Home » අපේ සිරිත් විරිත්වල යථාර්ථය වටහා ගත යුතුයි

අපේ සිරිත් විරිත්වල යථාර්ථය වටහා ගත යුතුයි

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

මෙවර අප්‍රේල් 13 වැනිදායින් ඇරැඹෙන්නේ 1946 වැනි ශක වර්ෂයයි. (හෙවත් ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිත කරන වර්ෂ ක්‍රමයයි. බටහිර ක්‍රමය අනුව මෙය ක්‍රි ව. 2024 වෙයි. මෙම ක්‍රමයම හින්දු දින දර්ශන ඉන්දියානු ජාතික දින දර්ශනය, සහ කාම්බෝජියානු බෞද්ධ දින දර්ශනය ද භාවිත කරයි. ක්‍රි.ව.78දි මෙම වර්ෂ ක්‍රමය ආරම්භ විය. නව වසර ලැබීම යනු කාලය හා බැඳුණු ක්‍රියාවලියකි. අපේ පහසුව සඳහා තත්පර විනාඩි දින සති ලෙස කාලය බෙදෙනු ලබයි. එහි විශාලම කාලය දින තුන්සිය හැටපහ වෙයි. එක් තුන්සිය හැටපහක් අවසන් වී තවත් තුන්සිය හැටපහක් ආරම්භ වෙයි. එය නව වසරක උදාවක් වෙයි. ඒ නව වසර උදාව සම්බන්ධයෙන් අතීතයේ පටන් විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. ආදී කාලයේ සූර්යයා චක්‍රයක ආකාරයට අප වටා ගමන් කරනු ලබන බවට විශ්වාසක් තිබුණි. එහි නැවැතුම්පොළවල් දොළසක් වන බවත් ඒවා රාශි චක්‍රය ලෙසත් හැඳින්වෙයි. මුල්ම රාශිය මේෂ රාශියයි; අවසාන රාශිය මීන රාශියයි. මේෂ යනු බැටළුවාගෙන් ද මීන මාළුවන්ගෙන් ද සංකේතවත් වෙයි.

සූර්යයා මීන රාශියේ ගත කරන අන්තිම දිනය පරණ අවුරුද්ද යනුවෙන් හඳුන්වයි. සූර්යයා මේෂයට සම්පූර්ණයෙන් ගමන් කළ පසු අලුත් අවුරුද්ද උදා වෙයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම එදා සිට අද දක්වා සමරනු ලබයි. to renew යන කරුණ මෙහි අදහස වෙයි. මතුපිට වන වාච්‍යාර්ථයේ ඇති අදහස නොවෙයි. මෙහි ගැඹුරු යථාර්ථයක් ඇත.

සූර්යයා මීන රාශිය අතහැර ක්‍රමානුකුලව මේෂ රාශියට ගමන් කරන විට රාශි දෙකක් අතර වන අවස්ථාව සංක්‍රන්තිය ලෙස හැඳින්වෙයි; එය පරණ අවුරුද්දත් අලුත් අවුරුද්දත් අතර කාලය වෙයි; මේ වෙලාවේ නැකැත් නැති නිසා (නො) නැකත වෙයි; නැකත යනු හොඳ වේලාව යන්නයි. නව වසර සඳහා ලිප ගිනි මොළවන තෙක් (නො)නැකතයි. මේ කාලය තුළ නැකතත් නොමැති බව පැරණි ජනයා විශ්වාස කළහ. ඒ කාලය තුළ සියල්ලෝම සියලු වැඩ නවතා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වෙති. (නො)නැකත සංක්‍රාන්ති අවස්ථාවේදී පින් කළ යුතු බවට චාරිත්‍රයක් වෙයි. ඒ නිසා (නො)නැකත කාලයේදි මුල් කොටස පුණ‍ය කාලය ලෙස හැඳින්වෙයි. බෞද්ධයෙකු පුණ්‍ය කාලයේදී පින් කළ යුතුමයි. වෙනදාට මෙන් නොව පවුලේ සියලු දෙනා පන්සලට යා යුතුයි. එහිදි එකමුතුවක් ද සංකේතවත් වෙයි. එසේම ගමේ පිරිස් ක්‍රීඩා කිරීමත් කළ හැකියි; එකමුතුකම සාමූහිකකම අමනාප දුරුවීම සංකේතවත් වෙයි. එසේම මේ කාලයේදී ඔංචිලි පැදීම ද සිදු වෙයි. ඉන් පසුව සුබ නැකතට ගිනි මෙළවීම සිදු වෙයි. අලුත් ගින්දරින් නව හැළියක අලුත් සහල් කිරි දමා කිරි බතක් පිසගනී. සියලු දෙනාම ඒකරාශී වී කිරිබත නැකතට අනුභව කරයි. මේ අතර සත්මාළුවක්ද පිසියි.

මෙය සත්පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන ලද පූජාවක් ලෙස හැඳින්විය හැකියි. අපේ සංස්කෘතිය හා බැඳුණු ඉතා වැදගත් අංගය ලෙස චර්යාධර්ම හැඳින්විය හැකියි. මේ චර්යාධර්ම යනු කුමක්ද යන්න පැහැදිලි කළහොත්, එනම් හැසිරෙන ආකාරයයි. එසේම අපේ සංස්කෘතිය හා බැඳී පවතිනු ලබන මේ චාරිත්‍ර සහ වාරිත්‍ර එකම අර්ථයෙන් එකම ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා එකම අර්ථයේහිලා සලකයි. නව වසරේදීත් අපි හැසිරෙන ආකාරයක් වෙයි. මේ චර්යා ධර්මයන් අනුව යම් සම්ප්‍රදායක් තුළ යම් දේ කළ යුතුයි; සහ යම්දෙයක් නොකළ යුතුයි; යනුවෙන් වෙයි. මේ ඉහතින් සඳහන් කළ කරුණු අපි හඳුන්වනුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනුවෙනි. යම්කිසි සාරධර්මයක් ක්‍රියාවට නැංවීම කරනු ලබන දේ චාරිත්‍රය වෙයි. ඒ ගුණධර්මයෙහිම නොකරන දෙය වාරිත්‍රය නම් වෙයි.

එමෙන් සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සාකච්ජා කිරීමේදී අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර වෙයි. එහිදී ද සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍රවලත් සිරිත් විරිත් යනුවෙන් දෙකොටසක් වෙයි. එය කරන සහ නොකෙරන ලෙස හැඳින්විය හැකියි. එදා සිට අද දක්වා සිරිත් විරිත්, චාරිත්‍රවාරිත්‍ර පවත්වාගෙන එයි.

චාරිත්‍රානුකූලව ගතහොත් නොනගතයේදී කළ නොහැකි කිහිපයක් ක්‍රියා වෙයි. එනම් විරිත් කිහිපයක් වෙයි. මුළුතැන්ගෙය අලුත් අවුරුද්දේ අලුත්වැඩියා කර හුණු පිළියම් කරයි. නමුත් නොනගතයේ ලිප ගිනි නොදැල්වීම විරිතකි. නොනගතයේදී ජලය සමඟ ද ගනුදෙනු ද නොකරයි. ඒ අවස්ථාවේදී කිසිවෙකුත් ළිඳට නොයයි. (නො) නැකතයට පන්සලට ගොස් යම් පුණ්‍යකර්ම කළ හැකියි. සුබ නැකත ලැබුව පසු අඟුරු, සුදු මල් දමා ළිඳ පවිත්‍ර කර ළිඳ සමඟ ගනුදෙනු කරයි. එහිදි ජලය පිරිසිදු කිරීමට තඹ කාසියක් දමයි. ළිද අලෙයි කිරීම ලෙස මෙය හඳුන්වයි. ඒ තඹ කාසිය වසරක් තිස්සේ ලිඳේ දිය වෙයි. අපේ ඇඟට තඹ එයින් එකතු වෙන බව කියැවෙයි; කෘෂිකාර්මික ආර්ථික රටාවකට හුරු වී සිටින ජනතාව නැකතට කුඹුරට හේනට යෑම සිදුකර ඇත. අලුත් හැළියක අලුත් ලිපක, අලුත් ජලයෙන් අලුත් සහලින්, අලුත් ගින්නකින්, අලුත් කිරිවලින් ලිප ගිනි මෙළවීම කරයි. වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ ජනතාවගේ මනස යළිත් පුබුදුවාලීමට නව ආකාරයෙන් සිතීමක් මෙහිදී සිදු වෙයි. ලිප ගිනි මොළවන නැකත උදාවත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියාශීලී වෙයි. අලුතින් බැඳි ලිප මත අලුත් හැළියක අලුත් සහලින් කිරිබතක් පිසීමට සෑම නිවෙසකම මව කටයුතු කරයි.

පළමුව අනුභව කරන ආහාර වේලට කිරිබත්, කැවුම්, කෙසෙල් වැනි සාම්ප්‍රදායික කැවිලි ඇතුළත් වෙයි. මේසයට සුදු රෙද්දක් එළා ඒ මත අාහාර තබා පොල්තෙල් පහනක් තැබීම සිරිතකි. සියලු දෙනාම එකම නැකතට ආහාර අනුභව කරයි. එයින් පවුලේ සහජීවනය සමගිය ඇති වෙයි. අනුභව කර උදා වෙයි. වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිරිතකි. කෘෂිකාර්මික ක්‍රමවේදයක් ඇති පැරුන්නෝ උදැල්ල ගෙන නැකතට වැඩ කරති; පැළයක් හෝ සිටුවයි. ගෘහනිය ද චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම කරයි. ළමයින් පාසල් පොත්වල වැඩ කටයුතුවල නිරත වෙයි.

දරුවන්ට නොනගතයේදී සාම්ප්‍රායික සංස්කෘතිය හා බැඳුණු ක්‍රීඩාවන්වල නිරත විය හැකිය. පංච දැමීම, ඔළිඳ කෙළිය, මේවර කෙළිය, දාදු කෙළිය වැනි ක්‍රීඩාවල නිරත වෙයි. අවුරුදු ක්‍රීඩා අනිවාර්යෙන්ම සිංහල අවුරුද්දට කළ යුතු සිරිතකි. එයට හේතුව නොනගතයේදී වැඩ කිරීමට නොහැකි නිසාය; වැඩ නොකිරීම විරිතකි. එමෙන්ම සෙල්ලම් කිරීමෙන් සහයෝගිතාව වර්ධනය වෙයි. අද වන විට මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ මේ දේවල් ප්‍රායෝගිකව කළ නොහැකි බව ඇතැමුන්ගේ අදහසයි.

එහෙත් සම්ප්‍රදාය සමඟ බැඳුණු මේ දේ කළ යුතුය. ලිප් බැඳ ගිනි මොළවා යනුවෙන් මේ චාරිත්‍ර වෙයි. නැවත ලිප ප්‍රතිසංස්කරණය කර ගිනි මෙළවිය යුතුය. එදා අතීතයේ මේ ලිප ගිනි මෙළවීම සිදු කරනු ලැබුවේ පිසින ගෙය තුළයි. ලිප මෙළවීම සිදු කරනු ලැබූයේ ලිප් ගල් තුනක් මතයි. ගොම මැටි ගා පවිත්‍ර කරගන්නා ලිපේ අළු ආදී සියලු දේ ඉවත් කර නැවත නව වසරකට සූදානමක් එයින් ඇඟවේ. ඉන් අනතුරුව ලිඳ සමඟ ගනුදෙනු කරයි. මේ සමහර චාරිත්‍ර වාරිත්‍ර වාච්‍යර්ථයෙන් මතුපිටින් ගැනීමට නොහැකි වෙයි.

මෙය වර්තමානයේ නාගරික ජනයාට ගැළපෙන ආකාරයට නැවත සකස් කරගත හැකියි. එයින් අදහස් කරනුයේ ද ජලයට ගරු කිරීමයි. වසරක් පුරාම ජලය සපයන ළිඳට ගරු කිරීමට මෙහිදි ඉගැන්වීමක් වෙයි. ජලය යනු අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක් බැවින් එයට ගරු කළ යුතුය. නැකතට වැඩ ඇල්ලීම සම්බන්ධයෙන් ඇත්තේ ද එවැනි දෙයකි. මුළු රටක්ම එක මොහොතකදී වැඩ කිරීම තුළ සමගිය, සහයෝගය, සුහදතාව වර්ධනය කර ගැනීමේ හැකියාව ඇතිවනු ඇත.

ලිප ගිනි මොළවන නැකත උදාවත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියාශීලී වෙයි. අලුතින් බැඳි ලිප මත අලුත් හැළියක අලුත් සහලින් කිරි බතක් පිසීමට සැම නිවෙසකම මව කටයුතු කරයි. පළමුව අනුභව කරන ආහාර වේලට කිරිබත්, කැවුම්, කෙසෙල් වැනි සාම්ප්‍රදායික කැවිලි සකස් කරයි. මේසයට සුදු රෙද්දක් එළා ඒ මත අහාර තබා පොල්තෙල් පහනක් තැබීම සිරිතකි. සියල්ලෝම එකම නැකතකට ආහාර අනුභව කරති. එයින් පවුලේ සහජීවනය සමගිය උදා වෙයි. වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිරිතකි. නැකතට සශ්‍රිකත්වය සංකේතවත් කිරීමට කිරි ගසකට කෙටීමක් සිදු වෙයි. කෘෂිකාර්මික ක්‍රමවේදයක් ඇති පැරැන්නෝ උදැල්ල ගෙන නැකතට වැඩ කරති; පැළයක් හෝ සිටුවයි. ගෘහිනිය ද චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම කරයි. ළමයින් පාසල් පොත්වල වැඩ කටයුතුවල නිරත වෙයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී අවුරුද්දෙන් පසුව සිදුවන අතර ඖෂධ ගුණ ඇති කොළ වර්ගවලින් සෑදු තෙල් ගල්වා සියලු දෙනා නැකතට ස්නානය කරයි. එදා නැකතට ස්නානයට නාන කාමර නොතිබුණ අතර එකල බෙහෙත් තෙල් ගල්වා සියලු දෙනා ළිඳ ළඟ රැස්වී නැකතට ස්නානය කරයි. පසුගිය වසරේ ඇති වූ යම් යම් ගැටලු, නොහොඳ නෝක්කාඩු විසඳා ගැනීමට හොඳම කාලය මෙයයි. සුහද හමුවීමක් එහිදී වෙයි. නව වසර ආරම්භයේදී නව නැවුම් මිනිසකු ලෙස වෙයි. අලුත් වසරේදි නව සඳ බැලීම සිදු වෙයි; මුලින් ම පායන සඳ නව සඳයි; සඳ දිහා බලා ප්‍රාර්ථනා කරයි. එහි යම් ශක්තියක් ඇති බව පවසයි. “නව බක් ලසන් දුට් මිනිසෙකු” බව සීගිරි ගීයෙත් සඳහන් වෙයි. එහි යම් ශක්තියක් තිබූ බව ඉන් පැහැදිලි වෙයි.

අලුත් අවුරුද්ද සමයේ තම දරු පවුලත් සමඟ නෑදෑ හිතවතුන් දැකීමට ගොස් නෑදෑ හිත මිතුරුකම් වර්ධනය කර ගැනීම, අමනාප දුරු කර ගැනීම ද සිදුවෙයි. මෙලෙසින් ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හින්දු නව අවුරුද්ද තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ උරුමයන් වෙයි. සිංහල ගැමි සමාජයේ ආගමික, සමාජ, සංස්කෘතික, සමාජ විශ්වාස සහ ඇදහිලි, ආගමික සංකල්ප සමඟ එකට ගැට ගැසී මේ අවුරුදු සිරිත් විරිත් ගොඩනැඟී ඇත.

එදා කැවිලි සෑදීම සිදු කරනු ලැබුයේ ද මහ පොළොවෙන් බිහිවන ධාන්‍යවලිනි. කැවුම්, මුංකැවුම් ආදී කැවිලි කිසිවක් ශරිරයට අහිතකර නොවෙයි. සිරිත් මෙන්ම සාම්ප්‍රදායික වෙද හෙදකමත් වෙයි. අවුරුදු කාලවලදී නාගරික ජනයා ගම්බිම් බලා යන්නේ අපේ සංස්කෘතියට තවමත් ගරු කරන නිසාවෙනි.

අවුරුද්දක් ගතවී අලුත් අවුරුද්දක් උදාවීම ගැන හැඟීමක් තිබුණ අප අවුරුදු සමරන්නේ ඇයි ද යන්න පිළිබඳ එතරම් දැනුම්වත් වීමක් නැත. කැලැන්ඩරයක කොළයක් මාරුවීමට වඩා දෙයක් මෙහිදී සිදු වෙයි. කායික වශයෙන් අලුත් ඇඳුම්, නිවෙස් අලුත්වැඩියා කිරීම, උයන පිහින ස්ථාන සියල්ල නැවුම් වීම තුළ වෙහෙස කර ජන ජීවිතය නැවත නවීකරණය වීමක් සිදු වේ. පරණ දෑ ඉවත් කිරීම, හිත මිත්‍ර නෑදෑයන් අතර අමනාපකම් දුරුවී සියලු සම්බන්ධතා අලුත් වීමක් සිදු වෙයි. අපේ සිංහල හින්දු චාරිත්‍ර යල් පැන නොයන අතර, අවුරුදු චාරිත්‍ර යල්පැන ඇතැයි සීතිමට හේතු කාරණාව වන්නේ එහි උඩු අරුත එනම් වාච්‍යාර්ථය පමණක් ගැන්වූ විටයි. එහි යථාර්ථය අපි දැනගත යුතුයි. සමගිය, සහජීවනය, කෙළෙහි ගුණ සැලකීම, ගින්න, ජලය, කිරි යන අංග සමඟ අපේ ජීවිත බද්ධ වී පවතී. සාම්ප්‍රදායික ජීවන රටාව තුළ ජනතාව නිරෝගිමත් සහජීවනයෙන් යුතුව ජීවත් වූ අතර සංකීර්ණ සමාජ වටපිටාවෙන් මිදී සාම්ප්‍රදායික අපේ ජීවන රටාවට නැවත වරක් කැඳවාගෙන යාමක් වසරක් පාසා ම සිදුවෙයි. මෙය අපි සැමරිය යුතු වන්නේ ද ඒ හේතු කාරණා මුල් කරගෙනයි.

පැරණි වෙදකම් ඥාති මිත්‍රකම් නැවත අලුත්වැඩියා කර ගැනීම නැවත සමාජ සම්බන්ධතා ගොඩනැඟීමට හැකි වීම වැනි දේ මෙන්ම එකම වෙලාවක, රටම එකම කටයුත්තක යෙදීම තුළ සහයෝගිතාව ගොඩනැඟීමට සහ ජාතික සහජීවනය ඇති කර ගැනීමක් සිදු වෙයි.

අද වෙන විට සමාජ ක්‍රමය වෙනස් වුවත් මතුපිටින් ඇති වාච්‍යාර්ථයෙන් ගෙන අපේ සිරිත් විරිත් සම්බන්ධයෙන් යථාර්ථය වටහාගත යුතුයි. මෙරට නූතනයට පමණක් නොව බටහිර රටවලට පවා අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ඉතාමත් වැදගත් වෙයි. සර්ව කාලයටම ගළපා ගැනීමට මේ වසරක් පාසා වන නැවත අලුත් වීම වැදගත් වෙයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division