බොදු කිතුණු සැමගේ පල්ලිය | සිළුමිණ

බොදු කිතුණු සැමගේ පල්ලිය

 බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ ගල්ඒදඬුගොඩ නම් ග්‍රාමයේ ස්වභාවික සොඳුරු පරිසරයක හොරණට නොඳුරුව පිහිටි ගල්ඒදඬුගොඩ පල්ලිය නම් වූ මේ දේවස්ථානය ඉහළට නැඟුණ කඳු ගැටයක් මත ඉදිව ඇත. එම නිසා පිහිටීම ඉතා මනරම් දසුනක් මවා ඇත. කළු ගල් කුළු අතරින් ක්‍රමයෙන් ඉහළට නැඟී යන මේ දේවස්ථානයේ ඉහළ නිම්නයේ කුරුල්ලකුගේ පියාඹන ඉරියව් සහිත අල්තාරය හා පියතුමන් වැඩවසන ගෘහය ද මුලින්ම දැකිය හැකිය. එතැන් සිට බලන විට ඉතා ඉහළ ගල්කුළු හා ගල් ගුහා ප්‍රදේශයන් භූ ලක්ෂණ ලෙස දැකිය හැකිය. ඒ ආශ්‍රයේම කන්‍යා සොයුරියන් වාසය කළ පැරණි කන්‍යාරාමය ද ඇස ගැටේ. මේ වන විට කන්‍යා සොයුරියන් මෙහි රැඳී නොසිටින අතර අල්තාරය ද යම් යම් වෙනස්කම්වලට බඳුන් වී ඇත.

හොරණ මීසම බල ප්‍රදේශය තුළ පවුල් 300 කින් පමණ සමන්විත කතෝලික ජනතාවගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ එකම දේවස්ථානය ලෙස මෙය සැලකේ. අද වන විට කල්වාරි දේවස්ථානයක් ලෙස ප්‍රසාදය දිනා ඇත.

වසර 100 කට පමණ පෙර ප්‍රදේශයේ කතෝලික ජනතාවගේ පුදපුජා පැවැත්වීමට තැනක් නොවීය. එවකට අගරදගුරු තැන්පත් අති උතුම් ඇන්තනි කුඩේට් හිමිපාණන් විසින් මෙම ඉඩම මිලයට ගෙන 1910 ජුලි 16 දින දේවස්ථානයක් වෙනුවෙන් ඔප්පුවක් ලියන ලදී. ඉන්පසු කුඩා දේවස්ථානයක් තනා ශුද්ධ වු පිලෝමිනා මුනිවරියට කැපකොට වසර 44 ක් පමණ මතුගම මිසම හා කටයුතු කරන ලදි. පසුව 1954 ජනවාරි 24 වන විට එය ඉන් වෙන්කර හොරණට ව්‍යාප්ත කළේය.

1964 නොවැම්බර් 22 දින මුල්ගල තබා ඉදිකිරීම් ඇරඹීය. ශුද්ධ වූ මාටින් ද ෆොරස් මුනිතුමන්ට කැප වූ එකම දේවස්ථානය මෙය වේ. එවකට සිටි අති දක්ෂ ගෘහනිර්මාණ ශිල්පියකු වූ වැලන්ටයින් ගුණසේකර මහතා විසින් මෙහි නිර්මාණය හා සැලසුම් මෙහෙයවීය.

1966 නොවැම්බර් 11 වැනි දින කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ආසිරි ගැන්වීමෙන් විවෘත කිරිමට යෙදිණි. එදා මෙදා තුර මේ දේවස්ථානය බොදු කිතුණු කාගේත් ගෞරවයට පාත්‍ර වෙ‍මින් පැවැතීම ප්‍රශංසා කටයුතු ය.

සේයාරූ - නිශ්ශංක විජේරත්න
නන්දි අලුත්ගේ රත්නවීර 

 

Comments