Home » විපක්ෂය IMF එකට එකක් කියලා රටට වෙන එකක් කියනවා

විපක්ෂය IMF එකට එකක් කියලා රටට වෙන එකක් කියනවා

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

– මම නම් විශ්වාස කරන්නේ මුලින්ම යායුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකටයි
– ජනතාවගේ ස්ථාවරත්වය අපිට ඉදිරියේදී දැකගත හැකියි
– බදු එකතු වීමේ ප්‍රගතියක් තියෙනවා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය එකඟවී ඇති ගිවිසුම කෙරේ තම පක්ෂයට බැඳියාවක් නැති බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා?

ඔවුන්ගේ මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ පැවැසීමෙන් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ තත්ත්වයයි. රජයක් ලෙස යම් බැඳීමකට අපි එකඟ වූ පසුව ඒවා වෙනස් කරන්න පුළුවන් නම් හෝ එයට වඩා හොඳ ක්‍රමයක් ගෙන එන්න පුළුවන් නම් හෝ හොඳයි. ජාතික ජනබලවේගය කියන්නේ ඉන්දීය විරෝධතා තිබූ පක්ෂයක්. දැන් ඉන්දියාවත් සමඟ සම්බන්ධයි. ඔවුන්ගේ පක්ෂ නායකයෝ පවසා තිබුණා IMFසමඟ එකතු වෙලා වැඩ කරන බව. මේ සෑම දේශපාලන පක්ෂයක්ම කරන්නේ එකම දේයි. ඔවුන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරගෙන ආ දෙයමයි. අද එහි ප්‍රතිඵල රටට තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේත් මේ මාර්ගයේම ඉදිරියට යෑමටයි. නමුත් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව යමක් කියන්න ඕන නිසා කියනවා. රටේ බුද්ධිමත් ජනතාව ඒ දේ තේරුම් ගනීවි.

ජාතික ජන බලවේගය පමණක් නොව සමගි ජන බලවේගය පවා පවසන්නේ තමන්ගේ රජයක් යටතේ IMF කොන්දේසි වෙනස් කිරීමට සූදානම් බවයි?

IMF කොන්දේසි වෙනස් කළ හැකි දැයි මම දන්නේ නැහැ. යම් එකඟතාවකට පැමිණි පසුව ආණ්ඩුවක් වෙනස් වුණත් පවතින්නේ එකම රජයක්. නමුත් කෙනකුට එවැනි සමාලෝචනයක් කළ හැකි නම් හොඳයි. ඕන නම් IMF එකෙන් අහන්න පුළුවන්, එය කළ හැකිද නැද්ද යන වග.

එම පක්ෂයේ ආර්ථික කවුන්සිල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ තම රජයක් යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මුල සිට අරඹන බව පවසනවා. මෙසේ උත්සාහයක් හෝ යෙදිය හැකිද?

මම දන්නේ නැහැ, එය කළ හැක්කේ කෙසේද කියා. වගකිව යුතු විපක්ෂයක් ලෙස ඒ පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කළ යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යම් එකඟතාවකට ඒම සිදු කරන්නේ අනිකුත් දේශපාලන පක්ෂ සමඟ එකතු වෙලයි. රජය විපක්ෂය සමඟ කතා කරනවා. නමුත් ඔවුන් IMF එක හමුවෙද්දි මෙවැනි දේවල් කිව්වේ නැහැ. එතැනදි වෙන එකක් කියලා රටට තව එකක් කියනවා.

කවුරු බලයට පත් වුණත් IMF කොන්දේසි පක්ෂයක අභිමතය පරිදි වෙනස් කළ හැකි ද?

එකනේ මම කිව්වේ මේ අය IMF මෙන්ම ලෝක බැංකුව සමඟ කතා කරද්දි එකක් කියනවා. ජනතාවට තව එකක් කියන බව. ඒ තමන්ගේ දේශපාලන පක්ෂය රට තුළ පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට. එය වගකිව යුතු විපක්ෂයක කටයුත්තක් නෙමෙයි. රටේ අර්බුද ඇති විට වගකීමකින් හැමෝම එකතු විය යුතු වෙලාවක්. ඒ නිසයි ජනාධිපතිවරයා කිව්වේ පක්ෂ භේදයකින් තොරව රට ගොඩ නැගීමට එකතු වන්න කියලා. නමුත් රටේ බුද්ධමත් ජනතාව එය තේරුම් ගෙන ඇති නිසා ජනතාවගේ ස්ථාවරත්වය අපිට ඉදිරියේදි දැන ගත හැකි වෙනවා. අපේ යෝජනාවලට වඩා හොඳ යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට අවස්ථාවක් දුන්නා. IMF මෙන්ම ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන්න දුන්නා. රටේ ජනතාව ගැන හොඳ ප්‍රතිචාරයක් ගෙන දෙන දෙයක් කළානම් මේ අයට කියන්න පුළුවන්, අපි මෙවැනි දේවල් කළා කියලා. නමුත් එක තැනකදි එකක් කියලා රටේ මිනිසුන්ට තවත් දෙයක් කියලා වගකීම් රහිත ප්‍රකාශ කිරීමේ හානිය සිදුවන්නේ විපක්ෂයටයි.

IMF ලංකාවේ ආර්ථික ගමන් මඟ මෙන්ම උද්ධමනය පහත හෙළීමට ගත් පියවර ප්‍රශංසනිය ලෙස අගය කර තිබුණා. එයින් සනාථ කරන්නේ ඔවුන් ආණ්ඩුව ගෙනියන ගමන් මඟ අගය කරන බවයි?

IMF පමණක් නෙමෙයි ලෝක බැංකුවත් කළ ප්‍රකාශ අපි දැක්කා. ටික කාලයකින් මේ තත්ත්වයට රට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් මවිත වන බව කිව්වා. ඔවුන් උදවු කරන අපි මෙන්ම ලෝකයේ තවත් වැටුණු රටවල් 20 ක් අතරින් ලංකාව තෝරා ගෙන ඇත්තේ අපි සාර්ථකව කළ දේවල් නිසයි. නමුත් ළිදේ සිටින මැඩියන් මෙන් දේශපාලන න්‍යය පත්‍රයට වැඩ කරන අයගේ කතා බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන තියෙනවා.

ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අපේ ඉදිරිය කෙසේ වෙයිද?

රජයක් ලෙස පොහොට්ටුවේ කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ එකතුව වැඩ කරනවා. එහි ප්‍රතිඵලයයි තියෙන්නේ. ගෝඨාභය මහතාගේ කාලයේත් සිටියේ මේ කණ්ඩායමමයි. මේ දේශපාලන අධිකාරියට වඩා වියතුන් එකතු කරගනිමින් කළ දේ ප්‍රතිඵලය අපි දැක්කා. නමුත් වර්තමාන ජනාධිපතිතුමා දේශපාලන ආර්ථික වශයෙන් අදාළ අය තෝරාගෙන කරන දේ නිසයි මේ තත්ත්වයට රට පත්වුණේ. එකම කණ්ඩායම ජනාධිපතිවරු අගමැතිවරු දෙදෙනෙක් සමඟ කටයුතු කරන ආකාරය අපිට දකින්නට ලැබුණා.

IMF ණය වාරිකය ලැබීමත් සමඟ ජනතාවට යම් සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වෙයිද?

2022 මැයි මාසය වන විට මේ රට තිබුණ තත්ත්වය හා අද වන විට ඇති තත්ත්වය දෙස සංසන්දනාත්මකව බලන විට ඇතිවී ඇති ප්‍රගතිය පැහැදිලියි. එය සෑම පැත්තෙන්ම සිදු වෙමින් පවතිනවා. ඩොලරය ස්ථාවර වෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලැබෙමින් පවතිනවා. රාජ්‍ය අංශයට වැටුප් වැඩිවීම් සිදු වෙනවා. බදු මුදල් ඉදිරියේදී අඩු වෙනවා.

වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයකුටම බදු ෆයිල් ආරම්භ කිරීමට උපදෙස් දුන්නත් මේ වන විට ඒ පිළිබඳ වැඩි කතාබහක් නැහැ?

වයස අවුරුදු 18 වැඩි අයට බදු ෆයිල් ආරම්භ කරනවා කියන්නේ බදු ගහනවා කියලා නෙමෙයි. මෙය ලොව දියුණු රටවල කරන ක්‍රමයයි. එසේ වුවත් යමෙකුට ආදායමක් නැතිනම් බද්දක් ගෙවන්න බැහැනේ. බදු එකතු වීමේ ප්‍රගතියක් තියෙනවා. ඒ නිසා තමයි සහන දිය හැකි වන්නේ. එය ක්‍රමානුකූල වෙමින් තව දුරටත් නියාමනයක් සිදුවිය යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුව ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් වෙයිද? පොහොට්ටුවේ සහය වත්මන් ජනාධිපතිවරයාට හිමිවෙයි ද?

පොහොට්ටුව පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැහැ. ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ගනියි. ඇයි පොහොට්ටුව වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය නොදෙන්නේ? එදා අපේ පක්ෂයේ ජනාධිපති අගමැති ඉවත් වෙනකොට අපේ පක්ෂයේ නායකයෝමයි රනිල් මහතා නම් කළේ. ඒ කාලය තුළ රටේ සාමය හා නීතිය ස්ථාපිත කරන්නට අභියෝග භාරගත්, ආර්ථිකය ගොඩනඟා ගත් නායකයාට අපි උදවු කළා. උදවු කරලා දැන් ඒ නායකයාගේ කකුලෙන් අදින්නේ ඇයි?

මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය ද නැතිනම් ජනාධිපතිවරණය ද යන්න පිළිබඳ මතවාදයක් පවතිනවා?

මම නම් විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා යා යුත්තේ ජනාධිපතිවරණයකට. රටේ ජනතාව ගැන සිතනවා නම් අපි ජනාධිපතිවරණයකට යායුතුයි. දේශපාලනමය වශයෙන් සිතනවා නම් යායුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට. අපි යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වෙනවා. එවිට අස්ථාවර ආණ්ඩුවක් බිහි වෙනවා. ස්ථාවර ආණ්ඩුවක් නැති වුවහොත් IMF ආධාර නොලැබිය හැකි වෙනවා. එවිට 2022 මෙන් මහ පාරට වැටෙන්න පුළුවන්. අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, තෙල් නැතිවිය හැකියි. අද පකිස්ථානයට උදා වී ඇත්තේ ඒ තත්ත්වයයි. අපි කුමන දේශපාලන පක්ෂ නියෝජනය කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ රට පවත්වාගෙන යාමට උදවු කිරීමේ ප්‍රතිඵල අත්විඳිනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළොත් එතුමාට අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කරන ගමන් මාර්ගයේ යාහැකි වෙනවා. වෙනත් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කළොත් ඔවුන්ටත් ඒ අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ ජනාධිපතිවරණය මේ රටට තීරණාත්මකයි. රට හා රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යාම සුදුසු බව මගේ හැඟීම.

නාමල් රාජපක්ෂ පවසා තියෙනවා පොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයන් හතර පස්දෙනෙක් සිටින බව?

හතර පස්දෙනෙක් නෙමෙයි එකසිය විසි ගණනක්ම ඉන්නවා. හැමෝටම ඒ සුදුසුකම තිබුණත් දිනන්නට පුළුවන් කෙනෙක් දැමිය යුතුයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division