කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද? | Page 2 | සිළුමිණ

කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද?

සමස්ත ආපදා තත්ත්වයන් හේතුවෙන් බරපතළම හානිය සිදු වූයේ මේ රටේ කෘෂිකර්මාන්තයටය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් 35%කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් වගා කිරීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයට අදාළව සලකා බැලීමේ දී එය සැලකෙන්නේ පසුගිය වසර 30ක කාලසීමාව තුළ දක්නට ලැබුණු අඩුම වගා ප්‍රතිශතය ලෙසය. ඊට අමතරව පසුගිය මහ කන්නයේ (2016 සැප්තැම්බර් මස හා 2017 මාර්තු මස) හෙක්ටයාර් දහස් ගණනක වගා විනාශයක්ද සිදු වී තිබේ.

‘‘අද කියන්නත් ලැජ්ජයි නායකයා බිහි වුණේ රජරටින්, හැබැයි බත් කන්නේ පිටරටින් ගෙනල්ලා” මේ ප්‍රකාශය කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ කියන විට නෑකමින් ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාද කියන්නේ එවැනිම කතාවකි. ඔහු එහි දී පවසන්නේ ඔවුන් උත්සාහ කළේ පරාක්‍රමබාහු යුගයක් හදන්නට වුවත් අද කියන්නේ හාල් පිටරටින් ගෙන්වනවා යනුවෙන්ය. නාමල් හා බැසිල් යන රාජපක්ෂවරුන් එසේ කියන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ තම පාලන යුගයේ හාල් පිටරටින් ගෙන්වීම නැවැත්තුවත් අද වන විට හාල් පිටරටින් ගෙන්වන යුගයක් ඇති වී තිබෙන බවයි. ඒ අනුව මේ රට දශකයක කාලයක් පාලනය කළ මුළු රාජපක්ෂ පවුලම එකම හඬින් කියන්නේ එකම කථාවකි. එනම් තමන්ගේ පාලන සමයේ දී මේ රට සහලින් ස්වයංපෝෂිත කළත් අද වන විට හාල් පිටරටින් ගෙන්වන තරමටම රට ඇද-වැටී ඇති බවයි.

බැලූ බැල්මට මේ කථාවේ එක් ඇත්තක්ද තිබේ. එමෙන්ම ඒ තත්ත්වය රටටද රහසක් නොවේ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් විදේශයෙන් ආනයනය කිරීම සඳහා ආණ්ඩුව තීරණය කිරීම තුළ ඒ බව පැහැදිලිය. ඒ අනුව දැන් අප සලකා බැලිය යුත්තේ අප රටට අදාළව එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයිද යන්නය. නාමල්, බැසිල් වැනි රාජපක්ෂවරුන් පමණක් නොව, මේ රට දෙවරක් පාලනය කර ඇති මහින්ද රාජපක්ෂ මහතා කියන කාරණයේද ඇත්තක් තිබේද යන්නද ඒ සමඟම විමසා බැලිම ඉතා වැදගත්ය.

එහිදි ප්‍රථමයෙන්ම සලකා බැලිය යුත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට අදාළ මෑත කාලීන ප්‍රවණතාවයි. මහින්ද රාජපක්ෂ මහතා මේ රට පාලනය කළ 2012 -2013 කාලසීමාවේ මහ කන්නයට අදාළව සලකා බැලීමේ දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2, 846, 000 වී ඇති අතර, එය යල කන්නයට අදාළව සැලකිමේ දී සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1, 774, 000ක් වී ඇතත්, ඔහුගේ ස්වර්ණමය කාලය විය යුතු 2014 වසරේ දී මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2, 235, 000 දක්වා පහළ වැටී ඇති තිබේ. ඒ වසරේ යල කන්නයේ දී වී නිෂ්පාදනය 1, 145, 000 දක්වා පෙර වසරවලට සාපේක්ෂව පහළ අගයක් ගෙන ඇත. එය රාජපක්ෂවරුන් සඳහන් කරන අන්දමට ඔවුන්ගේ පාලන සමයේ ස්වර්ණමය යුගයට අදාළව දැකගත හැකි තත්ත්වයයි.

ඒ සමගම අප විමසා බැලිය යුත්තේ රාජපක්ෂ පාලන යුගයට අයත් මැදි හා අවසාන කාලයට අදාළව මේ රටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය කොතරම් විය හැකිද යන්නය, එය 2009 වසරට අදාළව සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව විදේශ රටවලින් ගෙන්වා ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 66, 477 පමණ වන විට ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් දශ ලක්ෂ 3202කි. මේ ප්‍රමාණය 2010 වසර වන විට තවදුරටත් වර්ධනය වී ඇති අතර, ඒ වසරේ ශ්‍රී ලංකාවට විදේශයෙන් ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14, 373ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා වැය කර ඇති පිරිවැයද රුපියල් දශ ලක්ෂ 7151ක් දක්වා වර්ධනය වී තිබේ. මේ තත්ත්වය තුළ දැකගත හැකි විශේෂම ලක්ෂණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ රට යුග දෙකක් පාලනය කිරිමෙන් පසු නැවත තුන්වන වරටත් ජනවරමක් ඉල්ලා සිටි 2015 වසරට පෙර වසර සැලකිය යුත්තේ මෑත ඉතිහාසයට සාපේක්ෂව සහල් ආනයනයේ ඉහළම අගයක් වාර්තා වූ වසර ලෙසටය. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ 2014 වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 606, 604කි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් දශ ලක්ෂ 36, 950කි.

පිට රටින් හාල් ගෙන්වීම නවත්වන ලදැයි කියන්නේ එමෙන්ම මේ රටේ ගොවියාගේ සහල් පිටරටට යවන යුගයක් උදා කළ බවට අද මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ පෙර කී යුගය ගැන විය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා ඇත්තේ පන්සලක සිටය. එනම් ඇඹිලිපිටිය, කොළොන්න, කළුගල ශ්‍රී හේමගිරි විහාරස්ථානයේ පැවැති අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක දී ය. සාමාන්‍යයෙන් මේ රටේ සාමාන්‍ය නුගත් ගැමියකු පවා කිසිවිටෙක බොරුවක් නොකියන පන්සලක සිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ පිටරටින් සහල් ගෙන්වමින් තම ස්වර්ණමය යුගය ආපස්සට හරවා ඇති බවය. ඒ පිළිබඳ තමන් බලවත් ලෙස කණගාටු වන බව ද මහින්ද රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් කියා ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

අද වන විට රට තුළ මතුව ඇති අවශ්‍යතා අනුව සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් පිටරටින් ගෙන්වීම සඳහා බලපෑ හේතු සාධකද මෙහි දී විමසා බැලීම ඉතා වැදගත්ය. එමෙන්ම ඒ පිළිබඳව රටේ රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද වර්තමාන ආණ්ඩුවේ තවත් බොහෝ දෙනෙක්ද විවෘතවම කරුණු දක්වා තිබීමද විශේෂත්වයකි. ඒ තුළ දැකගත හැකි වැදගත්ම ලක්ෂණය වන්නේ මතුව ඇති අභියෝගය පිළිබඳව විවෘතවම කරුණු දැක්වීමය. එහි දී මහජනතාවගෙන් කිසිවක්ම නොසැඟවීමය. දේශපාලනය හෝ වෙනත් වාසියක් සඳහා අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමයද සැලකිල්ලට ගනිමින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආහාර අවශ්‍යතා නොපිරිහෙළා සපුරාලීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් මේ වන විට රට තුළ මතුව ඇති සහල් හිඟයට පිළියමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරීමට ගෙන ඇති තීරණයද එවැන්නකි.

දැන් අප සලකා බැලිය යුතු වන්නේ මේ වන විට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක හිඟයක් නිර්මාණය වීමට තුඩු දුන් හේතු සාධක මොනවාද යන්නය. ගෙවී-ගිය වසර සලකා බැලීමේ දී ඒ සඳහා වන බලපෑම දෙයාකාරයකින් තීව්‍ර වී ඇති ආකාරයක් දැකගත හැකිය. එක් අතකින් ගංවතුර හා ජලගැලීම් වන විට අනෙක් පසින් ඊට සපුරාම විරුද්ධ කාලගුණික හා දේශගුණික තත්ත්වයක් වන නියඟයද දැවැන්ත බලපෑමක් රටට සිදු කර තිබේ. පසුගිය වසර 30ක කාලයකට සාපේක්ෂව ශ්‍රී ලංකාවට බලපෑ විශාලතම ජලගැලීම ඒ තුළ වාර්තා වී ඇති අතර රටේ බොහෝ පළාත් වෙලාගෙන පැවැති නියඟය සැලකෙන්නේ 2001 වසරෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම නියං තත්ත්වය ලෙසටය.

මෙකී ආපදා තත්ත්වයන් සලකා බැලීමේ දී ගංවතුර හා නායයෑම් වැනි තත්ත්වයන් තුළ මේ වසරට අදාළව පුද්ගලයන් 250ක ට අධික සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී හයලක්ෂයකට අධික ප්‍රමාණයක් තාවකාලික ලෙස අවතැන්ව සිට ඇති අතර ඊට ප්‍රතිපක්ෂව බලපෑ නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 17කට බලපෑම් එල්ල විය. ඒ අනුව නියඟය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස දසලක්ෂයකටත් වඩා අධික විය. මෙම සමස්ත ආපදා තත්ත්වයන් හේතුවෙන් බරපතළම හානිය සිදු වූයේ මේ රටේ කෘෂිකර්මාන්තයටය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් 35%කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් වගා කිරීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයට අදාළව සලකා බැලීමේ දී එය සැලකෙන්නේ පසුගිය වසර 30ක කාලසීමාව තුළ දක්නට ලැබුණ අඩුම වගා ප්‍රතිශතය ලෙසය. ඊට අමතරව පසුගිය මහ කන්නයේ (2016 සැප්තැම්බර් මස හා 2017 මාර්තු මස) හෙක්ටයාර් දහස් ගණනක වගා විනාශයක්ද සිදුවී තිබේ. මෙකී තත්ත්වය තුළ ලෝක ආහාර වැඩසටහන පුරෝකථනය කර තිබුණේ 2017 වසරේ දී රටේ සමස්ත සහල් අස්වැන්න 63%කින් පහළ වැටෙනු ඇති බවය.

මෙවන් පරිසරයක් තුළ මේ රටේ ආහාර අවශ්‍යතාවන් සලකා බැලීමේ දී සහල් හිඟයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය. ඒ සමගම තේරුම්ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙවැනි තත්ත්වයක දී රට තුළ අහිතකර බලපෑමකට ලක් වන එකම බෝගය වී පමණක්ම නොවන බවය. අනෙකුත් බෝග වගාවන් සඳහා වෙන් වන ඉඩම්වලින්ද පසුගිය වසර තුළ වගා කර ඇත්තේ 44%ක ප්‍රමාණයක්යැයි තහවුරු වී තිබීම තුළ සමස්තයක් වශයෙන් රටේ ආහාර නිෂ්පාදනය කෙරෙහි පසුගිය කාල සීමාව තුළ ඇති වූ නියඟය මෙන්ම ගංවතුර තත්ත්වයක්ද ඇති කර ඇත්තේ අති දැවැන්ත බලපෑමකි. දැන් ප්‍රශ්නය වන්නේ මෙවැනි තත්ත්වයක් තුළ මතු වී ඇති ගැටලුවට මුහුණ දීම සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. 2017 ඔක්තෝබර් 05 වන දින දියත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඒ සඳහා වන ප්‍රමුඛ වෑයමක් ලෙස සැලකිය හැකිය.

මතු වන අභියෝගයන්ට අප රටක් ලෙස මුහුණ දිය යුත්තේ ඒ ආකාරයටය. එක් අතකින් පසුබෑමට ලක් වූ ගොවිතැන ඇතුළු රටේ ආහාර අවශ්‍යතා සපුරාලන සියලු බෝග වගා දිරිමත් කරමින් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමද ඒ සමගම රටේ මහජනතාවගේ ආහාර අවශ්‍යතාද සහතික කරමින් පවත්නා තත්ත්වයද සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීමට පියවර ගැනීම ඒ අනුව සැලකිය යුතුවන්නේ යථාර්ථයට මුහුණ දීමක් ලෙස මිස, පසුබෑමක් ලෙස නොවේ. මේ රට පිළිබඳව වගකීමක් ඇති කිසිවකු හෝ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් හෝ ඒවාට නායකත්වය දෙන නායකයන් එවැනි පියවර අවතක්සේරු නොකළ යුතුය. එහෙත් අවාසනාවකට අප රටට අදාළව සැලකීමේ දී එවැනි වගකිව යුතු දේශපාලන නායකයන් කොහොමටත් දුර්ලභය. නාමල්, බැසිල් යන රාජපක්ෂවරුන් පමණක් නොව, මේ රටට දෙවරක් නායකත්වය දී ඇති හිටපු රාජ්‍ය නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ හැසිරීම හා ප්‍රකාශයන්ගෙන්ද පැහැදිලි වන්නේ ඒ තත්ත්වයයි.

එහෙත් මේ රටේ ජනතාව තේරුම්ගත යුතු - විශේෂයෙන්ම රාජපක්ෂවරුන් විසින් රටට පැහැදිලි කර දිය යුතු වැදගත්ම කාරණයක්ද තිබේ. සාමාන්‍යයෙන් රාජපක්ෂවරුන් නිරතුරුවම රටට ප්‍රදර්ශනය කරන එමෙන්ම පුනපුනා ප්‍රකාශ කරන කාරණයක් වන්නේ රාජපක්ෂවරුන් හා ග්‍රාමීය කෘෂිකාර්මික සංස්කෘතිය හා මනා පෑහීමක් ඇති බවයි. ඔවුන් තම පරපුරේ අනන්‍යතාව විදහා දැක්වීම සඳහා කුරහන් මලක පැහැය ගත් සාටකයක් පලඳින්නේ ඒ නිසායැයි කියැවේ. එහෙත් මේ කුරහන් සාටකධාරී රාජපක්ෂවරුන් තම පාලන කාලය තුළ ස්වයංපෝෂිත කරන ලද වී වගාව පිළිබඳවද අද ඔවුන් කියන ආකාරයට ඒ කාලයේ පිටරටට පටවා ඇති සහල් ප්‍රමාණය කොපමණක්ද යන්න රටට පැහැදිලි කිරීම ඉතා වැදගත්ය. අඩුම වශයෙන් තම පාලන කාලය තුළ ආනයනය කළ සහල් ප්‍රමාණය හා ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද යන්න පැහැදිලි කරදීම මගින් එම වැදගත්කම තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.

ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා තම බාප්පාගෙන් මෙන්ම තාත්තාගෙන්ද විමසා දැනගත යුතු වැදගත් කාරණයක්ද තිබේ. එනම්: ඔවුන් විසින් තමන්ගේ කරට දමා ඇති කුරහන් සාටකයට හෝ සාධාරණයක් ඉටු කිරීම සඳහා තම තාත්තාගේ පාලන කාලය තුළ අවම වශයෙන් මේ රටේ කුරහන් අවශ්‍යතාව හෝ සම්පූර්ණ කර තිබුණේද යන්න අසා දැනගැනීමය. රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ ස්වර්ණමය යුගය විය යුතු 2009 සිට 2014 දක්වා කාලය තුළ මේ රටට ආනයනය කර ඇති කුරක්කන් ප්‍රමාණය හා ඒ සඳහා වැය කර ඇති මුදල පැහැදිලි කරගැනීම තුළ ඒ බව හොඳින් තේරුම්ගත හැකිය. රාජපක්ෂ පාලනය තුළ 2009 වසරේ දී පමණක් ආනයනය කර ඇති කුරක්කන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3272ක් වන විට, ඒ සඳහා වැය කර ඇති මුදල රු. දසලක්ෂ 92.67ක් වේ. 2014 වසරේ දී ඒ ආකාරයට ආනයනය කර ඇති කුරක්කන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1281 කි. වැය කර ඇති මුදල රු. දසලක්ෂ 46.18කි. ඒ අනුව පෙනී යන්නේ රාජපක්ෂවරුන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා අද දවසේ කුමන අවලාද නගමින් සිටියද ඔවුහු කුරහන් සාටකයට හෝ සාධාරණත්වයක් ඉටු කර ඇති පිරිසක් නොවන බවයි.

 සුනිල් ජයසේකර

Comments