Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by gayan
April 20, 2024 12:30 am 0 comment

මනුස්සයෙක් හමුවුණොත් ඇති

අතැගිල්ලේ රන් මුදුවක් නැතිවාට

මිරිවැඩි සියුම් දෙපයට නැතිවාට

වෙලේ නොවැටිලා නියරේ යා හැකි

මනුස්සයෙක් හමුවුණොත් ඇති

කඩේ කෑම කවදාවත් නොකන

ගෙදර හදන ඕනෑම කෑමක් කන

මගෙ ලෙඩකට දුකකට වුණත් සිටිය හැකි

මනුස්සයෙක් හමුවුණොත් ඇති

මහ පොළොවේ පය තියලා ඇවිදින

අහසේ අත්තටු ගසන්නට නොසිතන

මල්ලක් ගන්නට අල්ලක් වපුරන

මනුස්සයෙක් හමුවුණොත් ඇති

පී. එම්. රණවීර

පුතු සැමරුම

නොපෙනේ දෑස නිසි ලෙස දැක්මට අවට

නොදැනේ හැඟුම් හදවත තුළ පෙර ලෙසට

සිහි වී එහෙත් පුතු ගිය සැටි වෙන ලොවට

ඇවිළෙනු දැනේ ගිනි දැල් හද පතුල යට

මහ රෑ අඳුරෙ තනි වී ඔබ යුද බිමෙ ක

වෙන්වී ගියේ මගෙ පවකින්දෝ පෙර කලෙ ක

තිස් දෙවසරක් ගෙවුවද අද වන් දිනෙ ක

ඒ සෝ ගිනි තුළින් මට වෙන්වෙනු නොහැ ක

මරු හට වැරදිලා මා සිටියදි පසෙ ක

පුතු ගෙන ගියේ මගෙ පවකිනි පෙර කලෙ ක

මේ වන් දුකක් තව දුර ඉවසනු නොහැ ක

එන්නෙමි මමත් ඔබ වෙත ළඟදිම දිනෙ ක

ජේ.ශීලා වික්‍රමරත්න

නොනිමි සිහින

සෙනහස ඉපිද ළතැවෙන සිත නුඹේ නමින්

සුළඟට නටන කෙහෙරැලි පොද ආල සිතින්

මත් වී සසල වන තොල් පෙති සිනා මුවින්

මල්වර වන නැකත ළඟයි නුඹේ නමින්

ආදරයට දොරගුළු වැටී තිබූ හෙයින්

කාලය සමඟ පොරබැදුවෙමි කටුක මැදින්

ජය ලැබුවෙමි මාපිය නෑ හිත නොරිදන්

සුබ ගමනක් යමි සුදු පාවඩය මැදින්

පී. ඉනෝකා සංජීවනී

පහන් සිතුවිලි

හද සන්තානයේ පහන් සිතුවිලි

මතු වේවා

සාමය සතුට සමගිය පොදි බැඳන්

අවුරුදු කුමරිය එනවා

දුප්පත් පොහොසත් හැම ගෙයටම

ඇය පා ඔසවනවා

අවුරුදු කුමරිය පිළිගන්නට

කොවුලා රස ගී පවසනවා

ඩබ්.පී. ඉන්ද්‍රානි

තංගමනී

කෝලම් හරි රටාවකට තියා සරසවන්න

පරෙයියනේ යාල් පානමේ යනවද දැන්ම

කන් පුපුරන ගෙරවිල්ලට බයේ වහන් වීද

තංගමනී ඉන්න අහක් කොහෙද කියා යන්න

හිනා වුණා මිසක බහක් හුවමාරුවෙ නොවුණා

කෝවිල ළඟ පාද සලඹ ඉඳහිට තව ඇහුණා

හීං සැරේ හිනා වෙලා සේ හනිකට දුවනා

තංගමනී පිච්ච මලක් අදත් මිදුලෙ පිපුණා

පාර දිගේ පුංචි එවුන් වියන් බඳිනවාලු

ගෙයි මිදුලේ කැවුම් සුවඳ ගම උතුරනවාලු

සාංකාව හිත අස්සේ පිනුම් ගහනවාලු

තංගමනී හෙට අනෙකෙක් මගේම වෙනවාලු

රිද්මි තිලකරත්න

හිස්තැනක්

හිත රැඳුණු රෑ අහසේ

හද ඇවිත් නෑ තාම

ඒ අඩුව පුරවන්න

තරුවලට බැරි ඇයිද ?

මට නැතත් ඒ හඳම

අද ඇතත් තව තැනක

එළිය කරනවා ඇත

ඒ තැනත් හරි හැඩට

මිහිරංගි ගුණරත්න

වැසි

මල් වැස්සට

පසු …

අසනි වැසි !

ගාමිණී දලුවත්ත

නුඹේ ප්‍රේමය

සඳේ නුඹ මට ජීවිතේ ගැන

කියා දුන්නේ අකුරු කරනට

අහම්බෙන් නුඹ මුණගැසුණු විට

දැනුණෙ නුඹ මගෙ ජීවිතේ බව

කියා ගන්නට නොහැකි පෙම් කව්

ලීවේ නුඹ ගැන සිතන විටදිය

පහන් තරුවක් වන්න නුඹ හට

අවසරද හැම උදෑසනකම

දැනුණ හැඟුමන් රහසෙ සඟවා

මමත් සිටියා නුඹට නොදැනී

ප්‍රේමයේ දොර විවර වූ දා

නුඹත් සිටියා මටත් නොදැනී

නිර්මාණි පවිත්‍රා

 

කැඩපත

එදා මෙදා තුළ

ඔබ මට කළ

වෙනස්කම්

අරුමයක්ම ය

මාලතී රූපිකා

පුංචිහේවා

සඳපාන

අඳුර කැමති නෑ පානට

සොඳුර ළඟද මල් හීනෙට

පැදුර වියා අවසානෙට

එළිය වැටෙයි සඳ මූණට

මී අඹ වාරෙට ගස් උඩ

ගිරවුන්ටත් අඩු නැත වැඩ

තනිපංගලමේ පිල් කඩ

පැදුරේ කොටහක් ඇත ඉඩ

ඉගිළෙන විට කදෝපැණි

කළුවර වැලමිටෙන් අනී

විලේ තරම තිසරු දනී

නිල් දිය බොරවුණා වැනී

මහගම සීලානන්ද හිමි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division