Home » මත්කුඩු බිස්නස්වලින් රුපියල් ලක්ෂ 1103ක් ඉපැයූ අහුන්ගල්ලේ කුඩු නෝනිගේ පැටිකිරිය දිග හැරෙයි

මත්කුඩු බිස්නස්වලින් රුපියල් ලක්ෂ 1103ක් ඉපැයූ අහුන්ගල්ලේ කුඩු නෝනිගේ පැටිකිරිය දිග හැරෙයි

by thanushika
April 13, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුමේ නිරත නිලධාරින් සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල ක්‍රියාකාරීන්, මත්කුඩු ජාවාරම්කාරයන්, කුලී ඝාතකයන් ඇතුළු මෙකී-නොකී අපරාධකාරයන් සැම දෙනා පසුපසම හඹා යද්දී මෙවැනි ජාවාරම්වලින් කෝටි ගණනින් මිල මුදල් උපයා සිටින මහා දානපතියන් මෙන් සමාජයේ පෙනී සිටින ජාවාරම්කාර පුද්ගලයන්ගේ සැඟවුණු දිවි පෙවෙත ගැනද පොලිසියේ උකුසු ඇස් යොමු වෙමින් තිබේ. ඒ, එවැනි අයවලුන් දානපතියන් ලෙස වැජඹෙමින් රුපියල් ලක්ෂ කෝටි ගණනින් වියහියදම් කරන්නේ කෙලෙස මුදල් උපයමින් ද යන්න සොයායි.

වසර 2020 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ඇරැඹි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ජාවාරම්කරුවන්ගේ වත්කම් සහ දේපළ විමර්ශනයටම ඇරැඹි කොට්ඨාසයකි. එහි වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ උපදෙස් මත එම කොට්ඨාසය මඟින් මේ වන විට පුද්ගලයන් 197 දෙනෙකු අත්අඩංගුවට ගෙන එම පුද්ගලයන් නීති විරෝධිව උපයා ගත් බවට සැක කරන රුපියල් මිලියන 2,454ක් හෙවත් රුපියල් ලක්ෂ 24,540කට වැඩි මුදල්, රත්රන්, වාහන, නිවාස, ඉඩකඩම් ඇතුළු දේපළ සහ වත්කම් ලෙස ගැනෙන මෙකී-නොකී බොහෝ දේ ක්‍රියා විරහිත කරද්දී කීප දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරීමට ද මේ වන විට කටයුතු යොදා ඇතැයි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් පැවැසීය.

යුක්තිය මෙහෙයුමට ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් දිවා රෑ වෙහෙසෙමින් ඉමහත් දායකත්වයක් ලබා දෙමින් සිටියදී නීති විරෝධීව වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය නිසි ලෙස හෙළි කිරීමට නොහැකියාව මත මේ වන විට පුද්ගලයන් 24 දෙනෙකු යුක්තිය මෙහෙයුමේන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 9905ක දේපළ සහ වත්කම් තහනම් කිරීමට කටයුතු යොදා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් පැවැසීය.

එලෙස අත්අඩංගුවට ගෙන දේපළ සහ වත්කම් තහනම් කළ අය අතර ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් සහ ඔහුගේ පවුලේ අය වන රුවන්ගේ පුතු තරිඳු මධුෂංක, බිරිය ශානිකා ලක්මාලි, රුවන්ගේ සහෝදරිය සමන්ති නිර්මලා ද විය. ඊට අමතරව ගලෙන්බිඳුණුවැව රුපියල් කෝටි 500කට අධික මුදල් තැන්පතු ලබාගෙන මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයකු සහ මහනුවර, දන්තුරේ පදංචි කෝටිපති කතක්ද පසුගිය දිනවලදී අත්අඩංගුවට ගැනිණි.

මේ අතර පසුගිය 27 වැනිදා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දේපළ සහ වත්කම් උපයාගත් ආකාරය නිසි ලෙස අනාවරණය නොකිරීම හේතුවෙන් සැකකරුවන් සයදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ අහුන්ගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයෙනි. අනතුරුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි 7(1) වගන්තිය හෙවත් සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ පොලිස් නිලධාරියකුගේ අත්සනින් යුතු ලිපියක් මඟින් එම පුද්ගලයන්ගේ ලක්ෂ 1103කට අධික වටිනාකමින් යුත් දේපළ සහ වත්කම් තහනම්කොට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ඇරැඹිණි. එහිදී එලෙස තහනම් කළ දේපළ සහ වත්කම් පනතෙහි 8(2) වගන්තිය ප්‍රකාරව මහාධිකරණයට කරුණු වාර්තාකොට තහනම මාස තුන සිට වසර දෙක දක්වා කාලයකට දීර්ඝ කරගැනීමට හැකියාව ඇති බවද එම කාලය තුළදී විමර්ශන සිදු කොට නඩු පැවැරීමට කටයුතු කරන බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් අපට පැවැසීය.

2021 වසරේ සිට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට සහ අහුන්ගල්ල පොලිසියට ද පැමිණිලි රැසක් ලැබී තිබුණේ අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ ජීවත්වන 64 හැවිරිදි ‘අනෝමා ශාන්ති‘ හෙවත් ‘කුඩු නෝනි‘ ලෙස නම් දරා සිටින කාන්තාව මත් ජාවාරම් මඟින් මුදල් කෝටි ගණනින් උපයා ඇති බව සඳහන් කරමිනි. ඒ අනුව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ද ඒ පිළිබඳව විමර්ශනයක් අරඹද්දී අහුන්ගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විටගේ මෙහෙයවීමෙන් ද එම තැනැත්තිය ගැන අහුන්ගල්ල පොලිසියේ නිලධාරින්ගේද උකුසු ඇස යොමු වෙමින් තිබිණි.

එලෙස නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට සහ අහුන්ගල්ල පොලිසියට ලැබුණු පැමිණිලි පිළිබඳව පොලිස් බුද්ධි නිලධාරින් එම ප්‍රදේශයේ අවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් ලබාගත් තොරතුරු සහ පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබුණු විශ්වසනීය හෝඩුවාවන් මත එම පවුල ගැන පොලිසියේ විමර්ශන තීව්‍ර කෙරිණි. ඒ අතර යුක්තිය මෙහෙයුම ආරම්භයත් සමඟ එලෙස ලැබෙමින් තිබූ පැමිණිලි සහ බුද්ධි තොරතුරු ඉහළ යාමත් සමඟ පසුගිය 27 වැනිදා අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි අනෝමා ශාන්ති ඇතුළු පවුලේ ඥාති හිතෛෂින් සයදෙනෙකු අත්අඩංගුවට ගත්තේ කෝටි ගණනක වත්කම් සහ දේපළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ උපයා ඇති හෙයිනි. එහිදී රුපියල් ලක්ෂ 1103ක පමණ දේපළ සහ වත්කම් ද තහනම් කෙරිණි. අත්අඩංගුවට ගත් සයදෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනෙකු විය.

ඒ අනුව එදින අත්අඩංගුවට ගැනුණේ ජාවාරමේ ප්‍රධානී ලෙස සැලවන 64 හැවිරිදි අනෝමා ශාන්ති හෙවත් කුඩු නෝනි, ඇගේ පුත් 38 හැවිරිදි ඉනෝෂ් ද සිල්වා, 58 හැවිරිදි මහේන්ද්‍ර පෙරේරා, කුඩු නෝනිගේ සහෝදරිය 54 හැවිරිදි අශෝකා ශාන්ති හෙවත් පොඩ්ඩි, 59 හැවිරිදි ලියනගමගේ සරත් සහ 45 හැවිරිදි ඉලේසිංහ ප්‍රේමශාන්ත යන පිරිසය.

එම පිරිසට අයත්ව තිබියදී තහනම් කළ රුපියල් ලක්ෂ 1103කට අධික දේපළ සහ වත්කම් අතර ලක්ෂ 65ක් වටිනා සුසුකි වර්ගයේ ලොරි රථය ලක්ෂ 5ක් සහ ලක්ෂ 4ක් වටිනා හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරුපැදි දෙක, ලක්ෂ 100ක් වටිනා බැකෝ යන්ත්‍රය, ලක්ෂ 110ක් සහ ලක්ෂ 150ක් වටිනා බහුදින ධීවර යාත්‍රා දෙක, මීටියාගොඩ පොලිස් වසමේ පැරෑලිය ප්‍රදේශයේ පවත්නා බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදන ආයතනයක නිපදවමින් තිබෙන ලක්ෂ 52ක මුදල් ගෙවා ඇති බහුදින ධීවර යාත්‍රාව, ලක්ෂ 140ක් වටිනා කේඩීඑච් වර්ගයේ වෑන් රථය, ලක්ෂ 10ක් සහ ලක්ෂ 7ක් වටිනා ත්‍රිරෝද රථ දෙක, ලක්ෂ 530ක් පමණ වටිනා ඉඩම් 5ක්, නිවාස 2ක්, කඩ කාමරයක් සහ ලක්ෂ 210ක් වටිනා තවත් ඉඩම් දෙකක්ද ඒ අතර වේ.

මීට අමතරව කුඩු නෝනිට අයත් බැංකු ගිණුම් ද විමර්ශන නිලධාරින් පරීක්ෂාවට ලක්කර ඇත. එම ගිණුම් තුළින් රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වී ඇති බවක්ද එම මුදල්වලට වූයේ කුමක් ද යන්න ගැන ද විමර්ශනයට ලක් කෙරෙමින් පවතී.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව තහනම් කෙරුණු කුඩු නෝනිට අයත් නිවාස, වාහන සහ බහුදින ධීවර යාත්‍රා ඇතුළු දේපළ සහ වත්කම් දැකබලා ගැනීමට පසුගිය මාර්තු 29දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමඟ එම අවස්ථාවට එක් විය. එදින මාධ්‍ය ඇමැතූ පොලිස්පතිවරයා සඳහන් කළේ මෙවැන්නකි.

“ගාල්ල ධීවර වරායේ ඉඳලා මීටියාගොඩ, අම්බලන්ගොඩ, අහුන්ගල්ල, කොස්ගොඩ වගේ ප්‍රදේශවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරන ලද විමර්ශනවලට අනුව පොලිස් භාරයට ගත්ත කෝටි ගාණක දේපළ විශේෂයෙන් යානවාහන, නිවාස ඇතුළු වටිනා දේපළ රැසක් පරීක්ෂාවට ලක් කළා. විශේෂයෙන්ම මේ කොස්ගොඩ වගේ ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට ව්‍යාප්ත වෙලා තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල අපරාධකරුවන් ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නමින් පවත්වාගෙන යන නොයෙකුත් හෝටල් ව්‍යාපාර ආදිය වැනි දේවල් මත්ද්‍රව්‍ය ජාවරමෙන් උපයාගෙන දීර්ඝ කාලයක් තිස්සේ නිදහසේ කරගෙන ගිහින් තියෙනවා. නමුත් අපි යුක්තිය මෙහෙයුම යටතේ ආරම්භ කළ ක්‍රියාදාමය තුළ මෙවැනි පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ‘සුදු‘ කිරීම සඳහා කිසිම අවස්ථාවක් ඉස්සරහට ලබා දෙන්නේ නෑ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව මේ ප්‍රදේශවල ප්‍රාදේශීය පොලිසිත් අපරාධකරුවන්ගේ දේපළ පිළිබඳ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී කිසිම අවස්ථාවක් දෙන්නෙ නැහැ මේ මත්කුඩු සහ නීති විරෝධී ජාවාරම්වලින් මුදල් උපයා ගත්තු කිසිම පුද්ගලයෙකුට ඒවා නිදහසේ භුක්ති විඳීමින් සමාජයට හානි කරමින් කටයුතු කිරීමට…” යැයි පොලිස්පතිවරයා පැවැසීය“

මෙකී දේපළ සහ වත්කම් නීති විරෝධි අන්දමින් උපයා ගැනීමේ ප්‍රධානී කුඩු නෝනිය. ඇය මීට වසර 30කට පමණ පෙර සිටම නොයෙක් ජාවාරම්හි නිරත තැනැත්තියකි. මුල් කාලයේ කසිප්පු ජාවාරමේ නිරතව ඇති අනෝමා ශාන්ති හෙවත් කුඩු නෝනි පසු කාලයේදී හෙරොයින් සහ ගංජා ජාවාරමට පිවිස තිබුණාය. ඇයට ඒ සඳහා ශක්තියක් වී තිබුණේ මේ වන විට රටින් පලා ගොස් සිටින කොස්ගොඩ සුජීය. කුඩු නෝනිට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනෙක් සහ දියණියකි.

එම දරුවන් තිදෙනා අතරින් එක් පුතෙක් මිය ගොසිනි. ඒ පාතාල කල්ලි අතර පවත්නා ගැටුම්හි ප්‍රතිඵලයක් ලෙසින් විරුද්ධ කල්ලියක් විසින් ඇගේ එම පුත්‍රයා මීට කලකට පෙරදී ඝාතනය කිරීම හේතුවෙනි.

කුඩු නෝනිගේ එකම දියණිය මේ වන විට බන්ධනාගාරයේ පසුවන්නේ මරණ දණ්ඩනයට නියම වෙමිනි. ඇය වයස අවුරුදු 16 දී පමණ එනම් 2010 වසරේදී කුඩු ග්‍රෑම් 12ක් සමඟ පොලිසියට කොටු වී තිබිණි. බළපිටිය මහාධිකරණයේ විභාග වූ එම නඩුවේ තීන්දුව ලබා දෙමින් 2022 වසරේදී ඇයට වයස අවුරුදු 28 පිරෙද්දී මරණ දණ්ඩනය නියම කෙරිණි.

අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා අතර එක් බහුදින යාත්‍රාවක් කුඩු නෝනිගේ ඥාතිවරියක වන ‘කුඩු මධුෂා‘ නමින් ප්‍රකටව සිටි තැනැත්තියගේ දියණියකට අයත් බව වාර්තා වේ. කුඩු මධුෂා නමින් ප්‍රකටව සිටි කාන්තාව මේ වන විට රටින් පලා ගොස් සිටින්නීය. කුඩු මධුෂා මීට වසර කීපයකට පෙර දී දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි විජේගුණවර්ධන යටතේ පිහිටුවා තිබූ පොලිස් විශේෂ ඒකකයකින් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් සමඟිනි. එහිදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇය අැප මත මුදා හැරීමෙන් පසු මේ වන විට රටින් පලා ගොස් සිටින්නීය. ඒ අනුව කුඩු නෝනි විසින් ඇගේ පවුලේ ඥාති හිතවතුන් 50කට ආසන්න පිරිසක් නමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල් යොදවා දේපළ සහ වත්කම් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් 17 වැනිදා ඇරැඹි යුක්තිය මෙහෙයුමත් සමඟ කඩිනම් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ සහ වත්කම් තහනම් කිරීම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් කෝටි ගණනින් වත්කම් උපයා ගත් තව තවත් තෝරු-මෝරුන්ගේ පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවට සැවොම බලා සිටී.

ඡායාරූප – කරන්දෙණිය සමූහ / අනුරාධ ප්‍රියදර්ශන

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division