එදා දූෂකයො අද වීරයො වෙන්න හදනවා | සිළුමිණ

එදා දූෂකයො අද වීරයො වෙන්න හදනවා

වාරි­මාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

අපිට නඩුවක් දැම්මහම සියලු වැඩ කටයුතු අඩපණ කරගෙන ඒ පසු පසම දුවන්නේ නැහැනේ. නඩුවට අදාළ අවස්ථාවලදී පමණක් ඒ සඳහා මුහුණ දෙනවා. අනෙක් අවස්ථාවලදී එදිනෙදා කටයුතුවල නියැළෙනවා.

මේ දිනවල දේශපාලන කරළියේ නිරතුරුවම කතාබහට ලක්වන මාතෘකාවක්ව ඇත්තේ විශ්වාසභංග වේ. පක්ෂ විපක්ෂ දෙකෙහිම මැති ඇමැතිවරු මේ සම්බන්ධයෙන් නිරතුරුවම විවේචන එල්ල කරති. විශ්වාසභංග මෙන්ම වත්මන් දේශපාලන කරළියේ නිරතුරුව කතාබහට ලක්වන කරුණු රැසක් සම්බන්ධයෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ සිළුමිණ කතා බහට එක් වේ.

මේ දිනවල ජනතා සේවයට වඩා වැඩියෙන් විශ්වාසභංග මාතෘතා ඉදිරියට ඇවිත්...

විශ්වාස භංග අලුත් දෙයක් නෙමෙයිනේ, විශ්වාසභංග ගේනවා සමහර ඒවා ඉල්ලා අස් කර ගන්නවා. සමහර ඒවා පරදිනවා, මේක දේශපාලන ලෝකයේ සාමාන්‍ය දෙයක්. මටත් 2003/2004 කාලයේදී විශ්වාසභංගයක් ගෙනාවා. නමුත් කරන්න පුළුවන් වුණු දෙයක් නැහැ. තමන් නිවැරැදි නම් විශ්වාසභංග ගෙන ඒම ගැන කලබල විය යුතු නැහැ.

ඒත් මේ විශ්වාසභංග ගෙන ඒම නිසා ඒ සඳහා වැය වන කාලය ජාතික සම්පත් අපතේ යෑමක්. මහජන සේවාවට ඇති කාලයයි නිරපරාදේ අපත් යන්නේ

ඒක තමයි ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනතා අපේක්ෂා ඉටු කිරීම වළක්වලා ජනතා විශ්වාසය භංග කිරීමට කටයුතු යෙදීම තමයි ඒ අයගේ අරමුණ වෙලා තියෙන්නේ. ජනතා අපේක්ෂා ඉටු වුණොත් ඒකාබද්දයට ගමනක් නැහැ. පැවැත්මක් නැහැ. මේ නිසා පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමේ සිට කළ හැකි සියලුම ජනතා ද්‍රෝහි කම් කරනවා.

ඒත් ජනතාව වෙනුවෙන් පෙනී සිට සත්‍යය ජනතාවට පෙන්වා දීමත් ඔවුන්ගේ වගකීමක්...

ඒ වගකීම ඉටු කරන විපක්ෂයක් නෙමෙයිනේ අපට ඉන්නේ. කලින් කිව්වා වගේ පාර්ලිමේන්තුව අස්ථාවර කරන්න යන්නේ ජනතතාවට සත්‍යය වටහා දෙන්නද? පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් කඩ කරමින් ජනාධිපතිතුමාගේ පුටුවේ වාඩිවෙනවානම්, කතානායකගේ පුටවේ වාඩිවෙනවානම් එතැන තියෙන්නේ ජනතාවට සත්‍යය වටහා දීම නෙමෙයිනේ.

කොහොම වුණත් විශ්වාසභංගයක් ගේන්න හදපු විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කළා. ඒ ගැනත් විවිධ මත තියෙනවා.

ඒ ඉවත් කිරීම කිසිවෙක් තනිව කරපු දෙයක් නෙමෙයි. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා ඒකමතිකව ගත්ත තීරණයක් අනුව කටයුතු කරන්න පක්ෂයේ සියලු දෙනාම බැඳී සිටිනවා. මමත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක්. ආසන සංවිධායකවරයෙක්. ඒ නිසා පක්ෂය ගත්ත ඒ තීන්දුව බලාත්මක කරන්න, ඒ සඳහා අවශ්‍ය පරිදි කටයුතු කරන්න අප කවුරුත් බැඳී සිටිය යුතු වෙනවා. ඒ ගැන කවුරුත් වාද විවාද කිරීම පදනමක් නැහැ. විවිධ මතවාද තිබෙන්න පුළුවන්. නමුත් සියල්ල සත්‍ය මත පදනම්ව පිහිටා කටයුතු කළ යුතු වනවා.

විශ්වාසභංග මගින් ඇතිවන කැලඹීම නිසා ජනතා කටයුතු අඩපණ වීමක් සිදු වෙනවා. ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ඇයි විශ්වාසභංගයන්ට කලබල වෙන්නේ. අපිට නඩුවක් දැම්මහම සියලු වැඩ කටයුතු අඩපණ කරගෙන ඒ පසු පසම දුවන්නේ නැහැනේ. නඩුවට අදාළ අවස්ථාවලදී පමණක් ඒ සඳහා මුහුණ දෙනවා. අනෙක් අවස්ථාවලදී එදිනෙදා කටයුතුවල නියැළෙනවා. මේ තත්ත්වයමයි විශ්වාසභංගයට අප කටයුතු කළ යුත්තේ.

මේ තත්ත්වය ඇති වූයේ යහපාලනය නිසාද?

යහපාලනය කියන්නේ දුර්වලතාවක් නෙමෙයි, යහපාලනයේ ඇති වැදගත්කම සමහරු දුර්වලතාවක් ලෙස සිතනවා වෙන්න පුළුවන්. ඒත් ජනතා සේවයට අවශ්‍ය ක්‍රියා මාර්ග ලබා ගන්න මේ හොදම අවස්ථාවක්.

කොහොම වුණත් පක්ෂ දෙකේම මැති ඇමැතිවරු ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව අපහසුතාවට පත් කරන බවක් පෙනෙනවා...

ඒක කොයිතරම් සදාචාර සම්පන්නද කියලා මැති ඇමැතිවරුන් තේරුම් ගත යුතු වනවා. මේ කතා විශේෂයෙන්ම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු. එක්සත් ජාතික පක්ෂයේ එවැනි කතා කියපු මැති ඇමැතිවරු ඉවත් කිරීම දක්වා තීන්දු තීරණ ගත්තා. ප්‍රකාශ නිකුත් කිරීමේදී එහි හානිදායක තත්ත්වය ගැන තේරුම් ගත යුතු වනවා.

මේ ආණ්ඩුවේ ගමන් මඟ සම්බන්ධව විපක්ෂයේ චෝදනා ගැන ආණ්ඩුව දරන මතය පැහැදිලි කළොත්...

ආණ්ඩුවේ ගමන නැවැත්වීම තමයි ඒකාබද්ධ විපක්ෂයේ අයගේ අවශ්‍යතාව. කලින් කියූ පරිදි මේ අයට අවශ්‍ය වන්නේ ජනතා ප්‍රතිලාභ ලැබීම නැවැත්වීමයි. ඒ තුළින් බලය ලබා ගැනීමයි අපේක්ෂාව වී ඇත්තේ. ජනතා සේවය කරන්න බලය අවශ්‍ය නැහැ. නමුත් තම තමන්ගේ වාසිය තකා මේ පිරිස් කටයුතු කරන්නේ.

මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතා ප්‍රශ්න වැඩි කර ඇති බවට චෝදනා නැඟෙනවා. සයිටම් ප්‍රශ්නය එහෙමමයි, උමා ඔය ප්‍රශ්නයත් තවම විසඳී නැහැ..

මේ ප්‍රශ්න ඇති කෙළේ කවුද? ඒකාබද්ධ විපක්ෂය කතා කරන්නේ ඒ සියල්ල මේ ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්න වගෙයි. මේ සියලුම ප්‍රශ්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇති කරපුවා. උමා ඔය, සයිටම් විතරක් නෙමෙයි යාන්ඔය ව්‍යාපෘතියත් ලොකුම ප්‍රශ්නයක්. යාන්ඔය ජනතාව ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී තමයි ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ. ඒ ප්‍රශ්න තවම මතු වී ඇවිත් නැහැ. සයිටම් ප්‍රශ්නය ඇති කරෙත් උමා ඔය ප්‍රශ්නය ඇති කරෙත් පසුගිය රජයෙන් වුණත් ඒ අය කතා කරන්නේ මේ ප්‍රශ්න සියල්ලම මේ රජයෙන් ඇති කරපු ගැටලු වගේ. රජය මේ ප්‍රශ්න විසඳන්න පියවර ගනිමින් ඉන්නේ. ඒ විසඳුම් ලබා දීමට කටයුතු කිරීමත් දකින්නේ රජය ප්‍රශ්න ඇති කරලා විසඳන්නේ නැති ආකාරයෙන්. රාජපක්ෂ ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති කරලා අද තැන් තැන්වල කියමින් යනවා ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැති බව.

උමා ඔය ව්‍යාපෘතියට විශේෂඥ උපදෙස් ලබා ගෙන තියෙනවා. නමුත් එහි ජනතාවට තවම ස්ථිර විසඳුමක් ලබා දෙන්න කටයුතු කර නැහැ.

අප ඒ සම්බන්ධව මේ වන විට කටයුතු කරමින් ඉන්නේ. ජනතාවගේ නිවාස ප්‍රශ්නය මෙන්ම ජල ප්‍රශ්නයත් විසඳමින් පවතින්නේ. එම ජනතාවට විසඳුම් ලබා නොදෙන බව පවසන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයයි. ඒ ප්‍රශ්න තිබෙන බව පෙන්වීමට අවශ්‍ය නිසයි. රජය අස්ථාවර බව පෙන්වීමයි උත්සාහය වන්නේ.

කො‍ෙහාම වුණත් සයිටම් ප්‍රශ්නය නිසා රටේ අනාගතය බාර ගන්න ඉන්න දූදරුවන් රැසකගේ අනාගතය අද මහ පාරේ...

සයිටම් පටන් ගන්න කොට ඔය ශිෂ්‍ය සමිති කොහේද හිටියේ, වෛද්‍ය සංගම් කොහේද හිටියේ. එදා මහින්ද රාජපක්ෂ ළඟ පූස් පැටව් වගේ හුරතල් වෙලා, අද මෙතන ජාතික ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරනවා. මේ අයත් සයිටම් ප්‍රශ්නයට වග කියන්න ඕන. අද බොරුවට කෑ ගැහැහුවට. එදා දූෂකයො අද වීරයො වෙලා.

Comments