Home » තලාවේ රෙදි වෙළෙන්දාගේ කුඩු බිස්නස් එක ඉවර කරපු නොච්චියාගම පොලිස් ඔත්තුව

තලාවේ රෙදි වෙළෙන්දාගේ කුඩු බිස්නස් එක ඉවර කරපු නොච්චියාගම පොලිස් ඔත්තුව

by thanushika
April 13, 2024 12:30 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික්කය මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පොලිසිය සෙසු ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධව පැය 24 පුරා සිදු කරන මෙහෙයුම්වලින් මේ වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය අතිවිශාලය. අනුරාධපුර දිස්ත්‍රික්කයට මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරම්කරුවන් ඒවා බෙදාහරින අය මෙන්ම අලෙවි කරන පුද්ගලයන් රැසකට ද මේ වන විට මාංචු වැටී අවසන්ය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත ක්‍රියාත්මක වන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් ද පසුගිය දිනවල සිදු කරන ලද මත්ද්‍රව්‍ය මෙහෙයුම් සෑහෙන තරම් ප්‍රගතියක් ලබාගෙන තිබිණි. විශේෂයෙන් එම ඒකකයේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර ඇතුළු කණ්ඩායම පසුගියදා සිදු කරන ලද ඉතා සාර්ථක වැටලීම් කිහිපයක් ගැනම ප්‍රදේශයේ ජනතාව අතර ලොකු කතාබහක් ඇති වූ බවද දැනගන්නට ඇත. ඉන් ප්‍රධානම වැටලීම වූයේ සමාජ සේවකයකු ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වුණු පුද්ගලයකු රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වීමයි. ඔහු ප්‍රධාන පෙළේ රක්ෂණ අලෙවි නියෝජිත ආයතනයක කළමනාකරුවකු ලෙස රාජකාරී කරමින් මේ ජාවාරම සිදු කරගෙන ගිය අයෙක් බව විමර්ශනවලදී හෙළි විය.

මීට අමතරව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකරට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම සිය කුඩු රජදහන බවට පත්කරගෙන සිටි ජාවාරම්කාරියක වන තඹුත්තේගම අක්කා සහ ඇගේ සැමියා ද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන අතුරුගිරියේ අක්කා සහ ඇගේ සැමියා ද රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ ද පසුගියදාය.

අනුරාධපුර විජය පාර, සාලිය මාවතේ නිවෙසක ආරක්ෂිත කැමරා සවිකරගෙන මත්ද්‍රව්‍ය බිස්නස් එක ඉතාම සරුවට කරගෙන ගිය කුඩු සීදේවි ද මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය. කුඩු සීදේවිගෙන් ප්‍රශ්න කරගෙන යෑම සඳහා අධිකරණ නියෝගයක් ද බුද්ධි නිලධාරින් විසින් ලබාගෙන තිබිණි. කුඩු සීදේවි මෙලෙස පොලිසියට කොටු වන්නේ ඇගේ සැමියා ද මත්කුඩු පානය නිසාම දැඩි ලෙස ගිලන්ව ඇඳටම වී සිටින අවස්ථාවක වීමද සුවිශේෂිය.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරියේ නියුතු විශේෂයෙන් එහි බුද්ධි ඒකකයේ නිලධාරින් අනුරාධපුර මත්ද්‍රව්‍ය ජාවාරම වැනසීම සඳහා මෙලෙස ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරද්දි අනුරාධපුර පොලිස් කොට්ඨාසයට අයත් නොච්චියාගම පොලිසියේ නිලධරයන් ද පසුගියදා ඉතා සුවිශේෂී මෙහෙයුමක් සිදු කරන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහාය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තලාව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සලක අයිතිකරුවකු බවද මේ වන විට හෙළි වී තිබේ.

මේ ජාවාරම්කරුවා තලාව සිට නොච්චියාගමට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් නොච්චියාගම ප්‍රදේශයේ කිසියම් ස්ථානයක ස්ථානගත කිරීමට වුවද ඒ ගැන ඉතා නිවැරදි තොරතුරක් ලැබෙන්නේ නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේනටය.

වහාම ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5200ක් සොයා ගැනිමට හැකි වූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බවද හෙළි විය.

මේ සැකකරු අත්අඩංගුවට ගෙන දීර්ඝ විමර්ශනයක් සිදු කරන පොලිස් නිලධාරින් හෙළි කර ගන්නේ සැකකරු මීට පෙරද හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට කලක් බන්ධනාගාර ගතව සිටි අයකු බවටය.

ඔහු තලාව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සලක අයිතිකරුවකු බව හෙළි කරගත් පොලිස් නිලධාරින් අදාළ රෙදිපිළි අලෙවි සලට ගොස් එය මුළුමනින්ම පරීක්ෂා කරන්නේ එම ස්ථානයේ සැකකරුට අයත් මත්ද්‍රව්‍ය සඟවා ඇත් දැයි විමර්ශනය සඳහාය. පොලිස් නිල සුනඛයන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන ලදි. ඊට අමතරව සැකකරුට අයත් නිවෙස ද පොලිසියේ පරීක්ෂාවට ලක් විය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කරද්දී පොලිසිය හෙළි කරගෙන ඇත්තේ එම සැකකරු මත්කුඩු තලාවට සහ නොච්චියාගමට රැගෙන එන්නේ කොළඹ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකුගෙන් බවය. මේ ජාවාරම්කරු අදාළ හෙරොයින් ව්‍යාපාරිකයාට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් මුදලින් ඇප තබා ඇත්තේ මේ ජාවාරම ඉදිරියට සිදු කරගෙන යාම සඳහාය.

අනුරාධපුර දිසාවට මෙලෙස මත්කුඩු ගෙන එන ජාවාරම් කරන පුද්ගලයන් ගැන බුද්ධි අංශ ද යොදාගෙන පොලිසිය මේ වන විට සිදු කරන ලද විමර්ශනවලදී අල්ලාගෙන ඇති මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ ගණනකි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ, සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් ධර්මදාස යන නිලධරයන්ගේ උපදෙස් මත නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – අනුරාධපුර බී.ජී. චතුරංග

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division