විශිෂ්ටයන් අතර විශිෂ්ටයා රොනල්ඩෝ | සිළුමිණ

විශිෂ්ටයන් අතර විශිෂ්ටයා රොනල්ඩෝ

 

මේ වන විට ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා ලෙසට සැලකෙන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසිය. ඔවුන්ගෙන් වඩාත්ම විශිෂ්ටතමයා කවුරුන් ද යන්න පිළිබඳ විවිධ මත තිබේ.

කෙසේ වෙතත් 2016 වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසට රොනල්ඩෝ තේරී පත් විය. ඒ ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරදී පැවැති ලෝක පාපන්දු සම්මේලන (ෆීෆා) ප්‍රථම සම්මාන උළෙලේදී වසරේ ක්‍රීඩකයා ලෙස රොනල්ඩෝ සම්මාන හිමිකර ගැනීමත් සමඟිනි.

එහි දෙවන තැන මෙසි සහ තෙවන තැන ප්‍රංශයේ ඇන්ටොන් ග්‍රියිස්මන් හිමිකර ගත්හ. මෙම තේරීම සිදුවූයේ ඡන්ද විමසීමක් මඟිනි. ඊට විවිධ රටවල ජාතික කණ්ඩායම්වල නායකයන්, පුහුණුකරුවන් සහ මාධ්‍යවේදින් ද සහභාගි වූහ. එහිදී රොනල්ඩෝට සියයට 34.54 ක ඡන්ද ප්‍රමාණයක් හිමිවිය. මෙසිට සියයට 26.42 ක් සහ ග්‍රියිස්මන්ට සියයට 07.53 ක ඡන්ද ප්‍රමාණයක් හිමි වූහ.

මෙම ක්‍රීඩකයන් තිදෙනාම වෘත්තියමය වශයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම් නියෝජනය කිරීම විශේෂත්වයකි. ඒ රොනල්ඩෝ රියල් මැඩ්රිඩ්, මෙසි බාර්සිලෝනා සහ ග්‍රියිස්මන් ඇත්ලෙටිකෝ මැඩ්රිඩ්ය.

31 හැවිරිදි රොනල්ඩෝ 2016 වසරේදී ප්‍රධාන පාපන්දු ශූරතා කිහිපයක්ම හිමිකර ගැනීමට සමත් විය. ඒ රියල් මැඩ්රිඩ් සමඟ චැම්පියන්ස් ලීග් සහ ලෝක සමාජ ශූරතාවත් පෘතුගාල ජාතික පිල සමඟ යුරෝපීය ශුරතාවයයි. මින් යුරෝපීය ශූරතාව ජය ගත් පෘතුගාල කණ්ඩායමේ නායකයා වූයේත් රොනල්ඩෝය. එහිදී අනුශූරතාව හිමිකර ගනු ලැබුවේ ග්‍රියිස්මන් ක්‍රීඩා කළ සත්කාරක ප්‍රංශයයි.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments