සුගතදාස පිටියේ අලුත්වැඩියාව තවත් සෙප්පඩ විජ්ජාවක් නොවේවා! | සිළුමිණ

සුගතදාස පිටියේ අලුත්වැඩියාව තවත් සෙප්පඩ විජ්ජාවක් නොවේවා!

 ශ්‍රී ලංකාවේ පැවැති පළමු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට 2012 දී නවීකරණ කරන ලද සුගතදාස ක්‍රීඩාංගණයේ නව ධාවන පථය එම වසරේ අගෝස්තු මාසයේ පටන්ම ලෙඩ දෙන්නට පටන් ගත් අතර, එතෙක් මෙතෙක් ආවගිය ක්‍රීඩා අමාත්‍යවරු ඉදිකිරීම් කළ සමාගමට එරෙහිව කටයුතු කරන බව පැවැසුවද එකී ප්‍රකාශ අදටත් ප්‍රකාශවලට ම සීමාවී තිබේ. ලාංකේය මලල ක්‍රීඩාවේ ප්‍රධානතම මර්මස්ථානය වූ සුගතදාස ක්‍රීඩාංගණය මේ නිසාම වසර ගණනාවක් නිසි ආකාරයට ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවීම නිසා එක් අතකින් ලාංකේය මලල ක්‍රීඩාවට කණකොකා ඇඬූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගවලදී අන්ත අසරණ තත්ත්වයට පත්වූහ.

ලාංකේය ක්‍රීඩාව ගත්ත ද අද අපට වෙන්ව හෝ සමාජ යථාර්ථයෙන් බැහැරව කතා කළ හැකි තැනක නැත. නිදහසින් පසු ගෙවී ගියාවූ දශක හයක පමණ ඉතිහාසය පුරාම අපි දියුණුවෙමින් පවතින සමාජ යාන්ත්‍රණයක උරුමකරුවෝ වෙමු. එනම් ගෙවී ගියා වූ දශක හයක පමණ කාලය තුළම අප රටක් වශයෙන් ගත් කළ එක තැන පල් වෙමින් හෝ අවගමනය වෙමින් පවතී. මෙවන් සමාජයක පුද්ගලයා කටුක සහ මානසික පීඩාකාරි තත්ත්වයට නිරන්තරයෙන්ම ගොදුරුවීම බැහැර කළ නොහැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ සමාජයේම කොටස්කරුවන් නිසා ඔවුන්ට ද මේ ගැටලුවලින් පලා යා නොහැකිය. මෙවැනි විඩාබර සමාජයට සම්භාව්‍ය සාහිත්‍ය, කලාව පමණක් නොව ක්‍රීඩාව ද ඇලජික්වීම පුදුමයක් නොවේ.

අපේ රට ගත්ත ද තවමත් දියුණු වෙමින් පවතින ලේබලය යටතේ පවතින අතර ක්‍රීඩාව ද අදටත් ඇත්තේ කොහෙටවත් නැති තැනකය. ක්‍රිකට් තරග දිනවීමට සංගලා, මුරලිලා, මහේලලා, ඩිල්ෂාන්ලා, වාස්ලා ඇවැසි තැනක අපි තවමත් අඳුරේ අතපත ගාන්නෙමු. ගවස්කාර්ලා, කපිල් දේව්ලා යන කල ඉන්දියාව සචින්ලා, කුම්බ්ලේලා අද වන විට කෝලිලා, දෝනිලා වැනි ක්‍රීඩකයන් බිහිකර ගැනීමට සමත්ව තිබේ. අපට කොහේ හෝ ලොකුවට ම වැරැදී ඇති බව නම් පැහැදිලිය. එකී වරද නිවැරැදි කරගන්න තාක්කල් ගොඩඒමක් නම් නැත.

ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයට මේ වසරට වසර 120 කි. එය 1897 අරඹා තිබේ. රුසියාව සහ චීනය 1924, ජපානය 1925, මහා බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය 1932 දී මලල ක්‍රීඩා සංගම් පිහිටුවා තිබෙන අතර මෙකී රටවල් සහ අප අතර පරතරය මැනීමට අටුවා ටීකා ඇවැසි නැත. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දුවන්නට, පනින්නට තබා හැරෙන්නටවත් ක්‍රීඩා පිටියක් නැති කල අපට වැරැදී ඇති තැන පැහැදිලිය.

2012 දී රුපියල් මිලියන 113 කින් අලුත්වැඩියා කරන සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය වසර පහක් ගෙවෙන්නටත් මත්තෙන් තවත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 250 ක වියදමකින් අලුත්වැඩියා කිරීමට සිදුවීම ලාංකේය ක්‍රීඩාවේම කරුමය මිස වෙනකක් නොවේ.

Comments