Home » තව අවුරුදු තුනක් පමණ යද්දි රට පූර්ණ ලෙස ස්ථාවර වෙනවා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

තව අවුරුදු තුනක් පමණ යද්දි රට පූර්ණ ලෙස ස්ථාවර වෙනවා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

by sachintha
April 20, 2024 12:25 am 0 comment

සාකච්ඡා ධනාත්මකව අවසන් කර මීළඟ ණය වාරිකය ඉක්මනින් ලබා ගන්නවා

 

ආදායම් ප්‍රමාණ යඉහළ නංවන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි

 

දෙපාර්ශ්වයේම එකම මඟ බවට පත්ව තිබෙන්නේ අන් කිසිවක් නොවෙයි, සාකච්ඡා කිරීම පමණයි

 

ස්වෛරී බැඳුම්කර ණය හිමිකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ඉදිරියේදී පවත්වන සාකච්ඡා, එම එකඟතා ඉදිරි අයි.එම්.එෆ්. ණය වාරිකයට බලපෑමක් සිදු කරයිද යන්න, ස්වෛරී බැඳුම්කරකරුවන් සමඟ රජය සාකච්ඡා සිදු කරනු ලබන ආකාරය, මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමේ ක්‍රම මොනවාද යන්න පිළිබඳව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු සංවාද සටහනකි.

 

 මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මීළඟ මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා දීම ඉදිරි මාස තුන ඇතුළත ලබා දීමට නියමිතව තිබෙනවා. එහෙත් මේ තත්ත්වය තුළ ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සිදු කරනු ලබන සාකච්ඡා තවමත් අවසාන වී නැහැ. මේ තත්ත්වය අපට ලැබෙන තුන්වන ණය වාරිකයට ගැටලුවක්ද?

අමෙරිකාවේ වොෂින්ටන් නුවර පවත්වනු ලබන ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගි වූ නියෝජිතයන් නැවත මෙරටට පැමිණි පසු රජයේ නියෝජිතයන් පිරිසක් ලන්ඩන් නුවර බලා පිටත් වෙනවා. එම සංචාරයේ අරමුණ බවට පත්වන්නේ මෙරටට ණය ලබා දුන් ස්වෛරී බැඳුම්කර ණයකරුවන් සමඟ නැවත සාකච්ඡා කර අවශ්‍ය අවසාන එකඟතාවලට පත්වීමයි. අප පසුගිය මාර්තු මාසයේදී ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී අපට හැකියාව ලැබුණා කරුණු හතරකින් කරුණු දෙකක් පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීමට. එහෙත් තව කරුණු දෙකක් තියෙනවා ඔවුන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට. රජය සමඟ පැවැත්වෙන මීළඟ සාකච්ඡා වටය ණය හිමියන් සමඟ වඩාත් නම්‍යශීලි ආකාරයටත්, වඩාත් සමීපවත් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සාකච්ඡ සඳහා නීති උපදේශක සහය මෙන්ම මූල්‍ය උපදේශක සහය ලබා ගැනීමටත් කටයුතු කරනු ලබනවා. ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය එකඟතා ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා.

අප මෙම කාර්යයේදී Lazard Institute of France සහ Clifford Chance Lip Institute උපදේශන ආයතනවල සහාය ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා. අපේ අරමුණ බවට පත්ව තිබෙන්නේ මෙම සාකච්ඡා ඉක්මනින් සහ ධනාත්මක ලෙස අවසාන කර මීළඟ ණය වාරිකය ලබා ගැනීමට කටයුතු කිරීමයි.

 මේ සකච්ඡා දිගින් දිගටම ඇදී ගියහොත් ජූනි මාසයේදී ලබා ගැනීමට නියමිත අයි.එම්.එෆ්. තුන්වන වාරිකය ලබා ගැනීම ප්‍රමාද වෙයිද?

කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය සහය අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ලබා දෙනවා. අප ස්වෛරී බැඳුම්කර ණය හිමිකරුවන් සමඟ අවශ්‍ය සාකච්ඡා කඩිනමින් අවසාන කිරීමට අපේක්ෂා කරනවා. ඒ නිසා අප රටට ලැබෙන තුන්වන ණය වාරිකය ලැබීමේ අපේක්ෂිත දින වකවානු පිළිබඳව ගැටලුවක් ඇතිවන්නේ නැහැ.

 මෙවැනි ප්‍රවණතා විසඳා ගැනීමට තිබෙන්නේ කුමන ආකාරයේ මාර්ගද?

අප අද යම් කිසි තැනකට රට අරගෙන ඇවිත් තිබෙනවා, ඒ කාර්ය ඉටු කරනු ලැබුවේ නිකම්ම නොවෙයි. දිගින් දිගටම සාකච්ඡා කරමින්. නැවත නැවත සාකච්ඡා කර එකඟතා ඇති කර ගනිමින්. ඇත්තෙන්ම මේ එකඟතා ඇති කර ගැනීමේදී අප දෙපාර්ශ්වයේම එකම මඟ බවට පත්ව තිබෙන්නේ අන් කිසිවක් නොවෙයි සාකච්ඡා කිරීමම පමණයි. මෙවැනි අර්බුද ජය ගැනීමට සාකච්ඡා කිරීම හැර කිසිදු විකල්පයක් නැහැ. ඒ අනුව අප ඉදිරි දිනවලදී ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය එකඟතාවන් ඇති කර ගැනීම සිදු කරනු ලබනවා.

 ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයි.එම්.එෆ්. වෙත යොමු වීම හැර වෙනත් විකල්ප මඟක් නැද්ද?

අනිවාර්යෙන්ම අපට අයි.එම්.එෆ්. ණයෙන් පමණක් ආර්ථික වශයෙන් ගොඩ ඒමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප දැන් ආදායම් ප්‍රමාණය වැඩි කර ගනු ලබන වැඩපිළිවෙළක් වෙත යොමු වෙන්න ඕනැ. එහෙම කළොත් අපට රටක් විදිහට යම් විදිහකට සතුටු වෙන්න පුළුවන්. රජයේ සේවකයන්ගේ වැටුප් පසුගිය කාලයේදී වැඩි වුණා තමයි. ඒත් එයට සාපේක්ෂව වියදම් ප්‍රමාණයද වැඩි වුණා. ඒ නිසා අප මූලික වශයෙන් ආදායම් ප්‍රමාණය ඉහළ නංවන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මම නිතරම කියන දෙයක් තමයි ආර්ථිකය වර්ධනය කළ යුතුයි කියන කරුණ.

 ඒ සඳහා විකල්පය කුමක්ද , ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

විකල්පය කියන්නේ අපේ කඩාවැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම. ඒ සඳහා ක්‍රම ඇති කර ගත යුතුයි. ඒ අතර සංචාරක කර්මාන්තය නැවත ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීම වැනි කරුණු මූලික කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති එක්ක ඒ අවස්ථාවන් අප ප්‍රයෝජනයට ගන්න ඕනෑ. මම සඳහන් කළේ කෙටි කාලීන ඒවා. එයට අමතරම අප රට කලාපීය ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට ගොඩනැඟීම සිදු කළ යුතුයි. ඒ තත්ත්වය ගොඩනඟා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඇති කර ගන්න ඕනෑ. කෙටි කාලීනව වරාය පද්ධතිය සංවර්ධනය කිරීම සිදු කළොත් අපට පුළුවන්කම ලැබෙනවා සෙසු කලාපීය වරාය සමඟ තරග කිරීමට. ඒ තත්ත්වය තුළ අප රටක් විදිහට ගන්න පුළුවන් වැඩපිළිවෙළ කුමක්ද යන්න සලකා බලා සැලසුම් ඇති කර ගන්න ඕනැ.

ද්වි පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් මඟින් අපට වාසිදායක තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන්.

තවත් ඛනිජ ද්‍රව්‍ය අපනයනය කිරීම වැනි ක්‍රම මඟින් අපට අලුත් ආදායම් මාර්ග මෙන්ම පැවැති ආදායම් මාර්ග තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ආදායම් ලැබෙන තවත් මාර්ගයක් බවට පත්වන්නේ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමයි. එමඟින් මෙරට රැකියා බහුල කිරීමටත් හැකියාව ලැබෙනවා. එවැනි ක්‍රම මඟින් අපට අපේ ආර්ථිකය මෙන්ම ආදායම් මාර්ගද ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා.

 අයි.එම්.එෆ්. මීළඟ වාරිකය මොන වගේ කරුණු සඳහාද යොදවන්නේ?

සාමාන්‍යයෙන් එවැනි ණය වාරිකයක් ලබා දෙන විට අප කරන්න ඕනැ දේ කුමක්ද කියලා මාර්ගෝපදේශයක් ලබා දෙනවා. ඒත් මේ ණය වාරිකවලදී එහෙම දෙයක් නැහැ. අපේ ණය වාරිකය ගන්නේ කුමකටද යන්න අයි.එම්.එෆ්. එක විමසන්නේ නැහැ. එහෙත් අප තද නීති පද්ධතියක සිටයි කටයුතු කරන්නේ, රාජ්‍ය වියදම් කපා දැමීම ඇතුළු නීතිවලට යටත්වයි කටයුතු කරන්නේ.

 රුපියල ශක්තිමත් වීම පසුගිය කාලය තුළ වේගයෙන් සිදුවෙනවා. ඒත් මෙහි ප්‍රතිලාභ ලැබීම ජනතාවගේ පාර්ශ්වයට ලැබෙන්නේ සෙමෙන්?

අපේ රටේ යම් දෙයක මිල ඉහළ ගියාම නැවතත් මිල පහළ යෑම සිදු වන්නේ සෙමෙන් . එවැනි දේ රජයකට නීති දැමීමෙන් පමණක් සිදු කරන්න බැහැ. අපට භාර වුණේ සම්පූර්ණයෙන්ම කඩාවැටුණ රටක්. දැන් අප ක්‍රමානුකූලව රට යම් ස්ථාවර තැනකට රැගෙන යමින් තිබෙනවා. තව අවුරුදු තුනක් පමණ යද්දි රට පූර්ණ ලෙස ස්ථාවර වීමත් සමඟ ජනතාව වෙත පූර්ණ ලෙස ප්‍රතිලාභ ගලා යෑමක් සිදු වේවි. ඩොලරයේ ශක්තිය හීන වෙමින් රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිලාභ දීර්ඝ කාලීනව අපේ රටට යහපත් ආකාරයට බලපානු ලබනවා.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division