ජැමෙයිකාවෙන් තවත් තරුවක් බ්‍රියානා | සිළුමිණ

ජැමෙයිකාවෙන් තවත් තරුවක් බ්‍රියානා

ප්‍රශාන්ත

ජැමෙයිකාව යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් දූපතකි.

ක්‍රීඩා ලොවට එම දූපතේ දායකත්වය ප්‍රධාන වශයෙන්ම හිමි වූයේ ක්‍රිකට් සහ මලල ක්‍රීඩාවන්ගෙනි. ගත වූ කාලයේදී එම දූපතින් බිහි වී ජාත්‍යන්තර ක්‍රීඩා ලොව වර්ණවත් කළ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකි. ඒ අතරින් අනිවාර්යයෙන්ම විශිෂ්ටතමයා වන්නේ කෙටි දුර ධාවන මලල ක්‍රීඩා ශූර යුසේන් බෝල්ට්ය.

ඔලිම්පික් රන් පදක්කම් අටක් සහ ලෝක ශූරතා ජයග්‍රහණ රැසකුත් ඔහුට හිමිය. එමෙන්ම වත්මන් මීටර් 100 සහ 200 ලෝක වාර්තාවන්හි හිමිකරුවා වන්නේ ද බෝල්ට්මය. ඒ අනුව මීටර් 100 ඉසව්වට තත්පර 9.58 ක කාලයකි. මීටර් 200 ට තත්පර 19.19 කි. එම ද්විත්ව ලෝක වාර්තා හෙතෙම පිහිටුවූයේ 2009 වසරේදීය.

දැනට 30 හැවිරිදි බෝල්ට් මෙම වසරේදී ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් අනතුරුවය. කෙසේ හෝ බෝල්ට්ගේ සමුගැනීමත් සමඟම බොහෝ ජැමෙයිකානුවන්ගේ අවධානය තවත් මලල ක්‍රීඩිකාවක වෙතට යොමු වී තිබේ.

ඇය බ්‍රියානා ලිස්ටන්ය. තවමත් 12 වන වියේ පසුවන බ්‍රියානා පසුගියදා ජැමෙයිකාවේ පැවැති බාලක සහ බාලිකා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉතා විශිෂ්ට දස්කම් දැක්වූවාය. ඒ මීටර් 100 සහ 200 ද්විත්ව ඉසව්වන්ම ඉතා පහසුවෙන්ම ජය ගනිමිනි.

එහිදී ඇය වෙතට දැඩි අවධානයක් යොමු වූයේ එම ඉසව් නිමා කිරීමට ඇය ගත කළ කාලය නිසාවෙනි.

එහිදී බ්‍රියානා තරග කළේ වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය යටතේය. ඒ අනුව ඇය බාලිකා මීටර් 100 ජය ගත්තේ තත්පර 11.86 කිනි. මීටර් 200 තරගය ජය ගැනීමට ඇයට ගත වූයේ තත්පර 23.72 ක කාලයක් පමණකි.

ජැමෙයිකාවේ පැරණි මලල ක්‍රීඩා වාර්තාවන්ට අනුව මෙම වයසේදී බෝල්ට්ට පවා එවැනි දස්කමක් කිරීමට හැකි වී නැත.

ඒ නිසාම බෝල්ට් මෙන්ම අනාගතයේදී බ්‍රියානාද ජාත්‍යන්තරව අති විශිෂ්ට දස්කම් දක්වනු ඇති බවට බොහෝ ජැමෙයිකානුවෝ දැනටමත් බලාපොරොත්තු පළ කරති. මේ වන විට කාන්තා මලල ක්‍රීඩාවේ පැරණිතම ලෝක වාර්තා අතරටත් මීටර් 100 සහ 200 අයත්ය.

එම ලෝක වාර්තා 1988 වසරේදී පිහිටු වූයේ අමෙරිකාවේ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් විසිනි. ඒ මීටර් 100 තරගයට තත්පර 10.49 කි. මීටර් 200 ට තත්පර 21.34 කි.

කිසියම් හෙයකින් අනාගතයේදි මෙම ලෝක වාර්තා බිඳ දැමීමට බ්‍රියානා ලිස්ටන් සමත් වුවහොත් ඒ පිළිබඳ පුදුමවීමට දෙයකුත් නැත.

Comments