Home » ජාවාරමුන් අතටම අල්ලා දුන් පත්තිනි පිළිමයේ හාස්කම

ජාවාරමුන් අතටම අල්ලා දුන් පත්තිනි පිළිමයේ හාස්කම

by thanushika
April 20, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුමත් සමඟ පොලිස් නිලධාරින්ට සිවිල් වැසියන්ගෙන් ලැබෙන තොරතුරු බොහෝ සේ වැඩි වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් ඇතුළු අපරාධකරුවන් ගැන තොරතුරු දිගින් දිගටම ලැබෙද්දී ගජමුතු, වාලම්පුරි, නිධන්වලින් ලබාගත් පිළිම, මුහුදු හක්බෙල්ලන්, ඇත්දළ වැනි දෑ ජාවාරම් කළ අය ගැනත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරු ඔස්සේ වැටලීම් රැසක්ම පසුගිය දිනවල සිදු කැරිණි.

අලුත් අවුරුදු උදාවට පසු දින එනම් 14 වැනිදා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තට ලද තොරතුරක් ඔස්සේ මැණික් ගල් ඔබ්බවා රනින් නිම කරන ලද අධික වටිනාකමකින් යුත් පත්තිනි දේව මෑණියන්ගේ පිළිමයක් විකිණීමට තැත් කළ තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ එම පිළිමයද පොලිස් භාරයට ගනිමිනි.

කැලණියට යාබද මෙගොඩ කැලණියේ නිවසක අල්මාරියක සඟවා තිබූ එම දේව පිළිමය සොයා ගත් ආකාරය මුල සිට අගටම මුල්ලේරියාව පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.

ඉකුත් 14 වැනිදා සවස 6.30ට පමණ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්තට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.

“ඕඅයිසී මහත්තයා… නිධානයකින් ගත්ත පත්තිනි මෑණියන්ගේ පිළිමයක් තියෙනවා තැනක. ඒක රත්තරන්වලින් හදපු එකක් වගේ… මැණික් ගලුත් අල්ලලා තියෙන්නේ… ලොකු ගාණකට නුවර පැත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයකුට විකුණන්නයි හදන්නේ…“ තොරතුරුකරු මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේ එලෙසය.

එසේම තොරතුරුකරු එම පිළිමය තිබෙන ස්ථානය ද හෙළි කළේය. ඒ මුල්ලේරියාව පොලිස් වසමේ මෙගොඩ කැලණියේ නිවසක් පිළිබඳවය. එසැණින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත එම පිළිමය සොයා ගියේ ඒ මොහොතේ පොලිසියේ සිටි මුල්ලේරියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු කණ්ඩායමක් සමඟිනි.

එම නිවස නීල් නමැත්තෙකුට අයත්ය. පොලිසිය යන විට නිල් නිවසේ සිටියේය. පොලිස් නිලධාරින් ඔහුගේ මුළු නිවසම පරීක්ෂා කළේය. එහිදී නිවසේ කාමරයක අල්මාරියක රෙදිපිළි අතර සුදු රෙදිකඩකින් ඔතා තිබූ පිළිමය පොලිස් නිලධාරින්ට හමු වූයේ තොරතුරුකරු කී තොරතුර ‘තිත‘ටම නිවැරැදි බව පසක් කරමිනි.

එම පිළිමය මැණික් ගල් ඔබ්බවා තිබෙන අඟල් 10ක් පමණ උසැති පත්තිනි දේව මෑණියන්ගේ පිළිමයකි. පිළිමය ඉතාම අලංකාරය. පොලිස් නිලධාරින් එම පිළිමය තිබූ නිවසේ හිමිකරු නීල්ගෙන් ප්‍රශ්න කරන්නේ පිළිමය ඔහුට ලැබුණු ආකාරය පිළිබඳවය.

“සර්… මේ පිළිමේ මට දවස් දෙකකට විතර කලින් ගෙනත් දුන්නේ… දවස් දෙකක් තියාගන්න කියලා…. සර් ‘එයා‘ කිව්වේ ‘අද‘ ගෙනියනවා කියලා…“ යැයි කියමින් පිළිමය ගෙනැත් දුන් එම පුද්ගලයාගේ නම ද නීල් පැවැසීය.

ඒ අනුව පිළිමය නීල්ට ගෙනැවිත් දී තිබූ පුද්ගලයා ක්‍රිෂාන්ත නමැත්තෙක් බවට හඳුනා ගැනිණි. ඒ අතර පොලිස් නිලධාරින් එම පිළිමයද පෞරාණික වටිනාකමකින් යුත් අධික මිලකින් යුත් පිළිමයක් බව වටහා ගැනීමත් සමඟ පිළිමය ළඟ තබාගෙන සිටි නිවෙස් හිමියා වන නීල් අත්අඩංගුවට ගත්තේ පිළිමය ද පොලිස් භාරයට ගනිමිනි.

නීල්ගේ පාපෝච්චාරණය අනුව ඔහුට එම පිළිමය දුන් ක්‍රිෂාන්ත සිටින්නේ කුමන ඉසව්වකද යන්න හෙළි විය. වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ ඔහු සිටින බවට තොරතුරු සොයා ගන්නේ ඉන් අනතුරුවය. මුල්ලේරියාව පොලිස් නිලධාරින් අදාළ වෙන්නවත්තේ එම නිවස සොයා ගියේය. එහෙත් ඒ වන විට තාවකාලිකව එම නිවසේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත එම නිවසින් පිටව ගොස් කඩුවෙල, වැලිවිට නිවසක සිටින බවට සැල විණි.

ඒ මොහොතේම එම නිවස සොයා ගිය පොලිස් නිලධාරින් 14 වැනිදා රාත්‍රියේ වැලිවිට නිවසේ සිටි ක්‍රිෂාන්ත ද අත්අඩංගුුවට ගත්තේය. පොලිසිය ක්‍රිෂාන්තගෙන් ප්‍රශ්න කරන්නේ පිළිමයේ සුලමුල සොයා ගැනීම සඳහාය.

“සර්… මං ඇත්තම කියන්නම්… මාසයක් මගේ ළඟ ඔය පිළිමය තිබුණා… ඊට පස්සේ මගේ නෝනා කෑගහනවා පිළිමය තියාගෙන ඉන්නවට… ඒ හින්දා නෝනා කිව්වා පිළිමේ නීල්ට ගිහින් දෙන්න කියලා… පස්සේ මං ගිහින් දවස් දෙකකට කලින් නීල්ට දුන්නා…“ යැයි ක්‍රිෂාන්ත පැවැසීය.

පොලිස් නිලධාරීන් දිගින් දිගටම ක්‍රිෂාන්තගෙන් ප්‍රශ්න කළේ පිළිමය ඔහුට ලැබුණේ කාගෙන්ද යන්න විමසමිනි. එහිදී ඔහු එම පුද්ගලයා ගැන ද හෙළි කළේය. ඒ අනුව පොලිස් නිලධාරින් එම පුද්ගලයා සොයා විමර්ශන සිදු කරමින් සිටියේ පිළිමයේ සුලමුල අනාවරණය කරගැනීමේ අටියෙනි.

අත්අඩංගුවට ගත් ක්‍රිෂාන්ත 37 හැවිරිදි අයෙකි. ක්‍රිෂාන්ත පිළිබඳ වැඩිදුර විමර්ශනයේදී පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ ක්‍රිෂාන්ත එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට සම්බන්ධව සිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් පුනරුත්ථාපනය වූ අයෙක් බවය.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඔහු අංගොඩ ලොක්කාගේ ගෝලයකුද වේ. තවද ක්‍රිෂාන්තට ටී 56 ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු අපරාධවලට අදාළව නඩු 24ක් තිබෙන බවය. විවාහකයකු වුවද ක්‍රිෂාන්ත අත්අඩංගුවට ගන්නා මොහොතේ එම නිවසේ සිටියේ ඔහු අනියම් ඇසුරක් පවත්වාගෙන යන ළාබාල යුවතියක සමඟිනි.

විවාහකයකු වන නීල් 47 හැවිරිදිය. ඔහු කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන අයෙකි. පුරාවිද්‍යා පනත අනුව අත්අඩංගුවට ගත් නීල් සහ ක්‍රිෂාන්ත පසුගිය 15 වැනිදා අලුත්කඩේ අංක 7 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නිධන්වලින් හෝ කුමන ආකාරයකින් ලබාගත්ත ද මෙවැනි පිළිම විශේෂයෙන් පත්තිනි දේව මෑණියන්ගේ පිළිම මීට පෙර ද විකිණීමට තැත් කළ සියලු දෙනාම පත්තිනි මෑණියන්ගේ හාස්කම් නිසාම නීතියේ රැහැනට කොටු වූ බව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත පැවැසීය.

මේ අතර පිළිම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවකුද ඉකුත් 16 වැනිදා මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. සී. එස්. ජයමහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එස්. පී. ආර්. සමරනායකගේ අධීක්ෂණයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත, රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත්, සැරයන් 57621 අනුර සහ කොස්තාපල් 102000 විජේබණ්ඩාර යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.

ඡායාරූප – මුල්ලේරියාව සිරිසේන ගමගේ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division