පමණ වූ කුඩා දරුවකුගේ විය හැකි බවයි. ඔහු එය ‘ටාඋන් දරුවා’ (Taung Child) ලෙස නම් කළේය. සුප්‍රසිද්ධ නේචර් (NATURE) සඟරාවට මේ සොයාගැනීම් පිළිබඳ විස්තර වාර්තා කළ රේමන්ඩ් ඩාට් සඳහන් කළේ, සොයාගත් දරුවාගේ මොළය හා ඇටසැකිලි දැනට වෙසෙන මානවයා හා වානරයාගේ අතරමැද සම්බන්ධතාවක් සහිත, නැති වී ගිය වානරයකුගේ විය හැකි බවයි. ඔහු ඒ ඔස්ට්‍රලෝපිතකස් අප්‍රිකානුස් (Australopithecus africanus) අප්‍රිකාවේ දක්ෂිණ වානරයා (Southern Ape of Africa) ලෙස නම් කළේය. මේ පිළිබඳ එවකට සිටි මානව විද්‍යාඥයන් විවිධ මත දැරූවද 1930-1940 වර්ෂවලදී ‘රොබට් බ්රූම්’ (Robet Broom) විසින් කරන ලද වැඩිදුර කැණිම් හේතුවෙන්, දකුණු අප්‍රියාවේ හුනුගල් ආකරවලින් මේ ආදි මානවයාගේ වැඩිහිටි ඇටසැකිලි හමු විය. ඒ ෆොසිල ඇටසැකිලි වානර මානවකයාගේ (ඔස්ට්‍රලෝපිතකස්) බව තහවුරු විය. ඒ අනුව සොයාගත් එම ඇටසැකිලි මානව පවුලට අයත් බවත්, අප්‍රිකාව මිනිස් වර්ගයාගේ තොටිල්ල බවත් පිළිගැනුණේය.

ඩාවින්ගේ ‘පරිණාමය වාදය’ පොතෙහි සදහන් වී ඇත්තේ අලුත් විශේෂ (Species) ඇති වන්නේ ඊට පෙර සිටි, විශේෂ පරිණාමයෙන් බවය. ඔහු මිනිසාගේ පරිණාමයේ ආරම්භ ගැන සඳහන් කොට නැත. 1924 දී ඩාට්ගේ සොයාගැනීම වානරයාගෙන් මිනිසා පරිණාමය වූ හැටි පෙන්නුම් කරන අතරමැදි අවස්ථාවක් විය. මෙහිදී අපට 1960-1970 කාලය අමතක කළ නොහැකිය. ඒ එකල මිනිසාගේ පරිණාමය පිළිබද පර්යේෂණ සිදු වූ බැවිනි. ඒ පර්යේෂණ ලෝක ප්‍රසිද්ධ ලුවිස් ලිකී (Louis Leaky), ඔහුගේ බිරිය මේරි ලිකී (Mary Leaky) හා පුත් රිචර්ඩ් ලිකී (Richard Leaky) විසින් කරන ලද අතර, ඔවුහු ආදිමානවයා සම්බන්ධ ‍ෆොසිල 1000ක් පමණ නැ‍ඟෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාවේ ඔල්ඩුවාන් (Olduwan) දුර්ගයේ කරන ලද කැණීම්වලින් සොයාගත්හ.

ඔවුන් සොයාගත් හෝමෝ හැබිලිස් (Home habeilis) මානව ඇටසැකිලි කාල නිර්ණය අනුව වසර මිලියන 1.9ක් පැරණි බව තහවුරු විය. එයින් මානව වර්ගයාගේ ආරම්භය (තොටිල්ල) කළු අප්‍රිකාවේ බව තහවුරු විය.

මීට පෙර සොයාගත් මිනිස් ඇටසැකිලි විශේෂ ඔවුන්ගේ කැණීම්වලදීද හමු විණි. 1974දී උතුරු ඉතියෝපියාවෙන් ‘ලුසී’ නමින් නම් කරන ලද මෙතෙක් හමු වූ පැරණිතම සම්පූර්ණ ඇටසැකිල්ල වූ අතර, 2013දී දකුණු අප්‍රිකාවේ මානව වර්ගයාගේ තොටිල්ලේදී හෝමෝ නැලේඩි (Homo naledi) ෆොසිලය හමු වූ අතර, එය මිනිසාගේ පරිණාම ඉතිහාසයට අලුතින් ඇතුළු වූ සාධකය විය.

ඉහත සඳහන් මානව වර්ගයාගේ තොටිල්ල (Cradle of Humankind) ඇත්තේ දකුණු අප්‍රිකාවේ බව එහි ගිය අපට දැකගන්නට ලැබිණි. මෙය ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් බව දැනගත් විට එය නෙතින් දැකබලාගැනීම පැහැරහළ නොහැකි විය. ඒ අනුව අපි දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ සිට කිමී 60ක් පමණ දුර ගවුටන් ප්‍රාන්තයේ (Gauteng Province) පිහිටි මිනිසාගේ තොටිල්ල ලෙස සැලකෙන ස්ථානයට ගියෙමු.

මේ ප්‍රදේශයේ වැදගත්කම සලකා 1999 වර්ෂයේදී එය ලෝක උරුම ස්ථානයක් වශයෙන් යුනෙස්කෝව විසින් නම් කරන ලදි. මේ ස්ථානය දැනට හෙක්ටයාර් 43000ක (වර්ග සැතපුම් 180) ප්‍රදේශයක පැතිර තිබේ. එය කෙටි කඳු සහිත තැනිතලා ප්‍රදේශයක් වන අතර, එහි සංකීර්ණ හුනුගල් ගුහා පිහිටා ඇත. ලෝකයේ විසූ පැරණිතම මිනිස් මුතුන්මිත්තන්ගේ ෆොසිල වූ ඇටසැකිලිවලින් 40%ක් ඇති, වටිනා පෙදෙසකි. එය දකුණු අප්‍රිකාවේ ඇති ලෝක උරුම බිම් අටෙන් එකකි.

මේ ලෝක උරුම බිමට වැදගත් ස්ථාන 15ක් ඇතුළත් කර ඇති අතර, ඒවායින් වඩාත් වැදගත් වන්නේ, බෝල්ට්ස් ගොවිපළ වූ ප්‍රදේශයයි (Bolts Farm). එහි ඉපැරණි ගුහා 20කින් හමු වූ ෆොසිල අතර වසර මිලියන 4ක් - 5ක් පැරණි ඇන්ටිලෝප් මුවන්ගේ, බැබුන් වඳුරන්ගේ හා වක්‍ර වූ කඩුවක් වැනි දත් ඇති බිලාල වර්ගයේ සතුන්ගේ ෆොසිලද තිබී ඇත.

දෙවනුව ස්ටර්ක්ෆොන්ටීන් (Sterkfontein) ප්‍රදේශය ලෝකයේ ඇති පොහොසත්ම හෝමෝනයිඩ් (Homonoid) ෆොසිල හමු වූ ස්ථානය ලෙස සැලකේ. හොමොනින්ට මිනිස් පවුලේ සියල්ල ඇතුළත් වන අතර, හෝමෝනොයිඩ් කොටසට ප්‍රයිමේටාවන් හා සුපිරි කොටස් වූ හොමොතියා, ගිබන් හා මහරිළවු යනාදිය ඇතුළත්ය (බලන්න: මහාචාර්ය සෙනෙවි එපිටවත්තගේ භූගෝල විද්‍යාව II, පිටු 103). මෙහිදී වානර මානවයාගේ (ඔස්ට්‍රෙලෝපිතකස්) පූර්ණ ඇටසැකිල්ල හමු වී ඇත.

මාකාපාන්ස් තැනිතලාව (Makapans Valley) හෝමෝනිඩ් වර්ගයේ වර්ෂ මිලියන 03ක් දක්වා වූ පැරණි ෆොසිල හමු වූ ස්ථානයකි. ‘ටාඋන්’ (Taung) යනු මුලදී සඳහන් ටාඋන් දරුවාගේ ෆොසිලය 1924දී සොයාගත් ස්ථානයයි. එයද ලෝක උරුම බිමක් ලෙස මාකාපාන්ස් තැනිතලාව සමඟ මුලදී ස්ථාපිත කරන ලදි.

අපගේ රියැදුරු මහතා අප පළමුව ගෙන ගියේ ස්ටර්ක්ෆොන්ටීන් ප්‍රදේශයටය. ඒ ස්ථානයේ ලෝක උරුම බිමක් බව පැවසෙන කුලුනක් සවි කොට ඇති අතර, එහිදී අපට දැකගන්න ලැබුණේ ෆොසිල ඇටසැකිලි හමු වූ ගුහා බැලීමට නම් කුඩා කඳු කිහිපයක් තරණය කොට, අඩි 45ක් පමණ පොළොව යට ඇති එම ගුහා නැරඹීමට යා හැකි බවයි. ඒ සඳහා කාලයක් නැති නිසා, එයට මයිල කිහිපයක් ඈතින් ඇති මැගිලිස්බර්ග්හි (Magalirsburg) කෞතුකාගාරය බැලීමට ගියෙමු.

එය ඉතා සුන්දර පරිසරයකි. කදිමට තනා අහසට යොමු කරන ලද විශාල චන්ද්‍රිකා ඇන්ටනාවක් වැනි කෞතුකාගාරය ඈතින් දිස් වූ අතර එයට ඇතුළු වන මාර්ගය කළු ගලින් සෑදූ බිත්ති දෙකක් අතරින් යොදා තිබිණි. එය නිල වශයෙන් ආගන්තුකයින් සදහා සැකසුණු මධ්‍යස්ථානයක් බව දැන්වීම් පුවරුවල සදහන් කොට ඇත. එහි දැකිය හැකි දේ පිළිබද විස්තර මෙහි එන ආගන්තුකයින්ට පහසුවෙන් දැක ගැනීමට හැකිය. එහි භූමිය වටා කවාකාරව සාප්පු සංකීර්ණ, ගිමන්හල් හා ආපන ශාලාද ඇත.

මෙහි මාර්ගයේ දෙපස මැනවින් සකස් කරන ලද ශිලා පුවරුවල නොයෙකුත් විස්තර ප්‍රදර්ශනය කොට ඇත. ජුරාසික යුගයේ අවුරුදු මිලියන 200කට පෙර මුල් ඩයිනෝසරයන්ගේ පෞරාණික හිස් කබල, මේ මානවයාගේ තොටිල්ලෙන් හමු වූ ප්ලෙස් මහත්මියගේ (Mrs. Ples) හා ලිට්ල් ෆූට්ගේ (Little Foot) හිස්කබල, වර්ෂ මිලියන් 2.6 ට පෙර මානවයා පාවිච්චි කළ ගල් ආයුධවල අනුරූප, මෙහි විසූ ආදිමානවයා වර්ෂ මිලියනයකට පෙර ගින්දර පාවිච්චි කළ බව සඳහන් සටහන් සහ මානව සංහතියම අප්‍රිකානු උරුමයන් බෙදාගන්නා බවත්, අප සියල්ල ලෝකයේ පැතිර සිටින විවිධ විශේෂ බවත්, අපගේ සියලු මූලයන් ඇත්තේ අප්‍රිකාවේ බවත් මතක් කරන සටහන් ඇත.

කෞතුකාගාරයට ඇතුළු වන ස්ථානයේම 2013දී මෙහිදී සොයාගත් හෝමෝ නැලේඩි මානවයාගේ චිත්‍රයක්ද ඇත. මේ මානවයාගේ ඇටසැකිල්ල සොයාගැනීම ලෝකයේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය වූ බවත්, මේ මානවයන්ට අයත් 1700කට වඩා ෆොසිල ආදර්ශ ඇති බවත්, ඒවා මේ වර්ගයේ මානවයන් 15 දෙනකුට අයත් බවත් සඳහන් කොට තිබිණි. මේ කෞතුකාගාරය ඉතා මැනවින් සැලසුම් කර ඇති අතර, එහි සියලු අංග බැලීමට නම් පැය 4ක පමණ කාලයක් ගත වනු ඇත. මෙහිදී අපට පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීමට සිතිණි.

මානවයා බිහි වූයේ වර්ෂ කීයකට පෙරද?

එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් ආයතනයේ තොරතුරු අනුව, මානවයා පළමුව බිහි වූයේ අප්‍රිකානු මහාද්වීපයේය. මානවයා වැඩි වශයෙන් පරිණාමය වූයේද එහිදීය. මුල් මානවයාගේ ෆොසිල ඇටසැකිලි වර්ෂ මිලියන 6 - 2 දක්වා ජීවත් වූ මිනිසාගේ වූ අතර, ඔවුන් සැම ජීවත් වී ඇත්තේ අප්‍රිකාවේය. බොහෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ දැනට 15ක් - 20ක් පමණ ආදි මානව විශේෂ සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

පෘථිවි තලයේ මානවයා කොපමණ කාලයක් ජීවත් වී සිට ඇත්ද?

අපගේ ආදි මානවයා වර්ෂ මිලියන 6ක් පමණ කාලයකට පෙර පෘථිවියේ ජීවත්ව සිට ඇති අතර, දැනට වෙසෙන මිනිසා බිහි වන්නේ වර්ෂ මිලියන 2කට පමණ පෙරය. ඔවුන් ශීත, උෂ්ණ දේශගුණික කලාපවල ව්‍යාප්තව ඇත්තේ වර්ෂ 60,000-80,000 පමණ කාලයකදීය.

Comments