කකු­ල් තුන | සිළුමිණ

කකු­ල් තුන

 එක ගමක යාළුවො හතර දෙනෙක් හිටියා. පැත්තකට වෙලා ‍තේරුමක් නැති දේවල් කතා කර කර ගෙදර තියෙන දෙයක් කාලා බීලා තමයි හතර දෙනා ම උන්නේ. “අපිත් රස්සාවක් කරමු කියලා හතර දෙනා ම කතා වුණා. මෙහෙම කියලා හතර දෙනා පුලුන් එකතු කරන්න පටන් ගත්තා. අන්තිමේදී පුලුන් සෑහෙන ප්‍රමාණයක් එකතු වුණා. ඒවා එකම තැනකට ගොඩ ගැහුණා. ඒකට කිව්වෙ ගබඩාව කියලා. මෙහෙම කාලයක් යනකොට පුලුන් වෙළඳාම සරුවෙන්න පටන් ගත්තා. හතර දෙනාටම සතුටුයි. ඒත් සතුට වැඩි කාලයක් ළඟ රැඳුණේ නෑ. කොහේදෝ ඉඳල මීයෙක් මේ ගබඩාවට ඇවිදින් පුලුන් කන්න පටන් ගත්තා. හරිම කරදරයක් තමයි කඩන් වැටුණේ. බේරෙන්න බැරිම තැන බළලෙක් ගෙනාවා. ඕං ඊට පස්සෙ තමයි කරදරෙත් ඉවර වෙලා නිස්කලංක කාලයක් උදා වුණේ. යහළුවො හතර දෙනා ආයෙම බොහොම සතුටු වුණා. ඒ සතුට කොච්චරද කියනව නම් බළලගෙ කකුල් හතර බෙදා ගෙන ඒවා රන් රිදී වලින් පිරෙව්වා. බළලට හරිම ආදරෙයි හතර දෙනාම. හැම වෙලාවෙම බළලා ගැන දුක සැප සොයා බැලුවා.

දවසක් බළලගෙ එක කකුලක් තුවාල වුණා. ඒ කකුළ අයිතිකාරයා තුවාලෙට තෙල් පාණ්කඩයක් බැන්දා. බළලා ළිප ළඟට ගියහම මේ තෙල් පාණ්කඩේ ගිනි ගත්තා. බළලාට බයයි. වේදනාවයි දෙකම ඇති වුණා. ඌ පුළුන් ගොඩට දිව්වා. මුළු පුළුන් ගබඩාව ම ගිනි ගත්තා. හතර දෙනා ම එකතු වෙලා මේ නඩුව පැමිණිලි කළා. නඩුකාරයා අන්තිමේට ඇහුවා “බලළා ඇවිද්දේ කකුල් කීයෙන්ද” කියලා.

තුවාල කකුල උස්සගෙන ඉතුරු කකුල් තුනෙන් ඇවිද්දා කියලා කව්රුත් පිළිගත්තා.

“එහෙනම් තුවාල කකුල අයිතිකාරයාට අනිත් තුන්දෙනා වන්දි ගෙවන්න ඕන” කියලා නඩුකාරයා තීන්දුව දුන්නා.

 

මේක ජන කතාවක්.

 

Comments