Home » එයා කිව්වා සිම්පල් විදිහට ලස්සන වෙඩින් එකක් ගමු කියලා මාත් ඉතින් හා කිව්වා

එයා කිව්වා සිම්පල් විදිහට ලස්සන වෙඩින් එකක් ගමු කියලා මාත් ඉතින් හා කිව්වා

සංජානා ගමාරච්චි

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– වෙඩින් එක ගන්න බලාගෙනම තමයි ආයෙම ලංකාවට එන්නේ
– හාල් මැස්සෙක් බැදල ගත්ත නම් කිරිබත් හට්ටි ගණන් කන්න පුළුවන්

හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නිර්මාණයේ ජනප්‍රියම චරිතයක් වන ටීනා මේ දිනවල දකින්නේම නැති තරම්ය. ඇය නැති නම් දිවිතුරා බලා වැඩක් නැතැයි සි‍තන තරමටම ආදරණීය වුණු ප්‍රේක්ෂක පිරිසක් සිටින ටීනාට පණ පොවන හුරුබුහුටි රංගන ශිල්පිනිය සංජානා ගමාරච්චි අද අපේ කතාබහට එක්කර ගත්තාය. වැඩ කිහිපයක් සඳහා මෙවර ලංකාවට පැමිණ සිටි සංජානා නැවත ඔස්ට්‍රෙලියාවට යෑමට පෙර අප හා කතාබහට එක්වීමට අමතක නොකළාය.

ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පුවත සත්‍යක් බව තහවුරු කළ සංජානා නිර්මාණ කටයුතු කිහිපයක් සඳහා නැවත ලංකාවට පැමිණි බව පවසමින්ම අප හා එක්වූවාය.

“මං ඔස්ට්‍රේලියාවට ගියේ ස්ථිර පදිංචියටමයි. මාර්තු මාසෙ ලංකාවට ආවෙ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න තිබුණු නිසා. අප්‍රේල් මාසේ තිබුණු වැඩ ටිකත් ඉවර කරල දැන් ආයිමත් ඔස්ට්‍රේලියාවට යන්න සූදානමින් ඉන්නේ. එහේ හිටියත් නිර්මාණවලට දායක වෙන්න නිතර ලංකාවට එන නිසා ලංකාවෙන් ඈත් වුණා කියලා තාම ලොකුවට දැනෙන්නෙ නෑ. දෙපැත්තම බැලන්ස් කරගෙන යනවා. මේ පාර ආපු වෙලේ හැම චැනල් එකකම තිබුණු අවුරුදු උත්සවවලට සහභාගි වෙලා ජයග්‍රහණත් ලැබුවා. හැමෝම හමුවෙලා ගොඩක් සතුටින් කාලය ගතකළා. ඒ වගේම ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරා කුමරිය තේරිමේ අවසන් වටයේ විනිශ්චය ලබා දෙන්නත් ආරාධනා ලැබුණා.“

අවුරුදු කෑම මේසයේ ප්‍රධාන තැන ගන්නා කිරිබත් සමඟ ලුණුමිරිස් සම්බෝලය ප්‍රියකරන බොහෝ දෙනා අතරේ සංජානාගේ කැමැත්ත හාත්පසින්ම වෙනස් එකක් වූවාය.

“කිරිබත් කිවුවොත් ඉතින් මට නම් මතක් වෙන්නෙම හාල් මැස්සො බැදලා. කිරිබත් කන්න මට ලුණුමිරිස් ඕන නෑ. හාල් මැස්සෙක් බැදල ගත්ත නම් කිරිබත් හට්ටි ගණන් කන්න පුළුවන්. මොන ජාති තිබුණත් මං ආසම එහෙම කන්න.“

දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතයෙන් ජනප්‍රියත්වයට පත්වුණු ඇය ඔස්ට්‍රේලියාවේ සිටියද තම දායකත්වය අවශ්‍ය ඕනෑම විටෙක ලංකාවට පැමිණෙන බව ද පැවසුවාය.

“දිවිතුරා ටීනා කියන්නේ මගේ රංගන ජීවිතේ එක් සංධිස්ථානයක්. ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරන චරිතයක්. මං යන්න කලින් දිවිතුරා කොටස් ෂූට් කරලයි ගියේ. මේ පාර ආපු වෙලාවෙත් ෂූටින්වලට සම්බන්ධ වුණා. ඒ නිසා මං නැති අඩුව ප්‍රේක්ෂකයන්ට දැනෙන්න නැතුව ඇති. ප්‍රේක්ෂකයන් තාමත් තේමිය, සමීර, ටීනා ත්‍රිත්වයම බලාපොරොත්තු වෙනවා. මට ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව තේරෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ටිකක් කල් යද්දි දැන් චරිතවලටත් ප්‍රේක්ෂකයන් ආදරය කරන්න පටන් ගනීවි.“

ප්‍රේක්ෂකයා ආදරය කරන සුපුරුදු දඟකාරකම මුසු වුණු ඉදිරි නිර්මාණ ගැන සඳහන් කරන්නත් ඇය අමතක කළේ නැහැ.

“දැනට නම් දිවිතුරා ටෙලි නාට්‍ය විතරයි විකාශය වෙන්නේ. මං රංගනයෙන් දායක වුණු ‘ද ටාගට්’ටෙලි නිර්මාණයේ රූගත කිරීම් ආරම්භ කරන්න නැවතත් ලංකාවට එන්න වේවි. මං සම්බන්ධ වුණු පළමුවැනි සිනමා අත්දැකීම වන කාලි සිනමාපටයත් ඉතාම ඉක්මනින් තිරගතවීමට නියමිතයි. දඟකාර සංජානා රිදී තිරයෙන් දකින දවස වැඩි ඈතක නෑ.“

ඔස්ට්‍රේලියාවේ රැකියාවක නිරත වන තම ආදරණීය සැමියා සමඟ එහි පදිංචියට යන කතාව ගැන ද ඇය සඳහන් කළාය.

“අපි විවාහ ගිවිස ගෙනත් දැන් ටික කාලයක් වුණා. මේ අවුරුද්දෙ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. දින වකවානු දෙකක් ලැබිල තිබුණත් විහඟගේ නිවාඩු ලබා ගැනීමේ ගැටලුව තමයි දැනට තියෙන්නේ. ඒක සෙට්ල් වුණ ගමන් හරියටම දිනය කවදද කියල තීරණය කරනවා. මෙහේ ඉතින් ෂූටින් යන්නත් නෑ. ලොකු වගකීමකුත් නැති නිසා හොඳට කාල බීල, නිදාගෙන සතුටින් කාලය ගතකරනවා. කොහොමත් මට ලංකාවෙ ආශ්‍රය කරන්න ගොඩක් නෑදෑයොත් නෑ. යාළුවො එක්ක වීඩියෝ කෝල්වලින් කතා කරනවා. නිතරම ලංකාවට එන නිසා ලංකාවෙන් ඈත් වුණා කියලා තාම ලොකුවට දැනෙන්නෙ නෑ. මට ගැළපෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම ඇවිත් ඒකට දායක වෙනවා. එහෙම නැති වුණොත් ආයෙම වෙඩින් එක ගන්න බලාගෙනම තමයි ලංකාවට එන්නේ.“

විවාහ ගිවිස ගැනීම මෙන්ම විවාහයත් සප්‍රයිස් එකක් වේවි නේදැයි ඇසූ ප්‍රශ්නයට ඇයගෙන් ලැබුණේ මෙවන් පිළිතුරක්.

“ඒ වගේ ලොකු දේකට යන්න විහඟගෙ කැමැත්තක් නෑ. එයාට ඕන හැමෝටම එන්ජෝයි කරන්න පුළුවන් විදිහේ සිම්පල් උත්සවයක් ගන්න. දවස් තුන හතර දාගෙන ලොකු වැඩ කරන්න එයා කැමැති නෑ. එයා සිම්පල් විදිහට ලස්සන වෙඩින් එකක් ගමු කිව්වා මාත් ඉතින් හා කිව්වා.“

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division