Home » යුද ගිනිදැල් මැද උතුරට ගිය පළමු පොලිස් කාන්තාව

යුද ගිනිදැල් මැද උතුරට ගිය පළමු පොලිස් කාන්තාව

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment
එදිරිසිංහ මහත්මිය සිය දියණිය සමග
එදිරිසිංහ මහත්මිය

එදිරිසිංහ මහත්මිය

– පලාලිවලට යනකම් දැනගෙන හිටියේ නැහැ, මම තමයි මුලින්ම උතුරට යන පොලිස් නිලධාරිනිය කියලා
– සියලු දේට තිබුණේ පැය 18ක්. කිසිදු දෙයක් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ
– දවසක් මගේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. මම නිවාඩු යන්න හිටිය ගුවන් යානය කඩා වැටුණා. එදා මම නිවාඩු නොගිය නිසා බේරුණා

මේ මොහොත වන විටත් ලෝකයේ කොහේ හෝ තැනක මිනිස්සු බලය වෙනුවෙන් යුද වදිති. එහෙත් “යුද්ධයේ ජයග්‍රහණයක් නැත! යුද්ධය සෑම දෙයක්ම රැගෙන ගියත් කිසිවක් ලබා දෙන්නේ නැත! “ලොව ප්‍රකට විද්‍යා ප්‍රබන්ධකරුවකු වන ජෝසප් ආර්.ලාලෝ වරක් පැවැසුවේය. ලෝක සිතියමේ ඕනෑම තැනක ලෙයින්, කඳුළින් ලියැවුණ අතීතයක් වේ නම් ඒ යුද්ධය හේතු කොටගෙන බව අපි දනිමු. යුද්ධය ඉතිහාසය පුරා ඇති වූ ගෝත්‍රික ගැටුම්වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති වූ සටන්වල වර්ධනයක් ලෙස නිර්වචනය කෙරෙයි. මානව හිතවාදි කිසිදු මිනිසෙකු අනුමත නොකරන යුද්ධය පිළිබඳව අමිහිරි අත්දැකීම් ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ට මෙන්ම අපේ රටේ මිනිස්සුන්ට ද ඇත.

ශ්‍රි ලාංකේය ඉතිහාසයේ එලෙස ලෙයින් කඳුළින් ලියැවුණු අතීතයක් වෙයි; මිලේච්ඡ ත්‍රස්තවාදයේ අශිෂ්ට බවත්, මරණයේ බිහිසුණු බවත් පිළිබඳව අත්දැකීම් රැසක් තිස් වසරක් පුරා මෙරට වැසියෝ අත්වින්දහ. රට පුරා තැනින් තැන යුද ගිනි ඇවිළෙමින් කුරිරු ත්‍රස්තවාදීන් විසින් අහිංසක ජීවිත විනාශ කරමින් මේ රට ලේ විලක් බවට පත් කළ ඒ අඳුරු යුගයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රට වැසියෝ සැකයෙන් බියෙන් ඇලළී ගියහ.

පොලිසියට බැඳුණු මුල් අවධියේ දී පුහුණුවීම්වල නිරතවෙමින්

පොලිසියට බැඳුණු මුල් අවධියේ දී පුහුණුවීම්වල නිරතවෙමින්

යුද ගිනි ඇවිළෙන සමයේ උතුරේ 1995 ඔක්තෝබර් වනවිට රිවිරැස මෙහෙයුම ආරම්භ විය. මෙහි අරමුණ යාපනය මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි. එහිදි විරෝධාර ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීහු එක්ව උතුරේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රිවිරැස මෙහෙයුම වෙනුවෙන් සියදිවි නොතකා කටයුතු කළහ. ඒ ගෙන ගිය මානුෂීය සටනින් පසුව එම ප්‍රදේශවල සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළක්ද එම කාලවකවානුවේදි ක්‍රියාත්මක විය. එහි මුල් පියවර ලෙස උතුරේ පොලිස් ස්ථාන නැවත පිහිටුවීම සිදුවිය. යාපනය අර්ධද්වීපය තුළ එවකට සේවය කළේ පොලිස් නිලධාරීන් පමණි. කාන්තා පොලිස් නිලධාරීන් සේවය සඳහා යොදා ගැනුණේ 1996න් පසුවය. එම පොලිස් ස්ථානවල සේවය කිරීම සඳහා කාන්තා යුද හමුදා කාන්තා බළකාය උතුරේ සේවය කළද කාන්තා පොලිස් නිලධාරිනියන් උතුරේ රාජකාරිවල නිරත නොවුණි.

යාපනය අර්ධද්වීපයේ සේවයට නිර්භීත පොලිස් කාන්තාවන් අනුයුක්ත කිරීම මුල්වරට සිදුකෙරුණේ 1996. 01.10 වැනිදාය. ඒ වනවිටත් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් උතුරේ තැනින් තැන ප්‍රහාර එල්ල කරමින් තිබිණි. එහිදී මුලින්ම උතුරට ගිය කාන්තා පොලිස් නිලධාරිනිය පිළිබඳව මෙතෙක් නොලියූ ඇගේ අතීත මතක සටහන් සුවිශේෂීය.

මුල්වරට රත්මලාන ගුවන් තොටුපොළින් උතුර බලා පිටත්ව ගිය ඇය කාන්තා පොලිස් සැරයන්වරියකි. (576) ඇය නමින් එදිරිසිංහ මුදියන්සේලාගේ ශ්‍රියාලතා එදිරිසිංහයි. අපේ කතා නායිකාව වන පොලිස් සැරයන් එදිරිසිංහ එවකට පින්දෙණිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදි; හදිසියේ ලැබුණු පණිවුඩයක් අනුව ඇයට උතුරේ රාජකාරි සඳහා පිටත්ව යාමට සිදුවිය. ඒ අනුව පොලිස් සැරයන් (576) එදිරිසිංහ ගල්කිස්ස පොලිස් මූලස්ථානයෙන් ලැබුණු නියෝගයට අනුව රත්මලාන ගුවන් තොටුපොළින් උතුර බලා ගියාය. එය (1983 න් පසු) පළමුවැනි වරට පොලිස් නිලධාරිනියක් උතුර බලා ගිය පළමු අවස්ථාවයි.

“මට කිසිම දෙයක් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ; උතුරට යන්න කියලා නියෝගය ආවහම මම ගියා. මම පලාලිවලට යනකල් දැනගෙන හිටියේ නැහැ මම තමයි මුලින්ම රාජකාරියට ගිය කාන්තා පොලිස් නිලධාරිනිය කියලා. ඒත් මට කිසිම බයක් හිතුණේ නැහැ. ඒ කාලය දුෂ්කර වුණත් හරිම සුන්දරයි. මට නවතින්නවත් තැනක් හරියට තිබුණේ නැහැ; මම නැවතිලා හිටියේ ඕ.අයි.සි. මහත්තයා හිටපු තැන පුංචි ගබඩා කාමරයක. දැන් මතක් වෙන කොට ඒ කාලයේ අත්දැකීම් හරිම සුන්දරයි. කෑම බීම පවා අඩුපාඩු තිබුණා. හැමතැනම ආටි ගහනවා. ත්‍රස්තවාදි ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රදේශවල දෙමළ මිනිස්සු අපිට හරිම ආදරෙයි” උතුරේ රාජකාරිය සඳහා එම ප්‍රදේශවලට යාමට ලැබීම පිළිබඳව ඇය යළි සිහිපත් කළේ සතුටිනි.

“එදා මට උතුරට යෑමට සිදුවීම හිතාගන්න බැරි විදිහට සිද්ධ වෙච්ච දෙයක් වුණත් මම හරිම ආසාවෙන් තමයි රාජකාරී කළේ. උතුරට මාරුවීම් එන්න කලින් ඒ කාලේ රාජකාරී කළේ පින්දෙණිය පොලීසියේ. එම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටිය දී පොලිස් මූලස්ථානයෙන් ලැබුණු නියෝගයට අනුව පසුදා මම ගල්කිස්ස පොලිස් මූලස්ථානයට වාර්තා කළා. ගල්කිස්සේ මූලස්ථානයට වාර්තා කරලා එදිනම රත්මලානට ගිහින් රත්මලානෙන් ගුවන් යානයට නැඟලා පලාලිවලට ගියා. සියලු දේට තිබුණේ පැය 18ක් විතරයි; මට කිසිදු දෙයක් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. නියෝගය අනුව ඇය යාපනය බලා පිටත්ව ගියේ රාජකාරි කටයුතු සඳහායි. එතකොටයි මම දන්නේ මම තමයි පළමු වතාවට යාපනයට පැමිණි කාන්තා පොලිස් නිලධාරිනිය කියලා. ඊට පස්සේ තමයි අනික් අය ආවේ. ඒත් මම තනියම හිටියා කියලා මට බයක් හිතුණේ නැහැ. අපේ සහෝදර නිලධාරීන් හිටියා. ඒ අය මගේ ආරක්ෂාව බැලුවා”. යුදමය වාතාවරණයක් පවතිද්දී වුවද සිතෙහි චකිතයක් ඇති නොවු බව ඇය පැවැසුවාය.

රුවන්වැල්ල රත්තාගල ගොවි පවුලක උපත ලද ඇගේ පියා ඊ. එම. සෝමරත්න හා මව එච්. එම්. නන්දාවතීයි. පවුලේ වැඩිමහල් දියණිය ලෙසින් 1964.06.04 දින ඇය උපත ලැබුවාය. ඇයට බාල සහෝදරයෙක් හා සහෝදරියක වෙයි. කැ/ ඉඹුලාන මහ විදුහලේ සහ කෑ/රත්නාවලි මහ විදුහලින් උසස් පෙළ දක්වා හදාරා ඇති ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පුහුණුව ලබා 1981/05/01 දින ශ්‍රී ලංකා කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙස පොලිස් සේවයට බැඳුණාය. ඉන් අනතුරුව ඇය 1989 වසරේදි කාන්තා සාජන්වරියක ලෙස උසස්වීම් ලැබ පින්දෙණිය පොලිසියේ සේවයට අනුයුක්තව සේවය කළාය .ඇය 1995 වසරේ කෑගල්ල දිස්ත්‍රික් වාර්ෂික පරීක්ෂණයේදී විශිෂ්ටතම පොලිස් සැරයන් ලෙස නම් කර ඇත. උතුරේ පලාලි ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකද, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය, කොළඹ කාන්තා කාර්යාංශ මූලස්ථානය, කන්කසන්තුරේ පොලිස්ථානයට අනුබද්ධව සිවිල් පරිපාලන කටයුතුවල සේවය කර ඇත. ඒ අතරින් යුද සමයේ උතුරේ සිදුකළ රාජකාරී සුවිශේෂි වන බවත් එහිදී ඉතා කැමැත්තෙන් රටට සේවයක් කිරීමේ උතුම් මෙහෙවරක් වෙනුවෙන් ඇය තම ජීවිතය පරදුවට තබා සේවය කළ බවත් පැවැසුවාය.

මියගිය අය සිහිකර පැවැති ධර්මදේශනාවක් අතරතුර

මියගිය අය සිහිකර පැවැති ධර්මදේශනාවක් අතරතුර

“ඒ කාලේ ආරක්ෂක ලේකම් අනුරුද්ධ රත්වත්ත මහත්තයා. ඩබ්.ඩි. රාජගුරු සර් තමයි පොලිස්පති. පොලිසියෙන් අලුතින් කාන්තා පොලිස් නිලධාරීන් ඒ ප්‍රදේශවලට යවන්න ඕන කියලා තිබුණා. එවක මම රාජකාරි කරපු පින්දෙණිය පොලිසියට 1995.12 31 මැසේඡ් එකක් ආවා. එදා මම උසාවි ගිහින් හිටියේ. පසුවදා රත්මලාන ගුවන් තොටුපොළට වාර්තා කරන්න කියලා. පැය 18 විතර තිබුණේ. මම ඉක්මනින් ගල්කිස්ස පොලිසියට ගියා. ගල්කිස්සේ මූලස්ථානයේදී එස්. එස්. පී. මහත්තයාට මම යනවා කියලා වාර්තා කළා. පසුවදා පාන්දර හතරයි කාලේ බස් එකේ ගල්කිස්සට ගිහින් රත්මලාන ගුවන් තොටුපොළට ගියා; ඒ කාලය රිවිරැස මෙහෙයුම පටන් ගත්ත මුල් කාලේ. පොලිස් ස්ථානාධිපතිවරයා ඇහුවා මාව රාලහාමිලා එක්කද නැතිනම් ආමි එකේ ගැහැනු ළමයි එක්කද දාන්නේ කියලා. මම කිව්වා අපේ රාලහාමිලා එක්ක දාන්න කියලා . ඉන් පසුව කන්කසන්තුරේ පොලිසියේ ස්ථානාධිපතිලා හිටපු ස්ථානයේ තිබුණා ගබඩා කාමරයක් මට ඉන්න හදලා දුන්නා.

“මම ඒකේ හිටිය හැම වෙලාවෙම වෙඩි හඬ ඇහෙනවා. ආටි ගහනවා. ඉන් පස්සේ පොලිස්පතිවරයාගේ අණින් ටික දිනකින් කාන්තා පොලිස් නිලධාරීන් හතර දෙනෙක් විතර ආවා . කන්කසන්තුරේ හිටියට හැමතැනින්ම අපේ සේවය ඉල්ලනවා. සිවිල් ජනතාව පරීක්ෂා කරන්න හැකියාව තියෙන්නේ පොලිස් නිලධාරීන්ට පමණයිනේ. ඒ කාලේ පොලිසි කියලා හරියට තැනක් තිබුණේ නැහැ. එතැන හදිසි අනතුරු කලාපයක් වගේ ආරක්ෂාව හොඳයි. පසුව කන්කසන්තුරේ පොලීසියේ ඉන්න තැනක් හදලා දුන්නා. අපි පහසුකම් තියෙන විදිහට හිටියා. කාන්තා නිලධාරින් දෙන්නෙක් එක තැන ඩියුටි ගියා; ජීවිත අවදානමත් තිබුණා.” ඇගේ අත්දැකීම් ඇය තවදුරටත් පැහැදිලි කළාය.

“අපි ඩියුටි යන කොට සමහර අයට බට්ටෝ පෑගෙනවා: මට නම් එහෙම වුණේ නැහැ. ඒත් පුපුරා යාමකින් පසුව මගේ එක කනක් ඇහෙන්නේ නැතුව ගියා. මම යාපනයේ කාලයක් හිටියා; මට මාරුවීමක් ලැබුණා ඒත් මම කැමැති වුණේ නැහැ යළිත් කොළඹට එන්න. මම අවුරුදු එකහාමාරක් උතුරේ හිටියා. ඉන්පසුව මම ආයේ 1999දී ත්‍රීකුණාමලයට මාරුවීමක් ලැබුණා. මගේ දරුවා හම්බ වුණෙත් ත්‍රීකුණාමලයේදී. ත්‍රීකුණාමලයේදි මාව සංගීත සංදර්ශනයකදි බෝම්බ පිපිරීමකටත් අහුවුණා. රෑ දහයයි හතළිහට ඒ පිපිරීම සිදුවුණේ. ඒ වෙලාවෙදී පොලිසියේ නිලධාරීන් හුඟාක් නැති වුණා; . හුඟාක් අයගේ කකුල් එහෙම කැපුවා ඒ වෙලාවේ පොලිස් බස් එකේ කවුරුත් සහයට හිටියේ නැහැ. මම තමයි තුවාලවෙලා හිටිය නිලධාරියෝ අරන් ගියේ. මම මගේ කකුල උඩ තියාගෙන මිනිස්සු රෝහල්වලට අරන් ගියා; මගේ ඇඟ ලේවලින් තෙත් වෙලා බස් එකේ ලේ විලයි. කවදාවත් ඒ දේවල් අමතක වෙන්නේ නැහැ. මිනිස්සු බලාගෙන ඉදිද්දි අපි ඉස්සරහා මැරෙනවා, ඒවගේ කාලයක් නම් කවදාවත් එන්න එපා.

“එක දවසක් මගේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. මම එදා නිවාඩු එන්න හිටියේ. තවත් නිලධාරියෙක් යවන්න හදිසි නිසා මම එන්නේ නැතුව නැවැතුණා; ඒ ගුවන් යානය කඩා වැටුණා. ඒ අයට මොනවද වුණේ කියලවත් දන්නේ නැහැ. එදා උදේම තිබුණ ඒ ගුවන් යානයේ රත්මලානට ගියානම් අද මම මෙතන නැහැ. ඒ වෙන කොට වෙන කෙනෙක් ගිය නිසා මගේ ජීවිතය බේරුණා. අපේ ගෙදර අය රුවන්වැල්ලේ පොලිසියට ගිහින් මම ගැන අහලා තිබුණා. පසුව තමයි දැනගත්තේ මම බේරිලා කියලා. ඒ අය හිතලා තියෙන්නේ මම මැරිලා කියලා. ඒ කාලයේ ජංගම දුරකතන තිබුණේ නැහැ; පොලිසියේ රෙඩියෝ විතරයි තියෙන්නේ. ගෙවල්වලට කතා කරන්න ලොකු පහසුකම් තිබුණේ නැහැ.

“ඒ කාලයේ අපිට කන්න කැම ගෙනාවේ ගුවන් යානාවලින්. කඳවුරුවලට කෑම බෙදුවේ. සමහර දාට හිඟ පාඩු තිබුණා. අපි කෑවේ නැතත් ඒ කඳවුරුවල වයසක මිනිස්සු පොඩි ළමයින්ට දුන්නා. පොලිස් නිලධාරින් තමයි ඒ අය ගැන බැලුවේ . ඒ කාලයෙදි අපිට හරියට බැරැක්ක තිබුණේ නැහැ නිදා ගන්න. රිවිරැස මෙහෙයුම්වලට යනවා සමහර දාට ඉන්නේ කැලෑවේ. ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කියලා වෙනසක් නැහැ; හැමෝම අපි එක්ක හොඳට කටයුතු කළා. හරි සමගියෙන් අපි හිටියේ.

එදිරිසිංහ මහත්මිය දැනට පදිංචිව සිටින නිවස

එදිරිසිංහ මහත්මිය දැනට පදිංචිව සිටින නිවස

කඳවුරුවල ඉන්න අයව අපි හොඳින් බැලුවා ඒ අය අපි එක්ක තරහක් නැහැ. අපිට ආදරෙයි. කඳවුරුවල හිටිය ළමයිට කැම්පස්වල ළමයි ඒ වගේම හොඳ ගුරුවරු ඉගැන්වුවා; නිමල් සිරිපාල සිල්වා ඇමැතිතුමා ඒ පළාතට ආව වෙලාවේ බෝම්බ ප්‍රහාරයකට හසුවුණානේ. ඒ වෙලාවේ මම තමයි එතුමාගේ බිම වැටිලා තිබුණ ඔරලෝසුව අහුලලා දුන්නේ. මම උතුරට යනකොට යාපනේ අල්ලලා තිබුණේ නැහැ. පුස්තකාලය ගිනි තිබ්බට බලන්න යන්න බැරි වුණා. මම යද්දි කන්කසන්තුරේ පලාලි තමයි අපි මුඳවාගෙන තිබුණේ.

“එයින් පස්සේ අපි ගිය ගමන්ම වගේ ඉලවාලි පොලිසිය ආරම්භ කළා. ඉන් පස්සේ තමයි යාපනයේ පොලිසිය විවෘත කළේ. අපි ගියාට පස්සේ නම් කාන්තා පොලිස් නිලධාරීන් හුඟාක් ආවා. ඒ කාලය හරිම දුෂ්කරයි; ගුවන්යානා වැටුණාම පාර ක්ලියර් කරන්නේ නැතුව යන්න බැහැ. කෑම ගෙනියන්න බැහැ. නැව් වැඩ කළෙත් නැහැ; අපි ගස්ලබු තම්බලා කාලා තියෙනවා. කෙසෙල් ගෙඩි කනවා. හමුදාවෙන් අපිට බත් උයන්න හාල් දුන්නා; අපි වගා කරගෙන කෑවා. මුකුණුවැන්න හැදුවා. ඒ කාලයේ ලොකු මහත්තුරු අපිව බලා ගත්තේ හරිම ආදරෙන්. මෙහෙයුම් පටන් ගත්තාම අපි ඉන්නේ කැලෑවල. වෙඩි සද්දේ විතරයි අපිට ඇහුණේ. පල්ලිවල පාසල්වල හිටිය අය අපි බලාගත්තා කොයිවෙලාවේ ජිවිතේ නැතිවෙයිද කියලා අවදානමකින්. කඳවුරුවල අපිත් එක්ක තරහින් කතා කරන අයත් හිටියා. හැමතැනම කෑම්ප් තිබුණේ. උතුරට ගියා කියලා අපිට කිසිදු ඇගැයීමක් නැහැ. රිවිරැස මෙහෙයුම් පදක්කම් පමණයි ලැබුණේ. ඒ හැර කිසිම දෙයක් නැහැ. අපි සේවය කළේ කිසිදු දෙයක් බලාගෙන නෙවෙයි. ඒත් අපි රට වෙනුවෙන් ජීවිත අවදානම ගත්ත අය කියලා බොහෝ දෙනෙකුට අද මතකයේ නැහැ” ඇය පැවැසුවාය.

ඇය විශ්‍රාම යනවිට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකි. “මම විශ්‍රාම යද්දි කොළඹ ළමා හා කාන්තා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා. එම කාර්යාංශය නුගේගොඩට මාරු වුණාට පස්සේ මම වසර 26ක පොලිස් සේවයට සමුදුන්නා. අපිට කිසිදු ඇගැයීමක් නැතිවුණත් මම කැමැත්තෙන් සේවය කළේ.” අද විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය රට වෙනුවෙන් කරන ලද සේවය පිළිබඳව අදත් සතුටු සිතින් යුතුව කතා කරන්නීය. තම දිවි පරදුවට තබා රට දැය වෙනුවෙන් කැප වූ බොහෝ රණවිරුවන් අතර ඇයත් සුවිශේෂ වන්නීය.

මිනිසුන් සිය ගණනින් මියයන ආකාරයත් මිනිසුන්ගේ අත් පා බිඳි විසිරෙන ආකාරයත් දෙමාපියන්ට දරුවන්, දරුවන්ට පියවරුන් මවුවරුන් ස්වාමිවරුන් සහ බිරින්දෑවරුන් අහිමි වූ ත්‍රස්තවාදය ඇය සියැසින් දුටු සාක්ෂිකාරියකි. එවැනි යුද්ධයක් කිසිදු දිනයක නැවත ඇති නොවේවා යැයි ඇගේ සේම අපේ ද ප්‍රාර්ථනාවයි:

 උතුරු නැගෙනහිර සේවය කරන කාලයේ දී ලබා ගත් පදක්කම්

උතුරු නැගෙනහිර සේවය කරන කාලයේ දී ලබා ගත් පදක්කම්

ඡායාරූප සහ පසුබිම් තොරතුරු – කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division