Home » ගම්පහ බණ්ඩාරනායකයේ ශිෂ්‍යභට සරඹ ඇඳුම රටම කැලඹූ හැටි

ගම්පහ බණ්ඩාරනායකයේ ශිෂ්‍යභට සරඹ ඇඳුම රටම කැලඹූ හැටි

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

මෙම වසරේ මෙතෙක් පැවති පාසල් ක්‍රීඩා උලෙළවල් අතරින් වඩාත් අවධානයටත් කතාබහටත් ලක්වූ ක්‍රීඩා උලෙළක් වේ නම් ඒ ගම්පහ ප්‍රමුඛ පාසලක ක්‍රීඩා උලෙළයි. එම ක්‍රීඩා උලෙළ කෙරෙහි විශේෂ අවධානයක් කොයි කාගේත් යොමු වන්නේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම හේතුවෙනි. ක්‍රීඩා උලෙළ විචිත්‍රවත් කරමින් පැවති පොලිස් ශිෂ්‍ය භටයන්ගේ සරඹ සන්දර්ශනය ගැන සටහන් තබන්නට ඇත්තේ එය අති විශිෂ්ට බවය.

පොලිස් ශිෂ්‍ය භටයන් එදා ඒ ක්‍රීඩා උත්සවයේදී දැක්වූ දක්ෂකම් අදටත් කොයි කවුරුත් වර්ණනා කරනු ලබන්නේ පාසල් සිසුන් වන ඒ අය දැක්වූ දස්කම් පොලිස් සහ හමුදා භට ඛණ්ඩවලට නොදැවෙනි ලෙස විදහා දැක්වීම හේතු කොටගෙනය.

එහෙත් දැන් ඒ දරුවන්ගේ දස්කම් යටපත්ව ඉලිප්පී ඇත්තේ ඒ අය එදා ඒ සරඹ සංදර්ශනයට අඳිනු ලැබූ නිල ඇඳුම කෙරෙහිය. ඒ ඔවුන්ට නිසි අවසරයක් නොමැති එකක් වූ බැවිනි. එම ඇඳුම පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුමය. එම නිල ඇඳුම සාමාන්‍ය පොලිස් නිලධාරියකුටවත් අඳින්නට බැරි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටම පමණක් වෙන්වූවකි. විශේෂ කාර්ය බළකායේ වූ පමණින් ද එම කැලෑ නිල ඇඳුම අඳින්නට හැකියාවක් ද නැත්තේය. එය අඳින්නට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා දුෂ්කර වූත් කටුක වූත් පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුවය. එසේ නොවන්නට පොලිසියේ වූ පමණින් විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇඳුම අඳින්නට කිසිවකුටත් අවකාශයක් නැත. විශේෂ කාර්ය බළකායේ පාඨමාලාව හැදෑරීමකින් තොරව එම නිල ඇඳුම හැදි නිලධාරියෙක් වේ නම් ඒ මහින්ද බාලසූරිය පොලිස්පතිවරයා පමණි. පොලිස්පතිධුරයට පත්වීමට පෙර විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු සිටි කාලයේදී විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම ඔහු ඇන්දේ ද විශේෂ කාර්ය බළකායේ බහුතරයක් වූ නිලධාරීන්ගේ නිහඬ විරෝධයක් මධ්‍යයේය. විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම අවභාවිත කළ බවට මෑත ඉතිහාසයේ දැනගන්නට ඇති ප්‍රබලම සාක්ෂියක් වන්නේ එයයි. ඒ හැරුණු කොට විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම පාඨමාලාවෙන් තොර හැදීම තහනම්ය.

“ මේ නිල ඇඳුමට අපි පට්ට විදිහට ආදරය කරනවා. මම සාමාන්‍ය පොලිස් සේවයේ සිටියේ. විශේෂ කාර්ය බළකායට එන්න ආස හිතුණේ කැමා යුනිෆෝම් එක නිසයි. කෝස් එක කළේ කටුකුරුන්ද පුහුණු පාසලේ. අදට පුහුණුව කාලේ ආශාවත් තිබුණා නිල ඇඳුම ලැබෙයි කියල. ඒත් දුන්නේ නැහැ; කට්ට කාල. දරන්න බැරි තරමේ දුෂ්කර ක්‍රියා කරල පුහුණුව ඉවරවුණාම තමයි යුනිෆෝම් එක අතට හම්බ වුණේ. එදා රෑ ඒ යුනිෆෝම් එක ලැබුණුම රෑ තිස්සේ ඒක තුරුලු කරගෙනයි නිදා ගත්තේ.“ මේ කතාව කියන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති පොලිස් උප පොලිස් පරීක්ෂක ගාමිණී පිටගම්පලය.

මෙම කැලෑ නිල ඇඳුමට මේසේ ආදරය කරන්නේ පිටගම්පල පමණක් නොව, විශේෂ කාර්ය බළකායේ වත්මන් සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු සෑම නිලධාරියෙක්ම පාහේ මෙම කැලෑ ඇඳුමට දක්වන්නේ දැඩි ගෞරවයකි. ආදරයකි. මේ අය පමණක්ම නොව. මෙම නිල ඇඳුම ඇඟලා ගත් විශේෂ කාර්ය බළකායේ යම් නිලධාරියෙක් මෙතෙක් ජීවතුන් අතර සීටීද ඒ අය අදටත් ඊට දක්වන්නේ එම ප්‍රතිචාරයමය.

අඩුම තරමින් මෙම නිල ඇඳුමේ කොටසක්වත් සෙසු පොලිස් නිලධාරීන්ට අඳින්නට පලඳින්නට ඉඩක් දෙන්නේ නැත. ඇතැම් පොලිස් නිලධාරීන් හමුදා කැලෑ ඇඳුම් අඳින්නේ එබැවිනි. විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමේ උරුමය විශේෂ කාර්ය බළකායෙන් පිට කිසිවකුටත් ලබා දෙන්නට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉඩ දෙන්නේ නැත. ඒ එම නිල ඇඳුම පවා විශේෂ කාර්ය බළකායටම අාවේණික වූවක් වන බැවිනි. එම නිල ඇඳුම විශේෂ කාර්ය බළකාය 1983 වසරේදී ස්ථාපිත කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය යුද හමුදාවේ සුවිශේෂි සටන් අංශයක් වන SAS (Special Air Service Regiment) බළකායේ විශ්‍රාමික සාමාජිකයන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමත් විසින් මෙරටට පැමිණ මෙරට නිලධාරීන්ට පුහුණුව ලබාදීමෙන් පසු 1984 වසරේදී හඳුන්වා දුන්නකි. එදා සිට අද දක්වාම මේ නිල ඇඳුම අඳින්නට සුදුසුකම් ලැබුවේ ඒ දුෂ්කර පාඨමාලාව නැතිනම් පුහුණුව ලැබූ නිලධාරීන්ට පමණී. සෙසු හමුදාවන්වල භාවිත කරන කැලෑ සටන් ඇඳුම්වලට සමාන ඇඳුම් හැඳි පිරිස් කොතරම් සමාජයේ දක්නට ලැබුණ ද විශේෂ කාර්ය බළකායේ මෙම නිල ඇඳුම එසේ සමාජයේ දක්නට නැත්තේ ඊට කිසිදු ඉඩක් නොලැබෙන ලෙස විශේෂ කාර්ය බළකාය වග බලාගෙන ඇති බැවිනි. අඩුම තරමින් සම්පූර්ණ නිල ඇඳුමින් තොරව විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්වත් මෙම නිල ඇඳුමේ කොටස්වත් හැඳ සිටින්නේ නැත. ඒ තරමට ඔවුන් ‍ෙමම කැළෑ ඇඳුම කෙරෙහි දක්වන්නේ භක්තියකි.

මෙසේ තමන් දිවි හිමියෙන් ආදරය කරන කැළෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පාසලක ශිෂ්‍යභට කණ්ඩායමක් සරඹ සන්දර්ශනයක නිරත වන අයුරු විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින නිලධාරියෙක් දකින්නේ “ටික්ටොක්“ වීඩියෝවකිනි. එය දුටු ඔහු කොතරම් කලබලයට පත්වන්නේදැයි කිවතොත් එය පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර වෙත යොමුකරමින් යෝජනා කරන්නේ වහාම මේ ගැන පියවරක් ගමු යැයි කියාය.

එම ටික්ටොක් වීඩියෝව දුටු වරුණ ජයසුන්දරට ඇති වන්නේ දැඩි අවේගයකි. ඒ ඔහු ද පොලිස් සේවයට එක්වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසින් විශේෂ කාර්ය බළකායට පෙම් බඳිමින් වූ බැවිනි. මේ ගැන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව දැනුවත් කරනු ලබන්නේ ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමිනි.

ඒ අතර සිය නිලධාරීන් පෙළගස්වන්නේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමටය. මෙම සරඹ සන්දර්ශනය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය අප්‍රේල් 03 වෙනිදා පැවති ක්‍රීඩා උත්සවය වර්ණවත් කරන්නට පොලිස් ශිෂ්‍ය භටයන් විසින් පැවැත්වූවක් බව හෙළි වන්නේ එහිදීය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පහේ පන්තියෙන් ඉහළ දරුවන් 5000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන වසර 106ක් සැපූරූ දිවයිනේ ප්‍රමුඛතම බාලක පාසලකි. අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩා බාහිර ක්‍රියාකාරකම්වලින් ද ඉදිරියෙන් සිටින ගම්පහ බණ්ඩාරනායකයේ ශිෂ්‍ය භටයින් විද්‍යාලයට ගෙනදී ඇති කීර්තිය ද අපමණය. වසර 96ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ගම්පහ බණ්ඩාරනායකයේ ශිෂ්‍ය භටයන් ජාතික ශිෂ්‍යභට කණ්ඩායම් අතර සිටින්නේ ඉදිරියෙනි. පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමකට ලබා ගැනීමට හැකි ඉහළම කුසලානය වන හර්මන් ලෝස් කුසලානය අවස්ථා කිහිපයකදීම දිනාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් ගම්පහ බණ්ඩාරනායකය ප්‍රමුඛයා බවට පත්වෙමිනි.

ජාතික ශිෂ්‍යභට කණ්ඩායමට අමතරව නාවික සහ ගුවන් ශිෂ්‍ය භට කණ්ඩායම් ද ගම්පහ බණ්ඩාරනායකයේ ක්‍රියාත්මක වී ඇත. පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම ඒ ගොන්නට ඇතුළත්ව ඇත්තේ මෑතක කාලයේදීය. පොලිස් ශිෂ්‍යභට කණ්ඩායමකට දිනාගත හැකි ඉහළම කුසලානය වන පොලිස්පති කුසලානය දිනා ගැනීමට හැකි තරම් දක්ෂ කණ්ඩායමක් ලෙස වර්ධනය වී සිටින බණ්ඩාරනායකගේ පොලිස් ශිෂ්‍ය භටයින් මෙවර පොලිස් විශේෂ කාර්ය බළකායේ කැළෑ ඇඳුමින් සැරසී පාසල් ක්‍රීඩා උත්සවයේ සරඹ සන්දර්ශනයක් පවත්වනු ලබන්නේ පාසලේ සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් විශ්මයට පත්කිරීමේ අරමුණ ඇතිවය. ඒ අරමුණ එදා ඒ අය අපේක්ෂා කළාටත් වඩා හොඳින් ඉටු වූවත් අවසානයේදී සිදුවන්නේ කිරිකලයට ගොම බිඳුවක් වැටීමය. ඒ ඔවුන් බලා පොරොත්තු නොවූ ආකාරයට පොලිසිය පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර එල්ල වීමට පටන් ගැනීම හේතුවෙනි.

පොලිස්, ගුවන්, නාවික යැයි කුමන නම්වලින් ශිෂ්‍ය භට කණ්ඩායම් ක්‍රියාත්මක වූවත් මේ සෑම ශිෂ්‍යභට කණ්ඩායමක්ම ජාතික ශිෂ්‍යභට කණ්ඩායම හා බැඳී පවතී. ශිෂ්‍ය භටයන් වෙනුවෙන් වෙනම නිල ඇඳුමක් ද ඇතත් වෙනසකට ඇත්තේ ඒ ඒ කණ්ඩායම් හඳුනා ගැනීමට ඇති ලාංඡන පමණි.

ශිෂ්‍යභට ඉතිහාසය ගැන පිරික්සීමේදී පෙනී යන්නේ ලංකා සීතල පාබල හමුදාව යටතේ ස්වෙච්ඡා ඒකකයක් ලෙස ශිෂ්‍ය භට කණ්ඩායමක් මුල්වරට ස්ථාපිත කර ඇත්තේ 1881 වසරේදී බවය. ඒ එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි ජෝන් බී. කැල්ගේ අදහසකට අනුවය. රාජකීයන්ගෙන් ඇරඹි මෙරට ශිෂ්‍යභට බළකා ඉතිහාසය වසර 143ක් දක්වා දිව යන්නෙකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බළකායේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ ශිෂ්‍ය භට කණ්ඩායම් ජාතික ශිෂ්‍ය භට බළකායක් ලෙස ස්ථාපිත වන්නේ ද මේ කාලය තුළදීය. ඒ 1988 වසරේදීය. දැන් රටපුරා ජාතික ශිෂ්‍යභට බළකායට සම්බන්ධව සිටින ශිෂ්‍යභටයන් ගණන 150,000කට අධිකය.

ශ්‍රී ලංකා පොලිස් ශිෂ්‍යභට ඉතිහාසය මෙතරම් ඉතිහාසයකට උරුමකම් නොකීවත් ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායමක අවශ්‍යතාව රජයට දැනී ඇත්තේ 1971 කැරැල්ලෙන් පසුව බවය. එදා ඒ කැරැල්ල මැඬ පැවැත්වීමට පාසල් සිසුවකුගෙන් ලද සහය ඇතැම් විට පාසල් පද්ධතිය තුළ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමු වූවා වන්නට පුළුවනි. 1972 වසරේ ජූලි 04 වෙනිදා එවකට රටේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආශිර්වාදයෙන් සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක විසින් පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය ස්ථාපති කරනු ලබන්නේ ලොන්ඩන් පෙදෙසේ එවකට පිහිටා තිබුණු පොලිස් උපසේවා මූලස්ථානය තුළය.

කොළඹ – ආනන්ද, මහනුවර – කිංස්වුඩ්, ගාල්ල – මහින්ද, යාපනය – හින්දු, නිට්ටඹුව – සංඝබෝධි, ගම්පොල – සහිරා යන විද්‍යාල තුළින් බිහිවූ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම් යුද්ධයත් සමඟ 1985 වසරේදී ගෙන ආ 85 අංක 40 දරන මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ විධිවිධානවලට අනුව ශ්‍රී ලංකා ශිෂ්‍යභට බළකායට ගිලිහී යන විට බාලක කණ්ඩායම් 54ක්ද බාලිකා කණ්ඩායම් 21ක් ද වශයෙන් ශක්තිමත්ව තිබී ඇති බව ඉතිහාසය කියැවීමේදී පෙනී යන්නේය.

නැවතත් පොලිසියට පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම් බිහි කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ යුද්ධය නිමවී රට තුළ සාමය ස්ථාපිත වීමත් සමඟිනි. ඒ මහින්ද බාලසූරිය පොලිස්පතිවරයාව සිටියදී ඔහුගේ අදහසකට අනුවය. 2010 වසරේ සැප්තැම්බර් 07 වෙනිදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙන් සිටි රවී විජේගුණවර්ධනගේ මෙහෙයැවීමෙන් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම්වලට පණ දෙන්නට වූයේ කළුතර පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොටසක් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායමේ පුහුණු කඳවුර ලෙස නම් කරමිනි. දැන් කළුතර පමණක් නොව, බොරලන්දේද පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම් වෙනුවෙන් පුහුණු කඳවුරක් ස්ථාපිත කර හමාරය. ඒ අද වන විට පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම් රට පුරා බාලක පාසල් 351ක හා බාලිකා පාසල් 212ක් තුළ ව්‍යාප්තව ඇති බැවිනි. දැනගන්නට ඇති ආකාරයට අනුව මෙම කණ්ඩායම් තුළ පමණක් මේ වන විට සිටින පොලිස් ශිෂ්‍ය භටයන්ගේ ගණන 14,000කට අධිකය.

මේ හැම කණ්ඩායමක්ම අධික්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් අනුයුක්ත කර සිටිති. ඒ පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය විසිනි. පුහුණු කිරීම් ඇතුළු ශිෂ්‍යභට කණ්ඩායම්වල අවශ්‍යතා ඇතුළු පහසුකම් ගැන සොයා බැලීම් කරනු ලබන්නේ එම පොලිස් නිලධාරීන්ය.

එසේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම අධික්ෂණයටද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සිටිති. ඒ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරයෙකි. බණ්ඩාරනායක විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායමේ සෑම කටයුත්තක්ම අධීක්ෂණය වෙන්නේ එම නිලධාරීන් දෙදෙනා යටතේය. ගැටලුව වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කැළෑ ඇඳුම පරිහරණය කිරීම ගැන ඒ අය පවා ශිෂ්‍ය භටයන් නිසි ලෙස දැනුම්වත්කර නොතිබීමය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නාවික ශිෂ්‍යභට කණ්ඩායම සක්‍රියව තිබියදී පාසල් ක්‍රීඩා උත්සවය ඇතුළු උත්සව අවස්ථාවන්වලදී සරඹ පාන්නේ නාවික හමුදාවේ සෙබළුන් පරිහරණය කරනු ලබන සුදු පැහැති ඇඳුමින් සැරසීය. ඒ ශිෂ්‍ය භටයන්ට අනන්‍ය වූ නිල ඇඳුමක් තිබියදීය. එසේම ගුවන් ශිෂ්‍ය භට කණ්ඩායම ක්‍රියාත්මකව තිබියදී එම කණ්ඩායමේ සාමාජිකයන් සරඹ පෑවේ ගුවන් හමුදා කැළෑ ඇඳුමින් සැරසීගෙනය. එසේම ජාතික ශිෂ්‍ය භට බළකායට අනුයුක්ත ශිෂ්‍ය භටයන් සාම්ප්‍රදායික නිල ඇඳුමට අමතරව හමුදා කැලෑ ඇඳුම් ඇතුළු සෙසු හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් හැඳ සරඹ පාන අවස්ථා ද නැත්තේම නැත. එය බණ්ඩාරනායක විද්‍යාලයට පමණක් සීමා වූවක් ද නොවේ. යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් හැඳ ඒ ඒ ශිෂ්‍ය භටයන් සරඹ පෑම ගැන කලබලයක් හෝ හඬක් මෙතෙක් ඇසී නැත. ගම්පහ බණ්ඩාරනායකයේ පොලිස් ශිෂ්‍ය භටයන් වෙනසක් කිරීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් පාසල් ක්‍රීඩා උත්සවයේ සරඹ පාන්නට සැලසුම් කරනු ලබන්නේ එබැවිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම එසේ අවභාවිත කිරීමට ඉඩක් නොමැති බව පාසල් බලධාරීන් හෝ ශිෂ්‍ය භටයන් හෝ එම ඇඳුම් සකස් කර ගැනීමට සිසුන්ට අරමුදල් සපයා දුන් ආදි සිසුන්වත් මේ දේවල් කිසිවක් දැන සිට නැත. ඒ ගැන සිසුන්ව දැනුවත් කළ යුතුව තිබුණේ පොලිසියේ උදවියය. බණ්ඩාරනායක විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භටයන් අධික්ෂණය කිරීමට යොදවා සිටින පොලිස් නිලධාරීන් නිසි ලෙස මෙම කණ්ඩායම අධික්ෂණය කර තිබුණේ නම් ප්‍රශ්නය ඇති වීමට පෙර එය වළක්වා ගැනීමට ඒ අයට තිබුණු හැකියාව බොහෝය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව පාසල් ක්‍රීඩා උත්සවය වර්ණවත් කරමින් ප්‍රේක්ෂකයන් පුදුමයෙන් පුදුමයට පත්කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සරඹ පාන්නට සැලසුම් කරනුයේ ශිෂ්‍ය භටයන්මය. විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇඳුමට සමාන ඇඳුම් මැසීමට අනුරාධපුරයෙන් තැනක් පවා සොයා ගන්නේ ඒ අයය. පාසලේ අරමුදල් ඒ සඳහා වෙන්කර නොතිබීම හේතුවෙන් මෙම ශිෂ්‍ය භටයන්ට හයියක් වී ඇත්තේ ආදි සිසුන්ය. එදා අප්‍රේල් 03 වෙනිදා පාසලේ ක්‍රීඩා උත්සවයේ දී කාගේත් සිත් ඇඳ බැඳ ගත් අංගයක් වූයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ සරඹ සන්දර්ශනයයි. ටී 56 අවි අත දරමින් ඔවුන් දැක්වූ ඒ හරඹය හේතුවෙන් ක්‍රීඩා උත්සවය අවසානයේදී පාසල තුළ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට බැඳීමට සිසුන් අතර තිබී ඇත්තේ ද ලොකු උනන්දුවකි. මෙම සරඹ සන්දර්ශනය පැවති අවස්ථාවේදී ඇතැම් දෙමාපියන්ට සිය දරුවන් මෙම කණ්ඩායමට ඇතුළත් කරන්නට නොහැකි වීම ගැන ඇතිවී ඇත්තේ සිත්තැවුල්ය. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බළකායට සම්බන්ධ මවුපියන්ද නැත්තේම නැත.

ගම්පහ බණ්ඩාරනායකයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බළකායේ කැළෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සරඹ පෑම ගැන පොලිස් විශේෂ කාර්ය බළකායේ බලධාරීන්ගේ අවධානයට යොමු වන්නේ ද මෙවන් තත්ත්වයක් හමුවේදීය.

ටික්ටොක්, ෆේස්බුක්, යූ.ටියුබ්, ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භටයන්ගේ හපන්කම් ඒ වන විටත් පැවතියේ වයිරල් වෙමිනි.

මේ ගැන පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා දැනුවත්කරමින් විමර්ශනයක් ඉල්ලා සිටින විට ඇතැම් පිරිස් බිල්ලන් මවන්නට ගත්තේ ගම්පහ බණ්ඩාරනායකයේ ශිෂ්‍ය භටයන් ටී 56 අවි අත දරා සරඹ පෑම ගැනය. ටී 56 අවි අත දරා සරඹ පෑම ඇතැමුන්ට අරුමයක් වූවාට බණ්ඩාරනායකයේ ශිෂ්‍ය භටයන්ට අරුමයක් නම් නොව ඒ ඔවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදීම ටී 56 අවි අත දරා හපන්කම් පා ඇති බැවිනි. එසේම සෙසු පාසල්වල ශිෂ්‍යභට කණ්ඩායම්ද දැන් සරඹ පාන්නේ ටී 56 අවිය අත දරාය. එය සිදුවන්නේ යම් නීති රාමුවකට යටත්වය. ඒ සඳහා සිසුන්ට ගිනි අවි ලැබෙන්නේ එහි ක්‍රියාත්මක කොටස් ඉවත් කරමිනි. ජාතික ශිෂ්‍යභට බළකායෙන් මෙන්ම පොලිසිවලින් ද ගිනි අවි ඒ සඳහා නිකුත් කරනු ලබන බව සොයා බැලීමකදී හෙළි වූවකි. බණ්ඩාරනායකගේ පොලිස් ශිෂ්‍ය භටයින්ට එදා සරඹ පාන්නට ගිනි අවි නිකුත් කර ඇත්තේ පොලිසියෙනි. ඒ පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේ ද අනුමැතිය ඇතිව ගම්පහ පොලිසිය හරහාය. එබැවින් ඒ ගැන වාද විවාදයක් හෝ විමර්ශනයක් නැත. මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් ගම්පහ බණ්ඩාරනායක සිසුන් සැරසී සිටීමය. ඒ ගැන විමර්ශන සිදුවන්නේ එම ඇඳුම ඇගලාගෙන සිටින ශිෂ්‍ය භටයන්ට එරෙහිව නොව, එම ඇඳුම මැසූ රෙදි ඒ සඳහා ලබාදුන්නේ කවුදැයි කියාය. ඒ සඳහා විශේෂ කාර්ය බළකාය තොරතුරු ලබා ගන්නේ පාසල තුළින්මය.

එහිදී විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබෙන්නේ අනුරාධපුරයේ යම් ස්ථානයකින් ඇඳුම් කට්ටල 22ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් මසාගෙන ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකායේ මූලස්ථානයෙන් කළ දැනුම්දීමකට අනුව ඒ තැන වැටලෙන්නේ අනුරාධපුරයේ පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ය. එතැන හමුදා ඇඳුම් මැසීමට බලපත්‍ර සහිත ස්ථානයකි. විශේෂ කාර්ය බළකාය පාර්ශ්වයෙන් පවසන්නේ හමුදා ඇඳුම් මැසීමට බලපත්‍ර තිබුණත් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇඳුම් මැසීමට බලපත්‍ර නොමැති බවය. විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් මසන්නන් හැමතැනම ව්‍යාප්ත වී නැත. විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් මැසීමටත් ඊට අදාළ රෙදි ආනයනය කිරීමටත් බලය ඇත්තේ සීමිත පිරිසකට පමණි. අනුරාධපුරයේ ඇඳුම් මසන්නා එසේ රෙදි ආනයනය කිරීමට හෝ ඇඳුම් මැසීමට අවසරලත් අයෙක් නොවූ බැවින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ එම පුද්ගලයා ඔහු සතුව ඇති හමුදා නිල ඇඳුම් මැසීමට ඇති බලපත්‍රය මඟින් ලබා ගත් රෙදි මීටර් 75ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් යොදා ගෙන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභටයන් වෙනුවෙන් නිල ඇඳුම් මසා ඇති බවය. ඒ අනුව අත්අඩංගුවට ගත් රෙදි මසන්නා අනුරාධපුරය පොලිසියට භාරදෙන්නේ අධිකරණ කටුයුතු සඳහාය. ඒ නීති විරෝධි ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇදුම් මැසීම සම්බන්ධයෙනි. ඒ පුද්ගලයාව අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිනු ලබන්නේ ඉදිරි නඩු දිනයක් ලබා දෙමිනි.

මේ අතර විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් වත්තල ප්‍රදේශයේ වැටලීමක් කරනු ලබන්නේ අනුරාධපුර කඳවුරෙන් ලබාදුන් තොරතුරකට අනුවය. එම ස්ථානය හමුදාවන්ගේ නිල ඇඳුම් රෙදි ගෙන්වනු ලබන මෙරට ප්‍රධාන ආයතනයකි. විශේෂ කාර්ය බලකායේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ හමුදාවන්ගේ නිල ඇඳුම් රෙදි ගෙන්වීමට ඒ අයට බලයක් ඇතත් විශේෂ කාර්ය බළකායේ කැලෑ ඇඳුම් රෙදි මෙරටට ගෙන්වීමට ඔවුන්ට බලයක් නොමැති බවය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් එම ආයතනයේ නිලධාරියකුව අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් මැසීමට යොදා ගන්නා රෙදි රෝල් දෙකක්ද සමඟිනි. එම රෙදි රෝල් දෙක සමඟ අත්අඩංගුවට ගත් නිලධාරියාව භාරදෙන්නේ වත්තල පොලිස් ස්ථානයටය. එහිදී එම නිලධාරියා වත්තල පොලිසිය හමුවේ පවසන්නේ තම ආයතනය එම රෙදි අනුරාධපුරයේ ඇඳුම් මසන්නාට නිකුත් කරනු ලැබුවේ ඔහුට ඇඳුම් මැසීමට බලපත්‍රයත් ඇති බැවින් යැයි කියාය. වත්තල පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය හමුවේ පවා ඔහුගේ නීතිඥවරු ඒ බව පෙන්වා දී තිබුණේය. ඒ නිසාම ඔහුටත් ඇප මත නිදහස උරුම විය.

රෙදි විකුණු අයත් එම රෙදිවලින් ඇඳුම් මැසූ අයත් නීතිය හමුවට ගෙනවිත් අවසන්ය. දැන් විමර්ශන පැවැත්වෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුමට සමාන ඇඳුමින් ගම්පහ බණ්ඩාරනායකයේ පොලිස් ශිෂ්‍ය භටයින් ඇඳුම් මසන බව එම ශිෂ්‍යභට කණ්ඩායම අධීක්ෂණය කරන පොලිස් නිලධාරීන් දැන සිටියේ දැයි කියාය. ඒ සම්බන්ධයෙන් වූ විමර්ශනය පැවැත්වෙන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුමට සමාන ඇඳුමකින් බණ්ඩාරනායකයේ පොලිස් ශිෂ්‍ය භටයින් සරඹ පෑවේ කෙසේදැයි පැහැදිලි අනාවරණයක් වනු ඇත්තේ එම විමර්ශනය අවසානයේදීය. එතෙක් සිදු වන්නේ කොයිකාටත් බලා සිටීමටය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division