Home » නිපුණතා අංක 6 හිමි පෙම්වතකුට අංක 6 ම හිමි යුවතියක් හොඳින්ම ගැළපෙයි

නිපුණතා අංක 6 හිමි පෙම්වතකුට අංක 6 ම හිමි යුවතියක් හොඳින්ම ගැළපෙයි

මෙවර නිපුණතා අංක 6ට අංක 6-7-8-9 හිමි අයගේ ගැළපීම

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය.

උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කොතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 6 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 6 අයගේ ගැලපීම

මෙවැනි දෙදෙනකුගේ ගැළපීම ඉතාමත් හොඳ යහපත් සබඳතාවක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. දෙදෙනාගේම සිතුම් පැතුම් චරිත ලක්ෂණයන් එක හා සමානව සසඳෙයි.

කායික මානසික අාධ්‍යාත්මික මෙන්ම බාහිර වශයෙන් හොඳ ගැළපීමක් දෙදෙනා තුළ දැකිය හැකිවෙයි.

අංක හයට හිමි නිර්මාණශීලිභාවය කලාත්මක හැකියාවන් පිරිසිදුභාවය පිළිවෙළ සහ නීරෝගිභාවය ආදිය හොඳ සබඳතාවකට අත්‍යවශ්‍ය වන ගුණාංගයන් නිසා දෙදෙනා තුළින්ම එවැනි දේවල් ප්‍රකට වන බැවින් සබඳතාව සාර්ථකව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙයි. යම් යම් මතභේද වාද විවාද දුරදිග යන තත්ත්වයන් ඇති වන්නේ නැත.

යම් යම් ප්‍රශ්න මතභේද ඇති වුවත් ඒවා සාමකාමීව විසඳා ගැනීමට හැකියාව ඇති කරයි. විවාහ ජීවිතය තුළ දරුවන්ටත් සමාජයටත් තම යුතුකම් ඉතා වුවමනාවෙන් කරදීම ස්වභාවයයි. විශේෂයෙන් මොවුන් තුළ හොඳ අාධ්‍යාත්මික තේරුම් ගැනීමක්, බැඳීමක් දැකිය හැකිවෙයි.

නිපුණතා අංක 6 ට නිපුණතා අංක 7 අයගේ ගැළපීම

මෙම සබඳතාව සාමාන්‍ය සම්බන්ධතාවයක් ලෙස සැලකිය හැකිය. මේ අය අතර සබඳතා ගොඩනැඟුණත් එය එතරම් ශක්තිමත් සබඳතාවයක් විදිහට දැක්විය නොහැකි වෙයි. නමුත් මෙහිදී පිරිමියා අංක 7 වී ස්ත්‍රිය අංක 6 වී යෙදුනහොත් සාර්ථකත්වයක් දැකිය හැකිය. අංක 7 පිරිමියාගේ බුද්ධිමත් දාර්ශනික ගති ස්වභාවයන් සහ ඉවසීම සමස්තය පිළිබඳ සිතා තීරණ ගැනීම ආදිය සහ අංක 6 ස්ත්‍රියගේ නිහඬ ආදරණීය ගති ස්වභාවයන් එකිනෙකට ගැළපීම නිසා එම සාර්ථකත්වය ඇති කරයි.

නමුත් පිරිමියා අංක 6 වී ස්ත්‍රී අංක 7 වීම තුළ ස්ත්‍රිය තරමක් ආත්මාර්ථකාමී ගති ඇති කරන අතර තම මතයට අනුව ක්‍රියාකරන ස්වභාවයක් ඇති කරයි. එය අංක 6න් උපන් පිරිමියා තුළ ඇති ලඟින් සමීපව ඇසුරු කිරීමට ඇති කැමැත්තත් ආදරණීය බවත් සමඟ නොගැළපෙයි. මේ නිසා සබඳතාව ශක්තිමත්ව දීර්ඝ ලෙස පවත්වාගෙන යාමේදී ගැටලු ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයන් හොඳින් තේරුම් ගැනීම තුළ සාර්ථකව ඉදිරියට යෑමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 6 ට නිපුණතා අංක 8 අයගේ ගැලපීම

මෙම සබඳතාවද එතරම් ශක්තිමත් සබඳතාවක් ලෙස පෙන්වා දිය නොහැකිය. අංක 8 තරමක් තම අධිපත්‍යය පැතිරීමට උත්සාහ දරයි.

විශේෂයෙන් අංක 8 ස්ත්‍රියක් වූ විට තම අභිමතය පරිදි ක්‍රියාකරන ගති ඇති කරන අතර බාහිර දියුණුව ගැන තදින් අපේක්ෂා කරයි. සෑම තැනකදීම තමා මූලිකව ක්‍රියා කිරීම ඇයගේ ස්වභාවය වෙයි. නමුත් මෙහිදී සන්සුන් සාමකාමී විනෝදශීලී එමෙන්ම නිර්මාණාත්මක ගති ඇති අංක 6 පිරිමියා තරමක් නිදහස අපේක්ෂා කරන අතර සිරවී ජීවත්වීම ප්‍රිය නොකරයි. මේ අනුව මේ අංක දෙක අතර යම් ගැටීමක් ඇති කරන අතර එය සබඳතාවය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බාධා ඇතිකරයි.

නමුත් මෙහිදී මෙම අංක මාරුවී යෙදීම තුළින් එනම් පිරිමියා අංක 8 වී ස්ත්‍රිය අංක 6 වීම තුළ යහපත් සබඳතාවක් ගොඩනැඟීමට හැකියාව ලැබේ. මෙහිදී අංක 6 ස්ත්‍රියගේ ගති ස්වභාවයන් අංක 8 පිරිමියාගේ ගති ස්වභාවයන් සමඟ මනාව ගැළපෙන අතර. සබඳතාවය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 9 අයගේ ගැලපීම

මෙම අංක දෙක අතර ගැළපීම ඉතාම යහපත් හොඳ ශක්තිමත් සබඳතාවක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම අංක කොයි ආකාරයෙන් යෙදුණත් ගැටලුවක් නැත. අංක 6 තිබෙන්නා වූ ගති ස්වභාවයන්වලට අංක 9 ගති ස්වභාවය මනාව සංකලනය වෙයි. බොහෝ විට දෙදෙනාගේම සමාන ගති ලක්ෂණ සහ අාධ්‍යාත්මික බාහිර වශයෙන් යහපත් එකඟතාවක් ඇතිකරයි. සුළු සුළු මත ගැටුම් ඇතිවුණත් ඒවා පහසුවෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ඇත.

දෙදෙනාගේම සිතැඟියාවන් මනාව තේරුම් ගැනීමේ හැකියාවක් මොවුන්ට ඇත. එමනිසා බොහෝ දේවල් කල් තියා හඳුනාගෙන සූදානම්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙන අතර හොඳ අවබෝධයකින් ශක්තිමත්ව සබඳතාවය පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 7 ගැළපීම් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division