මවට ගුඩ්බායි ෆ්‍රෙන්ඩ් කියා එස් එම් එස් එකක් යවලා වෛද්‍යවරිය සිය දිවි නසා ගත්තාද? | සිළුමිණ

මවට ගුඩ්බායි ෆ්‍රෙන්ඩ් කියා එස් එම් එස් එකක් යවලා වෛද්‍යවරිය සිය දිවි නසා ගත්තාද?

 මනුෂ්‍ය ආත්මයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන තරමට දුර්ලභ සිදුවීමක් බව බුදු දහමේ පැවැසේ. එතරම්ම දුර්ලභ වූ සිය දහස් ගණනක මිනිස් ජීවිත ජීවත් කරවන්නට කැපවී කටයුතු කරන පිරිසක් ලෙස වෛද්‍ය වෘත්තිකයන් හැඳින්වීම වරදක් නොවේ. එවන් උතුම් වෘත්තියක් දරමින් නුවරඑළිය රෝහලේ නේවාසිකව සේවය කරමින් සිටි ඩිලූෂි හෙට්ටිආරච්චි නිර්වින්දන වෛද්‍යවරියගේ අභිරහස් මරණය පසුගිය සතියේ රටම කැලැඹූ පුවතක් විය. එයට හේතු කිහිපයකි. ඉන් එකක් නම් වෛද්‍ය වෘත්තිය මෙරට ජන ජීවිතය හා තදින්ම බද්ධ වී තිබීමය. දෙවැන්න නම් මේ තරුණ වෛද්‍යවරියගේ අභිරහස් මරණය සමාජයටම තවත් එක් පාඩමක් කියා දීමය.

ඉකුත් 23 වැනි දා අභිරහස් ලෙස මියගොස් සිටි ඩිලූෂි වෛද්‍යවරිය තිස් එක් හැවිරිදි වියේ පසු වූවාය. ඇය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ මරණය සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේ දී ඒ පිළිබඳ පරීක්ෂණය සිදු කළ නුවරඑළිය පොලීසිය ප්‍රකාශ කළේ, අභිරහස් ලෙස මිය ගිය මෙම වෛද්‍යවරියගේ මරණය සිදු වුයේ සියදිවි නසා ගැනීමක් නිසා ද නැතහොත් වෙනත් හේතුවක් නිසාද යනුවෙන් තවමත් නිශ්චිත තීරණයකට එළැඹීමට පරීක්ෂණ සිදු කරමින් පවතින බවය. එම මරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳ පොලිසියෙන් වැඩිදුර තොරතුරු වාර්තා වෙන අන්දමට මියගිය වෛද්‍යවරිය නුවරඑළිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරියක ලෙස සේවය කර ඇත. වෛද්‍ය පත්වීම ලැබූ ඇය දහසක් සිහින මැද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරියකු සමඟ විවාහ වූයේ මවුපිය ආශිර්වාදය මධ්‍යයේය. ඔහු ද නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු ලෙස මේ වනවිටත් කටයුතු කරමින් සිටියි. ඩිලූෂිගේ විවාහ දිවියට කණකොකා හඬන්නට පටන්ගන්නේ මීට මාස කිහිපයකට පෙරාතුවය. නොසිතූ නොපැතූ ලෙස ඇයත් සැමියා වූ වෛද්‍යවරයාත් අතර නිතර නිතර මත ගැටුම් ඇති වන්නේ මේ අතරවාරයේය. මේ තත්ත්වය හමුවේ ඔවුන් මාස ගණනක සිට වෙන්ව දිවි ගෙවූ බව අනාවරණය විය. මේ වන විටත් ඔවුන් දෙදෙනාගේ දික්කසාදය වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතින බව ද පැවැසේ. අවසන මියගිය ඩිලූෂි වෛද්‍යවරිය තම සැමියාගෙන් දුරස් වන්නේ නුවරඑළිය රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිල නිවෙස තමන්ගේ වාසස්ථානය කර ගනිමිනි. ඒ තවත් වෛද්‍යවරියන් දෙදෙනෙකු සමඟ නේවාසික වීමෙනි. මියයෑමට පෙර ඩිලූෂි රෝහලෙන් නිවාඩු ගෙන තමා පදිංචිව සිටි කැලණිය නිවෙසට ගොස් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. තමා ලබා ගත් නිවාඩු නිමවෙන්නටත් පෙර යළිත් එනම්, පසුගිය සඳු දින නේවාසිකාගාරය වෙත පැමිණෙන ඇය එලෙස පැමිණෙන්ට හේතුව තවමත් හරි හැටි කිසිවෙක්වත් නොදනී. ඇය වෙනදා නිවෙසේ සිට නුවරඑළිය කරා පැමිණිවිට කරන්නාක් මෙන් මෙදා තමා කරදරයක් නැතිව පෙරළා නුවරඑළිය රෝහලට පැමිණි බවක් ඇය මෙදින මවුපියන්ට දැනුම් දෙන්නේ නැත. දියණියගෙන් ඇමැතුමක් නොලද තැන ඇයට දැඩි සේ ආදරය කරන මව විසි දෙවැනි දා රාත්‍රීයේ සිටම තම දියණියගේ ජංගම දුරකථනයට ඇමැතුම් ලබා දෙමින් ඇය දැන් දැන් තමා අමතාවියැයි සැලෙන හඳින් පසුවන්නීය. එහෙත් කොතරම් ඇමැතුම් දුන්න ද ආදරණීය දියණියගෙන් පිළිතුරු නොලද තැන හිතේ දෙගිඩියාවෙන් පසුවන මව යළිත් වරක් පසු දින ද (23 වැනි දා) තම දියණියගේ දුරකතනයට ඇමතුම් ලබා ගත්ත ද ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. කෙසේ නමුත් දහවල් දොළහට පමණ ‘ Good bye Friend යනුවෙන් එස් එම් එස් පණිවිඩයක් මවට ලැබෙන්නේ පණ සේ ආදරය කළ දියණියගේ ජංගම දුරකථනයෙනි. එයින් තැති ගත් මව තම දියණිය සමඟ නුවරඑළිය මහ රෝහලේ එකට සේවය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුනට මේ පිළිබඳ දන්වා දියණිය පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලීමක් කරන්නේ මේ අතරවාරයේය. එම පණිවිඩය සැල වීමත් සමඟ ඩිලුෂිට කුමන හෝ කරදරයක් සිදු වි ඇත්දැයි අනුමාන කළ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇයට ප්‍රතිකාර කරන්නට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය වන ආම්පන්නද රැගෙන නේවාසිකාගාරය වෙත ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. එවිට ඔවුනට දක්නට ලැබෙන්නේ නේවාසිකාගාරය දෙරඟුළු දමා වසා තිබෙන අයුරුය. එහෙත් නේවාසිකාගාරය ඇතුළත විදුලි පහන් එළි දැල්වෙන අයුරු ඔවුන්ගේ නෙතට හසුවන්නේ ඩිලූෂි එහි ඇතැයි යන සතුටුදායක සිතිවිල්ලත් සමඟය. එනිසාම ඔවුහූ දොරඟුළු දැමූ දොරට තට්ටු කර කතා කරති. එහෙත් නේවාසිකාගාරය ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇත්තේය. තවත් කල්වේලා නොගත යුතු නිසා ඔවුහූ වහා තම රෝහල් අධ්‍යක්ෂවරයා දැනුම්වත් කොට නේවාසිකාගාරයේ දොර විවෘත කරන්නට ක්‍රියාත්මක වෙති. දොර විවෘත කරන බලන කල ඔවුනට දක්නට ලැබෙන්නේ අදහාගත නොහැකි දර්ශනයකි. ඒ නිදන ඇඳෙහි තම නළලට අත තබාගෙන මියගොස් සිටින වෛද්‍යවරියගේ සීතල නිසල සිරුරයි. තම සහෝදර වෛද්‍යවරියගේ මරණය පිළිබඳ පොලීසිය දැනුම්වත් කරන්නට ඔවුහූ වහා ක්‍රියාකරති. එතැන් සිට නුවරඑළිය පොලීසිය ඩිලූෂිගේ මරණය පිළිබඳ පරීකෂණ ආරම්භ කරන්නේය. මේ අනුව පරික්ෂණ සිදු කරන පොලීසියෙන් වාර්තා වූයේ ඇගේ නිදන යහන අසල තිබී එන්නත් කටු කිහිපයක් ද දෙකට කැඩී ගිය කොස්සක් හා බිත්තියට ගසා බිඳ දැමූ මත්පැන් බෝතලයක් ද හමු වී ඇති බවයි. තවද මියගිය වෛද්‍යවරිය නිරතුරුවම ආදරයෙන් සාත්තු සප්පායම් කරමින් සැකැසූ ඕකිඩ් මල් පෝච්චි කිහිපයක්ද කුඩු කර දමා තිබෙන ආකාරය පොලිසියට නිරීක්ෂණය වී ඇත. එතැන් පටන් ඩිලූෂිගේ අභිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසියට දැන ගන්නට ලැබෙන්නේ ඩිලූෂි වෛද්‍යවරිය Depression (මානසික අවපීඩනය) නමැති රෝගී තත්ත්වයෙන් පෙළී ඇති බවය. පොලිසිය සිදු කළ පරීක්ෂණයේ දී ඒ බව එළිදරව් වී ඇත.

නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතා නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ සිදු කරන අතර නුවරඑළිය දිසා විනිසුරු මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා සිදුවීම වූ ස්ථානයට පැමිණ වෛද්‍යවරියගේ මළසිරුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇත්තේය. ඉන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කොට මිය යෑමට හේතු අධිකරණයට වාර්තා කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනූව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතා මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරියගේ මරණය පිළබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය රෝහලේ සිදු නොකොට මහනුවර රෝහලේ පවත්වන්නට ඉඩ ලබා දෙන ලෙසයි. මන්ද මියගිය ඩිලූෂි වෛද්‍යවරියගේ සැමියා නුවරඑළිය රෝහලේ සේවය කරන බැවින් මරණයේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව සිදු කළ යුතු බැවිනි. මෙම මරණය පිළිබඳ ඇයගේ මවුපියන් වන කථිකාචාර්ය යුවළටත් ඉංජිනේරු උපාධිය හදාරන සහෝදරයාටත් දැනුම් දී ඇති අතර වෛද්‍යවරියගේ සැමියා පවසා ඇත්තේ දික්කසාද නඩුවක් පවතින බැවින් ඇගේ මළ සිරුර බාර ගත නොහැකි බවයි. ඩිලූෂි වෛද්‍යවරියගේ අභිරහස් මරණය සැලවීමෙන් අනතුරුව ඇගේ මවුපියන්ගෙන් මේ පිළිබඳ කරුණු විමසූ අවස්ථාවේ දී වෛද්‍යවරියගේ පියා වන ඩී.සී. හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ තම මියගිය වෛද්‍ය දියණිය පිළිබඳ මාධ්‍ය විසින් ලබා දී ඇති ප්‍රචාරය සෑහෙන බවය. ඒ පිළිබඳ පවුලේ අය කිසිදු මාධ්‍යයකට කිසිදු තොරතුරක් මින්පසු ලබා නොදෙන්නට තීරණය කර ඇති බවත්ය. ඇගේ නිවෙසේ සිටි තරුණ සොහොයුරා ද පවසා සිටියේ ඒ වදන්මය.

මියගිය වෛද්‍යවරිය පිළිබඳ ඇය වාසය කළ දළුගම මුදියන්සේ වත්ත ප්‍රදේශවාසීන් පවසන්නේ ඩිලූෂි ගුණ යහපත්කම්වලින් හා මිනිස්කමින් යුතු තැනැත්තියක බවය. ඔවුන් පවසන අන්දමට ඇය පසුගිය සෙනෙසුරාදා නිවෙසට පැමිණ සිටි බවත් අසල්වාසීන් සමඟ හොඳින් කතාබහ කළ බවත්ය. කෙසේ නමුත් ජාතික වගකීමක් කරට ගනිමින් බාරධූර කාර්යයක නිරත වූ දක්ෂ වෛද්‍යවරියක රටට අහිමි වීම කාගේත් අවාසනාවකි.

වෛද්‍යවරියගේ මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ කතා සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සමාජ ගත වෙමින් පවතියි. ඇය සිය දිවි නසා ගත්තා ද නැතහොත් වෙනත් හේතුවක් නිසා ඇගේ මරණය සිදු වූවාද යන්න මේ වන විටත් හෙළිවී නොමැත. කෙසේ නමුත් ඩිලූෂි වෛද්‍යවරියගේ මරණයෙන් සමාජය උගත යුතු පාඩමක් ඇත. මෙම මරණය පිළිබඳ කරන ලද පොලිස් පරීක්ෂණවල දී හෙළිදරව් වී ඇති අන්දමට ඇය මානසික ආතතියෙන්පෙළුණු බව ප්‍රකාශ වේ. වර්තමාන සමාජයේ විවිධ ඛේදවාචකයනට මුහුණ පාන තරුණ තරුණියන් බොහොමයක් අතුරින් බහුතරයක් මානසික පීඩනයට සහ සිය දිවිහානි කරගැනීමට පෙලඹෙන්නේ ඔවුන්ගේ සිත් දරා ගැනීම්වලට ඔරොත්තු නොදෙන නිසා බව වෛද්‍ය පරීක්ෂණවලින්ම සනාථ වී තිබේ. එවන් යුගයක සමාන්‍ය ජනතාවට වඩා උසස් අධ්‍යාපනයක් ලබා සමාජයේ ගෞරවයට නිබඳවම ලක්වන ඉහළම වෘත්තීන්වල නියැළෙන පුද්ගලයන් මේ අයුරින් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයනට මුහුණපාන අයුරු දක්නට ලැබීම විමසුමට ලක්කළ යුතු අනුවේදනීය තත්ත්වයකි. මෙම ඛේදනීය තත්ත්වයට වත්මන් අධ්‍යාපන රටාව ද සෘජුවම බලපාන බව සත්‍යයකි.

මේ වන විට ඩිලූෂි වෛද්‍යවරිය ඉතා අඩු වයසින්ම සියලු දේ හැර දමා නික්ම ගොස් ඇත. එහෙත් ඇය සමුගත්තේ තම මරණය සම්බන්ධයෙන් සමාජය හමුවේ ගැටලු රැසක් ඉතිරි කරමිනි. ඩිලුෂි තම නිවාඩු හමාරවන්නටත් ප්‍රථම සේවයට පිටත්ව ගියේ ඇයි?. ඇගේ නේවාසිකාගාරයේ තිබී හමුවූ කොස්ස දෙකඩ කැඩී ගියේ ඇයි? මත් පැන් බෝතලයක් නේවාසිකාගාර බිත්තියේ ගසා කුඩුකර දැමුවේ කවුරුන්ද? ඇය මිය ගිය ස්ථානයේ තිබී හමු වූ එන්නත් කටු?, ඇය ආදරයෙන් සැකසූ ඕකිඩ් මල් පෝච්චි බිමට සමතලා කර දැමුවේ කවුරුන්ද? මේ සියල්ල තවමත් නොවිසුඳුණු ගැටලුය.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
පසුබිම් තොරතුරු - කැලණිය සමුහ- ලයනල් පෙරේරා.
නුවරඑළිය සමූහ- සී.මහගම

Comments