උත්සව කාලෙට පරිස්සමෙන් කමු බොමු | සිළුමිණ

උත්සව කාලෙට පරිස්සමෙන් කමු බොමු

දිව පිනායන ආහාර පාන, බොහෝමයක් මේ දිනවල නිවෙස්වල තැනෙයි.විශේෂයෙන්ම අධික සීනී , තෙල් අඩංගු රසකැවිලි මේ දිනවල අපට අමතක කරීමට නොහැකි ය. කුමන රෝගයකින් පෙලුණත් අලුත් අවුරුද්දට එක රස කැවිල්ලකවත් රස බලන්නට දෙවරක් සිතන්නේ ද නැත. ඒ වුවත් මෙම උත්සව සමයේ දී එලෙස පාලනයකින් තොරව ආහාර ගැනීම පසු කාලයේ දී මාරයාට අත වැනීමක් දක්වා වර්ධනය වීමට පුළුවන. පහත දැක්වෙන්නේ උත්සව සමයේ ආහාරපාන වලින් කට පරිස්සම් කර ගන්නා ආකාරයයි.

අප්‍රේල් මාසය අටුකොටු පිරි කෑම, බීම පිරී ඉතිරී යන ස්වයංපෝෂිත වකවානුවක් ලෙස ද හැඳින්විය හැක.සිංහල චාරිත්‍ර අනුව ආහාර තෙලෙන් බැද පාවිච්චි කරන නිසා බොහෝ ආහාර තෙල් සහිත ආහාර වන අතර,සීනී සහිත පැණි රස ආහාර ද ඒ අතර වේ.මේ නිසා මෙම ආහාරවල අධික සීනී ප්‍රමාණයක් ඇති අතර දියවැඩියා රෝගීන්ට ද තරබාරු රෝගීන්ට ද සුදුසු නොවේ.එම නිසා මෙම චාරිත්‍ර අනුව එය නොකළ යුතු ය.දියවැඩියා රෝගීන්හට එම ආහාර අනුභවය කිරීමට සිදු වුවහොත් ඊළඟ ආහාර වේල එළවළු , පළතුරු,වැඩිපුර ප්‍රයෝජනයට ගෙන පිළියෙළ කර ගැනීම කළ යුතු ය.එවිට බත් වෙනුවට සැහැල්ලු ආහාර වන පාන් පෙත්තක් වැනි දෙයක් එළවළු සමඟ අනුභව කළ හැකි ය.

තව ද තෙල් සහිත ආහාර අඩුවෙන් අනුභව කළ යුතු ය.තරබාරු අය හෘද රෝගීන්, කොලෙස්ටරෝල් අධික රෝගීන් ද දියවැඩියා අය ද තෙල් ආහාර ඉතා අඩුවෙන් අනුභව කළ යුතුව ඇති අතර,වැඩිපුර අනුභව කළහොත් ඊළඟ ආහාර වේල වැඩිපුර එළවළු, පළතුරු සහිතව සැහැල්ලු ආහාර වේලක් ,ගැනීමෙන් මෙම තත්ත්වය සමනය කර ගත හැක.

ගෙදරට පැමිණෙන නෑදෑයින්හට නවුම් පලතුරුවලින් සංග්‍රහ කිරීමෙන් වැඩිපුර තෙල් , සීනී කෑම අඩුකර ගත හැක. උත්සව සමයේ දී තෙල් සීනී කෑම වෙනුවට එළවළු , පලතුරු( නැවුම්) මල්ලක් තෑගි කිරීම සූර්ය මංග්‍යලයේ අර්ථාන්විතභාවය වැඩි කරනු ඇත.මෙම කාලයේ දී ආහාර වර්ග වැඩි අස්වැන්නක් සමඟ වැඩි වන නිසා කල් තබා ගැනීමට අච්චාරු චට්නි සුදුසු ය.මෙම ආහාර කල් තබා ගැනීමේ දී පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය නිතර ආහාරයට ගැනීම නොසුදුසු ය.එම නිසා මෙම කාලයේ දී අච්චාරු , චට්නි වැනි ආහාර ද්‍රව්‍ය අනුභවය අඩු කළ යුතු ය.

මෙම උත්සව සමයේ දී වැඩිවශයෙන් පානය කරන මත්පැන්ද පාලනය කිරීමට සැළකිලිමත් විය යුතු ය.මත්පැන් යනු ශරීරයට ඉතා අහිතකර විෂ ද්‍රව්‍යයකි.නමුත් මත්පැන් අවුන්ස ග්‍රෑම් 02 ගැනීමෙන් ( දිනකට ) කොලෙස්ටරෝල් අඩු කිරීම සිදු වේ.මේ නිසා උත්සව සමයේ දී මත්පැන් පානය පාලනය කළ යුතු වන අතර විකල්පයක් ලෙස පලතුරු බීම,එළවළු බීම,පාවිච්චි කළ හැක.මේ ආකාරයට උත්සව සමයේ නිසි ආහාර පුරුදු භාවිතයෙන් රෝගී වීම වළක්වා ගත හැක.

අලුත් අවුරුදු සමයේ දී සෑම නිවසකටම අමුත්තන් පැමිණීම අනිවාර්යයෙන් ම සිදු වන දෙයකි. එම නිසාම සෑම නිවසකම මේ සමයේ දී ආහාරපාන පිළියෙළ කිරීම සිදු කරනු ලබයි. විශේෂයෙන් ගෘහණියකට අවුරුදු සමයේ දී මුළුතැන්ගෙහි කටයුතු සිදු කිරීම්දී සැළකිලිමත්ව සහ බුද්ධිමත්ව කටයුතු කිරීමට සිදු වේ.

අලුත් එළවළු, පලතුරු, මස්, මාළු වැනිදේ කෑම වේලට එක්කර ගැනීමටත් නිතරම උත්සාහ කළ යුතු ය. එම ද්‍රව්‍ය තෝරා ගැනීමේදී, එක ම ස්ථානයකින් ඒවා තෝරා ගැනීමට කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය දෙයකි. එවිට, විශ්වසනීයත්වයෙන් යුතුව එම දේ තෝරා බේරා ගැනීම කළ හැකි ය. එසේ ම, හැකි තරම් ශීතකරණයේ දමා කල් තබා ගන්නා ආහාර, කෘත්‍රිම ආකාරයට සකස් කළ ආහාරයට නොගත යුතු ය. අලුත් එළවළු, පලතුරු ආහාරයට ගැනීම, ගුණාත්මක අතින් මෙන් ම රසයෙන්ද ඉහළ ය. වර්තමානයේ වෙළෙඳපොළ දෙස බලනවිට විවිධ වර්ගයේ රසකාරක දැක ගැනීමට පුළුවන. ඒවා විදෙස් රටවල නිෂ්පාදිත ඒවා මෙන් ම දේශීය වශයෙන් නිෂ්පාදිත ඒවා වීමට ද පුළුවන. එහෙත් ඔබ තෝරාගත යුතු වන්නේ දේශීය වශයෙන් සකසාගත හැකි සරල, සාම්ප්‍රදායික තුනපහ ආදියයි. සූදුරු මහදුරු, මිරිස්, ගම්මිරිස් ආදී දේශීය දෑ භාවිත කරන විට ඔබගේ ආහාරවල රසයත්, ගුණයත් වැඩිකර ගැනීමට හැකි වේ.

පෝෂණ වෛද්‍ය විශේෂඥ සෙලී ප්‍රනාන්දු මහත්මියගේ “ආහාර සහ පෝෂණය“ කෘතිය සහ අන්තර්ජාලය ඇසුරිණි.

 මදාරා

Comments