Home » ක්‍රිෂ්ණමූර්තියට අනුව අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

ක්‍රිෂ්ණමූර්තියට අනුව අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

මෙවර සිංහල අලුත් අවුරුදු උදාව සිදූවන්නේ ක්‍රිස්තු වර්ෂ 2024 අප්‍රේල් මාසයේ 13 වැනි දින රාත්‍රි 9.32 ටය. අලුත් අවුරුදූ උදාව සිදූවන රවි ග්‍රහයා මේෂ රාශියේ කේතුගේ නක්‍ෂත්‍රයට ඇතුළුවන විට අහස් තලයේ අනෙක් ග්‍රහයන් සිටියේ මෙසේය.

උදා ලග්නය වූ වෘශ්චික රාශිය අධිපති කුජ ග්‍රහයා, ශනි ග්‍රහයා සමඟ සංයෝගව කුම්භ රාශියේ සහ ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය, සඳු ග්‍රහයා, මිථුන රාශියේ කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය, සිකුරු ග්‍රහයා සමඟ, බුධ නැප්චූන් සහ රාහු යන ග්‍රහයන් දෙදෙනා ද, මීන රාශියේ ලැගුම්ගෙන සිටියෝය.

මේ සිකුරු මීන රාශියේ ශනිගේ නක්‍ෂත්‍රයක ද, බුධ සහ රාහු යන ග්‍රහයන් දෙදෙනාම, ගුරුගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියෝය.

මේෂ 
ඉතා වාසනාවන්ත කාලයක්

අලුත් අවුරුදූ උදා කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 8 වැනි භාව අධිපති කුජ ග්‍රහයා කුම්භ රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන, 10 වැනි සහ 11 වැනි භාව අධිපතිව, කුම්භ රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා සමඟ සංයෝගව, 9 වැනි සහ 12 වැනි භාව අධිපතිව, මේෂ රාශියේ 1 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ගුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

ඉතාමත් වාසනාවන්ත සහ සුවපහසුකම් ඇතිව ජීවත්වීමේ හැකියාව ලබන කාලයක් වෙයි. වසර ආරම්භයේ සිටම සියලු කටයුතුවල යහපත් වෙනසක් නිරීක්‍ෂණය කළ හැකිවන අතර බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාබ ඇතිවෙයි.

•දූ දරුවන්:

දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා මුදල් වැය කිරීමට සිදුවන අතර, ඔවුන්ගේ ජයග්‍රහණ මඟින් පවුලේ සමගිය වර්ධනය වෙයි. පවුලේ සහ දූ දරුවන්ගේ අවශ්‍යතාවන් හේතු කොටගෙන ඔබට වරින්වර මුදල් අපහසුතා ඇතිවෙයි.

•වෘත්තිය:

ඔබගේ හැකියාවන් මත ඉදිරියට යාමේ වාසනාව ඇතිවන අතර මෙතෙක් කල් ප්‍රමාද වෙමින් පැවැති උසස්වීමක් ලැබේ. එසේම දැනට නිරතව සිටින රැකියාවෙන් ඉවත්වීමට සිදුවෙයි. බොහෝ බලාපොරොත්තු ඉටුකරගත හැකිවෙයි.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස නඩත්තු කරගත හැකිවෙයි එහෙත් නොසැලකිලිමත්කම නිසා හදිසි අනතුරුවලට ගොදුරුවීමට සිදුවෙයි. එහෙත් ඒවා එතරම් බරපතළ පීඩා ඇතිකරන්නේ නැත.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදාගත හැකි වාසනා අංක 5 සහ 8 වන අතර වඩාත් සුබපල ගෙනදෙන වර්ණ වන්නේ රතු, සුදු සහ කහ වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබාගන්න.

වෘෂභ 
විදේශ සංචාර

අලුත් අවුරුදූ උදා කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මීන රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන, 9 වැනි සහ 10 වැනි භාව අධිපතිව, කුම්භ රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි.දැන් උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

ඔබ මේ වසර ආරම්භයේ සිටම දැඩි උත්සාහයකින් යුතුව කටයුතු කරමින් ආදායම වර්ධනය කර ගනියි. ජනප්‍රිය බව ඔබට නිරායාසයෙන් ලැබෙයි. ගමන් බිමන් අධිකවන අතර විදේශ සංචාර ද යෙදෙන වාසනාවන්ත කාලයක් වෙයි.

•දූ දරුවන්:

යහපත් දූ දරුවන් ලබන අතර, ඔවුන්ගේ නොමද ආදරය ඔබට ලැබෙයි. පවුලේ සමගිය මෙන්ම සාමාජික සංඛ්‍යාවද වර්ධනය වෙයි. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් පහසුවෙන් ලබාදිය හැකිවෙයි. ඔවුන් ද තරඟ ආදියෙන් ජය ලබයි.

•වෘත්තිය:

ඔබගේ යහපත සඳහා ඇතිවන වෙනසක් වසර අරම්භයේදීම පෙනේ. ඒ නිසාම වෘත්තිය සම්බන්‍ධ ගෞරවනීය තත්ත්වයක් ඇතිවෙයි. එමඟින් රැකියාව පිළිබඳ බොහෝ බලාපොරොත්තු ඉටුකරගත හැකිවෙයි. ආදායමද යහපත් වෙයි.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අපහසුතාවන් ඇතිවන්නේ නැත. කලක් පැවැති රෝගාබාධවලින් සුවය ලබාගත හැකිවෙයි. කෙසේ වුවද සාමාන්‍ය ශාරීරික ව්‍යායාම වැනි දේවල්වල නිරතවීම යහපත් වෙයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදාගත හැකි වාසනා අංකය 5 සහ 8 වන අතර වඩාත් සුබපල ගෙනදෙන වර්ණය වන්නේ රෝස සහ සුදු වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබාගන්න.

මිථුන 
යාන වාහන දේපළ වාසනාව

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 4 වැනි භාව අධිපති බුධ ග්‍රහයා මීන රාශියේ 10 වැනි භාවයේ සහ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර ආරම්භයේ සිටම ඔබ ඉතා ප්‍රසන්න සහ උද්යෝගයකින් යුතුව කටයුතු කරන අතර, වෘත්තිය පිළිබඳ වැඩි තෘප්තිමත් බවක් ඇතිවෙයි. ඉතා සුව පහසුවෙන් කටයුතු කර ගත හැකි වෙයි. නව දේපළ හෝ යාන වාහන ලැබෙයි.

•දූ දරුවන්:

දූ දරුවන්ගේ කටයුතු පිළිබඳව අයහපත් වන අතර, ඔවුන්ගේ කැපවීම අඩුවෙයි. බොහෝවිට ඔවුන් රෝගාබාධවලට ගොදුරු වෙයි. එහෙත් අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් පෙනෙයි. ඔවුන්ගේ සුළු ආබාධයකදී වුවද අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය කටයුතුවල යහපත් වෙනසක් ඇතිවෙයි. උසස්වීමක් සමඟ වඩා සුවපහසු නිවාස පහසුකම් ලබාගත හැකිවෙයි. සියලු දෙනාගෙන්ම ලැබෙන සහයෝගය නිසා ඔබගේ සාර්ථකත්වය සහ ජනප්‍රිය බව ඇතිවෙයි.

•සෞඛ්‍ය තත්ත්වය:

සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් ලෙස පවත්වාගෙන යා හැකිවෙයි. සියලු රෝගාබාධවලින් ක්‍ෂණික සුවය ලබාගත හැකිවෙයි. ශාරීරික මෙන්ම මානසික තෘප්තිය ද නොඅඩුව පවතියි. එහෙත් සුළු ආබාධයකදී වුවද අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංක 6 සහ 9 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ කහ සහ කොළ පාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

කටක 
හවුල් කටයුතුවලින් ජය

ඔබගේ අලුත් අවුරුදූ ජන්ම පත්‍රයේ 1 වැනි භාවය අධිපති සඳු ග්‍රහයා, මිථුන රාශියේ 11 වැනි භාවයේද, 5 වැනි භාවය සහ 10 වැනි භාව අධිපතිව 8 වැනි භාවයේ තැන්පත්ව සිටින කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. මේ කුජ ග්‍රහයා, ජන්ම පත්‍රයේ 7 වැනි සහ 8 වැනි භාව අධිපතිව 8 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ශනි ග්‍රහයා සමඟ සංයෝගව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබගේ කටයුතුවල වෙනස්වීම් බොහොමයක් ඇතිවෙයි. අනුමානයෙන් කරනු ලබන කටයුතු මඟින් බලාපොරොත්තු වනවාට වඩා යහපත් ප්‍රතිඵල ලැබෙයි. එක්ව කටයුතු කරන අයගේ සහයෝගය නිරතුරුවම ලැබෙන හෙයින් හවුලේ කරන කටයුතුවලින් යහපත්වෙයි.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ගේ කටයුතුවල යහපත් තත්ත්වයන් ඇතිවෙයි. නව දරු උපත් මඟින් පවුලේ වර්ධනයක් ඇතිවෙයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් ඇතිවෙයි. ඔවුන්ගේ සුළු ආබාධයකදී වුවද අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය කටයුතුවල තනතුරු උසස්වීමක් සමඟ මූල්‍ය වර්ධනයක් ඇතිවෙයි. සියලු දෙනාගෙන්ම උපකාර ලබාගෙන ඔබගේ සාර්ථකත්වය ඇතිකර ගත හැකිවෙයි. සමාජ තත්ත්වය උසස්වන අතර සියලු දෙනාගේම ආචාරය සහ ගෞරවය ලැබෙයි.

•සෞඛ්‍ය තත්ත්වය:

මෙම වසර තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වාගෙන යාම මඟින් කලක් පැවැති රෝගාබාධවලින් සුවය ලබාගත හැකිවෙයි, ශාරීරික ශක්තිය වර්ධනය වන අතර රෝගාබාධවලින් තොරව ජීවත් වීමට වාසනාව ලබයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංකය 8 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ සුදු, ක්‍රීම් සහ රිදී වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

සිංහ 
උත්සාහයෙන් දියුණුව

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි භාවය අධිපති රවි ග්‍රහයා මේෂ රාශියේ 8 වැනි භාවයේද, 2 වැනි භාවයේ තැන්පත්ව සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ජන්ම පත්‍රයේ 2 වැනි සහ 11 වැනි භාව අධිපති බුධ ග්‍රහයා සමඟ සංයෝගව ද සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර ඔබගේ ස්වඋත්සාහයෙන් සහ නායකත්වය ගෙන කරණු ලබන කටයුතු මඟින් සාර්කත්වය ඇතිවෙයි. එසේම බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ අයිතියක් ලැබෙයි. නිවසේ සිටින සියලු දෙනාම ඉතාමත් සුඛෝපභෝගීමත් වෙයි.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් ඇතිවෙයි. දරුවන්ගේ ජයග්‍රහණ මඟින් පවුලේ ගෞරවය සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි. ඔවුන් ද සියලු දෙනාගෙම තෘප්තිය වැඩිකරගත හැකි ආකාරයෙන් ඉදිරියට එයි.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය මඟින් ලබන ආදායම වැඩිවීමෙන් මුදල් ආයෝජනවලට යොමුවිය හැකිවෙයි. එහෙත් රහසිගත ක්‍රියාකාරකම් නිසා සතුරු කරදරවලට මුහුණදීමට සිදු වෙයි. කෙසේ වුවද සැක සහිත අය සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ නොසැලකිලිමත්කම නිසා ඇතිවන හදිසි අනතුරු හේතු කොටගෙන සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙයි. එසේ ඇතිවන, රෝගාබාධවලින් ඉක්මන් සුවය ලබයි. සැක සහිත ස්ථානවලට යාමෙන් සහ එවැනි ස්ථානවල කාලය ගත කිරීමට නොයන්න.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදාගත හැකි වාසනා අංක 2, 3 සහ 4 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ දොඩම්, රන්පාට සහ දම්පාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

කන්‍යා 
සමාජයේ පිළිගැනීම හා ආදරය

මෙම අලුත් අවුරුද්දේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 10 වැනි භාව අධිපති බුධ ග්‍රහයා මීන රාශියේ 7 වැනි භාවයේ සහ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබ කරනු ලබන කටයුතු සඳහා සියලු දෙනාගේම ආදරය සහ සහයෝගය ලබාගෙන ඒවා ඉතා ඉහළින් සාර්ථක කරගත හැකිවෙයි. සමාජයේ පිළිගැනීම සහ ජනප්‍රිය බව ඉහළින්ම ලැබෙයි. සමාජයේ ඉතාමත් ඉහළ තත්වයකට පත්වෙයි.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන් රෝගාබාධවලට ගොදුරුවන හෙයින් ඔවුන්ගේ කටයුතුවල පසුබැස්මක් ඇතිවෙයි. එහෙයින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ඔවුන්ව අනවශ්‍ය ගමන් බිමන්වලින් වළක්වා ගන්න.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර වඩා හොඳ සේවයක් ලබාදීමට උත්සාහ කරයි. එහෙත් බොහෝවිට මුදල් අපහසුතා ඇතිවෙයි. මේ නිසා අයහපත් ක්‍රියාවලට යොමුවීමට ඉඩ ඇත.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත්ව පවතියි. කෙසේ වුවද සුළු අබාධයකට වුවද ප්‍රතිකාර ලබාගෙන ඒවා වර්ධනය කර ගැනීමෙන් වළක්වා ගන්න. සෞඛ්‍යයට අහිතකර වන ස්ථානවලට යාමෙන් වළකින්න.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදාගත හැකි වාසනා අංක 4 සහ 9 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ නිල්, කොළ සහ කහපාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

තුලා 
සහයෝගයෙන් කටයුතු කළයුතු කාලයක්

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 8 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මීන රාශියේ 5 වැනි භාවයේ ද, 4 වැනි සහ 5 වැනි භාව අධිපතිව 5 වැනි භාවයේ තැන්පත්ව සිටින ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබ කරනු ලබන කටයුතු සඳහා බොහෝ දෙනාගෙන් අවහිරකම් ඇතිවෙයි. විරුද්ධවාදීන් රහසිගත කටයුතු මඟින් ඔබට හිරිහැර කිරීමට උත්සාහ කරයි. ඒ නිසා සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ට යහපත්ය. දරුවන්ගේ සෞඛ්‍යය තත්වය මෙන්ම අධ්‍යාපන කටයුතු පිළිබඳවද යහපත් වෙයි. ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදීමට ඔබට හැකියාව ලැබෙයි. ඔවුන් ඇසුරු කරන අය ගැන විශේෂ අවධානය යොමු කරන්න.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු ද ගැනද ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් හේතුකොටගෙන මුදල් අපහසුතා ඇතිවෙයි. එහෙත් කෙසේ හෝ අවශ්‍යතාවන් සඳහා මුදල් ලැබේ.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අපහසුතාවයන් ඇති වන්නේ නැත. සුපුරුදු පරිදි ශාරීරික ව්‍යායාම ආදියේ යෙදෙන්න. සියලු කටයුතු සහ සේවා ස්ථානයන් ද වඩා යහපත්ව පවතියි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංක 6 සහ 7 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ ලා නිල් සහ සුදු වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබාගන්න.

වෘශ්චික 
සියලු කටයුතු සාර්ථක වන කාලයක්

අලුත් අවුරුදූ ලබන විට, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව අධිපති කුජ ග්‍රහයා කුම්භ රාශියේ 4 වැනි භාවයේ ද, 2 වැනි සහ 5 වැනි භාව අධිපතිව, 6 වැනි භාවයේ ලැගුම්ගෙන සිටි ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියි. මේ කුජ ග්‍රහයා 3 වැනි සහ 4 වැනි භාව අධිපති ශනි ග්‍රහයා සමඟ සංයෝගව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබ නිරතවන දේපළ හෝ යානවාහන සම්බන්‍ධ කටයුතුවලින් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගමන් බිමන් අධික වුවත් සුව පහසුකම්වලින් යුතුව ජීවත්විය හැකිය. ඒ නිසා සියලු කටයුතු සාර්ථකවෙයි.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වය සහ ජයගැනීම පෙන්වයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල යහපත් ප්‍රගතියක් ඇතිවෙයි. ඔවුන් යහපත් අයගේ ඇසුරට පත්වෙයි.

•වෘත්තිය:

ඔබගේ වෘත්තිය ව්‍යාපාරික කටයුතුවලට සම්බන්‍ධවන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබයි. බොහෝ ආදායම් සහ ලාභ ලැබෙයි. වියදම් සමඟ ආයෝජනය කිරීමට යහපත් කාලයකි. ඕනෑම අවශ්‍යතාවක් සඳහා ඉදිරිපත්වීමට තරම් මුදල් ලැබේ.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන්නේ නැත. නිරතුරුවම රෝගාබාධවලින් පීඩා ඇතිවෙයි. වෛද්‍ය උපදෙස් පරීදි කටයුතු කළවිට සහනයක් ලබාගත හැකිවෙයි. නියමිත ප්‍රතිකාර ගැනීමෙන් ශරීර තත්ත්වය යහපත්ව පවත්වාගෙන යා හැකිවෙයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංක 4 සහ 8 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ සුදු, රතු සහ දුඔුරු වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

ධනු
ව්‍යාපාරවලින් ලාබ

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, 1 වැනි සහ 4 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මේෂ රාශියේ 5 වැනි භාවයේ ද, 6 වැනි සහ 11 වැනි භාව අධිපතිව, 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබ සතු දේපළ විකුණා මුදල් ලබා ගැනීමේ උත්සාහයක් ඇතිවෙයි. එමගින් ලබාගන්නා මුදල් ආයෝජනය කර ව්‍යාපාරික කටයුතුවල නිරතවී බොහෝ යහපත් ප්‍රතිඵල ලබයි. සුව පහසුකම් වෙනුවෙන් ද මුදල් වැය කරයි.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල යහපත් ප්‍රගතියක් මෙන්ම වීරෝදාර දේවල්වලට යොමුවෙයි. ඔවුන්ගේ දක්‍ෂකම් මඟින් පවුලේ කීර්තිය ඉහළ යයි. තරඟවලින් ජය ලබයි.

•වෘත්තිය: ඔබගේ ව්‍යාපාරික කටයුතුවල ඉතා සාර්ථක දියුණුවක් ඇතිවෙයි. ආයෝජන මඟින් උසස් තත්ත්වයේ ප්‍රතිඵල ලබයි. බොහෝ ආදායම් සහ විශාල ආදායමක් සභ ලාභ ලැබෙයි. ව්‍යාපාරික කටයුතුවලට ඉතා යහපත් කාලයකි.

•සෞඛ්‍ය තත්ත්වය:

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මෙන්ම අයහපත් අවස්ථාවන් අතර දෝලනය වෙයි. නිසි ප්‍රතිකාර ගැනීමෙන් නිරෝගී බව ලබාගත හැකිවන අතර, වෛද්‍ය උපදෙස් නොසලකා හැරීමෙන් දැඩි පීඩාවලට ගොදුරු වෙයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංක 1, 3 සහ 8 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ දොඩම් සහ තද කහපාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

මකර 
රෝගාබාධවලින් සුවය

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 2 වැනි භාව අධිපති ශනි ග්‍රහයා කුම්භ රාශියේ 2 වැනි භාවයේ ද, 3 වැනි සහ 12 වැනි භාව අධිපතිව 4 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබගේ ගමන් බිමන් අධික වන අතර බොහෝ විට නිවසින් පිටත ජීවත් වෙයි. මුදල් ආයෝජනය කිරීම හෝ ව්‍යාපාරික කටයුතු සඳහා යහපත් කාලයක් නොවේ. ඒ නිසා මුදල් ඉතිරිකර ගැනීමට උත්සාහ කරන්න.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන්ගේ කටයුතුවල යහපත් ප්‍රගතියක් මෙන්ම ඔවුන්ගේ යුතුකම් ඉටුකිරීම පිළිබඳ අගය කළ හැකිවෙයි. ඔවුන්ගේ හැකියාවන් මතුවී පෙනෙයි. එසේම ඔවුන් ඉදීරිපත්වන තරඟ, විභාග ආදියෙන් ජය ලබයි.

•වෘත්තිය:

ඔබගේ වෘත්තිය වෙනුවෙන් සිදුකරන උනන්දුව සහ කැපවීම අඩුවෙයි. ආදායම් මාර්ග සහ මුදල් තත්ත්වය දුර්වල වෙයි. එහෙත් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නේනම් යහපත් ප්‍රතිඵල ලැබෙයි. ඒ නිසා අනවශ්‍ය මුදල් වැය කිරීමෙන් වළකින්න.

•සෞඛ්‍ය තත්ත්වය:

මෙම වසර වසර තුළද නිරෝගීව කාලය ගෙවීමට වාසනාව ලබා ඇත. එසේම නිසි ආකාරයෙන් ව්‍යායාම ආදිය කිරීමෙන් නිරෝගී බව නඩත්තු කරගත හැකිවෙයි.

කලක් පැවති රෝගාබාධවලින් සුවය ලබයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංකය 7 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ කළු, කොළ සහ දම්පාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

කුම්භ 
ගමන් බිමන් අධිකයි

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 12 වැනි භාව අධිපති ශනි ග්‍රහයා කුම්භ රාශියේ 1 වැනි භාවයේද, 2 වැනි සහ 11 වැනි භාව අධිපතිව 3 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලූම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබගේ ගමන් බිමන් අධිකවීම හේතුකොටගෙන නිවසින් බැහැරව ජිවත්වීමට සිදුවෙයි. මුදල් ලැබීම යහපත්වුවත් ඒ හා සමානව වැයකිරීමට සිදුවන හෙයින් කිසිවක් ඉතිරි කිරීමට හැකිවන්නේ නැත.

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන් ඔවුන්ගේ රාජකාරි කටයුතු හේතු කොටගෙන, බොහෝවිට පවුලේ අයගෙන් බැහැරව කටයුතු කරන අතර, මවුපියන් සහ සහෝදරාදීන්ගේ කටයුතුවලදී ඔවුන්ගේ යුතුකම් ඉටුකිරීමට වගබලා ගනියි.

•වෘත්තිය:

ඔබගේ වෘත්තීය සන්නිවේදන කටයුතුවලට සම්බන්ධ වන්නේ නම් ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබෙයි. රැකියාවේ හෝ වෘත්තියේ උසස්වීම් ලබයි. එසේම ස්ථාන මාරුවීම්වලට හිතකර වෙයි.

•සෞඛ්‍ය තත්ත්වය

මෙම වසර වසර තුළ ඔබගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට බාධා ඇතිවෙයි. ආහාර ගැනීම ක්‍රමවත්ව සිදුනොවන හෙයින් අජීර්ණය හෝ මළබද්ධය වැනි රෝග ඇතිවෙයි. සුළු ආබාධවලට පවා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංක 6 සහ 7 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ ළා නිල් සහ දම්පාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබා ගන්න.

මීන 
බලාපොරොත්තු නොවූ ධනය ලැබීම්

අලුත් අවුරුදූ කේන්‍ද්‍රයේ, ඔබගේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 10 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මේෂ රාශියේ 2 වැනි භාවයේ ද, 3 වැනි සහ 8 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ද තැන්පත්ව සිටියි. උදාවන අලුත් අවුරුද්ද ආරම්භයේ ඇතිවන මෙම ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව,

•ගෘහ පරිසරය:

මේ වසර තුළ ඔබට නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. විදේශ සංචාරවල යෙදීමට අවස්ථාවන් යෙදෙයි. හදිසි හෝ බලාපොරොත්තු නොවූ ධනය ලැබීමට යහපත්ය,

•දූ දරුවන්:

ඔබගේ දූ දරුවන් බලාපොරොත්තුව සිටි ඉලක්ක වෙත යාමට කටයුතු කරන අතර, ඒවා සඳහා ඔබගේ යොමුවීම අවශ්‍ය වෙයි. ඔවුන්ගේ ගමන් බිමන් අධික වන අතර ඒවා බොහෝවිට අනවශ්‍ය දේවල් වෙති.

•වෘත්තිය:

ඔබගේ වෘත්තිය සංචාරක කටයුතුවලට සම්බන්ධ වන්නේ නම් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙයි. හදිසි හෝ බලාපොරොත්තු නොවූ වාසි සැලසෙයි. ආදායම සරු වෙයි. එසේම වියදම අධික වෙයි.

•සෞඛ්‍ය තත්ත්වය:

මෙම වසර තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට හැකිවෙයි. ඒ සඳහා අවශ්‍ය වන අවස්ථාවලදී නිසි ප්‍රතිකාර ගැනීම සමඟ විවේකය සහ විශ්‍රාමය ලබාගත යුතුවෙයි.

•වාසනා අංකය සහ වර්ණ:

මේ වර්ෂයේදී ඔබට යොදා ගත හැකි වාසනා අංකය 3 8 වන අතර වඩාත් සුබපල ගෙන දෙන වර්ණ වන්නේ දොඩම් සහ තද කහපාට වෙති. මෙම අංක සහ වර්ණ යොදාගෙන මෙම වර්ෂයේදී සියලු කටයුතුවල සාර්ථකත්වය ලබාගන්න, සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division