විඤ්ඤාණ පච්චයා නාමරූපං | සිළුමිණ

විඤ්ඤාණ පච්චයා නාමරූපං

 සත්ත්ව ජීවිත තුළ විද්‍යමාන යථා ස්වරූපය අවබෝධ කිරීම අතිශයින්ම දුෂ්කර වන්නේ සම්මුති ස්වභාවයෙන් පරමාර්ථ ලක්‍ෂණයන් වැසී පවත්නා හෙයිනි. සත්ත්ව යනු නාම-රූප ධර්ම පරම්පරාවකි. නාම-රූප හටගැනීමේ හේතු වශයෙන් පටිච්චසමුප්පාද විග්‍රහයෙහි දැක්වෙන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූපවල පහළ වීම වේ. එසේ ම විඤ්ඤාණ සහ නාම-රූප යන කරුණු ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන බව ද දත යුතු ය. මෙහි දී විග්‍රහ කරනුයේ විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාම-රූප ධර්මවල පහළ වීම සහ නාම-රූප පිළිබඳ දීර්ඝ වූ විග්‍රහයකි. නාම-රූප ධර්ම ස්වභාවය බුදුරදුන් විසින් විග්‍රහ කරන ලද්දේ පහත අයුරිනි:

"ඇවැත්නි කොට්ඨීතයෙනි, නාම-රූප තමා විසින් කරන ලද්දේ නො වේ. නාම-රූප අනුන් විසින් කරන ලද්දේ නො වේ. නාම-රූප තමා විසින් කරන ලද්දේත් අනුන් විසින් කරන ලද්දේත් නොවේ. නාම-රූප තමා විසිනුත් නොකරන ලද්දේ මෙරමා විසිනුත් නොකරන ලද්දේ ඉබේ හටගත්තේත් නොවේ. එහෙත් විඥාන ප්‍රත්‍යයෙන් නාම-රූප වෙයි."

නාම රූප

ජීවිතය තමාට අයත් දෙයක් හෝ තමා විසින් උපදවාගත්තක් ලෙස චින්තනය මෙහෙයවමින් කටයුතු කරන බව පෙනේ. එය මුළාබවක් බව දත යුතුය. ඇතැම් විට දෘෂ්ටිගත වූවන් කල්පනා කරනුයේ මේ ජීවිතය කවර වූ හෝ සර්වබලධාරි දෙවියකු විසින් මවනු ලැබ ඇති බවය. තවත් වරක මේ ජීවිතය කිසිදු හේතු ප්‍රත්‍යයකින් තොරව ඉබේ හටගෙන ඇති බවක් දක්වයි. මේ සියලු දෘෂ්ටි බැහැර කොට පටිච්චසමුප්පාද න්‍යායයෙන් ජීවිත පැවැත්ම විග්‍රහ කිරීමෙන් එහි හටගැනීමේ සැබෑ හේතු අවබෝධ කරගැනීමේ හැකියාව පවතී. නාම-රූප ස්වභාවය විවිධ ස්වරූපයෙන් දත හැකිය. 'නාම' වශයෙන් මෙහි විග්‍රහ කොට ඇත්තේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරයි. 'රූප' යනු අටවිසි රූපයි. නාම-රූප ධර්ම පිළිබඳ සිදු කළ විග්‍රහයන් කොතෙකුත් දත හැකිය.

"නාමඤ්ච-රූපඤ්ච ඉධත්‍ථි සච්චතො
න හෙත්‍ථ සත්තො මනුජොව විජ්ජති
සුඤ්ඤං ඉදං යන්ත මිචාභිසංඛතං
දුක්ඛස්ස පුඤ්ජො තිණකඪ්ඪ සාදිසො"  - විසුද්ධිමග්ගය

(මෙහි සත්‍යය වශයෙන් පවතිනුයේ නාම-රූප යුගලය පමණකි. සත්ත්වයකු පුද්ගලයකු දක්නට නොලැබේ. සත්ත්ව පුද්ගල භාවයෙන් හිස්ය. නොයෙක් අංගයන්ගේ සංයෝගයෙන් නිපන් යන්ත්‍රයක් මෙනි; දුක් ගොඩකි)

‘‘යමකං නාමරූපඤ්ච - උභො අඤ්ඤොඤ්ඤ නිස්සිතා
එකස්මිං භිජ්ජමානස්මිං - උභො භිජ්ජන්ති පච්චයා’’
- විසුද්ධිමග්ගය, දිට්ඨිවිසුද්ධි නිද්දේසය, 884 පිටු.

නාම-රූපයන්ගේ සබඳතාව ඔවුනොවුන් පිහිට කොට පවතින්නකි. ඉන් එකක් බිඳී යන කල්හි ප්‍රත්‍ය නැතිව අනෙකද බිඳී යන්නේය. ජීවිතය නාම-රූප ධර්මයන්ගේ එකතුවෙන් පවතින්නකි; මනුෂ්‍ය ලෝකය වැනි පඤ්චවෝකාර භවයන්හි නාමරූපයන් ඔවුනොවුන් ප්‍රත්‍ය කොට පවතී. නාමරූපයන්ගේ මේ සබඳතාව නලකලාප සූත්‍රයෙහි බටමිටි දෙකක් උපමා කොට දක්වා ඇත. බටමිටි දෙකක් එකිනෙකට හේත්තු කොට සමබරව තබා ඇති විට යම් හෙයකින් එකක් වැටුණු කළ අනෙකද වැටෙන්නා සේ නාමය බිඳී ගිය කල්හි රූපයද බිඳී යයි. යම් විටෙක රූපය බිඳි යන කළ ප්‍රත්‍යය නොමැතිව නාමයද බිඳී යයි. සැම විටෙකම ඔවුනොවුන් ප්‍රත්‍ය කොට පවතී. රූපයට දැඩි ලෙස හානි පැමිණි විට තවදුරටත් නාමධර්මයන්ට ඒ කය ඇසුරු කොට පැවතීමට රූපයේ උපකාරයක් නැති වේ. එවිට නාමධර්මය හෙවත් ප්‍රධාන වශයෙන්ම විඤ්ඤාණය එයින් ඉවත් වේ. එවිට සත්ත්වයා මිය ගියේයැයි කියනු ලැබේ. නාමධර්මයන්ගේ උපකාරයකින් තොරව රූපයේ පැවැත්මක් නොවේ. විඤ්ඤාණය ශරීරයෙන් ඉවත් වූ කළ ශරීරයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. එහි එතැන් සිට වැඩීමක් නොවේ. මොහොතින් මොහොත අභාවයටම පැමිණේ.

නාම ධර්ම

මානසික පැවැත්ම හෙවත් නාමධර්මයන්ද රූපයට මහත් බලපෑමක් සිදු කරයි. ද්වේෂය, කෝපය වැනි මානසික ධර්ම සිත තුළ පවත්නා අවධියෙහි රූපය අතිශයින් ම පීඩාවට පත් වේ. අධික ද්වේෂය හේතුවෙන් පුද්ගලයෝ සියදිවි හානි කරගැනීමට පවා පෙලඹෙති. නාමධර්මයන් මෙසේ මහත් බලවත් බව දත යුතුය. සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය යම් විටෙක දුබල වී නම් නාමධර්මයද බලවත් නොවේ. ශරීරයේ යම් රෝගයන් හටගැනීමෙන් මානසික ස්වභාවයද වෙනස් වේ. ඇතැම් විට ශරීරයට අයෝග්‍ය ආහාර අනුභවයෙන් ශරීරයේ නීරෝගි භාවය වෙනස් වේ. එනම් සතර මහා ධාතු සමව නොපවතී. එවන් අවස්ථාවන්හි මානසිකව ශක්තිමත්ව කටයුතු කිරීමට අපහසු වේ. ථීනමිද්ධාදි අකුසල චෛතසික ධර්මයන්ගෙන් සිත මැඬපවත්වයි. භාවනා කර්මස්ථානයන් වඩන යෝගාවචරයන්ට සැමවිටම ශරීරයට ප්‍රත්‍යය වූ ආහාර අනුභවයට උපදෙස් දෙනු ලබයි. එයට හේතුව කායිකව දුබල වූ කල්හි සිත වැඩීමට එයින් බාධා පැමිණේ. ඇතැම් විට ධ්‍යාන උපදවා සිටි අය පවා ශරීරයේ පවත්නා රෝගාබාධ හේතු කොටගෙන එයින් පිරිහී ඇත. සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ ගෝධික සූත්‍රය මේ සඳහා නිදසුන් සපයයි. ගෝධික තෙරුන් කිහිප විටෙකදීම ධ්‍යාන උපදවාගත් නමුදු ශරීරයේ පවත්නා රෝග හේතුවෙන් එයින් පිරිහුණු බව දක්වා ඇත. පසුව ධ්‍යානය ඇති අවස්ථාවේ සියදිවි හානි කරගැනීමට ගොස් එයින් හටගත් වේදනාව අරමුණු කොට රහත් වූ බව දැක්වේ. මේ අනුව නාම ධර්මයන්ගේ ශක්තිමත් පැවැත්ම සඳහා පඤ්චවෝකාර භවයන්හි රූපයේ උපනිඃශ්‍රයද පැවැතිය යුතු බව තේරුම්ගත යුතුය.

විදර්ශනා ඥානය

අරූප ලෝකයන්හි රූපයේ උපනිශ්‍රයක් නැති හෙයින් සිත රූපයෙන් තොරව පවතී. එහි විද්‍යමාන වන්නේ නාම ධර්මයන් පමණි. මනුෂ්‍ය ලෝකයන් තුළ ජීවත් වන මිනිසුන් නිරන්තරයෙන් ම කායික පැවැත්මක් දක්නා හෙයින් ඔවුන්ගේ චින්තනය සකස් වී පවත්නේ රූපය 'මම' වශයෙන් ගැනීමෙනි. රූපයෙන් තොරව පවත්නා ජීවිතයක් පිළිබඳ ඇතමුන්ට තේරුම් ගත නොහැකිය. රූපයෙන් තොරව නාම ධර්මයන් පමණක් පවතින්නේ කෙසේද යන ගැටලුව මතු කරයි. මෙහි දී තේරුම්ගත යුතු කරුණ නම් අප අපගේ ජීවිතය මේ ආකාරයෙන් යුක්තයැයි ප්‍රපඤ්ච ගොඩනඟා සිටියද එහි යථාර්ථවත් පැවැත්ම නම් නාමරූප පමණි. එහි සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැත. වටහාගැනීමට අපහසු කරුණ නිත්‍ය වශයෙන් පවත්නා සත්ත්වයකු හෝ පුද්ගලයකු නොපවත්නා බවය. මේ සඳහා කළ යුතු වැදගත්ම කරුණ නම් විදර්ශනා ඥානයකින් යුක්තව පවත්නා ස්වභාවය නුවණින් දැකීමට කර්මස්ථාන උපයෝගි කොටගෙන උත්සාහ කිරීමය. නාම-රූප පැවැත්ම කිසියම් දෙවියකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් ඔවුන්ගේ බලයකින් සිදු කරන ලද්දක් නොව, හේතු ප්‍රත්‍යයන්ගේ උපකාරයකින් පවතින්නකි. සසර පුරා කර්ම, විඥාන ආදියෙහි උපකාරයෙන් මේ ධර්ම දිගින් දිගට පවතී. යම් හෙයකින් නාම-රූපයන්ගේ හටගැනීමට උපකාරි වන හේතු නිරුද්ධ කළේ නම් නැවත නැවත නාම-රූපයන් කිසිදු භවයක පහළ නොවේ. එයට හේතු නම් ඒ ධර්ම හටගැනීමේ හේතු නිරුද්ධ කළ හෙයිනි. එවිට සත්ත්වයකු හෝ ජීවියකු කිසිදු භවයක් තුළ විද්‍යමාන නොවේ. භවය යන කරුණ විද්‍යමාන වන්නේ නාමරූපයන් පවත්නා හෙයිනි.

සත්ත්ව පුද්ගල ජීව ස්වභාවයන් විද්‍යමාන වන්නේ නාමරූපයන්ගේ පැවත්ම පවත්නා කළ පමණි. නාම-රූප නිරෝධයෙන් ජීවිත පැවැත්මද නිරුද්ධ වේ. දීර්ඝ කාලයක් පුරා සත්ත්ව පුද්ගල යන ස්වභාවයක් පවතී යන චින්තනයෙන් යුක්තව කටයුතු කළ පුද්ගල තෙමේ පවත්නේ නාම රූපයක් පමණි යන කරුණ පිළිගැනීමට මැළිකමක් දක්වයි. අවිද්‍යාවෙන් යුක්තව පිළිගන්නා මේ කරුණ හේතුවෙන් පවත්නා දෘෂ්ටිය දුරු කිරීම අතිශයින් දුෂ්කරය.

පූර්ව කර්ම

කරුණු මෙසේ හෙයින් විවිධ පර්යායන් උපනිඃශ්‍රය කොටගෙන මේ කරුණ තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගත්තේ නාම-රූපයක් පමණි යන්න නුවණින්ම දත යුතුය. එහෙත් එවන් අවස්ථා තුළ මේ මොහොතේ ජීවත් වන්නේ කවුරුන්ද යන ගැටලූව පැන නගී. එය නාම-රූපයක් වශයෙන් පමණක් දැකීමට උත්සහ ගත යුතුය. පූර්වකර්ම ප්‍රත්‍යයෙන් හටගත් නාමරූපයන් බොහෝ විට එයට අනුරූපී හේතු පවත්නා තාක් පමණක් පමණි. තමා කෙතරම් උත්සහ කළද ඇතැම් විට පවත්නා ස්වභාවයන් වෙනස් කිරීමට අපහසු වේ.

කොතරම් දුක් වින්දද ජීවිතය පිළිබඳ නුවණින් කලකිරීමට පත් නොවේ. නැවත කවරදා නමුදු සැපයක් ලැබේය යන අදහසින් යුක්තව කටයුතු කරයි. එහෙත් මෙහි යථා ස්වභාවය නම් සසරේ ඒ ඒ භවයන් තුළ පහළ වූ නාම-රූපයන් ඒ ඒ භවයන් තුළම නිරුද්ධ වී ඇත.

පටිච්චසමුප්පාදය

පූර්ව භවයෙන් කිසිවක් මේ ජීවිතයට පැමිණ නැත. පරම්පරා වශයෙන් පවත්නා නාම-රූප පමණක් පවතී. ඒවාද මේ භවයට පූර්වයෙන් පැමිණි දෙයක් නොව, පූර්වකර්මයන්ට අනුව මේ භවයෙහිම පහළ වූ ධර්මයි. පටිච්චසමුප්පාදය විමසීමෙන් මේ පාදය දැකිය යුතුය යන්නෙන් දක්වා ඇත්තේ මේ කරුණ පාදක කොටගෙනය. නාම-රූපයන්ගේ යථා ස්වභාවය දැන ඒ සඳහා ප්‍රත්‍ය වන කරුණු මනාව අවබෝධ කොට ජීවිතයේ යථා පැවැත්ම මේ කරුණු පාදක කොට පවත්නා අකාරය නුවණින් දැක නැවත කිසිදු භවයක නාම-රූප පහළ නොවන ආකාරයට සන්තානය හසුරුවාගැනීමට උත්සාහ ගත යුතුය.

ලබන සතියේ... නාමරූප පච්චයා සළායතනං

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

Comments