සුදු කුමරියට හමු වූ කළු කුමාරයා | සිළුමිණ

සුදු කුමරියට හමු වූ කළු කුමාරයා

මඩුවන්වෙල රටේ මහතාගේ සොහොන් කොත

මෙතෙක් කතාව...

මඩුවන්වෙල කෝරළේගේ ඇවෑමෙන් දේපළවල අයිතිය පැවරුණේ මොලමුරේ පරපුරටය. 1521 සිට පැවතෙන බව විශ්වාස කෙරෙන මඩුවන්වෙල පරපුරට නින්දගම් තුනක් ඇතුළු විශාල ඉඩකඩම් ප්‍රමාණයක් සහ උළු සෙවිල්ලූ වලව්වක් වෙනුවෙන් තඹ උළු කැටයක්ද හිමි වන්නේ 1700න් පසු කාලයේය. එහි ගිය අපට හදිසියේ මුණගැසුණු කලවානේ කුමාරිහාමිගේ පුනරුත්පත්තිය බව කියන කාන්තාව කීවේ ‘කරලිනා හාමි’ නම් වලව්වේ වැඩ කළ කාන්තාවකගේ ආත්මය මඩුවන්වෙල දිසාවේ උපන්කාමරයේදී අදටත් සමහරුන් ඉදිරියේ පෙනී සිටින බවය. මඩුවන්වෙල කෝර‍ළේ, හොඳින් ඉංග්‍රීසි බස හසුරුවමින් සුද්දන් මට්ටු කළ අයකු ලෙස ප්‍රකටය. එහෙත් ඇතැම් අහිංසක ගැමියන්ගේ තර්ක ඉදිරියේ නිරුත්තර වන මඩුවන්වෙල කෝරළේ ඒ ගැමියන් දඬුවම්වලින් පවා නිදහස් කරයි.

මඩුවන්වෙලගේ පාදවල ශල්‍යකර්මයක් සඳහා වෛද්‍ය ආර්.එල් ස්පිට්ල් වලව්වට කැඳවීය. දෙදෙනා පිළිබඳ දෙදෙනාම දැන සිටියද දැක නොතිබූ බැවින් එය දෙදෙනාටම මහත් සතුට ගෙනෙන හමුවීමක් විය.

අන්දරේ කෙනෙක් වන් මඩුවන්වෙල වලව්වේ පුංචි කිරා කාගේත් සිත සුව සඳහා විහිළුවක් තහළුවක් කරමින් ගත කළේය. දිනක් මඩුවන්වෙල රටේ මහත්තයා වැදගත් සාකච්ඡාවක් කරමින් සිටියදී පුංචි කිරා මැදින් පැන කතා කළ වරදට කේන්ති ගොස් දඬුවම් දෙන රටේ මහත්තයා කුස්සි ආලින්දයේ යට ලීයේ කිරා එල්ලන ලෙස නියෝග කරයි. සාකච්ඡාවෙන් පසුව ඒ අසලින් යන රටේ රාළ, පුංචි කිරාගෙන් අසන්නේ “දැන් සතුටුද?” කියාය.

“මං උඩ, හාන්දුරුවෝ බිම, කොච්චර සතුටු වෙන්න ඕනැද ඉතිං” කිරා පිළිතුරු දුන්නේය.

මුව පිපිරෙන්නට තරම් ආ සිනාව මැඩගත් මඩුවන්වෙල රටේ රාළ “ඕකා බිමට බාපල්ලා” යැයි නියෝග කර වහා එතැනින් පිටවීය.

මඩුවන්වෙලට කළු කුමාරයා යැයි නම වැටුණේ ජර්මන් රජ කුමර කුමරියන් හා සිදු වුණු බහින් බස් වීමක ප්‍රතිඵලයක් ලෙස යැයි ඔහු පිළිබඳ ලියැවුණු බොහෝ පොතපතෙහිද සඳහන් වේ. ඒ මෙසේය.

රක්වානේ සිට රත්නපුරයට හදිසි රාජකාරී කටයුත්තක් සඳහා අශ්ව කෝච්චියෙන් පිටත් වුණු මඩුවන්වෙල පැල්මඩුල්ල තානායම අසලදී විවේක ගැනීමට නතර කළේය. එවිට තානායම් අයිතිකරු පැවසුවේ රත්නපුර ඒජන්තවරයාගේ ආගන්තුකයන් වූ ජර්මන් ජාතිකයන් තිදෙනකු සඳහා ඒ අසුන් අවශ්‍ය බැවින් කෝච්චියේ සිටින අය බැස ඔවුන්ට ඉඩ දිය යුතු බවයි. දෙදෙනෙක් ඉන් බට අතර සිය සේවකයාද බැසීමට තනද්දී මඩුවන්වෙල හඬ නඟා කීවේ තමන් රක්වානේ සිට රත්නපුරට රථය වෙන් කර ගත්තේ මුදල් කලින් ගෙවා බැවින් කෝච්චියෙන් බැසිය නොහැකි බවයි. එය තේරුම්ගත් ජර්මන් ජාතිකයෙක් සැර කරමින් කීවේ “අපි ඒජන්තවරයාගේ නෑදෑයෝ. මේ ඉන්නේ රජ පවුලේ කුමරියක්. ඒ නිසා බැහැලා කුමරියට ඉඩ දෙනවා හොඳයි.” කියාය.

මඩුවන්වෙලට එය ඉහිළුම් නැතිව ගියේය. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නායකයකු වූ ඔහු සුද්දාට ඉංග්‍රීසියෙන් නීතිය ඉගැන්නුවේය.

“ලොකු කම් කීවට නීතිය කාටත් එකයි. අපි වෙන් කරගත් කෝච්චියේ බලෙන් යන එකද රජ පවුලේ කුමරියගේ නීතිය? ඔයා සුදු රටේ කුමාරිය වෙන්න ඇති. ඒත් මේ රටේ ‘කළු කුමාරයා’ මමයි.”

මෙසේ කියා කලින් බැස ගත් මගීන් දෙදෙනාද නංවාගෙන මඩුවන්වෙල රටේ මහත්තයා සිය ගමන ගියේය. රාජකාරී නිම වී බටුගෙදර වලව්වේ උත්සවයකට සහභාගී වන ඔහු පුදුමයට පත් වන්නේ අර ජර්මන් කුමරිය බොහෝ සාදරයෙන් ‘ලංකාවේ කළු කුමාරයා’ නමින්ම ඔහු පිළිගත් බැවිනි. ඒ අතර නීතියට පිටුපෑම වෙනුවෙන් මහදිසාවේ මඩුවන්වෙලගෙන් සමාව ඉල්ලූ බවට ගැමියන් අතර කටකතාවක් ද තිබේ.

මෙවැනි කතාවල සත්‍යාසත්‍යතාව තම-තම නැණ පමණින් දැන ගත යුතු අවස්ථාද ඇත. එයට හොඳම සාක්කිය වන්නේ සිරිපාද නායකත්වය තමන්ගේ කෝරළයට ලබා ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට ගිහියන් සිය ගණනින් සිවුරු පොරවා රැගෙන ගිය බවට ඇති රසකතාවය. එහෙත් නීත්‍යානුකූලව ලියාපදිංචි වූ සංඝයාවහන්සේ හැරුණු කොට චීවරයක් දැරූ පමණින් ඡන්දය හිමි වන පිළිවෙළක් එදා මෙන්ම අදත් සිරිපාද නායක හිමියන් පත්වන අවස්ථාවල ක්‍රියාත්මක නොවන බව අදාළ ලිපි ලේඛන සහිතව තහවුරු කිරීමට කුඩාකතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා සමත් විය. 1521 වසරේ මඩුවන්වෙල පරපුරේ ආරම්භයේ සිටම කළ ඇතැම් උපාය උපක්‍රම නිසා ගැමියන් මෙවැනි කතා ගොතා කීමද එක් අතකින් පුදුම විය යුතු කරුණක් නොවේ.

මෙවැනි බොහෝ සිදුවීම් නිසා රට පුරා ජනප්‍රියත්වයට පත් මඩුවන්වෙල කෝරළේ එය තම ව්‍යාපාර සඳහාද රුකුලක් කර ගත්තේය. නින්දගම්වල ඇති වටිනා දැව වර්ග, ගජමුතු, මැණික්, මිනිරන් මෙන්ම අලි ඇතුන් ද විකිණීම මඩුවන්වෙලගේ ව්‍යාපාර අතර ප්‍රධාන විය.

පනාමුරේ ඇත් ගාල 1889දී ඇරැඹු පසු මඩුවන්වෙලගේ නම මෙරට වැසියන් අතර පමණක් නොව විදේශිකයන් අතරද පතළ වන්නට විය. අලි වෙන්දේසිවලට මේ පිරිස් සහභාගී වීමද ඊට හේතුවකි. ඒ එන ඇතැම් ඉහළ පෙළේ ඇත්තන්ට නවාතැන් දීමට මෙන්ම තමන්ගේ තත්ත්වයට ගැළපෙන භෞතික වටපිටාවක් ඇති කිරීම ඔහුගේ ඊළඟ සිහිනය විය. මඩුවන්වෙල වලව්ව කාමර 121ක් ඇතුළු එකල පැවැති සියලු සැප පහසු අංගෝපාංගයන්ගෙන් සමන්විතව, මෝස්තර යොදා සරසා, අටපට්ටම් බංගලාව, අමුත්තන් පිළිගැනීමේ බුරුත මාලිගය, ඉදිරිපස වතුර මලක් සහිත පොකුණක් ආදි සියල්ල සමඟ වන සතුන්ගේ සිරියද එයට එක් කළ සුවිශේෂී ස්ථානයක් බවට පත් කිරීමට ඔහු සමත් විය. එහෙත් එය නැරඹීමේදී කුලය අනුව ඇතුළු වීමේ ක්‍රම වෙනස් වේ. ගල් උළුවස්ස අසලදී නම ඇසූ පමණින් පහත් යැයි සම්මත කුලවලට අයත් බව හඳුනා ගතහොත් පාසල් සිසුවියන් වුවද තම උඩුකය නිරාවරණය කර ඇතුළු විය යුතු බවට නීතිය දැඩිව පැවතිණි. තරුණ දැරිවියන් මෙයින් බොහෝ අපහසුතාවට ලක් වුවද වලව්වේ රැඳී සිටි ඇතැම් රදළයන් හට මෙය රසවත් දසුනක් බවට පත් විය.

මඩුවන්වෙලගේ මහන්තත්වකම තමන්ගේ වලව්වට පැමිණෙන්නන්ට පමණක් නොව මෙරටට පැමිණෙන විදෙස් බලවතුන්ට පෙන්වීමට ඔහු කටයුතු කළේය. ආදිපාදවරයා පැමිණීමේ උත්සවයේ පෙරහුරුවක් පැවැත්වීම සඳහා රත්නපුරයට පැමිණි සියලු ප්‍රභූන් ඒජන්තවරයාගේ උපදෙස් පරිදි ඒජන්තවරයා ඉදිරියේ ආචාර දැක්වීමේ පෙරහුරුව කළ යුතු විය. ජ්‍යෙෂ්ඨත්වය අනුව පළමුවෙන්ම සිටිය යුතු මඩුවන්වෙල රටේ රාළ අන් අයට අවස්ථාව දෙමින් පසු බසින අයුරු දුටු ඒජන්තවරයා කීවේ “ තවමත් බුහුමන් දක්වන ආකාරය තේරුණේ නැද්ද? ඔබ මුලින්ම පැමිණිය යුතු නිසා හොඳින් මෙය පුහුණු වන්න.” කියාය. එවිට මඩුවන්වෙලගේ පිළිතුර මෙසේ විය.

“මම මොකටද ඔබට ආචාර කරන්නේ. ආදිපාදවරයා ඔබ නොවෙයිනේ. එතුමා ආ විට මම හරියට කරන්නම්.” කියාය. ආදිපාදවරයා සත්‍ය වශයෙන්ම පැමිණි පසු සපරගමුව වෙනුවෙන් නිසි ලෙස ගෞරව කිරීම ඔහු අකුරටම ඉටු කළේය.

සොබා දහමේ රීතිය කාටත් එක සමානය. කෙතරම් ගරු ගම්භීර ලෙස කාලය ගත කළද සංසාර චක්‍රය වෙනස් කිරීමට මනුෂ්‍යයාට හෝ වෙනත් කිසිම සත්ත්වයකුට හැකියාව නැත. රජ කම්කළත් කළ කම් පල දෙනවා යැයි කතාවක් තිබෙන්නේ ඒ නිසා විය යුතුය. වියපත් වන්නට වන්නට බොහෝ දෙනකුගේ මෙන්ම මඩුවන්වෙල රටේ රාළගේද ආගමික නැඹුරුව මතු වන්නට විය. එයට හේතුව තම පරපුර විසින් ඉදිකළ මුදලින්දාරාමයේ වැඩ සිටි නායක හිමියන් මඩුවන්වෙලගේ අවශ්‍යතා අනුව කටයුතු නොකරන බැවින් විහාරස්ථානය අතහැර යෑමට කටයුතු සලස්වා කෑල්ලේ සුනන්ද හිමියන් එහි වැඩමවීමෙන් පසු මුදලින්දාරාමය හා වලව්ව අතර නැවුම් වූ සබඳතාවයයි. නව විහාරාධිපති හිමියන්ගේ උපදෙස් මත උන්වහන්සේගේ ගෝල හිමිනමක වූ කෑල්ලේ සාරානන්ද හිමියන් විහාරාධිපතීත්වයට පත් කිරීමත් සමඟ ප්‍රදේශය පුරා ඇති වූ ආගමික උද්දීපනය එය තවත් වැඩි දියුණු කළේය.

කලවානේ කුමාරිහාමිගේ සොයුරා වන කලවානේ රටේ මහතා ශීලවතී වලව්ව සම්පූර්ණ කර සිය පවුල සමඟ එහි නතර වූ බැවින් මඩුවන්වෙල වලව්වට නිතර ආ ගිය ගමන් අඩු විය. මේ අතර මඩුවන්වෙලගේ සොහොයුරාගේ පුතා වන ෆ්‍රැන්සිස් මොලමුරේ කුඩප්පච්චිගේ සුව දුක් බැලීමට පැමිණීම මුළු පවුලටම මහත් චිත්තප්‍රීතියක් ගෙන ඒමට හේතු විය. මෙහිදී මතක් කළ යුතු කරුණ වන්නේ තම මවගේ පළමු කසාදයේ වාසගම වන මඩුවන්වෙල නමින් පෙනී සිටියද ඔහුගේ උපන් කාලය හා මහ මඩුවන්වෙලගේ මරණය සැලකූ විට මඩුවන්වෙල රටේ රාළගේ ජීව විද්‍යාත්මක පියා වන්නේ මවගේ දෙවැනි ස්වාමියා වන මොලමුරේ බවය. මඩුවන්වෙලගේ මවගේ අභාවයෙන් පසු මොලමුරේ තවත් විවාහයක් කරගත් අතර ෆ්‍රැන්සිස් මොලමුරේ ඒ විවාහයෙන් ලද පුතකුගේ පුතෙකි. වයෝවෘද්ධ කුඩප්පච්චිගේ සිත දිනාගනිමින් වලව්වේ කටයුතු මෙන්ම නින්දගම්වල කටයුතු මැනෙවින් කරන ෆ්‍රැන්සිස් මොලමුරේ නිසා මඩුවන්වෙල සමඟම අභාවයට යමින් තිබූ වලව්වට නව පණක් ලැබුණා සේ විය. පාළුවට ගිය උද්‍යානය යළි මල් ඵල ගැන්විණි. සේවකයන්ගේ ඈලි මෑලි ගති තරමක් පහව කඩිසර ගතියක් පෙන්වීය. එහෙත් කලවානේ රටේ මහත්තයාගේ මුහුණේ අඳුරක් ගෙන එන්නට මෙය හේතු වූයේ අනාගතය පිළිබඳ අනුමානයක් හටගත් බැවිනි. කුඩප්පච්චිගේ සිත් දිනා ගන්නා අතරම දෙදෙනා එක්ව මද පමණින් මී විත තොලගෑමද පුරුද්දක් විය. රට බීම කාමරය යළිත් පණ ගැන්විණි. තමන් මහන්සි වී යළි ගොඩගත් වලව්ව මෙන්ම අනෙක් දේපොළ පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීම අවශ්‍ය බව මඩුවන්වෙලගේ සිතේ කාවද්දන්නට මේ ඥාති පුතා සමත් විය. ජීවිතයේ ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් යුතුව අසූවැනි වියට ළඟාවෙමින් සිටින මඩුවන්වෙල රටේ මහත්තයා සිය දේපොළ ප්‍රාණ භුක්තිය තබාගෙන කලවානේ රටේ රාළ හා ෆ්‍රැන්සිස් මොළමුරේ අතර සමව බෙදා දීමට තීරණය කළේය. මෙසේ සිටියදී දිනක් මොලමුරේ පුතණ්ඩිය, කුඩප්පච්චීට මධුවිත මද පමණට වඩා සප්පායම් වන අයුරින් කටයුතු යෙදුවේය.

පසුව ලිපි ලේඛන කීපයකට අස්සන් ලබාගත් පුත්‍රයා පසුදා වහා කොළඹ පිටත් විය. එහෙත් පෙර මෙන් නිතර දෙවේලේ වලව්වේ අඩුපාඩු සොයන්නට ඉන් පසු ඔහුු ආවේ නැත. දේශපාලන කටයුතු බහුල නිසා විය යුතු යැයි සිතුවද තමන් අස්සන් කළේ වලව්ව ඇතුළු වැඩි දේපොළ ප්‍රමාණයක් ෆ්‍රැන්සිස් මොලමුරේ වෙත පවරන ලියකියවිලිවලට බව වියපත් මඩුවන්වෙල දැන ගනිද්දී අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් හමාරය. මේ නිසා කලවානේ සොයුරාද තවතවත් වලව්වෙන් ඈත් විය. මඩුවන්වෙල රටේ රාළගේ දෙපා ඉදිමී රතු වන්නට වූයේ මේ අතරය. මුලින් වලව්වේ වෙද මහතාගෙන් බේත්-හේත් කළද තත්ත්වය දැඩි අතට පත්වද්දී තමන් විසින්ම පිහිටුවන ලද ගමේ ඉස්පිරිතාලේ වෛද්‍යවරයා ගෙන්වීමට ඔහු කටයුතු යොදා ගත්තේය. වේදනා නාශක හා ප්‍රතිජීවක ලබා දී රෝගය මර්දනය කළ වෛද්‍යවරයා, මඩුවන්වෙලගේ පාදවල හටගෙන ඇති ගෙඩි ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා වෛද්‍ය ආර්.එල් ස්පිට්ල් වලව්වට කැඳවීය. දෙදෙනා පිළිබඳ දෙදෙනාම දැන සිටියද දැක නොතිබූ බැවින් එය දෙදෙනාටම මහත් සතුට ගෙනෙන හමුවීමක් විය. කෙසේ වෙතත් අසූ හතර වැනි වියට එළැඹ සිටින රෝගියකු හට ශල්‍ය කර්මයක් කිරීම පිළිබඳ වෛද්‍ය ස්පිට්ල් තුළ සැකයක් හට ගත්තද මඩුවන්වෙල රටේ මහත්තයාට වගේ වගක් නොවීය. වලව්ව තුළදීම සිදු වූ මේ සැත්කම පිළිබඳ ගැමියන් අතර විවිධ මත තිබේ. සිරුරේ උස මහත මෙන් සිය දහස් ගුණයක් වූ හිතේ හයිය නිසාත් සුද්දන් පවා මට්ටු කර, නයිට් නාමයෙන් පිදුම් ලබන්නට තරම් හැකියාවන්ගෙන් පිරි නිසාත් මඩුවන්වෙල දිසාවේ ලෙස ගෞරව නාමයෙන් හැඳින්වූ ඔහු සිහි නැති කිරීමෙන් තොරව ශල්‍ය කර්මය කරන ලෙස වෛද්‍ය ස්පිට්ල්ට කීවේ ඒ අභිමානය සිත් හි දරාගෙනය. ඉල්ලීම පසෙක ලීමට නොහැකි නිසා ශල්‍ය කර්මය අමු අමුවේ සිදු කෙරිණි. මඩුවන්වෙල වලව්වට එන්නට තීරණය කළ දා පටන් රටේ මහත්තයාගේ සේවකයා වූ ජුවානිස් සැත්කම දරා සිටියේ කෙසේදැයි විමසූ විට මඩුවන්වෙල කීවේ “එහෙම නොකළා නම් මගේ තත්ත්වෙට මොකද වෙන්නෙ බොල?” කියාය.

දින සති ගෙවී යද්දී ලැබූ සුවය යළි අවරට යන්නට විය. 1930 සැප්තැම්බර් 6 වැනිදා සෙනසුරාදා හිරු උදා වූයේ කෙර මැණිකේගේත්, කලවානේ මැණිකේගේත්, ජුවානිස්ගේත් පමණක් නොව බොහෝ ප්‍රභූවරුන්ගේ හා නින්දගම් වැසියන්ගේ නෙත’ග කඳුළු රඳවන අටියෙනි. මුදලින්දාරාමාධිපති සාරානන්ද හිමියන් වලව්වට වැඩම කර පිරිත් සජ්ඣායනයට කටයුතු යෙදිණි. මරණ මංචකයේදීත් මඩුවන්වෙල රටේ මහත්තයා පන්සලට පිදිය යුතු බඩු භාණ්ඩ කීපයක් ජුවානිස්ට කීවේය. ඒ ඔහුගේ අවසන් නියෝගයයි. මොලමුරේලා, කලවානේලා මෙන්ම නින්දගම් වැසියන් එකතුව අවසන් ගෞරව මහත් හරසරින් පවත් වන්නට යෙදිණි. එහෙත් කුඹුස්සේ ඇති අන් නෑදෑයන්ගේ සොහොන් කොත් මෙන් නොව වලව් බිමට ඇතුළුවන, මඩුවන්වෙල රටේ රාළ ජීවතුන් අතර සිටියදී ගැමියන්ගේ ආගිය තොරතුරු විචාරන ගල් උළුවස්සට දකුණු පසින් මඩුවන්වෙල රටේ මහත්තයාගේ සොහොන ඉදි කෙරිණි. එය අදටත් මහා ඉතිහාසයක් නිසොල්මනේ ගැබෙහි දරා සිටියි.

ඉන් වසර දෙකකට පමණ පසු කලවානේ මැණිකේ මිය ගියේය. මඩුවන්වෙල පුංචි කුමාරිහාමි හෙවත් කෙර මැණිකේ වරින්වර ශීලවතී වලව්වේත්, මහවලතැන්න වලව්වේත් විසූ අතර 1964 ජනවාරි 4 වැනිදා මෙලොවින් සමු ගත්තේ සිව්සිය වසක් රැන්දූ මඩුවන්වෙල නාමයේ අවසන් පුරුකද සදහටම මිහි මවු තුරුලේ සඟවමිනි.

දේපොළවල උරුමක්කරු වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ජීවතුන් අතර සිටින තුරු වලව්ව පිළිබඳ ඉඳහිට සොයා බැලුවද දේශපාලන කටයුතු නිසා කොළඹ සිට මේ තරම් දුරක් නිතර පැමිණීම කරදරකාරී විය. පනාමුරේ ඇත් රාජාට වෙඩි තැබූ ශාපය නිසා පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් සිටියදී ඇතා වැටුණු අය­ුරින්ම මොලමුරේ ද වැටී මිය ගිය බවටද ජනයාගේ විශ්වාසයක් පවතී. ඉන් පසු මේ මහා ගොඩනැඟිල්ල නියමුවෙකු නැති නැවක් මෙන් විය. සේවයට සිටි අය තම තමන් කැමැති පරිදි කටයුතු කළ අතර නින්දගම් වැසියන් මෙන්ම අවට පදිංචි වූවන් කිසිදු කුල භේදයකින් තොරව, උඩුකය නිරාවරණය කිරීමකින් තොරව ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී බලහත්කාරයෙන් පදිංචි වීමටද උත්සාහ ගෙන තිබුණි. වන ළැහැබ ක්‍රමයෙන් වලව් උයන ආක්‍රමණය කරන්නට විය. පැරැණි ක්‍රමයට තැනූ බිත්ති මෙන්ම අලුත් බිත්තිද ගරා වැටෙන්නට පටන්ගති. රට හෙල්ලූ පෙළපත් දෙකක අවසානයේ ඉතිරි එකම සලකුණ බවට මඩුවන්වෙල වලව්ව ඉතිහාසයට එක් විය.


ඡායාරූප - සුදත් නිශාන්ත

Comments