Home » මෛත්‍රීපාල උදේට එකක් හැන්දෑවට එකක් පහුවදා උදේට තවත් එකක් කියනවා

මෛත්‍රීපාල උදේට එකක් හැන්දෑවට එකක් පහුවදා උදේට තවත් එකක් කියනවා

මේ විදිහට විපක්ෂයකට නායකත්වය දෙන්න බෑ - ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

– අත්තනෝමතිකව ගන්නා මෝඩ තීන්දු නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ
– නායකත්වයට පක්ෂය හසුරුවා ගන්න බැරි වෙලා දැන් වසර දෙක තුනක් වෙනවා

පක්ෂයේ කිහිපදෙනෙක්ගෙන් ආරක්ෂා කිරීමට පසුගියදා පක්ෂ මූලස්ථානයට සීල් තැබුවා. මීට පෙර මෙහෙම දෙයක් සිදු වුණේ නැහැනේ?

පක්ෂයේ වැඩබලන වර්තමාන ලේකම්තුමා කරන ලද වැරදි පැමිණිල්ලක් නිසයි ඒ දේ සිදු වුණේ . වැදගත් ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවට චෝදනා එල්ල කරනවා. එතුමා පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා. ඒ අනුව පසුගියදා අපි පොලිසියට ගිහින් කට උත්තර ලබා දුන්නා. දැන් ඒ ඉදිරි කටයුතු සිදු වෙනවා.

නව වැඩ බලන සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යටතේ දේශපාලන බල මණ්ඩල රැස්වීමක් පසුගියදා කැඳෙව්වා. එයත් ප්‍රශ්න සහගත තත්ත්වයක් උදා වුණා?

හැමෝම දන්නවනේ වූ දේ. ඒ නිසා ඒ ගැන කතා කළ යුතු නැහැ. නමුත් මේ රැස්වීමට නීත්‍යනුකූලව සහභාගි විය යුතු පිරිස් සහභාගි වුණා. යමකුට සහභාගි නොවී සිටීමට අවශ්‍ය නම් ඊට සහභාගී නොවි සිටීමේ අයිතියක් තියෙනවා.

මේ වන විට පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා. දෙපැත්තෙන් ප්‍රති ප්‍රහාර එල්ල වෙමින් තියෙනවා?

ඔව්. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පකෂය පැහැදිලිවම දෙකට බෙදී පවතිනවා.

ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇතුළු පිරිස් සෘජුවම චෝදනා කරන්නේ ඔබ ඇතුළු පක්ෂයේ ඇමැතිකම් ගත් පිරිස් නිසා තමයි පක්ෂයට මේ තත්ත්වය උදා වුණේ කියලා?

ඔව්. එවැනි පරිසරයක් තුළ කැබිනට් අමාත්‍යවරයෙක්ම පක්ෂයේ රැස්වීමකට ආරාධනා කිරීම පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් පවතිනවා. මේ නිසා ඕනෑම කෙනකුට පැහැදිලිවම පෙනෙනවා මේ තුළ තියෙන්නේ ඇමැතිකම් ගත් එකේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. අපි පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිරන්තරයෙන් කතා කරනවා. එයයි මේ තුළ ඇති ප්‍රශ්නය.

පසුගියදා ඔබතුමන්ලා පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්තුවා. එහිදී ඔවුන්ගේ වැදගත් ලිපි ලේඛන පවා අතුරුදහන් වූ බවට චෝදනා එල්ල වුණා. ඇත්තටම එහෙම දෙයක් සිදුවුණා ද?

ඔවුන් එවැනි චෝදනාවක් එල්ල කළ නිසා පැමිණිල්ලක් දාලා. මේ වන විට පරික්ෂණ කටයුතු සිදු කරමින් තියෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එම පක්ෂය හසුරුවා ගත නොහැකි තත්ත්වයක් මතු වෙලා තියෙන බවට චෝදනා කරනවා. කවුද ඉදිරියේදි නායකත්වය දැරීමට සුදුසු කෙනා?

මේ නායකත්වයට පක්ෂය හසුරුවා ගන්න බැරි වෙලා දැන් වසර දෙක තුනක් වෙනවා. මේ ව්‍යවස්ථාවේ තියෙන නීති විරෝධි ආකාරයෙන් බලතල භාවිත කරමින් තමයි මේ පක්ෂය ඉදිරියට ගෙනාවේ. අද ප්‍රශ්න බොහෝමයක් උඩුදුවා ඇත්තේ මේ අසංවිධානත්මකභාවය නිසයි.

මේ වන විට වැඩ බලන සභාපතිකමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත් වුවත් එසේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපතිවරයකු පත් කිරීමට නොහැනි බව ඔවුන් පවසනවා?

මට කියන්න එසේ පත් නොකිරීමෙන් ඊට දිය හැකි විකල්පය කුමක්ද? මෙහෙම හිතන්න. හිටපු ජනාධිපතිවරයා නැවෙන් ගියා. එදා විකල්පයක් තිබුණා. දැන් මේ අවස්ථාවේ විකල්පයක් නැතිනම් ලබන 17 වැනිදා බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරුව ඇතුළු වැඩ රාජකාරී බොහෝමයක් පවතිනවා. පක්ෂයක් මේ ආකාරයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත් වූ පසුව දැන් සිටින නායකයාට වඩා ජ්‍යෙෂ්ඨ නායකයකු වැඩබලන සභාපති ලෙස පත් කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. එසේම පක්ෂයේ අනුශාසිකාව වන බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය අනුශාසනා දෙමින් කටයුතු කිරීම මේ අවස්ථාවේ පක්ෂයක් අමාරුවේ වැටුණු පසු කළ යුතු කාර්යභාරයක්.

නමුත් තවමත් පක්ෂයේ හිටපු සභාපතිවරයා පක්ෂයේ කටයුතුවලට නීති විරෝධීව ඇඟිලි ගැසිම් සිදු කරන බවට චෝදනා එල්ල වෙනවා?

ඔව්. එයා උසාවි නියෝග පවා කඩකළා. පසුගියදා පක්ෂ කාර්යාලය ගාවට ඇවිත් අත වනලා ගියා. කොළඹ දිසා සමුළුවලට සහභාගී වෙනවා කියලා. අපි ඒවාට විරුද්ධවත් අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ උසාවියට අපහාස කිරීම සම්බන්ධව.

ඔබ ඇතුළු පක්ෂයේ තනතුරුවලින් නෙරපූ කිහිප දෙනාගේ වාරණ නියෝගයත් දිගු කළා. ඉදිරියේ මොකද වෙන්නේ?

ඔව් අපේ වාරණ නියෝගය දිගු කළා. ඉදිරියේදී වන දේ අධිකරණය තීන්දු කරයි. අධිකරණමය තීන්දු අපිට කලින් කියන්න බැහැනේ. නමුත් අධිකරණය සාධාරණයක් කරන බව අපිට විශ්වාසයි. මේ දක්වා අධිකරණය සාධාරණයක් ඉටු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ පක්ෂයේ සිටින ඇමැති තනතරු ගත් කිහිපදෙනකුට විරුද්ධවයි. පක්ෂය අලුතින් හදන සන්ධානය ආණ්ඩුවට හේත්තු කිරිමේ සූදානමක් පවතින බවටයි චෝදනා එල්ල වන්නේ?

ප්‍රශ්නය මෙය නම් එදා සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු කැඳවූ රැස්වීමකට කැබිනට් ඇමැතිවරයකු ගෙන්වා දේශනයක් ලබාදීමේ ප්‍රතිපත්තිය කුමක්ද? සංකල්පය එය නෙවෙයිනේ. අනික මේ වන විට ආණ්ඩුවට අපිට එකතු වීමට අවශ්‍ය නැහැ. මේ වන විට අපි ආණ්ඩුවට එකතු වෙලයි ඉන්නේ. අපි ඊළඟ ජනාධිපතිවරණයේදි කරන්නේ කුමක්ද යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන තැනක සිටයි අපි කටයුතු කරන්නේ. අපි වෙන වෙන පක්ෂවලට යන්නෙත් නැහැ. වෙන පක්ෂවලට මේ පක්ෂය ගෙනියන්නෙත් නැහැ.

අලුතින් පත්වූ වැඩබලන සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි බව මේ අය චෝදනා කරනවා. මේ තත්ත්වය මත පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේද?

ඒ් නීතිය පිළිබඳ එයාලගේ මතයනේ. ගියවර අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මට ඇවිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් දුන්නා, මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයකට ඒවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කොහොත්ම නොගැළපෙන බවට. එසේම මෙය ඒ්කාධිපතිත්වය කරා ගෙන යාමක් බව ප්‍රකාශ වුණා. එතුමා නැවත සේවයේ පිහිටෙව්වා. මෑතකදී අධිකරණයෙන් සභාපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න එපා කියන තහනම තමයි පැනවූයේ. වෙන අතුරු තහනමක් පනවා නැහැ.

මේ ඇති වී ඇති තත්ත්වයට වගකිව යුත්තෝ කවරහුද?

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා වගකිව යුතුයි. ඒතුමා ගන්න තනි තීන්දු හරි තීන්දු නම් කමක් නැහැ. උදේ ගන්න තීන්දුව නෙමෙයි හවසට ගන්නේ. හවස ගත්ත තීරණය නෙමෙයි උදේට ගන්නේ. කිසිම පිළිවෙළක්, පක්ෂ ජ්‍යෙෂ්ඨත්වයක් විනයක් බලන්නේ නැතිව අත්තනෝමතිකව ගන්නා මෝඩ තීන්දු නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ.

ඉදිරියේදි අලුත් සභාපතිවරයකු හරහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වෙනවාද?

අනිවාර්යයෙන්ම. මෙහෙම තිබුණොත් දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිදු වන්නේ විශාල අසාධාරණයක්. නමුත් ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී ඒ් සාධාරණය අපි ඉටු කරනවා.

මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකිද?

දැන් එවැනි තත්ත්වයක් නැහැ කියලයි මම හිතන්නේ. නමුත් එවැනි සාකච්ඡා මාර්ගයෙන් හෝ විසදා ගැනීමට අපිත් සුදානම්. නමුත් මෙහි සිටිනා අයට මේ ප්‍රශ්නයේ බරපතළකම තේරෙන්නේ නැහැ. මේ අය තනතුරු හෝ වෙනත් වරප්‍රසාදයක් ගැන බලාපොරොතුවෙන් සිටිනවා මිස මේ අවස්ථාවේ රටක් ලෙස පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය ගැන අවබෝධයක් නැති අයයි පක්ෂය තුළ සිටින්නේ. මේ නිසා මේ ප්‍රශ්නයේ බරපතළකම මේ අයට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය අවසාන වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ නායකත්වයක් යටතේ නැවත ශක්තිමක් දේශපාලන පක්ෂයක් බවට පත් වීමෙනුයි.‍

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ පක්ෂයේ හෝ කිහිප දෙනාගේ සහය කාට ලබාදිය යුතු දැයි තවමත් තීරණයක් ගෙන නැතිද?

තවමත් තීරණයක් ගෙන නැහැ. මේ සියලු දේ තීරණය කරන්න පෙර පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හා යෝජනා ඇති තැනක් බවට පත්කළ යුතුයි.

පක්ෂය තුළ පවතින බෙදීම ඉදිරි මැතිවරණවලදි අවාසිදායක තත්ත්වයක් ඇති වන්නේ නැතිද?

පක්ෂය තුළ පවත්නා මේ බෙදීම බාධාවක් වෙනවා. නමුත් අපි ඉක්මනින් පක්ෂයේ පවතින මේ තත්ත්වය නිරාකරණය කරනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division