Home » සාජන් මේජර්ට මාංචු වැටුණ දෙකෝටියේ ගජමුතු බිස්නස් එක

සාජන් මේජර්ට මාංචු වැටුණ දෙකෝටියේ ගජමුතු බිස්නස් එක

by thanushika
April 13, 2024 12:30 am 0 comment

ගජමුතු ජාවාරම් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ පුවත් වාර්තා වී තිබිණි. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන ලද මෙහෙයුම්වලදී ගජමුතු ජාවාරම්කරුවන් කීප දෙනෙක්ම නීතියේ රැහැනට කොටුකරගෙන තිබුණේ පසුගියදාය.

ගජමුතු ළඟ තබා ගැනීමෙන් මිනිස් ජීවිතවලට වාසනාව, සැප සම්පත්, ගරුබුහුමන්, තාන්න-මාන්න ගෙන දෙන බව ඈත අතීතයේ සිටම ඇතැම් ධනවතුන් අතර ප්‍රචලිත වූ මතයකි. එසේ හෙයින් ඇතැම් ධනවතුන්, ප්‍රභූවරුන් අතර ගජමුතුවලට ඇත්තේ මහත් ඉල්ලුමකි.

අපේ රටේ සංචාරක කර්මාන්තයට මහත් ආකර්ෂණයක් ගෙන දෙන දළ ඇතුන් මරා ලබාගන්නා ගජමුතු ජාවාරම්කරුවන් විසින් මිල කරන්නේ රුපියල් කෝටි ගණනනි.

එසේ රුපියල් කෝටි දෙකකට මිල නියම කළ ගජමුතු හතරක් විකිණීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසියේ නිලධාරින්ට පසුගියදා හැකි විය.

යුක්තිය මෙහෙයුමත් සමඟ සක්‍රිය වී සිටින පොලිස් නිලධාරින් අතර බේරුවල පොලිස් නිලධාරින් ද සිය රාජකාරි යුහුසුලුව ඉටු කරමින් සිටියදී ලද තොරතුරක් මත ජාවාරම්කරුවකු විසින් විකිණීමට තැත් කළ එම ගජමුතු 4 පොලිසිය භාරයට ගෙන එම ජාවාරම්කරු අත්අඩංගුවට ගත් සිද්ධිය මුල සිට අග දක්වා බේරුවල පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේ ය.

දෛනික රාජකාරිවල නිරත වන අතරේ බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ ඇතුළු කණ්ඩායමට පසුගිය දිනවල ලැබුණේ ගජමුතු ජාවාරමක් පිළිබඳ හෝඩුවාවකි. එම ගජමුතු ජාවාරම්කරු ගජමුතු විකුණන්නට තැත් කළ අවස්ථා ගණනාවක් ගැනම උප පොලිස් පරීක්ෂක කසුන්ට ඒ වන විට තොරතුරු ලැබී තිබිණි. පොලිස් නිලධාරින් ද විවිධ වෙස් ගෙන ගජමුතු ජාවාරමා අමතා ගජමුතු ගැන විමසමින් එම ගජමුතු විකිණීම සඳහා බේරුවලට රැගෙන එන ලෙස කීවද ජාවාරම්කරු ද සූක්ෂ්ම වෙමින් කිසිම විටෙක පැමිණියේ නැත.

මේ අතර පසුගිය 1 වැනිදා දහවල් ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකුගෙන්ද උප පොලිස් පරීක්ෂක කසුන්ට තොරතුරක් ලැබිණි.

“කසුන් මහත්තයා… මෑන් කෙනෙක් ඉන්නවා… මිනිහා ගජමුතු වගයක් විකුණන්න අරගෙන එන්න හදනවා බේරුවල පැත්තට… රේඩ් එකක් කළොත් අල්ලගන්න පුළුවන්…“ යැයි ගුවන් හමුදා බුද්ධි නිලධාරියා පැවැසීය.

එම තොරතුර පිළිබඳව උප පොලිස් පරීක්ෂක කසුන් බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර දැනුවත් කරමින් ඔහුගේ උපදෙස් ද ලබා ගනිමින් අදාළ තොරතුරෙන් කියැවුණු පුද්ගලයා ගැන සෝදිසියෙන් සිටියේ පෞද්ගලික තොරතුරුකරුවන් ද යොදා ගනිමිනි. එහිදී දැනගන්නට ලැබුණේ පසුගිය දිනවල තම කණ්ඩායම අවධානයෙන් සිටි ගජමුතු ජාවාරමා ද ඔහුම බවය.

පොලිස් නිලධාරියෙක් උපාය දූත වෙස් ගෙන එම ගජමුතු ජාවාරමා සමඟ සම්බන්ධ විය.

“බොසා බේරුවල බීච් සයිඩ් පැත්තට එනව ද…? සුද්දෝ ඉන්නවා සෑහෙන්න… ඔයාගේ බිස්නස් එක අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්…“ යැයි එම උපාය දූත වෙස් ගත් පොලිස් නිලධාරියා කීවේය. උපාය දූතයාගේ එම ‘ගැටයට‘ එදින ඔහු හසු විය.

ඒ අනුව ඉකුත් 1 වැනිදා සවස 4ට පමණ එම පුද්ගලයා යතුරුපැදියකින් ගජමුතු රැගෙන බේරුවල, මරදාන පාරේ පිහිටි හෝටලයක් අසලට පැමිණියේය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාරගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කසුන්ගේ කණ්ඩායමේ උපාය දූත වෙස් ගත් එම පොලිස් නිලධාරියා හෝටලය අසල සිටියේ ගජමුතු ‘සුද්දන්ට‘ විකිණීමට සහාය දෙන්නෙකු ලෙසටය. උපාය දූතයා ගජමුතු රැගෙන ආ එම පුද්ගලයා මුණගැසිණි.

“බඩු ගෙනාව ද?“ උපාය දූතයා විමසීය.

“ඔව්… ඔව්… ගෙනාවා… කෝ සුද්දෝ ඉන්නව ද?“ ජාවාරමා ඇසීය.

උපාය දූතයා ගජමුතු පරීක්ෂා කළේය. දින ගණනාවක් පුරා පොලිසිය සොයමින් සිටි ජාවාරමාට එදින නම් ගැලවීමක් වූයේ නැත.

උපාය දූතයාගේ සංඥාව ඔස්සේ ක්ෂණයෙන් එම ස්ථානයට පැමිණි උප පොලිස් පරීක්ෂක කසුන් ඇතුළු කණ්ඩායම ගජමුතු හතරක් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.

රුපියල් කෝටි දෙකකට ගජමුතු හතරක් විකිණීමට තැත් කළ ඔහු නමින් ලක්ෂ්මන් නමැත්තෙකි. වයස අවුරුදු 45ක් වන ලක්ෂ්මන් යුද හමුදාවේ පොදු සේවා බළකායේ සාජන් මේජර්වරයෙක් ලෙස සේවය කොට 2021 වසරේදී විශ්‍රාම ගිය අයෙකි. විවාහකයකු වන ඔහු පදිංචිව සිටියේ වැලිපැන්න පොලිස් වසමේ මීගමය.

“මේ ගජමුතු තමුන්ට කොහෙන්ද හම්බ වුණේ?“ අත්අඩංගුවට ගත් ලක්ෂ්මන්ගෙන් පොලිස් නිලධාරින් ප්‍රශ්න කරන්නට විය.

“සර් මේවා මගේ නෙවෙයි… මට මේ ගජමුතු එව්වේ අපේ මල්ලි කෙනෙක්… කතරගම පැත්තෙන් තමයි කුරියර් කළේ… එයත් ආමි එකේ ඉන්නෙ සර්…“ යැයි කියමින් ඔහු තව තවත් බොහෝ වල්-පල් කියන්නට වූයේ පොලිස් නිලධාරින්ගෙන් ගැලවීම සඳහාය.

ඒ කිසිවක් සත්‍යයක් නොවන බව පොලිස් නිලධාරින්ට තේරුම් ගන්නට වැඩි වේලාවක් ගියේ නැත. අත්අඩංගුවට ගත් ගජමුතු ජාවාරම්කරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය. ඒ අනුව ගජමුතුවලින් රුපියල් කෝටි ගණන් උපයන්නට තැත් කළ තවත් ජාවාරම්කාරයෙකුට සිදු වූයේ මහඋළු ගෙදර කූරු ගණින්නටය.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ අධීක්ෂණයෙන් බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්ම කුමාර, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කසුන් පතිරණ, සැරයන්වරුන් වන 35955 ලීලානන්ද, 33271 පියරත්න, කොස්තාපල්වරුන් වන 97645 නිරෝෂන්, 102950 මැදිවල සහ කාන්තා කොස්තාපල් 8092 ජනනි යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

ඡායාරූප – පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division