Home » මැයි 01දා ගුරු මාරුව

මැයි 01දා ගුරු මාරුව

ක්‍රිෂ්ණමූර්තියට අනුව ඔබට කොහොමද?

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

මැයි 01දා වසර 12කට පසු ගුරු ග්‍රහයා මේෂ රාශියේ සිට වෘෂභ රාශියට පිවිස වසරක් එහි ගත කරයි

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා ලෙස සලකන ගුරු හෙවත් බ්‍රහස්පති ක්‍රිස්තු වර්ෂ 2024 මැයි මාසයේ 01 වැනි දින මේෂ රාශියේ සිට වෘෂභ රාශියට ඇතුළු වෙයි. එදින සිට එක් වසරක පමණ කාලයක් වෘෂභ රාශිය තුළ ගෝචරය වෙයි.

මේ ගුරු ග්‍රහයා මේෂ රාශියේ ගමන් කළ කාල සීමාවේදී එනම් ක්‍රිස්තු වර්ෂ 2024 අප්‍රේල් මාසයේ 17 වැනි දින සිට රවි හිමි කැති නක්‍ෂත්‍රයේද, 2024 මැයි මාසයේ 01 වැනි දින සිට වෘෂභ රාශියේ රවි හිමි කැති නක්‍ෂත්‍රයේද 2024 ජූනි මාසයේ 13 වැනි දින සිට සඳු හිමි රෙහෙන නක්‍ෂත්‍රයේද 2024 අගෝස්තු මාසයේ 21 වැනි දින සිට කුජ හිමි මුවහිස නක්‍ෂත්‍රයේද ගමන්කර, 2025 මැයි මාසයේ 14 වැනි දින මිථුන රාශියට ඇතුළු වෙයි. ඒ අනුව සියලු ලග්නවලට හිමි පලාපල මෙසේය.

මේෂ 
හදිසි ධන ලාබ

මේෂ රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නයේ සිට දෙවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී 5 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 4 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 1 වැනි සහ 8 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

මෙම කාලසීමාව තුළදී ඔබ ස්වඋත්සාහයෙන් කරනු ලබන කටයුතු මඟින් සුව පහසුකම් ඇතිව ජීවත්වීමේ හැකියාව ලබයි. දූදරුවන්ගේ කටයුතු හේතුකොටගෙන අපහසුතාවන් ඇතිවන අතර, ඒ නිසාම බොහෝ මුදල් වැය වෙයි. ඔබගේ හැකියාවන් මත ඉදිරියට යාමේ වාසනාව ඇති අතර බලාපොරොත්තු නොවූ හදිසි ධන ලාභ ලැබේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වන අතර හදිසි අනතුරුවලට ගොදුරු වීමට ඉඩ ඇත.

වෘෂභ 
අලුත් මිතුරන්

වෘෂභ රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නයට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී 4 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 3 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 7 වැනි සහ 12 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබට අලුත් මිතුරන් හමුවීම හේතුකොටගෙන ගමන්බිමන් අධික වන අතර විදේශ සංචාරද යෙදෙන වාසනාවන්ත කාලයක් වෙයි. පවුලේ සමඟිය හීන වන අතර දූදරුවන්ගේ අවශ්‍යතාවන් සපුරාලිය නොහැකි වන බැවින් පශ්චාප්තාපයට පත්වෙයි. ඔබගේ රාජකාරි සම්බන්ධ ගමන්බිමන් අධික වන අතර ඒ නිසාම මුදල් වියදම් වැඩි වෙයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අපහසුතාවන් ඇතිවන්නේ නැත. එහෙත් විවේකය අවශ්‍ය වෙයි.

මිථුන 
දූ දරුවන්ගේ කටයුතු යහපත්

මිථුන රාශියෙන් උපත ලබා ඇති ඔබගේ එකොළොස්වැන්නේ සිට දොළොස්වැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී 3 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 2 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 6 වැනි සහ 11 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබගේ ආදායම වැඩිකර ගැනීම සඳහා දේපළ අහිමි වීමක් සිදූ වෙයි. එහෙත් ගමන්බිමන් අධික වීමෙන් ආදායම වැඩි වෙයි. දූදරුවන්ගේ කටයුතු යහපත් වන අතර ඔවුන්ගේ ආදරය සහ සැලකිල්ල පවුලේ අය වෙත ලැබෙයි. ඔබගේ වෘත්තීය කටයුතු යහපත් වීමෙන් මුදල් ලැබෙන අතර රැකියාවේ උසස් වීමක්ද ලබා ගැනීමේ වාසනාව ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටලු ඇති නොවන හෙයින් ඉතා යහපත් ලෙස කාලය ගත කළ හැකි වෙයි.

කටක
ස්වෝත්සාහයෙන් දියුණුවට

කටක රාශියෙන් උපත ලබා ඇති ඔබගේ දසවැන්නේ සිට එකොළොස්වැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී, 2 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 1 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 5 වැනි සහ 10 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබගේ ස්වඋත්සාහයෙන් කටයුතු කිරීමට වඩාත් කැමති වන හෙයින් අන් අයගේ සහයෝගය නොඅඩුවම ලබයි. දරුවන්ට ලැදි වෙයි. දරුවන් පිළිබඳව බොහෝ යුතුකම් ඉටුකර දෙමින් ඔබගේ තෘප්තිය ලබා ගනියි.

ඔබගේ රැකියාව සඳහා සියලු දෙනාගෙන්ම උපකාර ලබාගත හැකි වුවත් තනිවම උත්සාහ කර සාර්ථක වෙයි. කලක් පැවති රෝගාබාධවලින් සුවය ලබන අතර නීරෝගිව ජීවත්වීමට වාසනාව ලබයි.

සිංහ 
මානසික සුවය

සිංහ රාශියෙන් උපත ලබා ඇති ඔබගේ නවවැන්නේ සිට දසවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා, මෙම කාල සීමාව තුළදී 1 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 12 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 4 වැනි සහ 9 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබගේ ආධ්‍යාත්මික කටයුතු මඟින් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වෙයි. ආදායම් පිළිබඳ අවධානය අඩු වෙයි. ඔබගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වෙයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් විශාල ලෙස මුදල් වැය වෙයි. ඔබගේ වෘත්තීය පිළිබඳ ආරවුල් මතුවන හෙයින් රහසිගත කටයුතුවලින් ඈත්වී අවංකවම සේවය කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතියි. මානසික සුවය ලබාගෙන ධාර්මිකව කටයුතු කරයි.

කන්‍යා 
විදේශ සංචාර

කන්‍යා රාශියෙන් උපත ලබා ඇති ඔබගේ අටවැන්නේ සිට නවවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා, මෙම කාල සීමාව තුළදී, 12 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 11 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 3 වැනි සහ 8 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ගමන්බිමන් වැඩි වීම නිසා නිවසින් බැහැරව සිටියි. විදේශ සංචාර සඳහා යහපත් කාලසීමාවකි. ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු පහසුවෙන් ඉටුකර ගත හැකි වනු ඇත. ඔවුන්ටද බොහෝ ගමන්බිමන් යෙදෙයි. ඔබගේ වෘත්තීය කටයුතුවලට වඩා සමාජ සේවාවල නිරත වෙයි. බොහෝ විට සේවයට සරිලන වැටුප් නොලැබෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එතරම් යහපත් නොවෙයි. වරින්වර ඇතිවන රෝග තත්ත්වයන් ඔබට අහිතකර වෙයි.

තුලා 
ව්‍යාපාරවලින් සාර්ථකත්වයට

තුලා රාශියෙන් උපත ලබා ඇති ඔබගේ සත්වැන්නේ සිට අටවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාලසීමාව තුළදී, 11 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 10 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 2 වැනි සහ 7 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි. ඔබගේ සියලු කටයුතුවල යහපත් බවක් සහ සාර්ථකත්වය සඳහා සෑම දෙනාගේම සහයෝගය ලැබෙයි. ඔබගේ දූ දරුවන්ගේ කටයුතු පිළිබඳ සුබ ප්‍රතිඵල ලැබෙයි. බොහෝ අවස්ථාවලදී අන් අයගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැප වෙයි. ඔබගේ වෘත්තීය කටයුතු සහ ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වය ඇති වෙයි. බොහෝ මුදල් ලැබෙයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතියි. සුළු ආබාධ ඇතිවුවද ඉක්මණින් සුවය ලබාගත හැකි වෙයි.

වෘශ්චික 
ආදායම ඉහළට

වෘශ්චික රාශියෙන් උපත ලබා ඇති ඔබගේ සයවැන්නේ සිට සත්වැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා, මෙම කාල සීමාව තුළදී, 10 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 9 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 1 වැනි සහ 6 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

මේ වසර තුළ ඔබගේ උත්සාහය මත ආදායම් වැඩි වෙයි. තරග, නඩුහබ ආදියෙන් ජය ලබයි. ඔබගේ දූ දරුවන්ට යහපත්ය. ඔවුන්ගේ බලාපොරොත්තු පහසුවෙන් ඉටු වෙයි. එතෙක් පැවති අවහිරතාවන් මඟහැරේ.

ඔබගේ රැකියා කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගත හැකි වෙයි. ආදායම් තත්ත්වය ඉහළ යයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙයි. රෝගාබාධවලින් සුවය ලබාගැනීම අපහසු වෙයි. රෝග වැලඳීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න.

ධනු 
යහපත් ආයෝජනවලින් ජය

ධනු රාශියෙන් උපත ලබා ඇති ඔබගේ පස්වැන්නේ සිට සයවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා, මෙම කාලසීමාව තුළදී, 9 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 8 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 5 වැනි සහ 12 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

රැකියාව ව්‍යාපාර වෙනුවෙන් කරන කැපවීම්වලට සරිලන පරිදි ඔබගේ ජීවිත ප්‍රවෘත්තිය වෙනස්කර ගත හැකි වෙයි. දූ දරුවන්ගේ කටයුතු මඟින් පවුලේ හොඳ නම උසස්කර පෙන්වයි. දරුවන් නිසා සමාජ තත්ත්වය ලබයි.

ඔබගේ සාර්ථකත්වය අනුව යහපත් ආයෝජන කෙරෙහි අවධානය යොමුකර සාර්ථක ප්‍රතිඵල ලබා ගනියි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වන අවස්ථාවන් ඇතිවන නිසා රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

මකර 
දේපළ ඉඩකඩම් ලාබ

මකර රාශියෙන් උපත ලබා ඇති ඔබගේ සිවුවැන්නේ සිට පස්වැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා, මෙම කාල සීමාව තුළදී, 8 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 7 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 4 වැනි සහ 11 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ඉඩම් යනාදිය ලබයි. කටයුතුවලින් ජය ලබාගත හැකි වේ. ඔබගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල යහපත් වෙනසක් ඇති වෙයි. ඔවුන් ඉදිරිපත් වන තරගවලින් ජය ලබයි. ඔබගේ ව්‍යාපාරික කටයුතු මඟින් ලබන ආදායම් ඔබට නොලැබෙයි. හවුල්කරුවන්ට වැඩියෙන් ලැබෙයි. ඔබ නීරෝගිව කාලය ගෙවයි. හදිසි අනතුරු ඇති ස්ථානවල ගැවසීමෙන් වළකින්න. ප්‍රවේසම් වීම වැදගත්ය.

කුම්භ 
වෘත්තිය / ව්‍යාපාරවලින් හොඳ ප්‍රතිඵල

කුම්භ රාශියෙන් උපත ලබා ඇති ඔබගේ තෙවැන්නේ සිට සිවුවැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී, 7 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 6 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 3 වැනි සහ 10 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි.

ඔබගේ රාජකාරි කටයුතු අධික වීම හේතුකොටගෙන නිවසින් බැහැරව ජිවත්වීමට සිදු වෙයි. ඔබගේ දූදරුවන්ට යහපත්ය. බොහෝ විට පවුලේ අයගෙන් බැහැරව කටයුතු කරන බව පෙනේ. ඔබගේ වෘත්තිය සහ ව්‍යාපාර මඟින් යහපත් ප්‍රතිඵල ලබයි. රැකියා ස්ථානයේ වෙනසක් ඇති වෙයි.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගෙන යාමට බාධා ඇතිවෙයි. අලුත් රෝග ඇතිවෙයි.

මීන
අනුමානයෙන් කරන වැඩවලින් ජය

මීන රාශියෙන් උපත ලබා ඇති ඔබගේ දෙවැන්නේ සිට තුන්වැන්නට ගමන් කරන ගුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළදී, 6 වැනි භාවය හිමි රවිගේ නක්‍ෂත්‍රයකද, 5 වැනි භාවය හිමි සඳුගේ නක්‍ෂත්‍රයකද, 2 වැනි සහ 9 වැනි භාව හිමි කුජගේ නක්‍ෂත්‍රයකද ගමන් කරයි. ඔබට විදේශ සංචාරවල යෙදීමට අවස්ථාවන් යෙදෙන අතර ඒ නිසාම ධන තත්ත්වය යහපත් වෙයි. ඔබගේ දූදරුවන්ට යහපත්ය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරගත හැකි වෙයි. සියලු දෙනා සමඟම සහයෝගයෙන් කටයුතු කරයි. ඔබ එකම වෘත්තියකට යොමුවී සිටින්නේ නැත. අනුමානයෙන් කරන දේවල් මඟින් ආදායම සරු කර ගත හැකිවෙයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට හැකිවෙයි. රෝගාබාධ ඇතිවුවද ඉක්මනින් සුවය ලබයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division