Home » බොරලැස්ගමුවේ කොන්ත්‍රාත්කරුගේ මාරයා කොටුකළ ‘වෝහාරික’ මෙහෙයුම

බොරලැස්ගමුවේ කොන්ත්‍රාත්කරුගේ මාරයා කොටුකළ ‘වෝහාරික’ මෙහෙයුම

by thanushika
April 20, 2024 12:30 am 0 comment

මේ දිනවල යුක්තිය මෙහෙයුම ඔස්සේ මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් පසුපස හඹා යන පොලිස් නිලධාරින් දිවා රෑ නොබලා සිදු කරන්නේ ඉමහත් සේවාවකි. එලෙස මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා තුරන් කිරීමට වෙහෙසෙන පොලිස් නිලධාරින්ට මීට අමතරව වෙනත් අපරාධවල විමර්ශනය සඳහා ද දැඩි වෙහෙසක් දරන්නට සිදු වේ. එසේ ඉතා සූක්ෂ්ම විමර්ශනයකින් සැකකරු දින තුනක් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ මිනිස් ඝාතනයක සුලමුල අනාවරණය කරගැනීමට බොරලැස්ගමුව පොලිසියේ නිලධාරින්ට හැකි විය. මේ ඒ කතාව මුල සිට අගට පෙළ ගැසෙන ආකාරයයි.

ඉකුත් අප්‍රේල් 2 වැනිදා රාත්‍රී 9.20ට පමණ බොරලැස්ගමුව පොලිසියේ දුරකතනය නාද විය.

“සර්… බෙල්ලන්විල පාරේ දේවාලමුල්ල මස් කඩේ ළඟ කෙනෙක්ගෙ බෙල්ල කපලා වැටිලා ඉන්නවා…“ දුරකතන ඇමැතුම දුන් පුද්ගලයා පොලිසියට එලෙස කීවේය.

අනතුරුව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් ජංගම මුර සංචාරක රථය ද එම ස්ථානයට යද්දී අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු ද කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගියේය.

ඒ වන විට තුවාල ලත් පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයකින් කළුබෝවිල රෝහලට යැවීමට කටයුතු කොට තිබිණි. රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මිය ගොස් සිටියේය. ත්‍රිරෝද රථයකින් මස් වෙළෙඳසල අසලට පැමිණ සිටි එම පුද්ගලයාගේ ගෙල කිසිවකු විසින් කැපීමෙන් ඝාතනය සිදුවී තිබිණි.

පොලිස් නිලධාරින් ඒ පිළිබඳ විමර්ශන ඇරැඹීය. ඝාතනය වූ පුද්ගලයා පැමිණ සිටියේ යුවළක් සමඟ ත්‍රීරෝද රථයකිනි. ත්‍රීරෝද රථය ඝාතනය වූ පුද්ගලයාගේමය. ඔහු සමඟ එලෙස පැමිණ සිටියේ දෙහිවල හෝටලයක් පවත්වාගෙන යන අඹුසැමි යුවළකි. එම යුවළගෙන් පොලිසිය ප්‍රශ්න කෙළේය.

“සර්… කාලෙක ඉඳලා මෙයා අපේ ළඟම හිතවතෙක්. ‘එයාගේ‘ ත්‍රිවිල් එකෙන් මායි නෝනයි ආවේ අපේ හෝටලේට ඌරු මස් අරන් යන්න…“යැයි එම හෝටල් ව්‍යාපාරිකයා පැවැසීය.

එලෙස ඝාතනය කර තිබුණේ 38 හැවිරිදි ඉන්දික ලක්මාල්ය. අවිවාහක පුද්ගලයකු වන ඉන්දික වසර දෙකක පමණ කලක සිට බෙල්ලන්විල, විහාර මාවතේ බෝඩිමක වාසය කළේය. කොන්ත්‍රාත් ගෙන මේසන් වැඩ සහ පයිප්ප වැඩවල නිරත වන ඉන්දික ‘වැඩ‘ නැති අවස්ථාවල සිය හිතවතා වූ හෝටල් හිමිකරුට සහාය දුන්නේ තමාගේ ත්‍රීරෝද රථයෙන් ගමන්බිමන් ද යමිනි.

එදින ඔහු එලෙස හෝටල් හිමිකරු සමඟ හෝටලයට මස් රැගෙන යාමට පැමිණ හෝටල් හිමිකරු මස් මිලදී ගැනීමට වෙළෙඳසලට ගියේය. ඔහුගේ බිරිය ත්‍රීරෝද රථයේ සිටි අතර ඉන්දිකද ත්‍රීරෝද රථය අසල සිටියේය. ඒ මොහොතේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් ක්ෂණයෙන් ඉන්දිකගේ ගෙලට මන්න පහරක් එල්ලකර තිබිණි. එසැණින් ඉන්දික ඇද වැටිණි. ඒ සමඟම ක්‍රියාත්මක වූ එම පුද්ගලයා ඇද වැටුණු ඉන්දිකගේ ගෙලට තවත් මන්න පහරක් එල්ලකොට පැමිණි යතුරුපැදියෙන්ම දෙහිවල දෙසට පලා ගොස් තිබිණි.

“ඉන්දිකට එහෙම තරහාකාරයෝ හිටියෙත් නෑ සර්… ඇත්තටම හිතාගන්න බෑ මොකද්ද සිද්ධ වුණේ කියලා…“ යැයි ඉන්දිකගේ හිතවත් හෝටල් හිමිකරු පොලිසියට වැඩිදුරටත් පැවැසීය.

අනතුරුව එම ඝාතනය පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත්කොට ලද උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මුදිත දල්පතාදු ඇතුළු කණ්ඩායම විමර්ශන සඳහා මෙහෙයවීය.

එහෙත් මූලික විමර්ශන සඳහා ද ගැටලු රැසකි. ඉන්දික සම්බන්ධව කිසිම අනවශ්‍ය සිදුවීමක් ද නැත. විමර්ශන නිලධරයෝ සිද්ධිය වූ අවට සීසීටීවී පරීක්ෂා කළහ. එහිදී එම මස් වෙළෙඳසලට යාබද කජු වෙළෙඳසලෙහි සීසීටීවී පරීක්ෂාවේදී යතුරුපැදියක් පැමිණෙන ආකාරයත් එම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා අදාළ අපරාධය සිදුකරන ආකාරයත් දර්ශනය විය. මේ අතර ඉන්දික ඝාතනය වූ දිනම රාත්‍රියේ පොලිස් පරීක්ෂක මුදිත ඇතුළු කණ්ඩායමට තොරතුරක් ලැබිණි.

“සර් දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා අබේරත්න මාවතේ ලයිට් කණුවක බයික් එකක් හැප්පුණා… ආපු කෙනා ළඟ ලේ ගෑවිච්ච මන්නෙකුත් තිබුණා… හැබැයි මිනිහා ආපු වේගෙන්ම ආයෙත් බයික් එකට නැඟලා යන්න ගියා…” යැයි තොරතුරුකරු පොලිසිය එලෙස දැනුවත් කළේය.

පසුදා අලුයම යතුරුපැදි අනතුර වූ ස්ථානය නිලධාරින් විසින් සෝදිසි කරන ලදි. එම ස්ථානයේ තිබී යතුරුපැදියක කැඩී ගිය කොටස් කීපයක් හමු විය. ඒ පසුදා රාත්‍රී අනතුරට පත්වූ යතුරුපැදියේ කොටස් බව පොලිස් නිලධාරින්ට හැඟී ගියේය. පොලිසිය ඒ අවට තවදුරටත් සිදුකරන ලද සීසීටීවී පරීක්ෂාවේදී යතුරුපැදියක අංකයක් හමුවිය. ඒ WP BGO 2329 දරන අංකයයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංකය ගැන සොයා බලද්දී හොන්ඩා ඩියො වර්ගයේ එම යතුරුපැදිය අත්තිඩිය ලිපිනය සහිත කාන්තාවකගේ නමට ලියාපදිංචිකර තිබුණු එකක් බවට තොරතුරු හෙළි විය.

පොලිස් නිලධරයෝ අත්තිඩියේ එම ලිපිනය සොයා ගියහ. වර්තමානයේ එම ලිපිනයේ පිහිටි නිවසක් නොවීය. අවට නිවැසියන්ගෙන් ඒ පිළිබඳව විමසද්දී සැල වූයේ කලකට පෙර එම ස්ථානයේ නිවසක් තිබුණු බවත් පසුව එහි සිටි පිරිස එම නිවස හැර දමා යාමෙන් පසු නිවස ගරා වැටි ඇති බවත්ය. එම පිරිස දැනට සිටින්නේ කොහේදැයි යන්න තමන් නොදන්නා බවය. එම අංකය සහිත යතුරුපැදිය ගැන වැඩිදුරටත් විමර්ශනය කරද්දී 2019 වසරේ ලීසිං පහසුකම යටතේ යතුරුපැදිය මිලට ගෙන ඇති බව හෙළිදරව් විය.

බොරලැස්ගමුව පොලිස් නිලධාරින් අදාළ ලීසිං ආයතනයට ගොස් සොයා බලද්දී එහි තිබුණේද අත්තිඩියේ ලිපිනය පමණි. එහෙත් එම ආයතනයේ තිබූ ලිපි ගොනුවේ කිසිවකුට අයත් දුරකතන අංකයක් තිබී ලබා දුන්නේය. තවද යතුරුපැදිය ලියාපදිංචි කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකයද එහි තිබී පොලිස් නිලධාරින්ට ලබා දුන්නේය. එම අයිඩී අංකය ඔස්සේ වැඩිදුර විමර්ශනයේදී අයිඩී අංකයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කෙරිණි. එමඟින් එකී ජාතික හැඳුනුම්පත් අංකය පාණදුර, හිරණ පොලිස් වසමේ නිව්ඩාව ප්‍රදේශයේ ග්‍රාමසේවා වසමකට අදාළව ලියාපදිංචි වී ඇති බව තහවුරු විය.

පොලිස් කණ්ඩායම අදාළ ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධ කරගන්නේ ඒ මොහොතේමය. එමඟින් හෙළි වූයේ එම ලිපිනයට අදාළව කාන්තාවන් තිදෙනෙක්ම ලියාපදිංචි වී ඇති බවය. එහිදී හෙළි වූයේ ඉන්දික ඝාතනයට සැක පුද්ගලයාට ගැහැනු දරුවන්ම තිදෙනෙක් සිටින බවය. එලෙස ජාතික හැඳුනුම්පත ඔස්සේ විමර්ශන සිදුවෙද්දී ලීසිං සමාගම දුන් දුරකතන අංකය ඔස්සේද විමර්ශන ඇරැඹිණි. එම දුරකතන අංකය ඝාතන සැකකරුගේ එක් දියණියකගේ නමකට ලියාපදිංචි කර තිබිණි. පොලිස් නිලධාරින්ගේ විමර්ශන සාර්ථකය. එම දුරකතන අංකයේ දත්ත වාර්තා ඔස්සේද විමර්ශන සිදුවෙද්දී පාණදුර, හිරණ නිවසද පොලිස් නිලධාරින්ට සොයා ගැනීමට හැකි විය. ඒ ඝාතනයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් වීම විශේෂත්වයකි.

එනම් 3 වැනිදා සවස් වෙද්දී එම නිවස සොයා පොලිස් නිලධාරින් යන්නේ කිසියම් තොරතුරක් සොයා ගැනීමටය. ඒ වන විට නිවසේ කිසිවෙක් නොවීය. නිවස වසා දමා පිරිස පලා ගොසිනි. පොලිස් කණ්ඩායමක් එම නිවස අවට අවේක්ෂණ රාජකාරියට යෙදවිණි. මේ අතර දුරකතන විශ්ලේෂණ වාර්තා මඟින් සැකකාර පුද්ගලයා භාවිත කළ දුරකතන අංක සියල්ල සොයා ගැනීමට ද පොලිසියට හැකිවිය. එම දුරකතන අංකවල ඉන්දික ඝාතනය වූ දින කුලුනු වාර්තා පරීක්ෂාවේදී සැකකරු බොරලැස්ගමුව අවට සැරිසැරු බවට තහවුරු විය. ඊට අමතරව පොලිස් නිලධාරින් සොයා ගත්තේ සැකකරුගේ බාල දියණිය බොරලැස්ගමුවේ පොත් වෙළෙඳසලක සේවය කරන බවය.

එම වෙළෙඳසලේ අයගෙන් ප්‍රකාශ ලබා ගනිද්දී අනාවරණය වන්නේ තැඹිලි සහ කොළ පැහැති ඩියෝ යතුරුපැදිය වෙළෙඳසලේ සේවය කරන තැනැත්තිය වෙළෙඳසලට රැගෙන ඒමට යාමටද ඇගේ පියා භාවිත කරන බවය. ඒ ඔස්සේ පොලිසිය අනාවරණය කරගත්තේ යතුරුපැදිය ලියාපදිංචි හිමිකාරියගේ සැමියා පාවිච්චි කරන බවය. ඒ සමඟම මෙකී අපරාධය ඔහු හෝ ඔහු දැනුවත්ව වෙනත් අයෙක් කළ බවට පොලිස් නිලධාරින්ට ඒත්තු යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

එලෙස විමර්ශන පුළුල්ව සිදුවෙද්දී පසුගිය 4 වැනිදා සවස ආවේක්ෂණ රාජකාරියේ නිරත නිලධාරින්ට තොරතුරක් ලැබුණේ වසා දමා ඇති නිවසට එම සැකකාර පුද්ගලයා ඔහුගේ දියණියක සමඟ පැමිණ ඇති බවය.

එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් එම නිවසේ සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේය. එම නිවස තුළ රෙදිකඩකින් වසා ඉන්දික ඝාතනයට සැකකරු පැමිණි යතුරුපැදියද විය. එය අනතුරට ලක්වීමෙන් එහි කොටස් කැඩී ගිය ආකාරයද දිස් විය.

පොලිස් අත්අඩංගුවට ගත් ඉන්දිකගේ ඝාතකයා 49 හැවිරිදි ප්‍රියන්ත සුජීවය. නාගහවත්ත පාර, නිව්ඩාව ලිපිනයේ පදිංචි ප්‍රියන්තට අවුරුදු 24, 22 සහ 17 වයස්වල පසුවන ගැහැනු දරුවන්ම තිදෙනෙකි. පෙදරේරු රැකියාවේ නිරත ප්‍රියන්තගෙන් පොලිස් නිලධරයෝ ප්‍රශ්න කළහ.

“ඇයි තමුන් අර මනුස්සයව මැරුවේ…?“ පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“සර්… ඒකා මගේ ගෑනිත් එක්ක අවුරුදු ගාණක ඉඳන් සම්බන්ධයක් ඇති කරගෙන හිටියේ… පස් පාරක් මගේ ගෑනි ඔය මිනිහත් එක්ක ගියා… මං ඒ හැම අවස්ථාවකම මගේ ගෑනිව ගෙදර එක්කගෙන ඇවිත් සමාව දීලා සාමදානෙන් පවුල් කන්නයි හැදුවේ… බැරිම තැන රටත් යැව්වා ඔය සම්බන්දෙ කඩන්න… ඒත් බැරිවුණා… පසුගිය මාර්තු 22 වැනිදා ගෑනි ආයිත් ගෙදරින් ගියා… මං හැමතැනම හෙව්වා… අද වනතුරු ගෑනි ඉන්න තැනක් දන්නේ නෑ… මේ ප්‍රශ්නෙ නිසා මගේ ගෑනු දරුවෝ තුන්දෙනාට හරියට කසාදයක්වත් කරගන්න බැරිවෙයි කියලා මං බයෙන් හිටියේ… ඒකයි මං ඕකුන් දෙන්නව ඉවරයක් කරලා දාන්න හිතුවේ…“ යැයි ඉන්දික ඝාතනයේ සැකකාර සූජීව ප්‍රියන්ත පොලිස් නිලධාරින් ඉදිරියේ එලෙස පාපෝච්චාරණයක් කෙළේය. අනතුරුව හෙළි වන්නේ මෙවැනි කතාවකි.

සැකකාර සුජීව සහ ඉන්දික වසර 15ක පමණ කලක සිටම මිතුරන්ය. සහෝදරියක සහ සහෝදරයකුගෙන් සමන්විත පවුලේ බාලයා වන ඉන්දික මාතර, කරගොඩ උයන්ගොඩ සිට මීට වසර 15කට පමණ පෙර රැකියාවක් සොයා කොළඹ පැමිණීමෙන් පසු ඔහුට සුජීව මුණගැසිණි. අනතුරුව සුජිව සමඟ පෙදරේරු රැකියාවේ නිරත වද්දී ඉන්දිකද හොඳින් පෙදරේරු රැකියාව ඉගෙන ගෙන පසුව කොන්ත්‍රාත්කරුවකු දක්වා ඉහළට ගියේය. ඒ අතර ඉන්දික සුජීවගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් ඇතිකරගෙන තිබිණි.

පසුගිය මාර්තු 22 වැනිදා සුජීවගේ බිරිය නිවසින් අතුරුදන් වූවාය. සුජීව සිතුවේ බිරිය ඉන්දික සමඟ ගොස් ඇති බවටය. එම නිසා ඔහු දෙදෙනාම ‘ඉවරයක්‘ කිරීමට මාන බැලුවේය.

පසුගිය අප්‍රේල් 2 වැනිදාය. එදින සුජිව ප්‍රියන්ත දෙහිවල කවුඩානේ ‘වැඩ‘ කළේය. ඔහු නිව්ඩාවේ නිවසේ තිබූ මන්නයක් කලින්ම ගෙනැවිත් දෙහිවල, අත්තිඩිය පාරේ කැලෑබද ස්ථානයක සඟවා තිබුණේය. සුජීව පසුගිය 2 වැනිදා රාත්‍රි 7.30ට පමණ බෙල්ලන්තොට හන්දියට පැමිණියේ සඟවා තිබූ මන්නයද රැගෙනය. හන්දියට යාබදව යතුරුපැදිය නතරකොට එම ස්ථානයේම සිට ගෙන ආ මත්පැන් කාලද පානය කරමින් සිටියේය.

ඔහු එලෙස රැඳි සිටියේ ඒ අසල හෝටලයකට නිතරම පාහේ තේ පානයට එන ඉන්දික එන තෙක් ඇඟිලි ගනිමිනි. සිදු වූයේ නොසිතූවකි. ඉන්දික ඔහුගේ SP QT 9741 දරන ත්‍රීරෝද රථයෙන් දෙහිවල දෙස සිට බෙල්ලන්විල දෙසට ගමන් කරමින් සිටියේ තවත් යුවළක්ද සමඟිනි. සුජීව එය දුටුවේය.

සුජීව ක්ෂණයෙන් ත්‍රිරෝද රථය පසුපස පන්නන්නට විය. ඉන්දික පැමිණ මස් වෙළෙඳසල අසල ත්‍රීවිලරය නතර කෙළේය. ඔහු මස් වෙළෙඳසලට ගොස් මස් ගැන විමසීමෙන් පසු ඔහු සමඟ පැමිණි හෝටල් ව්‍යාපාරිකයා මස් ගැනීමට වෙළෙඳසලට ගියේය. හෝටල් ව්‍යාපාරිකයාගේ බිරිය ත්‍රිරෝද රථයේම වාඩිවී සිටියේය. ඉන්දික ත්‍රිවිලරය අසල සිටගෙන සිටියේය.

යතුරුපැදියෙන් පැමිණි සුජීව ත්‍රීවිලරයට ආසන්න යතුරුපැදිය නතරකොට මන්නයද රැගෙන දිව ආවේ සුජීව අසලටය. ඔහු ක්ෂණයෙන් මන්නයෙන් පාරක් ගැසුවේ ඉන්දිකගේ ගෙල දෙබෑ වී යන්නටය. එසැණින් ඇද වැටුණු ඉන්දිකගේ ගෙලට තවත් මන්න පාරක් එල්ලකොට ලේ තැවරුණු මන්නයද රැගෙන සුජීව එම ස්ථානයෙන් පලා ගියේ යතුරුපැදියට නැඟි විදුලි වේගයෙනි.

ඒ යන අතර ඔහු අබේරත්න මාවතේදී අනතුරට පත්වූයේ යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙනි.

“කෝ දැන් මන්නෙ…?“ පොලිස් නිලධාරියෙක් විමසීය.

“සර්… මං යන ගමන් පිරිවෙණ පාරේදි කානුවකට මන්නෙ විසි කළා…“ සුජීව කීවේය.

මන්නය විසිකළ සුජිව පිළියන්දල, කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගොස් හිරණ පාලමෙන් එගොඩ වී නිවසට ගියේය. ඒ යන අතරතුරදී ඔහුගේ ජංගම දුරකතනයද හිරණ පාලමෙන් විසි කළ බවද සුජිව පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසීය.

“සර් මං ගෙදර ගිහින් ළමයි තුන්දෙනාට කිව්වා ඉන්දිකයා ඉවර කළා… උඹලගේ අම්මා හිටියනම් අම්මවත් නැති කරනවා කියලා…“ යැයි ඔහු පොලිසියට කීවේය.

යතුරුපැදිය නිවස තුළ ගාල්කොට එදින රාත්‍රිය දියණියන් තිදෙනා සමඟ නිවසේ ගත කළ සුජීව පසුදා එනම් 3 වැනිදා අලුයම නිවස වසා දමා පලා ගියේ ගෝනපොළ, ඔලබොඩුවේ පිහිටි බිරියගේ මවගේ නිවසටය.

එදින දවසම එහි ගතකොට 4 වැනිදා සවස් යාමයේ එක් දියණියක සමඟ සුජිව නිව්ඩාවේ නිවසට පැමිණියේ ඇඳුම් පැලඳුම් කීපයක් රැගෙන යාමටය. ඒ මොහොතේ රැක සිටි පොලිස් නිලධාරින් සුජිව කොටුකර ගැනීමත් සමඟ ඉන්දිකගේ ඝාතකයා දින තුනකින් පොලිස් අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිස් නිලධාරින්ට හැකි වූයේ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

සුජීවගේ පාපෝච්චාරණ අනුව ඉන්දිකගේ ඝාතනයට යොදාගත් මන්නයද ඒ මොහොතේ සුජීව ඇඳ සිටි ටී ෂර්ටය ද නිවසේ පුලුස්සා තිබියදී සොයා ගත්තේය. සුජීවගේ බිරිය මේ වන විටත් ආගිය අතක් නැත. එම කාන්තාව කෙසේ හෝ පසුගිය කාලයේ ඉන්දික සමඟ සිට නැති බව ඉන්දිකගේ මිතුරා වන හෝටල් ව්‍යාපාරිකයා පොලිසියට හෙළිකර තිබිණි.

අත්අඩංගුවට ගත් සුජීව ප්‍රියන්ත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. පී. එස්. ජයමහගේ උපදෙස් මත පොලිස් අධිකාරි තුසිත කුමාරගේ අධීක්ෂණයෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු, උපපොලිස් පරීක්ෂක අසංක, සැරයන්වරුන් වන 36763 සමන්, 68832 අමරසිංහ, කොස්තාපල්වරුන් වන 1857 විපුල, 88112 බුද්ධික, 87223 වනසිංහ, 92527 ප්‍රසාද්, 94121 ඒකනායක, 96878 වීරසිංහ, 103224 ගුණසේකර, 79563 රූපසිංහ සහ කාන්තා කොස්තාපල් 12457 දිල්හාරා යන නිලධාරිහු විමර්ශන සඳහා එක්වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division