Home » මුදලට විකිණෙන කතුන් කොටු කළ මාතර ස්පා මෙහෙයුම

මුදලට විකිණෙන කතුන් කොටු කළ මාතර ස්පා මෙහෙයුම

by thanushika
April 13, 2024 12:30 am 0 comment

රට පුරා ස්පා ආයතන ආරම්භ වී ක්‍රියාත්මකව පවතින්නේ හතු පිපෙන්නාක් මෙනි. ඒ නිසාම ඇතැම් ප්‍රදේශවල කිලෝමීටරයක් වැනි ප්‍රදේශයක් තුළ ස්පා ආයතන හතක්, අටක් ස්ථාපිත කර ඇත්තේ ඒ වෙත පැමිණෙන්නන්ගේ ප්‍රමාණය වැඩි වීම නිසා වන්නට ඇත. මේවායේ දිනක ආදායම දහස් ගණනින් වැඩි වෙද්දී රැකියා සොයා පිටස්තර ප්‍රදේශවලින් ඒවාට පැමිණෙන තරුණියන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින වැඩිවෙමින් ඇත්තේය.

මෙම තත්ත්වය නිසාම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ආරම්භ කරන ලද යුක්තිය මෙහෙයුමේ ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් කරමින් ස්පා ආයතන මුවාවෙන් සිදු කරනා ගණිකා ව්‍යාපාරය ද නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත්තේ එයින් මෙම ජාවාරමෙන් තරුණ ප්‍රජාව බේරා ගැනීමේ අරමුණ ඇතිවයි.

යුක්තිය මෙහෙයුමට ඉහළ දායකත්වයක් ලබා දී ඇති මාතර පොලිස් කොට්ඨාසයේ ද ස්පා ආයතන නමින් පවත්වාගෙන යනු ලබන ගණිකා ජාවාරම වැටලීමට මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ සෘජු අධීක්ෂණය යටතේය.

මෙලෙස මාතර පොලිස් කොට්ඨාසයේ ස්පා මුවාවෙන් සිදු කරන ගණිකා ජාවාරම පිළිබඳ ජනතාවගෙන් නිරන්තර තොරතුරු ගලා එන්නට පටන්ගෙන ඇත. එලෙස ලැබෙන තොරතුරුවලට අනුව සැලසුම්ගත මෙහෙයුම් සිදු කරමින් අදාළ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම සඳහා පොලිස් මෙහෙයුම් සිදු කරන්නේ තොරතුරුකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් පොලිසියට නිරතුරුව ලැබෙන සහයෝගයත් සමඟය.

මේ අතර මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත විශේෂ පුහුණුවක් සඳහා විදේශගතව සිට නැවත පැමිණි දිනයේම මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ ඇයට නියෝග කරනු ලැබුවේ සැලසුම්ගත මෙහෙයුමක් දියත් කරමින් ස්පා ආයතන මුවාවෙන් සිදු කරනා ගණිකා ජාවාරම මර්දනය සඳහා මෙහෙයුමක් දියත් කරන ලෙසයි.

“වරුණි, මේ වැඩේ සමාජයට මහා කරුමයක් වේගෙන එන්නේ. මේක මාතරින් අයින් කරලා දාන්න ඕන. ඔයාට මේ වැඩේ හොඳටම කරන්න පුළුවන්. හදිසි නොවී හොඳට ප්ලෑන් කරලා ඔයා පුළුවන් හැම දෙයක්ම මේ වෙනුවෙන් කරන්න. ගන්න හැම ක්‍රියාමාර්ගයක් පිළිබඳව මාව දැනුම්වත් කරන්න”

තම උසස් නිලධාරියා වූ මාතර කොට්ඨස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ ලබා දුන් උපදෙස් අනුව වහා ක්‍රියාත්මක වූ වරුණි තම ඒකකයේ පොලිස් නිලධාරීන් සමඟ රාත්‍රී තුනක් මුළුල්ලේ සිදු කරනා මෙහෙයුමක් සැලසුම් කළේ ඒ වන විට ඇයට ලැබී තිබූ තොරතුරු මූලාශ්‍ර පදනම් කරගෙනය.

පළමු මෙහෙයුම ආරම්භ කරන ලද්දේ පසුගිය මාර්තු මස 28 වැනිදා රාත්‍රියේදීය. ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි සමඟ මෙම මෙහෙයුම සඳහා උප පොලිස් පරීක්ෂක අතුල, (71437) සම්පත්, (97808) බණ්ඩාර, කාන්තා පොලිස් කොස්තාපල් (276) නිමාලි, (8700) සුරේඛා සහ පොලිස් කොස්තාපල් (රියදුරු) වසන්ත යන නිලධාරීන් මෙහෙයුමට එක්ව සිටි අතර පොලිස් කණ්ඩායම පළමුවෙන්ම ගමන් කළේ මාතර, වල්ගම ප්‍රදේශයටය. එහිදී පළමු ස්පා ආයතනය වැටලූ පොලිස් කණ්ඩායම ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව ඒ ආසන්නයේ පිහිටි තවත් ස්පා ආයතනයක් වැටලූ අතර එහිදී ද ඉතා සුක්ෂ්ම ලෙස ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එතැනින් නොනැවතුණු පොලිස් කණ්ඩායම වැලිගම ප්‍රදේශය බලා පිටත් වූ අතර එහිදී තවත් ස්පා ආයතනයක් වටලා එහි ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් තිදෙනෙකු පොලිසිය භාරයට ගැනීමට සමත් විය.

මේ ආකාරයෙන් ම ඊට පසු දින වූ මාර්තු මස 29 වැනි දිනදා රාත්‍රියේ යළිත් පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර මැද්දවත්ත හා මාතර වෙරළ තීරයේ සූක්ෂ්ම ක්‍රියා සිදු කරන ස්පා ආයතන එහි ඉලක්කය විය. එහිදී මැද්දවත්ත ප්‍රදේශයේ එක් ස්පා ආයතනයක් වටකර එක් තරුණියක් ද, මාතර වෙරළ පාරේ ස්පා ආයතනයක් කොටු කර තවත් එක් තරුණියක් ද පොලිස් කණ්ඩායම විසින් තම භාරයට ගත්තේ දෙවැනි දිනයේ මෙහෙයුම ද සාර්ථක අයුරින් නිම කරමිනි.

මෙහෙයුමේ තෙවැනි දිනය වූයේ පසුගිය මාර්තු මස තිස් වැනිදාය. එහිදී මාතර මැදගොඩ සහ තල්අරඹ ප්‍රදේශයේ ස්පා ආයතන දෙකක් වටලා එහි ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායම දින තුනක සිය මෙහෙයුම සාර්ථක අයුරින් නිම කළේ පිටස්තර ප්‍රදේශවලින් රැකියා සොයා පැමිණ අහඹු ලෙස ගණිකා සේවයේ යෙදෙන්නට සිදු වූ තරුණියන් දාහත් දෙනෙකු පොලිස් භාරයට ගනිමිනි.

මෙලෙස පොලිස් භාරයට ගත් තරුණියන් හලාවත, යක්කල, ගාල්ල සහ අහංගම ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු දහනවය හා විස්ස වයස්වල පසුවන තරුණියන්ය. මෙම මෙහෙයුමේ දී තරුණියන් ගණිකා සේවයේ යොදවා සිටි ස්පා ආයතනයන්හි සිටි පුද්ගලයින් දස දෙනෙකු ද පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම තරුණියන් සියලු දෙනා සමාජ රෝග පරික්ෂාවන් සඳහා යොමු කර ඔවුන් ගණිකා සේවයේ යෙදවූ බවට සැක කරන ආයතනයන්හි කළමනාකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට ද කටයුතු කර තිබුණි.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division