Home » අවුරුදු නිවාඩුවත් එපා කියා ඔබේ පාර්සල් බෙදන ශ්‍රී ලංකා තැපෑල

අවුරුදු නිවාඩුවත් එපා කියා ඔබේ පාර්සල් බෙදන ශ්‍රී ලංකා තැපෑල

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය යනු පැරණි හිතවත්කම් අලුත් වෙන, අලුත් හිතවත්කම් ගොඩනැඟෙන අපූරු කාලයකි. මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය ද අප්‍රේල් 11 වැනිදාට යෙදී ඇති බැවින් මේ සතිය රටටම උත්සව සිරියක් ගෙන දී ඇත. සිය සමීපතමයන් සමඟ තෑගි බෝග හුවමාරු කර ගැනීමේ සම්ප්‍රදාය මෙම උත්සව දෙකේම ප්‍රධාන අංගයක් වේ. දුරබැහැර සිටින සමීපතමයන්ට ත්‍යාගයක් දෙන්නට නොහැකි වූ බොහෝ දෙනකු ඒ වෙනුවෙන් තෝරා ගන්නේ තැපැල් හෝ කුරියර් සේවාවකි. එසේ ඔබ යවන තෑගි පාර්සලය මේ උත්සව සමයේදීම ඔබේ හිතවතාගේ අතට සුරක්ෂිතව ලැබේ නම් එය ඔබට අස්වැසිල්ලක් වනු නිසැකය. අලුත් අවුරුදු සමය තුළ ඒ වගකීම ඉටු කරන්නට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැදී පැහැදී සිටී. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසන්නට අපි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩී. ඒ. රාජිත කේ. රණසිංහ හමු වීමු.

” සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය පැවැත්වෙන මේ සතිය දීර්ඝ සතිඅන්ත නිවාඩුවක් යෙදී තිබෙනවා. විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ පාර්සල් විශාල ප්‍රමාණයක් තැපෑල හරහා හුවමාරු වෙනවා. එම පාර්සල් අතර වැඩි වශයෙන් තිබෙන්නේ අවුරුදු තෑගි, කැවිලි ආදිය බව අපි අත්දැකීමෙන්ම දන්නවා. එම නිසා ඒ පාර්සල් ඉතා ඉක්මනින් ලැබිය යුතු පාර්ශ්වය වෙත ලබා දීම ඉතා වැදගත්. අලුත් අවුරුද්ද වෙනුවෙන් 11,12,13 සහ 14 වැනිදා රජයේ නිවාඩු දවස් වුවත් එවැනි විශේෂිත පාර්සල් බෙදා හැරීම සඳහා මේ අලුත් අවුරුදු නිවාඩුවේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව 11, 12 දෙදිනත් වැඩ කරනු ලබනවා. ඒ අනුව අප්‍රේල් 12 වැනිදා දිවයින පුරා එම විශේෂිත පාර්සල් බෙදාහැරීම සිදු කරන විශේෂ දිනයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙවැනි විශේෂිත කාර්යයක් ශ්‍රී ලංකා තැපැල් සේවය තුළ සිදු වන්නේ පළමු වරටයි. ” අප්‍රේල් 12 වැනිදා බෙදාහැරීම් සිදු කරන විශේෂ පාර්සල් මොනවාද යන්න පිළිබඳ ඔහු වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.

” ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව COD (කෑෂ් ඔන් ඩිලිවරි ) සේවාව, SL POST කූරියර් සේවය, ජාත්‍යන්තර තැපැල් සේවයේ අධිවේගී කූරියර් (EMS ) සේවාව සහ සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ තැපැල් භාණ්ඩ බෙදාහරිනු ලබන අතර මෙම විශේෂ භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙළට අයත් වන්නේ ඉහත කී කාණ්ඩ හතර යටතේ අප්‍රේල් 10 වැනිදා දක්වා අපට ලැබී ඇති තැපැල් භාණ්ඩයි. එම සියලු තැපැල් භාණ්ඩ එක්රැස් කර ගෙන 12 වැනිදා ලිපි බෙදන සියලු තැපැල් කාර්යාල විවෘත කර ඒ මඟින් එම පාර්සල් ලැබිය යුතු පුද්ගලයන්ගේ ලිපිනයට බෙදා හැරීම සිදු කරනවා. මෙහිදී කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මේ සම්බන්ධ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනවා. පර්යන්ත තැපැල් තෝරන මධ්‍යස්ථානවල සිට මුලින් කී විශේෂ කාණ්ඩ හතරට අයත් පාර්සල් දුම්රියෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහනවලින් අප්‍රේල් 10 සහ 11 දෙදින කොළඹට ගෙන එනු ලබනවා. අප්‍රේල් 12 වැනිදා සම්පූර්ණයෙන්ම වෙන්කර ඇත්තේ එසේ ඒකරාශී වන තැපැල් භාණ්ඩ බෙදාහැරීම සඳහායි. ඒ සඳහා තැපැල් කාර්යමණ්ඩලය සහ විශේෂ කාර්යමණ්ඩලය යොදවනු ලැබුවා. එදාට අප තැපෑලේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට කැඳවන්නේ නැහැ. තෝරාගත් පිරිසක් පමණයි සේවයට කැඳවන්නේ. ඒ වගේම එදින වෙනත් තැපැල් අවශ්‍යතා සඳහා තැපැල් කවුළු විවෘත නොකරන බවත් මහජනතාවට විශේෂයෙන් මතක් කළ යුතුයි. එදින තැපෑල මුළුමන්ම කැපවී සිටින්නේ පාර්සල් බෙදාහැරීම සඳහා පමණයි. ”

නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත කේ. රණසිංහ පැවසුවේ මෙය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී සත්කුමාර ගේ සංකල්පයක් බවය.

“තැපැල්පතිතුමා යෝජනාවක් විදිහට මේ අදහස ඉදිරිපත් කළ පසු සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන් එකතු වෙලා මේ සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වගේම තැපැල් ස්ථානාධිපති සේවය, ලිපි බෙදාහැරීමේ සහ තැපැල් ප්‍රවාහන සේවයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවලා ඔවුන්ගේ අදහස් ද විමසුවා. ඔවුන්ගෙන් ද ලැබුණු ධනාත්මක අදහස් මතයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ. අප්‍රේල් 12 වැනිදා සිංහල හා දමිළ පරණ අලුත් අවුරුද්ද නිසා අපේ බහුතර කාන්තා නිලධාරිනියන්ට සේවයට පැමිණීමේ අසීරුතා තිබුණත් ඔවුන් මෙම සේවය සඳහා කැමැති වුණා. ඒ වගේම එදින සේවයේ නිරත කාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂිත ගෙවීමක් කිරීමට බලාපොරොත්තු වුණත් ඔවුන් මේ වෙනුවෙන් කරන කැපවීම අප විශේෂයෙන් අගය කළ යුතුයි. ඒ වගේම මේ කාර්යයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගෙන් ලැබුණු මඟපෙන්වීම සහ සහයෝගයට විශේෂයෙන් ස්තුතිවන්ත වනවා. මෙම වැඩපිළිවෙළ සාර්ථක වුණොත් ඉදිරි දීර්ඝ සතිඅන්තවලදීත් මෙවැනි විශේෂ බෙදාහැරීම් දින ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා”

මෙය අභියෝගාත්මක කටයුත්තක් වුවද ඉකුත් කොවිඩ් වංසගත සමයේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සායනගත රෝගීන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවසේවලටම බෙදාහැරීමේ සද් කාර්යයක නිරත විය.

“ඒ විදිහට අපි බෙහෙත් වට්ටෝරු මිලියන 2.4ක් රට පුරා නිවැරදිව බෙදුවා. අපේ බලාපොරොත්තුව පාර්සල් බෙදීමත් ඒ විදිහට උපරිමයෙන්ම නිවැරැදිව කිරීමයි. ඒ සඳහා ලිපි සහ පාර්සල්වල ලිපිනය නිවැරදිව ලිවීම ඉතා වැදගත්. කූරියර් සේවාවේදී අපි පාර්සලය ලබන්නාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඔහුගේ ලිපිනය සහ එය නිවැරදිද යන්න තහවුරු කරගනු ලබනවා.”

වසර 226ක පමණ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීන ලෝකයේ ඩිජිටල්කරණ ඉලක්ක ජයගනිමින් මහජනතාවට වඩා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවයක් සැපයීම සඳහා ඉලක්කගත ගමනක නියැළී සිටින බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත කේ. රණසිංහ සඳහන් කළේය.

“2022 දෙසැම්බර් 31 වැනිදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 7ක් වුවත් 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට එම පරතරය බිලියන 3.2 දක්වා අඩුකර ගැනීමට හැකි වුණා. එම වසරේදී තරගකාරී සහ විශේෂිත තැපැල් සේවා ගණනාවක්ම හඳුන්වා දුන් අතර 2024 වසරේදී අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් අප සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව කටයුතු කරනවා. විශේෂයෙන් සියලුම තැපැල් කාර්යාල ස්මාට්කරණය සහ ස්වයංක්‍රීය තැපැල් කාර්යාල ඇති කිරීම පිළිබඳ අපගේ ඉදිරි සැලසුම් අතර වෙනවා.”

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3,410ක් සහිත ශ්‍රී ලංකා තැපෑල සතු ලිපි බෙදීමේ කාර්යමණ්ඩලය 8,000කට ආසන්නය. බොහෝ දෙනකු සිතන්නේ තැපැල් කාර්යාලවලින් සිදු වන්නේ ලිපි බෙදාහැරීමත් මුද්දර, පෝස්කාඩ් අලෙවියත් විශ්‍රාම වැටුල් සහ රථවාහන දඩ මුදල් ගෙවීම වැනි කාර්යයන් කිහිපයක් බවය. එහෙත් එම සේවා ඉක්මවා ගිය සේවා රැසක් ශ්‍රී ලංකා තැපෑල මඟින් ඉටුවන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.

” විදුලි හා ජල බිල්පත් සහ රක්ෂණ වාරික ගෙවීම්, ටෙලිකොම් සහ මොබිටෙල් බිල්පත් ගෙවීම වගේම මහනුවර මහනගර සභාවට අයත් ජල බිල්පත් ගෙවීම ඕනෑම තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකිය. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්න තවත් කරුණක් තිබෙනවා. ලිපි බෙදීම සඳහා ඔබේ නිවෙසට පැමිණෙන තැපැල්කරු මඟින් ඔබට නිවසේම සිට ඉතා පහසුවෙන් ඔබේ ජල, විදුලි බිල්පත්, රක්ෂණ වාරික මුදල්, ෆිනෑනස් වාරික මුදල් ගෙවිය හැකියි. ඒ සඳහා එම අවස්ථාවේදී තාවකාලික කුවිතාන්සියක් නිකුත් කරන අතර පසුව නියම කුවිතාන්සිය ද තැපැල්කරු විසින් ඔබේ නිවෙසටම ගෙනැවිත් දෙනු ලබනවා. එහිදී අමතර ගාස්තු ලෙස අය කරන්නේ විදුලිබිලට රුපියල් 20ක් සහ ජල බිල්පතට රුපියල් 5ක් පමණයි. ඒ වගේම ඔබට ඔබේ ව්‍යාපාරය හෝ එසේත් නැතිනම් විශේෂ අවස්ථාවක් පිළිබඳ ප්‍රචාරණයක් අවශ්‍ය නම් ඒ පිළිබඳ සඳහන් පත්‍රිකා ද තැපෑල මඟින් බෙදාහැරිය හැකියි. එහිදී අවම වශයෙන් පත්‍රිකා දහසක්වත් මුද්‍රණය කළ යුතු අතර එක් පත්‍රිකාවක් සඳහා රුපියල් 6ක් අය කරනු ලබනවා. ශ්‍රී ලංකා තැපෑල සතු COD (කෑෂ් ඔන් ඩිලිවරි ) සේවාව ගැනත් විශේෂයෙන් මතක් කළ යුතුයි. මෙය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයාට අලෙවි කිරීම සඳහා ඉතා පහසු ක්‍රමයක්. පාරිභෝගිකයා මුදල් ගෙවා භාණ්ඩ ලබාගත යුතු මේ ක්‍රමය මුළුමනින් තාක්ෂණික මෙවලම් මඟින් ක්‍රියාත්මක වෙනවා. ”

ශ්‍රී ලංකා තැපෑල මහජනතාවට වඩාත් සමීප කරවීමේ අරමුණින් තැපැල් සේවා ගාස්තු දැනගැනීමේ ඇප් එකක් ඉදිරි සතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩී. ඒ. රාජිත කේ. රණසිංහ සඳහන් කළේය.

“දැනට ගාස්තු පිළිබඳ අපගේ වෙබ් අඩවියේ සඳහන් වුවත් ඇප් එක මඟින් ලෝකයේ ඕනෑම රටකට තැපැල් මඟින් යැවීමේ ගාස්තු පිළිබඳ පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් දැනුම්වත් විය හැකියි. ගුවනින් වගේම නැව් මාර්ගයෙන් යවන තැපැල් සේවා පිළිබඳවත් එයින් තොරතුරු දැනගත හැකියි. එයින් තැපෑල මහජනතාවට වඩාත් සමීප කරවීම අපේ අරමුණයි.”

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්නෙ

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division