Home » කඩුවෙල දෙදරු මවට මරු කැඳවූ මාරයාගේ හෝරාව

කඩුවෙල දෙදරු මවට මරු කැඳවූ මාරයාගේ හෝරාව

by thanushika
April 27, 2024 12:30 am 0 comment

කඩුවෙල පොලිස් වසමේ කොතලාවල, පට්ටියවත්තේදී ඉකුත් මාර්තු මස 27 දා කාන්තා ඝාතනයක් සිදු විය. එම ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් සමත් වූයේ දින දෙකක් ඉක්ම යන්නටත් මත්තෙනි.

යුක්තිය මෙහෙයුම සමඟ කාර්යබහුල වී සිටින පොලිස් නිලධාරින් මෙවැනි අපරාධවල සුලමුල ද අනාවරණය කරගන්නේ රාජකාරියටම කැප වෙමිනි.

කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහගේ මෙහෙයවීමෙන් කඩුවෙල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නදීප් රුවන් චතුරංග ඇතුළු නිලධාරි කණ්ඩායම එම කාන්තා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඝාතනයේ සුලමුල අනාවරණය කරගත් ආකාරය පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේ ය.

අජන්තා කටුගම්පොළ වයස අවුරුදු 54ක කාන්තාවකි. වයස අවුරුදු 54ක් වුවද ඇගේ පෙනුම තරුණය. කඩුවෙල පොලිස් වසමේ කොතලාවල, පට්ටියවත්තේ, නාමල් පෙදෙසේ නිවසක පදිංචිව සිටි ඇගේ සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. අජන්තාට ලොකු-මහත් වූ දරුවන් දෙදෙනෙකි. දරුවන් දෙදෙනා රැකියාවල නිරතවූ අතර සැමියා හෝකන්දර ප්‍රදේශයේ දුරකතන ඇමැතුම්හලක් පවත්වාගෙන ගියේය.

දරුවන් දෙදෙනා සහ සැමියා දිනපතාම පාහේ පෙරවරුවේ නිවසින් පිටව ගිය පසු නිවසේ දහවල් කාලය ගත කරන්නේ අජන්තා පමණි.

පසුගිය මාර්තු 27 වැනිදා පෙරවරු 11ට පමණ අජන්තාගේ දියණිය මවට ඇමැතුමක් ගත්තේ ඇය ගැන සොයා බැලීමටය. එහෙත් අජන්තා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. අනතුරුව දියණිය එසැණින් දුරකතන ඇමැතුමක් ගත්තේ යාබද නිවසේ සිටි වැඩිහිටි කාන්තාවකටය. ඇය වයස අවුරුදු 60ක් පමණ වන ලීලාවතීය.

“අනේ ඇන්ටි අපේ අම්මා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ… පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තට ගිහින් බලන්න පුළුවන් ද?“ අජන්තාගේ දියණිය ලීලාවතීගෙන් එලෙස ඉල්ලීමක් කළාය.

එසැණින් ලීලාවතී දිව ගියේ අජන්තාගේ නිවසටය. ඒ වන විට නිවසේ දොර බාගෙට වසා තිබෙනු ඇය දුටුවාය. ලීලාවතී දොරට තට්ටු කළාය. නිවස තුළින් කිසිම ප්‍රතිචාරයක් නොවීය. ඇය දිගින් දිගටම දොරට තට්ටු කිරීමත් සමඟම බාගෙට වසා තිබූ දොර විවර විය. ඒ සමඟම දුටු දෙයින් ලීලාවතී තිගැස්සී ගියාය. ඇය දුටුවේ නිවසේ සාලයේ ලේ විලක් මැද අජන්තා වැටී සිටින ආකාරයයි. කෙසේ හෝ ඇයට දකින්නට ලැබුණේ අජන්තාගේ දෙපා පමණි. ලීලාවතී විලාප තියමින් නිවසින් එළියටවිත් අජන්තාගේ නිවසට යාබද ‘පහළ ගෙදර‘ පුද්ගලයාට කතා කළේය. ඔහු ඩිලාන්ය.

ඩිලාන් කඩිමුඩියේ එතැනට පැමිණ බැලුවේය. ඒ අතර තවත් යාබද නිවසක කාන්තාවක්ද එතැනට පැමිණියාය. ඒ වන විට සාලය මධ්‍යයේ ලේ ගලමින් වැටි සිටි අජන්තා කෙඳිරිලි හඬක් නඟමින් සිටින ආකාරය එම පිරිස දුටුවේය.

අජන්තා දුටු පිරිසෙන් කෙනෙක් 1990 සුවසැරිය ගිලන් රථය ඇමැතීය. එහෙත් එම රථය ඒමට මඳක් ප්‍රමාද විය. ඒ අතර කාලයේදී නිවස තුළම අජන්තා මෙලොව හැර ගියාය.

මේ අතර දහවල් 12.30ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතු අයෙක් අජන්තාගේ මරණය පිළිබඳව පොලිසිය දැනුම්වත් කළේය. මිරිහාන 119 පොලිස් හදිසි ඇමැතුම් කොට්ඨාසයට ලද එම පණිවිඩය සැණින් අදාළ පොලිස් වසම වන කඩුවෙල පොලිසිය වෙත යොමු කිරීමත් සමඟ එහි නිලධාරින් ක්‍රියාත්මක විය.

ඒ අනුව කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රුවන් චතුරංග පොලිස් කණ්ඩායමක් සමඟ එම නිවසට ගියේය. උපපොලිස් පරීක්ෂක චතුරංග මූලික විමර්ශන අරඹමින් අජන්තාගේ මරණය පිළිබඳ කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය. ඒ අනුව කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා අජන්තාගේ එම ඝාතනය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කරමින් ලද උපදෙස් මතය. ස්ථානාධිපතිවරයා ද එම නිවස කරා ගියේ ඉන් අනතුරුවය.

පොලිස් විමර්ශන අරඹමින් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කරුණාරත්න මහතා අදාළ නිවසට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය. ඒ අතර මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා වසන්ති පැමිණ අජන්තාගේ මළසිරුර පරීක්ෂා කළාය. විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ මෙහෙයවීම මත මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින්ද මිරිහාන නිල සුනඛ අංශයද ඇඟිලි සලකුණු නිලධාරින් ද කැඳවීය.

විමර්ශන නිලධාරින් අජන්තාගේ සිරුර මුලින් දුටු ලීලාවතී ඇතුළු දෙතුන් දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනිණි. ඒ අතර මළසිරුර පොලිස් නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්විය. එම ප්‍රකාශ සහ නිරීක්ෂණයන් මඟින් පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ මළසිරුර පොලිසිය යන විට තිබූ ආකාරයත් ඊට පෙර ලීලාවතී දකින විට තිබූ ආකාරයේත් යම් වෙනසක් ඇති බවය.

ඒ පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමු විය. ඒ අතර විමර්ශන නිලධාරින් අජන්තාගේ සැමියා සහ දූදරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත්ත ද ඔවුන්ට මේ සාහසික ඝාතනයට හේතුව සිතා ගැනීමටවත් නොහැකි විය.

නිවැසියන්ගේ සැකයට භාජනය වූයේ ‘සොරෙකු‘ පැමිණ මෙකී අපරාධය සිදු කරන්නට ඇති බවය. කඩුවෙල පොලිස් නිලධාරින් වැඩිදුරටත් මේ ගැන විමර්ශන සිදු කරද්දී තොරතුරුකරුවන්ගේ තොරතුරු ඔස්සේ පොලිසියට හෙළිදරව් කරගැනීමට හැකි වන්නේ බොහෝ දෙනෙකු ‘සුදු‘ නමින් අමතන අජන්තා මරණයට පත් මොහොතේ පැමිණි ‘පහළගෙදර‘ පුද්ගලයා හෙවත් ඩිලාන් සමග අනියම් ඇසුරක් පැවැති බවය.

පසුදා එනම් මාර්තු 28 වැනිදා මුල්ලේරියාව අධිකරණ වෛද්‍ය නිලධාරිනි ලුවිස් හේවා වසන්ති අජන්තාගේ මළසිරුර පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වන්නේ ගෙල සිර කිරීමත් සමඟ බිම ඇද වැටුණු අජන්තාගේ හිසට ආයුධයකින් පහර දීම නිසා සිදුවූ තුවාලවලින් අධිකව ලේ වහනය වීම හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි.

මේ අතර අජන්තාගේ මරණය ඝාතනයක් බව හෙළි වීමත් සමඟ පොලිසියට ලද තොරතුරු සහ සිදුකළ මූලික විමර්ශනවල ප්‍රතිඵල මත පසුගිය මාර්තු 28 වැනිදා අජන්තාගේ මරණයට සැකපිට ඩිලාන් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණි. ඔහු 36 හැවිරිදි බුද්ධික රුවන්ය. රුවන් එදින ඩිලාන්ගේ නිවසේ ‘පැන්ට්‍රි කබඩ්‘ සාදමින් සිටි ඩිලාන්ගේ මිතුරෙකි.

රුවන් ද විවාහකයෙකි.අත්අඩංගුවට ගත් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට පැය 48ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කඩුවෙල පොලිස් විමර්ශන නිලධාරින් කටයුතු කරන්නේ ඉන් පසුවය.

අනතුරුව සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ අජන්තාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ඩිලාන් බවය. ඒ අනුව හෙළි වන්නේ මෙවැනි කතාවකි.

38 හැවිරිදි ඩිලාන් සහ 54 හැවිරිදි අජන්තා ආසන්න නිවෙස්හි පදිංචිව සිටි දෙදෙනෙකි. දෙදෙනා ඥාතින් ද විය. අජන්තා හෙවත් සුදු නමින් සැවොම ඇමැතු ඇය රූමත් කාන්තාවකි. මීට කලකට පෙරදී ඩිලාන් සහ අජන්තා අතර අනියම් ඇසුරකට මුල පිරිණි. ඒ බව පවුලේ කිසිවකු දැන සිටියේ ද නැත. ඒ වන විට ඩිලාන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ස්ථිර රැකියාවක් නොකළද ඔහු යහපත් ආර්ථිකයක් සහිතව ජීවත් වූ අයෙකි. ඩිලාන්ට මෝටර් රථයක් ද තිබිණි. අජන්තාගේ ඇසුරත් සමඟ ඩිලාන්ගේ ආර්ථිකය ද කඩාගෙන වැ‍ටෙන්නට වූයේ ඔහු සතු මෝටර් රථය ද විකුණා දමන තත්ත්වයකට පත්වෙමිනි. මෑතක සිට ඩිලාන් දුටුවේ අජන්තාගේ වෙනසකි. තම ජීවිතයේ බොහෝ දේ අහිමිව ගියද ඩිලාන් අජන්තාට ළෙන්ගතුව සිටියේය. ඒ අතර ඩිලාන්ගේ කන වැකුණේ අජන්තාගේ වෙනත් ඇසුරක් පිළිබඳවය.

දිනය ඉකුත් මාර්තු මස 27 වැනිදාය. එදින පෙරවරුවේ අජන්තාගේ දියණිය, පුතු සහ සැමියා ද නිවසින් පිටව ගියේ සුපුරුදු ලෙස රැකියා සහ සැමියාගේ දුරකතන ඇමැතුම් හල වෙතය.

නිවසේ තනිව සිටියේ අජන්තා පමණි. ඒ වන විට ඔහුගේ නිවසේ සිටි ඩිලාන් අජන්තාගේ වෙනත් අනියම් ඇසුර නිසා තරහින් පසු වූයේය. ඔහු එදින පෙරවරු 10.30ට පමණ අජන්තාගේ නිවසට පැමිණියේ ඇගේ එම අනියම් ඇසුර ගැන ඇගෙන් විමසීමටය.

“ඒ වෙලාවෙ සර් මායි අජන්තයි අතර පොඩි කතාබහක් වුණා… ඒකට මට හොඳටම තරහා ගියා…“ යැයි ඩිලාන් පොලිස් නිලධාරින් ඉදිරියේ පවසමින් අජන්තාව ඝාතනය කළ ආකාරයද හෙළි කළේය.

ඇතිවූ ආවේගයත් සමඟ ඩිලාන් සැණින් අජන්තාගේ ගෙල සිර කිරීමත් සමඟ ඇය සිහි මුර්ජා වී ඇද වැටුණාය. ඒ සමඟ ඇය මියගියා යැයි බියට පත්වූ ඩිලාන් එම නිවසේ කුස්සියේ තිබූ මන්නයක් ගෙන අජන්තාගේ හිසට පහර කීපයක් එල්ල කර තිබුණේ සිත්පිත් නැත්තෙකු මෙනි.

අජන්තාට එසේ පහර දීමත් සමඟ ඔහු අජන්තාගේ නිවසින් පිටව ගොස් මන්නය ඒ ආසන්න අධිවේගී මාර්ගයට යාබද කැලෑබද පෙදෙසක සඟවා ගියේ තමාගේ නිවසටය. ඒ වන විට ඩිලාන්ගේ නිවසේ ‘පැන්ට්‍රි කබඩ්‘ සාදමින් සිටි බුද්ධික රුවන්ට ඩිලාන් මීට මොහොතකට පෙර තමන් අතින් අජන්තාට සිදුවූ අපරාධය ගැන පැවැසීය.

විනාඩි කිහිපයක් ගතවෙද්දී අජන්තාගේ දියණිය මව ගැන සෝදිසියට අජන්තාගේ නිවසට ලීලාවතී යැවීමත් සමඟ ඇය අජන්තා නිවසේ වැටි සිටිනු දුටුවාය. ලීලාවතී ඒ බව දැන්වීමත් සමඟ ඩිලාන් අජන්තාගේ නිවසට පැමිණියේ ඔහුගේ මිතුරා ඒ වන විට නිවසේ පැන්ට්‍රි කබඩ් සාදමින් සිටි ඔහුගේ මිතුරා බුද්ධික රුවන් ද සමඟිනි.

ඒ වන විටත් අජන්තා මිය ගොස් නොසිටියාය. 1990 ගිලන් රථය එම ස්ථානයට ඒමට මඳක් ප්‍රමාද විය. ඒ අතර පැමිණි ත්‍රීරෝද රථයෙන් අජන්තා රෝහල් ගත කිරීමට ද ඩිලාන්ට හෝ ඔහුගේ මිතුරාට කිසිම වුවමනාවක් නොවීය. ඒ අතරතුර ක්‍රියාත්මක වූ ඩිලාන් සහ ඔහුගේ මිතුරු රුවන් අජන්තාගේ පාද සෝදමින් ඇය වැටි සිටි ස්ථානයද සෝදා හරිමින් සාක්ෂි විනාශ කිරීමට උත්සාහයක් ගෙන තිබූ බව ද පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළි විය.

අනතුරුව පැය භාගයකට පමණ පසු 1990 සුවසැරිය ගිලන් රථයේ නිලධාරින් පැමිණ අජන්තා ගැන නිරීක්ෂණය කිරීමෙන් පසු ඔවුන් පවසා තිබුණේ ඒ වන විට අජන්තා මියගොස් ඇති බවය. පොලිස් පරීක්ෂණ ඇරැඹීමත් සමඟ පොලිස් නිලධාරින් ලීලාවතී ඇතුළු අජන්තාගේ නිවසට මුලින් පැමිණි ඩිලාන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත්තේය. එලෙස සිදුකළ විමර්ශනවලින් පසු මාර්තු 28 දා ඩිලාන් සහ ඔහුගේ මිතුරා රුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය මඟින් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකිරීමත් සමග අජන්තාගේ ඝාතනයේ සුලමුල එලෙස අනාවරණය විය. පසුව ඩිලාන් විසින් අධිවේගී මාර්ගය යාබද කැලෑවක සඟවන ලද ඝාතනයට යොදාගත් මන්නය ද කඩුවෙල පොලිස් නිලධාරින් විසින් සොයා ගැනිණි.

අත්අඩංගුවට ගත් ඩිලාන් සහ බුද්ධික රුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බස්නාහිර දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපන සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එස්.පී.ආර්. සමරනායකගේ අධීක්ෂණයෙන් කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නදීප් රුවන් චතුරංග, සැරයන් 35434 සුමේධ, කොස්තාපල්වරුන් වන 82128 කෝසල, 82601 රණසිංහ, 93373 කොඩිතුවක්කු, 93839 සමිත, 101514 සමිල සහ 102620 හේරත් යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division