විස දුමක් කළ විපතක් | සිළුමිණ

විස දුමක් කළ විපතක්

 පුෂ්පකුමාර එදින තම සිඟිති පුතු නිදි කරවා තබා බිරියත් සමඟ නිවෙසින් පිට වූයේ යළි ඉක්මනින් නිවෙසට පැමිණෙන අරමුණිනි. වේලාව දහවල් එක පසු වී විනාඩි තිහට ආසන්න වෙමින් තිබිණි. ගිනිගහන මධ්‍යාහ්නයේ බිරියත් සමඟ පාපැදියෙන් ගමන් ඇරඹූ ඔහු දෙපා ඉක්මන් කෙරුවේ සිඟිති පුතු අවදි වීමට පෙර යළි නිවෙසට ඉක්මනින් පැමිණිය යුතු හෙයිනි. ඔහු බුලත්සිංහල කලවැල්ලාව ප්‍රදේශයෙන් ගමන්ගත්තේ ඉක්මනින් හොරණ නගරය දෙසට යෑමටය.

කලවැල්ලාව බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් පදම් කරන කර්මාන්ත ශාලාව අසලින් ඇහෙන විලාප හඬක් ඔහුගේ සවන් වැකුණේය. අතොරක් නැතුව ඒ මේ අත දිවෙන වාහන පෝලිම අතරින් කර්මාන්ත ශාලාව අසලින් පාපැදිය ගමන් කරද්දි එහි සේවිකාවෝ පාරේ ගමන් කරන මඟීන්ගෙන් උපකාර ඉල්ලා කෑගසමින් සිටියහ. හීයක වේගයෙන් පැමිණි ඔහු වහ-වහා පාපැදිය නතර කොට බිරිය ඒ අසල රඳවා කර්මාන්ත ශාලා භූමියට ඇතුළු විය. කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බැහැර කරන ටැංකිය තුළට සේවකයන් දෙදෙනකු වැටී සිටින බව අනතුරුව ඔහු දැනගත්තේය. අපද්‍රව්‍ය වළට වැටී සිටි සේවකයන් දෙදෙනා බේරාගැනීමට ඔහු ඒ ටැංකිය ඒ තුළට හිස පහත් කළා පමණි. සිහිසුන්ව ඇද වැටුණේය.

කර්මාන්තශාලාවේ සේවකයකු වන එච් ආරියපාල මහතා ඇමෝනියා සහිත අපද්‍රව්‍ය බැහැර කරනු ලබන අදාළ ටැංකිය පවිත්‍ර කිරීම සදහා සැරසෙද්දී ඒ තුළට වැටී තිබිණි. ඉන් අනතුරුව එහි සේවය නියුතු රසායනාගාර කාර්මික ශිල්පී වරුණ චන්ද්‍රකුමාර මහතාද අදාළ ස්ථානයට පැමිණ ටැංකිය තුළට වැටී සිටි පුද්ගලයා ගොඩගැනීමට උත්සාහයක නිරත වීමට සැරසෙද්දී ඔහුද ඒ තුළට සිහිසුන් වී වැටිණි. පුෂ්පකුමාර එහි සිහිසුන්ව ඇදවැටුණු තුන්වැන්නාය. ඉන් අනතුරුවද පිහිටට පැමිණි කිහිප දෙනකුම සිහිසුන්ව ඇදවැටුණහ.

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක පිහිටි අපද්‍රව්‍ය සහිත ගැඹුරු ටැංකියකින් පිට වූ විෂ සහිත වායුවක් ආඝ්‍රාණය වීමෙන් ඒ කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙක් මිය යෑමේ සිද්ධියක් මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ ඒ අනුවය. ඒ අවස්ථාවේ අඩි 12ක් පමණ ගැඹුරැති ඒ ටැංකියේ අඩි 2ක් පමණ ඇමෝනියා මිශ්‍ර විෂ අපද්‍රව්‍ය තිබුණු බව සදහන් වේ.

අදාළ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බැහැර කරනු ලබන ඇමෝනියා සහිත සිමෙන්ති ටැංකිය දින කිහිපයකට වරක් පවිත්‍ර කිරීමට නියමිතව තිබිණි. මේ ඛේදවාචකය සිදු වූ ඉකුත් 19 වැනිදා එහි සේවයේ නියුතු මියගිය ඩබ් ආරියපාල නම් අදාළ සේවකයා ටැංකිය පවිත්‍ර කිරීම සදහා සූදානම් වෙද්දී මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබිණි. එදින අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනකුත් සේවිකාවන් දස දෙනකුත් සේවය කර ඇති අතර, සේවකයෝ දෙදෙනාම විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් මිය ගියහ. උපකාරයට පැමිණි අය දැරූ ප්‍රයත්නයද අසාර්ථක වූයේ එලෙස උපකාරයට පැමිණි තිදෙනකුද සිහිසුන්ව ඇදවැටුණි. අවසන ‘සුවසැරිය‘ ගිලන් රථ සේවය මඟින් පිරිස හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලද අතර, ආරියපාල ඇතුළු ඔහු බේරාගැනීමට පැමිණි සිව් දෙනකුගේ හදවත් ඒ වන විටත් අකර්මණ්‍ය වී ඇති බව දැනගන්නට ලැබිණි.

රෝහල් කාර්ය මණ්ඩලය අඩ හෝරාවකට ආසන්න කාලයක් හෘදය තෙරපුම ලබා දී දැරූ දැඩි ප්‍රයත්නය අසාර්ථක කරමින් අදාළ පුද්ගලයන් පස් දෙනාම මරු තුරුලට ගොස් තිබිණි. තවද ඒ අවස්ථාවේ අදාළ ස්ථානයට ගිය පුද්ගයන් 15 දෙනකුට අධික සංඛාවක් මේ විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් රෝහල්ගත කොට තිබේ. ඒ අතුරින් එක් පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා සදහන් කරයි. මේ ලෙස විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් මිය ගොස් ඇත්තේ එච් ආරියපාල (40), පින්නකොලහේන වල්පිට පදිංචි ප්‍රියන්ත කුමාර (41), හොරණ බැල්ලපිටිය පදිංචි දිලීප ලොකුපතිරණගේ (32), බැල්ලපිටිය අක්කර 35 පදිංචි ලාල් ප්‍රියන්ත කුමාර (28‍) සහ බැල්ලපිටිය ඈගල්ඔය පදිංචි වරුණ චන්ද්‍රසේකර යන පස් දෙනාය.

කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කළ යුතු බවට ලිඛිතව සහ වාචිකව ලබාදී ඇති උපදෙස් අනුගමනය කර ඇතිදැයි සොයා බැලීමට අදාල සෞඛ්‍ය කාර්යාංශ මේ වන විටත් කටයුතු ක්‍රියාත්මක කරන බව පවසයි.

අපද්‍රව්‍ය බැහැර කරන රබර් කර්මාන්ත ශාලාවෙන් පිට වන මේ අපද්‍රව්‍ය තම ළිංවලට මිශ්‍ර වීමට ඉඩකඩ ඇතැයි පවසමින් ප්‍රදේශවාසීහු මේ රබර් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ විරෝධතාවක නිරත වූහ. මේ විෂ වායුව අවට පැතිරීමෙන් ඔවුන්ට ඇති අවදානම පිළිබඳව ඔවුහු අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක්ද කළහ. කෙසේ වෙතත් විරෝධතාවෙහි නිරත වූ පිරිස පාලනය කරගැනීමට පොලීසියට විශේෂ කාර්යය බළකායේ සහාය ලබාගැනීමට සිදු විය.

කර්මාන්තශාලාවේ කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ට වන්දි ගෙවීමටත්, කර්මාන්ත ශාලාවට මුද්‍රාතැබීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබේ. එහි හිමිකරු සහ වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය කටයුතු කරන බව පාණදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී පිආර්පී සේනානායක මහතා පවසයි. ඔහුගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී ජීජේ නන්දන මහතාගේ උපදෙස් මත, හොරණ මූලස්ථාන පොලිස්ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

සුභද්‍රා දේශප්‍රිය‍
පසුබිම් කතාව සහ ඡායාරූප
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ

Comments