සමුගන්න කාලය හරි යතුරුපැදි ශූර - සඳරුවන් | සිළුමිණ

සමුගන්න කාලය හරි යතුරුපැදි ශූර - සඳරුවන්

බන්දුල ජයමාන්න

 

ඉස්සර කරන්න හිතුණොත් ඔලුවට උඩින් හරි දානවා

ධාවන පථයක් දැක්ක ගමන් පළපුරුදු ධාවකයකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද?

ඉස්සෙල්ලාම බලන්නේ ට්‍රැක් එක හදලා තියෙන විදිය. ජම්ප්ස්, රැළි සහිත බාධක කොච්චර උසද? කොච්චර දිගද කියන ඒවා තමයි ඉස්සෙල්ලාම ඔලුවට දා ගන්නේ. ඊට පස්සේ අවධානය යොමු කරන්නේ මේ හැම දෙයක් එක්කම අඩුම කාලයකදී වටයක් ඉවර කරගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ.

ඔබ අවසන් වරට තරග කළ ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේ ඔබ දෙවැනි තරගයේ ඉදිරියෙන් ඉඳලා, යතුරු පැදිය ක්‍රියාවිරහිත වෙනවා. ඒක පණ ගන්වගෙන ආයෙත් තරගයට එනකොට අනතුරකට ලක් වෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් තරගයකදී අනුගමනය කරන ක්‍රියා මාර්ග මොනවාද?

ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් අද ලෝකයේ භාවිත වන හොඳම ආරක්ෂක උපකරණ එක්ක තමයි තරගයකට යන්නේ. ඒ නිසා හොඳ විශ්වාසයකින් තමයි මම තරගයකට යන්නේ. ඒ මොනවා වුණත් අනතුරු සිදු නොවෙනවාම නෙවෙයි. නැවත ඒවා හදාගෙන තරගයට එන්න බලාගෙන තමයි ඉන්නේ.

ධාවන පථයක් ආරක්ෂා වෙන්න ඕනෑ කොහොමද?

මෙහෙමයි, ධාවන පථයක් හැම වෙලාවෙම අංග සම්පූර්ණ වෙන්න ඕනා. ධාවන පථයක් හැම වෙලාවෙම නිශ්චිතවම ලකුණු වෙනවා. මේ මාර්ගය වෙනස් කරන්න විවිධ බාධක දානවා. හැබැයි මේකේ නීති තියෙනවා, ජම්ප්ස් තියෙන්න ඕනෑ විදි තියෙනවා. ලෝකයේ ප්‍රමිතිගත ධාවන පථවල තියෙන්න ඕනෑ ලක්ෂණ තිබෙනවද බලනවා. ක්‍රීඩා කරන්න බැරි තැන් අමාරු තැන් එහෙම තියෙනවා නම් අපි ඒවා තරග සංවිධායකයන්ට පැමිණිලි කරනවා.

වැඩි අනතුරු සංඛ්‍යාවකට හේතුව යතුරු පැදිද? ධාවකයාද? ධාවන පථයද? ප්‍රතිවාදියාගෙන් බලපෑමක් වනවාද?

මේකේ අභියෝගය තියෙන්නේ තමන් ක්‍රීඩා කරන විලාශය අනුව වෙනස් වෙනවා. තමන් පළපුරුදු ක්‍රීඩකයෙක් නෙවෙයි නම්, ආධුනිකයෙක් නම් අනතුරු වැඩි වෙන්න පුළුවන්.

ඒ වගේම තරගයකට කායික හා මානසික ශක්තියක් තියෙන්න ඕනෑ. මේවා නැති ක්‍රීඩකයකුට වට අටෙන් වටයක්වත් අල්ලගෙන ඉන්න අමාරුයි. පළපුරුදු ක්‍රීඩකයෙක් කායිකව සහ මානසිකව ශක්තිමත් නම් වට හයක් හතක් උපරිමයෙන්ම තරග කරලා අවසානයේ ජය ගන්නවා.

ඒ මට්ටමේ නැති අය ඇවිත් තරග කරන කොටත් අනතුරු සිද්ධ වෙනවා. ඒ වගේම අත්දැකීම් තියෙන්න ඕනෑ.

ඊට අමතරව ධාවන පථයේ අඩුපාඩු තිබුණත් අනතුරු සිදු වෙන්න පුළුවන්. ක්‍රීඩා කරන කොට තරගකාරීත්වය උපරිමයට ළඟාවන විටත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්.

ඔබ මුහුණ දීපු දරුණුම අනතුර මොකක්ද?

ෆොක්ස්හිල්වල තමයි මම දරුණුම විදියට අනතුරකට භාජනය වෙලා තියෙන්නේ. ඒ අනතුර දරුණු වුණාට ප්‍රතිවිපාකය දරුණු වුණේ නෑ. අඩි 20 - 30 ක් උඩ ජම්ප් එකකදී තව ක්‍රීඩකයෙක් වැටිලා හිටියා. ක්‍රීඩකයාව සංවිධායකයන් ඉවත් කරනකොට මම වැටුණේ එයාගේ යතුරු පැදිය උඩට. බෝම්බයක් ගහනවා වගේ විසිවෙලා වැටුණා. ඒ වෙලාවේ නම් ලොකු අනතුරක් වුණේ නෑ.

හැබැයි වෙනත් තරගවල සිද්ධ වෙච්ච අනතුරුවලින් තුවාල ඕනා තරම් වෙලා තියෙනවා. අස්ථිත් බිඳිලා ඇඟිලිත් කැඩිලා තියෙනවා. කොන්දේ අස්ථි දෙකක් කැඩිලා තියෙනවා. ඔය ගොඩක් අනතුරු වෙලා තියෙනවා. එක අබාධයක් තියෙනකොට ඒ ගැන හිතන්නේ නැතුව ඇවිත් තව අනතුරු කරගෙන තියෙනවා.

අපේ අතින් සිද්ධවන අතපසුවීම් වලින් තමයි අනතුරු සිද්ධ වෙන්නේ.

නැවත ඒ ධාවන පථයේ තරග කරනකොට මේවා මතක් වෙනවාද?

හුඟක් ක්‍රීඩකයන්ට තියෙන ලොකුම දුර්වලකම තමයි මේ අනතුරු මතක් වෙනකොට වේගය අඩාල වෙනවා. අඩාල කර ගන්නවා. එතකොට තරගයක වටයකට ගත කරන කාලය වැඩි වෙනවා.

මම දැනට අවුරුදු 17 ක් තරග කරනවා. මට අනතුරක් සිදු වෙච්ච නැති ධාවන පථයක් නැතුව ඇති. එහෙම අනතුරුවුණා කියලා මම ඔලුවේ තියාගෙන නෑ. සිද්ධියක් වුණොත් ඒවා හදාගත්තා. එතැනින් ඉවර කරලා දානවා.

මම අන්තිමේට ශූරයා වුණේ ගනර්ස් ධාවන පථයේ එක පාරක් ඇඟිලි තුනක් කැඩුණා. තව පාරක් දණහිසේ ආබාධයක් ඇති වුණා. ඒ තරගයෙන් ඒවා අමතක කරලා දානවා. ආයෙත් තරගයකට යන්නේ අලුත් ගයාන් කෙනෙක් විදියට, අලුත් මනසකින්. මේ හැම දේකට ම හේතුව තමන්ගේ මනස තමයි. මම තරගයකට යන්නේ මනස පිරිසුදුව තියාගෙන.

ඔබ යම් හෝ තිගැස්මකට ලක්වෙලා තියෙනවාද?

මේක හුගක් අනතුරුදායක ක්‍රීඩාවක්. ආබාධ වැඩි ක්‍රීඩාවක්. මම පුහුණුකරුවකු විදියටත් වැඩ කරනවා. එතැනදි මම නවකයන්ට කියන්නේ අනතුරක් වුණොත් සියයට සියයක්ම සුවකරගෙන මිසක් තරගවලට එන්න එපා කියලා තමයි. එතකොට මේවා මතක් වෙන්නේ නෑ. ආබාධ බාගෙට තියාගෙන ආවාම තමයි අර පරණ දේවල් මතක්වෙලා ඔලුවට වද දෙන්න ගන්නේ. සම්පූර්ණයෙන්ම සුවකර ගෙන ආවාම අවුලක් නැතුව තරග කරන්න පුළුවන්.

ඔබ මේ දේ කරන්නේ කොහොමද?

මම මේ ක්‍රීඩාවට ගොඩක් ආදරේ කරනවා. ගොඩක් ආසා කරන ක්‍රීඩාවක්. මගේ ඇඟේ තියෙන දෙයක්. මගේ අන්තිම අනතුරේදී වම් අතේ අස්ථි 2 ක් බිඳිලා ඇණ පහ, පහ දහයක් දාලා තියෙන්නේ. ඒ පන්නල පුහුණුවීම් කරද්දී. බෝයගනේදී අනතුරක් වෙලා, කලින් දාපු ප්ලේට් එක ඇදවෙලා තියෙන්නේ. දැන් මගේ වම් අත ඇදයි. කලින් වගේ මට අත්දෙකෙන් යතුරු පැදිය හරියට පාලනය කරන්න බෑ. සමහරවෙලාවට මට ඕනා දිශාවට නොවෙයි යතුරු පැදිය යන්නේ.

වෙලාවකට හිතෙනවා දැන් මේක ඇති නැවැත්තුවොත් හොඳයි කියලා. ඒත් තාමත් මගේ හිතේ ශක්තිය තියෙනවා, තාමත් තරග කරලා දිනන්න පුළුවන් කියලා. අපිට තරග කරන්න ටික කාලයයි තියෙන්නේ. ඒ නිසා හිතනවා තව තරග ටිකක් දිනන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ ටික කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ.

මගේ වම් අත හදන්න ඕනෑ මේ පැදිල්ල නතර කරලා තමයි. මේ ප්ලේට් එක ඇඹරිලා ඇදවෙලා තියෙන්නෙ. ඒ ඔක්කෝම අමතක කරලා තමයි මේ ක්‍රීඩාවට තියෙන ආසාව, ආදරේ, ක්‍රීඩාශීලිත්වය මේ කියන දේවල් එක්ක තමයි රැඳිලා ඉන්නේ.

ඔබ ධාවන පථයකට ආවම හිතන දේවල් තියෙනවාද?

මම ධාවන පථයකට එන කොටම හිතන්නේ මේ රේස් එකට මම අලුත්. අලුත් රේස් එකක් පදින්නේ කියලා. කොටින්ම පහුගිය අවුරුදුවල මම මේ රේස් එක දිනලා තියෙනවා නේද කියලාවත් හිතන්නේ නෑ. මතක් වෙන්නෙත් නෑ. ගනර් හයවතාවක්, ෆොක්ස්හිල් හත්වතාවක්, ගජබා අද තිබෙන තරගාවලියත් හයවතාවක් දිනලා තියෙනවා.

මම රේස් එකකට යන්නේ කලින් දිනපු ක්‍රීඩකයෙක් විදියට නෙවෙයි. දිනන්න ඕනා කියලා හිතාගෙන. අවුරුද්දෙන් අවුරුද්ද ට්‍රැක් එක වෙනස්. අලුත් වෙනවා. එතකොට අපි ඒවට හැඩගැහෙන්න ඕනෑ. එදා දවසේ තරගය කරන්නේ කොහොමද, රේස් එක දිනන්න මොනවද කරන්න ඕනා කියන දේවල් තමයි සැලසුම් කරන්නේ.

ඔබ තරගයක මුල ඉඳලම පෙරමුණ ගන්න බලනවාද? නැත්නම් මැදදී අගදී තරගයක් යන විදියට ප්ලෑන් වෙනස් වෙනවාද?

එහෙම ලොකු ප්ලෑන් එකක් නෑ. හැමෝම බලන්නේ ආරම්භයේම පැනලා ඉස්සරහට යන්න. අන්තිමේ මම පැදපු ගනර් රේස් එකේ අන්තිමේ ඉඳලා එළවලා, එළවලා, අන්තිමේ වටයේදී තමයි පළමුවැනියා වුණේ. දෙවැනි තරගයේදී ඉස්සරහට පැනලා, වට හයක් විතර ඉදිරියෙන් ඉඳලා බයික් එක නතර වෙලා පසුබසින්න වුණා. මේක හරිම අවිනිශ්චිතයි. හුඟක් අය කියනවා මගේ ආරම්භය දුර්වලයි කියලා. මගේ රේස් ඉතිහාසයේ ඇරන් බැලුවොත් ආරම්භයේ පෙරමුණේ ඉඳලා දිනලා තියෙන රේස් හුඟක් අඩුයි. මගේ ඉතිහාසයම ලියවිලා තියෙන්නේ 2 - 3 - 4- 5 වගේ ඉඳලා තරග කරලා, දිනා ගන්න ඒවා තමයි වැඩි. ඒකට හේතු වෙලා තියෙන්නේ හුඟක් තරගකරුවන් ආරම්භයේම පෙරමුණ ඇරගෙන ඉදිරියට යන්න බලනවා. ඒවගේ වෙලාවල් වලදී හුඟක් වෙන්නේ පැටලිලා වැටිලා සිද්ධවෙන අනතුරු වැඩියි. මම බලන්නේ තරග ආරම්භයේ අවම අනතුරක්වත් නැතුව පොකුර කඩාගෙන එළියට ඇවිත් ක්‍රීඩා කරන්න. ඒක තමයි මගේ ආරම්භය හැමදාම වගේ ටිකක් පමා වෙන්නේ. නැතුව ඒක ඕනාකමින් කරන ප්‍රමාදයක් නෙවෙයි.

ඔබට ධාවන පථයක හමුවෙලා තියෙන හමුවෙන විශිෂ්ටතම ප්‍රතිවාදියා කවුද?

මට ධාවන පථයක හමුවන විශිෂ්ටතම ප්‍රතිවාදියා තමයි ජපන් ජාතික තොමෝයා සුසුකී. ඔහුව පරාජය කරන්න මට ලොකු වුවමනාවක් තිබ්බා. පාන්ගොල්ල ධාවනපථයේ ඔහුට ලොකු තරගයක් දුන්නා. අපි දෙන්නම ඒ තරගයේ කරට කර ඔහු ඉදිරියට යනවා. මම යනවා, එහෙම ගිහින් මම ඇදවැටුණා. ඊට පස්සේ දෙවැනි තරගයේ තරගයක්වත් දෙන්න බැරි වුණා. ඔහු තමයි මට හුඟක්ම තද විදියට දැනිලා තියෙන තරගකරුවා.

ඒ වගේම අපේ දැන් ඉන්න ක්‍රීඩකයන් අතර ඉෂාන්, ඉවෝන්, ජාක් පවා හොඳට ක්‍රීඩා කරනවා. ඒ අය එක්ක තරග කරනකොට හොඳ තරගයක් තියෙනවා. රේස් එකක් ඉවර වෙනකම් කියන්න බෑ කවුරු දිනයිද කියලා.

මේ ප්‍රතිවාදීන් එක්ක තරග කරනකොට ඔබේ මානසික හැසිරීම කොහොමද?

මම තරගයකට ට්‍රැක් එකට ගියාට පස්සේ ප්‍රතිවාදින් කවුරු වුණත් ඔවුන් ගැන අවධානය යොමු කරනවා අඩුයි. මම අද කොහොමද තරග කරන්නේ, ඉස්සරහට එන්නේ කොහොමද? මොන වගේ තරගයක් දෙන්න වෙයිද? කියන දේවල් ගැන මිසක් මගෙත් එක්ක අද තරගයකට ඉන්නේ කවුද? ඔහුගේ ශක්තිය වගේ දේවල් ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ අයට තරගයක් දෙන විදිය ගැන තමයි සැලසුම් කරන්නේ.

ඔබ ප්‍රතිවාදියාගේ දුර්වලතැන් හඳුනනවාද? වංගුවලදී, වමේදී, දකුණේදී. ගැටිතිවල වගේ?

තරගවලට ගියාම සමහර ක්‍රීඩකයන් ඉන්නවා කොහොමත් ඉස්සර කරන්න අමාරුයි. පාරේ යනකොට වුණත් සමහර රියදුරන් ඉන්නවා පිටිපස්සේ අයට ඉදිරියට යන්න දෙන්නේ ම නෑ. එහෙන් දානවා, මෙහෙන් දානවා. අපි තරගයකට ගියත් සමහර ක්‍රීඩකයෝ ඉස්සර කරන්න දෙන්නේ නෑ. කොහොම හරි බාධා කරගෙන දුවනවා.

එතකොට තමයි අපි ක්ෂණික තීරණවලට එන්න ඕනා. ඔහු කොතැනදී ද අතපසුවීම් කරන්නේ කියලා ලොකු අවධානයකින් ඉන්න ඕනෙ. එහෙම අවධානයකින් තරග කරනවා නම් වෙලාව ආවම පෙරට එන්න පුළුවන්.

ඔබ තරගයක වැඩිපුර ඉදිරියට එන්න හදන්නේ ප්‍රතිවාදියාගේ වමෙන්ද? දකුණෙන්ද? එහෙමත් නැත්නම් ඔලුවට උඩින් හරි දාලද?

එහෙම විශේෂ පැත්තක් නෑ. හැබැයි මට ඉදිරියට එන්න ඕනෑනම් ප්‍රතිවාදියාගේ වමද? දකුණද කියලා බලන්නේ නෑ. ඔබ කියපු විදියට ප්‍රතිවාදියාගේ ඔලුවට උඩින් දාලා හරි ඉදිරියට යනවා.

මේ ඉරිදා උදයක, ගනර් - ගජබා වගේ ධවාන පථ විතරක් නෙවෙයි අවට පරිසරයත් හරිම උණුසුම්. හැබැයි දියතලාව ෆොක්ස්හිල් ධාවන පථය හරහා සීතල සුළං රැල්ලක් හමා යනවා. මුළු ප්‍රේක්ෂකයන්ගේ ම අවධානය ඔබ තරග කරන පළමු තරගයට. ඔබේ නම කියනකොට හැම තැනින් ම ඇහෙන්නේ එකම ජයඝෝෂාවක්. මේක ඔබට දැනෙනවා. ඔබ මේක විඳිනවා. මේ වගේ වෙලාවට ඔබේ ඇතුලාන්තය වැඩ කරන්නේ කොහොමද?

එහෙම වෙනකොට පොඩි චකිතයක් එනවා. මම හිතන්නේ බෝල්ට් මිටර් 100, 200 කරද්දීත්, මයිකල් පෙල්ප්ස් පිහිනුම් ඉසව්වකට එනකොටත් මේ චකිතය කියනදේ එනවා. හැබැයි දක්ෂයෝ, ශූරයෝ මේ දේවල් මනසින් පාලනය කරනවා. මමත් ඒවගේ වෙලාවට මනසින් මේ තත්ත්වයන් පාලනය කර ගන්නවා. මම තරගයකට යනකොටත් අපේ ටීම් එකත් බලාගෙන ඉන්නවා මේක කොහොම හරි දිනයි කියලා.

මම හුඟක් වෙලාවට මේවා ඔලුවට ගන්නවා අඩුයි. මම තරගයකට යනකොට පුළුවන් තරම් හිස්ව යන්න තමයි බලන්නේ. කොටින් ම ඒ වෙලාවට මම ෆෝන් එකක්වත් අල්ලන්නේ නෑ. මම මුල ඉඳලම හරියට තරගයට යන්න තමයි බලන්නේ.

රේස් එකක් ඉවර වුණාට පස්සේ හැම දෙනාටම මම ප්‍රතිචාර දක්වනවා. මම හොඳ තරගයක් දුන්නොත් වගේම දිනුවොත් ප්‍රේක්ෂකයන් හුඟක් සතුටු වෙනවා. පැරදුණොත් දුක් වෙනවා. මට මේ දේවල් මනසින් පාලනය කරගන්න පුළුවන්.

කොටින් ම ඔබ තරගයකට යන්නේ මනස හිස් කරගෙන ද? පුරවාගෙන ද?

මම යන්නේ හිස් කරගෙන. එතකොට පහසුයි. ලෙහෙසියි. හිතන්න තියෙන්නේ අදාළ තරගය ගැන විතරයි. එතකොට නිදහසේ තරග කරන්න පුළුවන්.

මේක නෙවෙයිද ඕනෑම තරගකරුවෙක් තරගයකට කලින් කරන්න ඕනෑම සහ කරගන්න ම බැරි දේ?

ඔව්, පෙන්ඩ්‍රයිව් එකක දත්ත ගොඩක් ගබඩා කළොත්, ඒකේ ක්‍රියාකාරිත්වයේ වේගය අඩාල වෙනවා. මේ ගබඩාවේ දත්ත අඩුවන තරමට එහි ක්‍රියාකාරිත්වයේ වේගය වැඩියි. අපි තරගයකට යනකොටත් අපේ මනස කියන ගබඩාව හිස් වෙන තරමට ලෙහෙසියි. පහසුයි. හරි සැහැල්ලුයි.

අපි ක්‍රීඩා කරනවා නම් සැහැල්ලු වෙන්න ඕනා. නිදහස් වෙන්න ඕනා. ඔලුවෙ කිසිම දෙයක් තියෙන්න හොඳ නෑ. සමහර ක්‍රීඩකයෝ තරගය පටන් ගන්නකොට ම හිතන්නේ අරයට ගහන්නේ කොහොමද? අද කොහොමද ගේම දෙන්නේ කියලා. මම කවදාවත් මගේ ඔලුව පුරවගෙන තරග ආරම්භයට ඇවිත් නෑ. ඔක්කෝම හිස් කරගෙන තමයි තරග ආරම්භයට එන්නේ.

මට තේරෙනවා නම් අද ධාවන පථය හරි නෑ කියලා, මට දුවන්න අමාරුයි කියලා, හිතලා හැරිලා ආපු අවස්ථා තියෙනවා. මට තරගයට සුදුසු මට්ටමක ධාවන පථය නැත්නම් මම දෙපාරක් හිතන්නේ නැතුව හැරිලා එනවා. හොඳ තරගයක් දීලා තමන්ට තෘප්තියක් ලබන්න පුළුවන් නම් තමයි එතැන තරගයක් තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා.

ඔබට ඔබේ පළමු තරගය අමතක නැතුව ඇති?

මම ඉස්සෙල්ලාම පැද්දේ කළම්බු සුපර් ක්‍රොස් තරගාවලිය. ඒ 2001 දී.

අද වනකොට දීර්ඝ කාලයක්. මේ කාලය තුළ ඉගෙන ගත්ත ප්‍රගුණ කළ දේවල එක්ක ඔබට පුළුවන්ද? අනවශ්‍ය දේවල් සියල්ල පැත්තකින් තියලා යතුරු පැදියට ගොඩවෙලා තරග බිමට යන්න?

ඇත්තටම මට ඒ දේ පුළුවන් නිසා තමයි අදටත් ප්‍රේක්ෂකයන් අතර ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ කාලය තුළ මම අවබෝධ කරගත් දෙයක් තමයි අපි එකම දේ දිගින් දිගටම කරගෙන යනකොට එපා වෙන ස්වභාවයක් එනවනේ. මම අවුරුදු 17 ක් පුහුණුවීම් කරනවා. තනිකරම බයික් විතරයි. ඔය අතර ආබාධ එනවා. අනතුරු වැඩියි. මේ හැම දෙයක්ම ධනාත්මක විදියට හදා ගන්න ඕනා. මටත් මේ දේ කරලා කරලා සමහර වෙලාවට ඇති කියලා හිතනවා.

මේ හැමදේම අපේ හිත. මට හිතුණොත් මේ දේ කරන්න පුළුවන්කියලා පුළුවන්. බෑ කියලා හිතුණොත් බෑම තමයි. මානසික ඒකාග්‍රතාවය තියාගෙන, පැහැදිලි ඉවසිලිවන්ත මනසක් තියෙනවා නම් අපිට ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන්.

මේ කාලය තුළ ඔබ හඳුනාගත් ඔබේ දුර්වලතා, අඩුපාඩු මොනවාද?

අඩුපාඩු ගොඩක් තියෙනවා. මම සම්පූර්ණ ක්‍රීඩකයෙක් නෙවෙයි. මේ දේවල් මගේ අඩුපාඩු කියලා කියන්න එක පාරටම ඔලුවට එන්නේ නෑ. මම අදටත් මෙතැන රැඳිලා ඉන්නේ හැමදාම මගේ අඩුපාඩු හදා ගත්ත හින්දා කියලා හිතෙනවා. සාර්ථක ක්‍රීඩකයෙක් වෙන්නේ තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්න පුළුවන් කෙනකුට විතරයි.

උදාහරණයකට මගේ සහෝදරයත් ක්‍රීඩා කරනවා. ඔහුගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි එයාගේ අඩුපාඩු එයාටම තේරුම් ගන්න බැරි එක. මට දැන් අවුරුදු 33 ක්, එයාට අවුරුදු 19 යි. අද තරග වටයකට ගත කරන කාලය ගත්තොත් ඔහුගේ සහ මගේ ජව සම්පන්නභාවය ගත්තොත් මට වඩා ඉදිරියෙන් ඉන්න ඕනා. එහෙත් ගොඩක් වෙලාවල්වලදි ඔහුට වඩා මම තත්පර දෙකක් ඉදිරියේ ඉන්නවා.

තමන්ගේ අඩුපාඩු මොනවාද කියලා තමන් තේරුම් ගන්න ඕනා. මේවා තේරුම් ගත්ත මිනිස්සු තමයි ඉදිරියට යන්නේ. අද සමාජයෙත් තියෙන්නේ ඔය දේම තමයි. තමන්ගේ අඩුපාඩු මොනවද කියලා දන්නේ නැතුව දුවන සමාජයක් තියෙන්නේ. මේ දේ හැමෝටම තේරෙන්නෙත් නෑ. මේක තේරෙනවා නම් දැනෙනවා නම් හැමෝම සාර්ථක වෙන්න ඕනා.

ඔබට ඔබ ගැන අද මොනවාද හිතෙන්නේ?

ගොඩක් සන්තෝෂයි. අවුරුදු 17 ක් තිස්සේ ක්‍රීඩා කරනවා. මානසිකව ගත්තොත් මම අපරාජිත ක්‍රීඩකයෙක්. මට හමුවුණු කිසිම අභියෝගයක් මඟ හැරලා ගිහින් නෑ. මම අපේ රට ඇතුලේ කාටවත් පරාජය වෙලා නෑ කියන හැඟීම තිබෙනවා. මම තරගවලදී පැරදිලා තියෙනවා තමයි, හැබැයි මානසිකව කිසිම තැනක වැටිලා, පැරදිලා නෑ.

බයික් එකක් කියන්නේ යකඩ ගොඩක්. ධාවන පථයක් කියන්නේ මැටි ගොඩක්. මේ යකඩ ගොඩයි - මැටි ගොඩයි ඔබට ජීවිතයේ කියලා දීපු ලොකුම පාඩම මොකක්ද?

ගොඩක් දේවල් තියෙනවා. මේ කාලයේ සමාජයේ ගැටුණු දේවල් එක්ක හුඟක් තියෙනවා. මම මගේ ජීවිත කාලයෙන් භාගයකට වැඩියෙන් ජීවත්වෙලා තියෙන්නේ මේ මහා පොළොවෙන් ම හම්බවන දේවල් එක්ක. මැටි ගත්තත්, යකඩ ගත්තත් අපිට අතහැරලා මඟහැරලා යන්න බැරි දේවල්.

යකඩ සහ මැටි තමයි එහාට මෙහාට කරකවලා, අඹරලා ඇරන් තියෙන්නේ. මේ ගමනේ මගේ පිටිපස්සේ හිටියේ තාත්තා. අද මට තාත්තාට මේ ගැන කියලා දෙන්න පුළුවන් තැනක ඉන්නවා කියලා හිතනවා. ක්‍රීඩාව ගත්තත් සමාජය ගත්තත් මේ යකඩ සහ මැටි ගොඩවල්වලින් මම ඉගෙනගෙන තියෙනවා. ජීවිතය ගැන වුණත් මට ලොකු දැනුමක් තියෙනවා කියලා හිතනවා.

මේ ජීවිතයේ ඔබට අත හරින්න ඕනා කියලා හිතෙන දෙයක් තියෙනවාද?

එහෙම එක පාර අතහරින්න ඕනා කියලා දෙයක් ඔලුවට එන්නේ නෑ. ක්‍රීඩාවෙන් සමුගන්න ඕනෑ කියලා මට හිතිලා තියෙනවා. ඒක කවදද? කොතැනද කියලා මම දන්නවා. ඒක ළඟයි කියලත් දන්නවා. දැන් ඒ වෙලාව එනකම් තමයි මේ බලාගෙන ඉන්නේ. එතකම් මම ඔබ කියපු විදියට මේ යකඩ ගොඩයි, මැටිගොඩයි එක්ක ජීවත් වෙනවා.

 

 

 

 

 

Comments