Home » මහ පාරේ තදබදය නැතිකර ලස්සන කොළඹ හැදෙන හැටි

මහ පාරේ තදබදය නැතිකර ලස්සන කොළඹ හැදෙන හැටි

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

කොළඹ නගරයේ ඉතා ජනාකීර්ණ පෙදෙසක් වූ කොම්පඤ්ඤවීදිය හා අවට ප්‍රදේශයේ පවතින අධික මාර්ග තදබදය ක්‍රමයෙන් වැඩි වන්නට වූයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ඒ අවට වැඩි වශයෙන් ස්ථාපිත වීමෙනි.

එමෙන්ම අලුතින් ස්ථාපිත කෙරුණු සුපිරි හෝටල්, නේවාසික මහල් හා අනෙකුත් සේවා සපයන ස්ථාන වැඩි වීමෙන් මෙම තදබදය එන්න එන්නම වැඩි වූ අතර එය තවත් වර්ධනය වීමට හේතුවක් වූයේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආරම්භයේදී හා අවසානයේ ද දුම්රිය හරස් මාර්ග දෙකක් තිබීමයි.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වීම නිසා නිරතුරුවම මාර්ගය තදබදයට ලක් විය. එමෙන්ම ඊට මඳ දුරකින් පිහිටි කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ අනෙක් හරස් මාර්ගය ද උදෑසන සහ සවස් කාලයේ අනිවාර්යයෙන්ම වාහන තදබදයක් ඇතිවන පෙදෙසකි. එමෙන්ම ගාලුමුවදොර සිට කොම්පඤ්ඤවීදිය දක්වා වන මාර්ගයන්ට පිවිසීමේදී ඇතිවන මාර්ග තදබදය ද ක්‍රමයෙන් වැඩි විය.

මේ කරුණු සැලකිල්ලට ගෙන එම මාර්ග හරහා ගුවන් පාලම් මාර්ග ඉදිකිරීමට යෝජනා විණි. ඒ වත්මන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අවධානයෙනි.

එම යෝජනාව අනුව කොම්පඤ්ඤවීදිය කේන්ද්‍ර කරගෙන ගුවන් මාර්ග පාලම් 3ක් සෑදීමට යෝජනා විය. එයින් එක් ගුවන් පාලම් සහිත මාර්ගයක් වූයේ උත්තරානන්ද මාවත හරහා ඉදි කෙරෙන පාලමයි. දෙවැන්න වූයේ එම මාර්ගය හා සම්බන්ධිත වන බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලම් සහිත මාර්ගයයි. තෙවැන්න වූයේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලින් දිවෙන විනිසුරු අක්බාර් මාවත හා සම්බන්ධිත ගුවන් මාර්ග සහිත පාලමයි. ආරම්භක සැලසුම වූයේ මේ සියලු ගුවන් පාලම් සහිත මාර්ග මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඉදි කර අවසන් කිරීමටය.

මේ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත කළ මුදල රුපියල් මිලියන 5,278කි. (5,278,081,272.43කි.)

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී තිබුණී.

එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින් සිදු කෙරේ.

ඒ අනුව කඩිනමින් වැඩ අවසන් කළ උත්තරානන්ද මාවත හා සම්බන්ධිත ද්විත්ව මාර්ග සහිත දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි පසුගිය 8 වෙනිදා විවෘත කරන ලදි. එම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ. දුම්රිය මාර්ගය හරහා ඉදි කළ මේ පාලමේ දිග මීටර් 320ක් වන අතර එය මීටර් 9.8ක පළලින් යුතු අතර එම පාලම මංතීරු දෙකකින් සමන්විත වේ.

මේ මාර්ගය හා සම්බන්ධිත අනෙක් මාර්ගය වන බාලදක්ෂ මාවත හා සම්බන්ධිත ගුවන් පාලම් සහිත මාර්ගය ඇත්තෙන්ම වටරවුම් මාර්ගයකි. එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී ඇතත් එහිදී භූමිය පවරා ගැනීමේ ඇති සුළු ප්‍රමාදයක් හේතුවෙන් එම මාර්ග කටයුතු තරමක් ප්‍රමාද වී ඇති අතර කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලින්ම දිවෙන විනිසුරු අක්බාර් මාවත හා සම්බන්ධිත ගුවන් මාර්ගය ජූලි මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. එහි වැඩ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරේ. මේ ගුවන් පාලම් සහිත මාර්ගයන්හි නිසි ප්‍රතිඵල ලබා ගැන්මට හැකිවන්නේ බාලදක්ෂ මාවත හා සම්බන්ධිත ගුවන් පාලම් සහිත මාර්ගයත් කඩිනමින් ඉටු කළහොත් පමණක් වන අතර ඒ සඳහා ඇති බාධාවන් ඉවත් කර කඩිනමින් එම පාලම ද ඉදි කොට ජනතා අයිතියට පත් කළ යුතු වේ.

කොම්ප­ඤ්ඤ­වී­දිය උත්ත­රා­නන් ද මාවත ගුවන් පාලම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් විසින් විවෘත කළ අව­ස්ථාව.ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, එක්සත් ජාතික පක්ෂ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී
වජිර අබේ­ව­ර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ ඇතුළු ආරාධිත පිරිසක් මෙහි වෙති

කොම්ප­ඤ්ඤ­වී­දිය උත්ත­රා­නන් ද මාවත ගුවන් පාලම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් විසින් විවෘත කළ අව­ස්ථාව. ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, එක්සත් ජාතික පක්ෂ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ ඇතුළු ආරාධිත පිරිසක් මෙහි වෙති

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division