අපි ගගනගාමී අැඳුම් අරගෙන ආවේ මොකට කියලද හිතන්නේ? | සිළුමිණ

අපි ගගනගාමී අැඳුම් අරගෙන ආවේ මොකට කියලද හිතන්නේ?

වික්ටර් කොලුපායෙව් නමැති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් රචිත අමුතු ගස් විද්‍යා ප්‍රබන්ධයේ සිංහල අනුවාදය - 1 කොටස

1936 උපත ලද වික්ටර් කොලුපායෙව් ටොම්ස්ක් බහු තාක්ෂණික ආයතනයේ උපාධිය ලැබුවේය. 1965දී ඔහු සිය ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළ අතර 1969 ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ කළේය. 1972 සිට ඔහු දිගටම විද්‍යා ප්‍රබන්ධ පළ කළේය. ඔහුගේ බොහෝ විද්‍යා ප්‍රබන්ධ විදේශ භාෂාවලට පරිවර්තනය කොට ඇත. ඔහු රුසියාවේ ටොම්ස්ක් නගරයේ වාසය කරයි.

ප්‍රථමයෙන් දැඩි අන්ධකාරයකි. අනතුරුව අර්ධ වශයෙන් සිහි ලැබෙන්නට විය. තමා තවමත් ජීවත්ව සිටින බව ඔහුගේ හිරිවැටුණ මොළයෙන් ඔහුට අවබෝධ විය. ‘මට ආපසු සිහි ලැබිය යුතුයි‘. ඔහු ආරක්ෂක පටිය දැඩිව අල්ලා ගත්තේය. කර්කශ නාදයක් සහ කන් බිහිරි කරවන අන්දමේ හඬක් මොහොතකින් ඔහුට ඇසිණ. අනතුරුව දැඩි නිහඬතාවකි.

සිහි ලැබුණ විගස ඔහුට දක්නට ලැබුණේ තම හිසට උඩින් ඇති විනිවිද පෙනෙන ආවරණයයි. ඔහු තමාගේ ශක්තිය නැවත ලැබෙනතුරු මොහොතක් සිටි අතර අනතුරුව ඔහුට මෑත අතීතයේදී සිදුවු සියල්ල සිහිපත් විය. සිදුවන්නට ඇත්තේ නැවත පණ ගැන්වීමේ යන්ත්‍රණයේ කිසියම් වරදක් බව ඔහුට වැටහිණ. ඒ අප්‍රසන්න අවස්ථාව නැවත ඇති නොවිය යුතුය යන්න ඔහුගේ අපේක්ෂාව විය.

එහෙත් දරුවන්ට සිදුවූයේ කුමක්ද? ඔහු කල්පනා කළේය. ඔවුන්ගේ මැදිරිය ඊළඟ කොටසේ ඇත. ඔහු ‍තොරතුරු ඇතුළත් සිතියම ඇති ස්ථානය වෙත ගමන් කරන අතරමගදී සියලුම විදුලි සංඥා දර්ශකයන් දෙස යාන්තමින් බැලුවේය.

තරමක් ‍අවුල් තත්ත්වයකින් යුත් එක කොළ පැහැති දර්ශකයක් හැරෙන්නට අන් සියලු දර්ශක නියමිත පරිදි ක්‍රියාත්මක වෙයි. ඒ අවුලට පත්ව ඇති දර්ශකය ඔහුගේ දර්ශකයයි. 'හොඳයි කමක් නැහැ' ආපසු යන ගමනේදී එය නිවැරැදි කර ගත හැකිය. දැන් ඔහුට අවශ්‍ය වන්නේ දරුවන් බැලීමටයි.

ඔහු ළමයින්ගේ මැදිරියේ දොර විවෘත කර බැලූ විට සියල්ල යථා පරිදි පවතින බව පෙනී ගියේය. වෙනත් ලෙසකින් කිවහොත් එය සම්පූර්ණ අවුල් ජාලයකි. ළමයි කෑකෝ ගසමින් එකිනෙකා වෙත කොට්ටවලින් දමා ගසති. පැහැදිලිව පෙනී යන හැටියට ඔවුහු වෙනස්වන තත්ත්වයට ඉතා හොඳින් මුහුණ දෙමින් සිටිති.

"තාත්තේ" වීනා කෑගැසුවාය. "අපි දිනුම්. සන්ඩ්‍රෝව කොට්ටවලට යට කළා. ඒත් මේක පටන්ගත්තේ එයාමයි"

"මම තමයි" සන්ඩ්‍රෝ කැමැත්තෙන්ම පාපෝචාරණය කළේය. "ඒ ගොල්ල හිටියේ කලකිරුණු නිදිමත ගතියකින්. මට ඔනෑ වුණා ඒ අයව ක්‍රියාශීලීව තියන්න"

"අපි ළඟාවෙලාද තියෙන්නේ තාත්තේ?" ඕසා විමසුවාය. ඇය වැඩිමහල්ම තැනැත්තියයි. එයට පිළිතුරු ලැබෙන තෙක් නොසිටි ඇය මැදිරිය යථා තත්ත්වයට පත් කරන්නට පටන් ගත්තාය.

“ඔව්" පියා පිළිතුරු දුන්නේය. "අපි ළඟාවෙලයි තියෙන්නේ. අපේ යානාව දැන් ග්‍රහලෝකයේ උපග්‍රහයාගේ කක්ෂය වටේ යනවා. ඔය ළමයි ඉක්මන් කළොත් නිරීක්ෂණ මැදිරියෙන් ග්‍රහලෝකය බලා ගන්න පුළුවන්."

"මම තමයි මුලින්ම" වීනා කෑගැසුවාය.

"බොහෝ වෙලාවට ඔයා තමයි අන්තිමයා වෙන්නේ" පියා පැවසුවේය. " ඔය ළමයින්ට ඇඳවල් හදන්න හුඟක් වෙලා යාවි."

"මම ඇයට උදව් කරන්නම්" සන්ඩ්‍රෝ කීවේය.

"අපූරුයි. මම ඔය ළමයින්ට මිනිත්තු පහක් දෙන්නම්. ඉක්මන් කරන්න. ඔය ළමයි අවුල් කරපු මැදි‍රියේ ඒ බවක් පේන්නවත් තියෙන්න බැහැ"

ඔහු තොරතුරු සිතියම් ගත කර ඇති ස්ථානයට ගිය අතර වෙනස්වන කාලපරිච්ඡේදයට දරුවන් සූදානම් වන අන්දම ගැන සෑහීමකට පත්විය. එහෙත් ඔහුට සිදුව ඇත්තේ කුමක්ද? ඒ ගෙරවීම සහ කන් බිහිරි කරවන නාදය ඇයි? යානයේ ඇතුළත සහ පිටත් ඉදිකර ඇති ආකාරය ඔහු දැන සිටිය‍ේය. එහෙත් ගෙරවිලි ශබ්දය සහ කන්බිහිරි කරවන නාදය නම් ව්‍යාකූලය.

ළමයින්ගේ පැමිණීම ඔහුගේ සිතිවිල්ලට බාධාවක් විය. " ඒ ළමයි චරිත ස්වභාවයෙන් එකිනෙකාට වෙනස්ය. ඔවුන්ගේ හැසිරීමද චරිත ස්වභාවය අනුව සිදුවෙයි. තද ගති පැවතුම් ඇති හැමදේටම අවධානය යොමු කරන ඕසා කිසියම් දෙයක් වෙත ඇස් යොමු කරගෙන සිටින්නීය. දුරදිග නොබලා කටයුතු කරන සන්ඩ්‍රෝ නොදන්නා ග්‍රහලෝකයට මුලින්ම ළඟාවීමට දැඩි උනන්දුවෙන් පසුවෙයි. නොඉවසිල්ලෙන් සිටින වීනා අලුත් ක්‍රීඩා භාණ්ඩය එනම් අලුත් ග්‍රහ ලෝකයේ සෙල්ලම් කිරීමට ආශාවෙන් සිටින්නීය.

කැරකෙන පුටුවක අසුන්ගෙන සිටින පියා ඉන්ද්‍රජාලිකයකු මෙන් පුදුමාකාර දෙයක් කිරීමට සූදානම් වෙයි.

"ඉක්මන් කරන්න තාත්තේ" වීනා බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය.

"සූදානම්. දැන් අපි යමු" පියා බොත්තමක් තද කරමින් කීවේය. නිරීක්ෂණ මැදිරිය ආවරණය කරමින් තිබූ වැස්ම ක්‍රමයෙන් ඉවත් වූ අතර විනිවිද පෙනෙන ආවරණයක් තුළින් ඔවුන්ගේ හිසට ඉහළින් සහ දෙපාවලට පහළින් කරකෙන ගෝලය දිස් විය.

වීනා සතුටින් උඩ පැන්නාය. සන්ඩ්‍රෝ උනන්දුවෙන් ඉදිරියට එබී බැලුවේය. ඕසා ගල් ගැසී බලා සිටියාය.

මීදුම වැනි තුනී තට්ටුවකින් ආවරණය වු නිශ්චල ගෝලය ඔවුන්ට දක්නට ලැබිණ. ග්‍රහලෝකයේ පැත්තකට හිරු එළිය වැටී තිබූ අතර වලාකුළු අතරින් නිල් පැහැති සාගර තිත් ලෙස පෙනිණ. ළා දුඹුරු පැහැයෙන් යුත් කාන්තාර සහ ඇස් රවටන හි‍මෙන් වැසුණ කඳු මුදුන් පෙනෙන්නට ඇත.

"ඔව්" මෙය දකින්නට ආලෝක වර්ෂ සිය ගණනක් ‍දුර ගෙවා පැමිණීමට තරම් අගනේය. පියා ඡායාරූප ගැනීමට වෙහෙසවෙද්දී ළමයි ඇස් ඇ‍රගෙන මේ පුදුමාකර දෙය දෙස බලා සිටියහ.

"ළඟට යන්න ඕනෙද?" පියා විමසුවේය.

"මට ඒකෙ ඇවිදින්න ඕනෙ" සන්ඩ්‍රෝ අවධාරණය කළේය.

"වෙලාව ආවහම. අපි මෙච්චර දුර ගෙවාගෙන ආවෙ මේකෙ මිනිත්තු කීපයක් ගත කරන්න නෙවෙයි."

"එහෙනම් අපි ග්‍රහලෝකයේ ඇවිදින්න යනවා!" වීනා සතුටින් කෑ ගැසුවාය.

"අපි ගගනගාමී අැඳුම් අරගෙන ආවේ මොකට කියලද හිතන්නේ?" ඕසා විමසුවාය.

"ඇත්තටම අපි ඒකේ ඇවිදිනවා විතරක් නෙවෙයි, දුවනවා!"

"ඔව්. ස්වභාවයෙන්ම" පියා පැවසුවේය. "ඒත් අපි ග්‍රහලෝකයට ගොඩ බැස්සහම අපේ දර්ශන පථය සීමා වෙනවා. ඒත් මෙහෙදි අපට විශාල ප්‍රදේශයක් නරඹන්න පුළුවන්."

"අපි තවමත් හුඟක් පහළින් ඉන්නේ" සන්ඩ්‍රෝ විරෝධය පළ කළේය.

"අපි තවත් ටිකක් පහළට බැහැල ග්‍රහලෝකේ වටේ පියාසර කරමු."

"මේකට කියන නම මොකක්ද?" ඔසා විමසුවාය.

"මම ග්‍රහලෝක සිතියම පරීක්ෂා කරල බැලුවා. මේකට තියෙන්නේ අමුතු නමක්. මම දන්නේ නැහැ ඒක අපේ භාෂාවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඒකේ තේරුම පැහැදිලි නැහැ" පියා පිළිතුරු දුන්නේය.

"අපි ඒකට නමක් දෙමු" සන්ඩ්‍රෝ යෝජනා කළේය.

"අපට ඒක කරන්න බැහැ පුතේ. ග්‍රහලෝකයට දැනටමත් නමක් දීලයි තියෙන්නේ"

පියා පාලක මැදිරියේ අසුන් ගත් අතර යානය ග්‍රහලෝකය වටේ පියාසර කරමින් දඟර ගැසෙමින් කැරකැවෙමින් හෙමිහිට පහළට බසින්නට විය. ඉක්මනින්ම ඔවුන්ට වලාකුළු ආසන්නයට පැමිණිය හැකි විය. වලාකුළුවල හිදැස් අතරින් ඔවුන්ට ගංගා, විල්, ජලාශ, කැලෑ, කුඹුරු සහ නගර දක්නට හැකි විය. "ඔව්. ඇත්ත නගර. ඒවා අමුතු වුණත් නගර" සමහර නගර ප්‍රමාණයෙන් විශාලය. තවත් ඒවා කුඩා විය. සමහර නගර අඩක් නටබුන් වී ඇත. තවත් සමහර නගර මුළුමනින්ම නටබුන් බවට පත්ව ඇත.

"තාත්තේ, මෙහෙ කිසියම් වර්ගයක ශිෂ්ටාචාරයක් තිබුණද?" සන්ඩ්‍රෝ විමසුවේය.

"ඔව්. යටත් පිරිසයින් එවැන්නක් තියෙන්න ඇති."

ලබන සතියට

Comments