කාන්තා ආසියානු වොලිබෝල් ශූරතාවලිය 9 වැනිදා ඇරැඹේ | සිළුමිණ

කාන්තා ආසියානු වොලිබෝල් ශූරතාවලිය 9 වැනිදා ඇරැඹේ

රටවල් දහහතරක සහභාගිත්වයෙන් පිලිපීනයේ පැවැත්වෙන 19 වැනි කාන්තා ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය 9 දා ආරම්භ වේ. තරගාවලියට එක්වන රටවල් 14 කාණ්ඩ හතරකට වර්ග කර ඇති අතර සී කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාවට එහිදී මූලික වටයේ දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය සමඟ තරග කිරීමට සිදුවේ. ඒ කාණ්ඩයෙන් සත්කාරක පිලිපීනය, කසකස්තානය සහ හොංකොං තරග කරයි. බී කාණ්ඩය යටතේ චීනය, ජපානය සහ ඔස්ට්‍රේලියාව තරග කරයි. ඩී කාණ්ඩය යටතේ තායිලන්තය, චීන තායිපේ, ඉරානය සහ මාලදිවයින තරග කරයි.

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම දිනේෂා ප්‍රසාදිනීගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වන අතර උපනායිකාව ලෙස ඉරේෂා සුරංගනී කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම 09 දා වියට්නාමය සමඟත්, 10 දා දකුණු කොරියාව සමඟත්, 11 දා නවසීලන්තය සමඟත් තරග කරයි. සියලු කණ්ඩායම් මූලික වටයේ පෙරමුණ ගන්නා පිළිවෙළ අනුව ශ්‍රේණිගත කිරීම් තරගවලට එක්වේ.

1975 දක්වා දිවයන කාන්තා ආසියානු වොලිබෝල් ශූරතාවලිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියෙන් ආරම්භ වී ඇති අතර එහිදී ජපානය ශූරියන් ලෙස ඉතිහාසගත වෙද්දී අනුශූරියන් වී ඇත්තේ දකුණු කොරියාවයි. චීනය තෙවැනි ස්ථානය සහ සත්කාරක ඔස්ට්‍රේලියාව සිවුවැනි ස්ථානය දිනා ගෙන තිබේ. කාන්තා ආසියානු ශූරතා වොලිබෝල් ශූරතාවලියේ වැඩිම වතාවක් ශූරියන් ලෙස කිරුළ රැක ගැනීමට චීනය සමත්ව තිබේ.

චීනය මෙතෙක් පැවැති ශූරතාවලි 18 න් 13 කදීම කිරුළ රැක ගනිද්දී, ජපානය තෙවතාවක් සහ තායිලන්තය දෙවතාවක් ශූරතාව හිමිකර ගෙන තිබේ. අවසන් වරට 2015 පැවැති තරගාවලියේදී ද ශූරතාව දිනා ගැනීමට චීනය සමත්ව තිබෙන අතර, අනුශූරතාව දකුණු කොරියාවට, තෙවැනි ස්ථානය තායිලන්තයට සහ සිවුවැනි ස්ථානය චීන තායිපේ කණ්ඩායම දිනා ගෙන තිබේ. මේ සමස්ත තරග ඉතිහාසයේ රන් 13 ක්, රිදී 3 ක් සහ ලෝකඩ පදක්කමක් වශයෙන් පදක්කම් 17 ක් දිනා සිටින චීනය 2013 දී පමණක් දකුණු කොරියාව අතින් පරාජය වෙමින් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, දකුණු කොරියාව යන රටවල් හතර පමණක් කාන්තා ආසියානු වොලිබෝල් තරගාවලි ඉතිහාසයේ 19 වැනි වතාවේදී ම මේ තරගාවලිය නියෝජනය කර තිබේ. 1991 දී මුලින්ම මෙකී තරගාවලියට එක්ව ඇති ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් නව වතාවකදී තරගාවලිය නියෝජනය කර තිබේ. 1991 දී 12 වැනි, 1993 දී 14 වැනි, 2001 දී 9 වැනි, 2007 දී 10 වැනි, 2009 දී 14 වැනි, 2011 දී 12 වැනි, 2013 දී 15 වැනි, 2015 දී 14 වැනි ස්ථාන හිමිකර ගෙන තිබේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම

දිනේෂා ප්‍රසාදිනී (නායිකා), ඉරේෂා සුරංගනී පෙරේරා (උප නායිකා), හෂිනි ලක්ෂිකා, අප්සරා සෙව්මාලි සෙනෙවිරත්න, අයේෂා මධුරිකා, වාසනා මධුමාලි ධර්මතිස්ස, තිලිනි වාසනා පෙරේරා, චතුරිකා ගයානි රණසිංහ, කාන්චනා දිල්ෂානි විජේකෝන්, සංජීවනී කරුණාරත්න, අශානි චමෝදිකා ජයතුංග, දිලුෂා සංජීවනී.

 

 

Comments