Home » අයාලේ ගිය රට හරි මඟට ගෙනා රනිල්

අයාලේ ගිය රට හරි මඟට ගෙනා රනිල්

by Mahesh Lakehouse
March 23, 2024 12:32 am 0 comment

නිල් වික්‍රමසිංහයන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාය. මවු මරා උපන් සජබය ද එය පිළිගත යුතු කාලය එළඹෙමින් ඇත. ඇතැම් පුද්ගලයින් කැමැති වුවත් අකමැති වුවත් ඔහු දැන් රටේ නායකයා බවට පත් වී ඇත. මේ මොහොත වන විට ඔහු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම ජනාධිපතිතුමාය.

ලංකාවේ පළමු මහ දිසාපතිවරයා ලෙස පත්වුණු සිරිල් ලෙනාඩ් (සී.එල්.) වික්‍රමසිංහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ පියාගේ පියා (සීයා) ය. 1920 වසරේ දී මන්නාරම උප දිසාපතිවරයා ලෙස පත් වූ සී.එල්. වික්‍රමසිංහ සබරගමු පළාතේ දිසාපති ලෙස පත්වීමත් සමඟ ලංකාණ්ඩුවේ ඒජන්ත පදවියට පත් ප්‍රථම සිංහල ජාතිකයා ලෙස ඉසඹු ලැබීය. ඩී.ඇස්. සේනානායකයන් එ වසරේදී ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා ලෙස පත් විය. 1933 වසරේ දී ඉඩම් සංවර්ධන පනත ඩී.ඇස්. සේනානායකයන් විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. එම ඓතිහාසික සිදුවීම ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳ සුවිශේෂ කඩඉමක් ලෙස අවිවාදිතය. එම ඉඩම් සංවර්ධන පනත කෙටුම්පත් කිරීමේ දී කළ කැපකිරීමට කෘතගුණ දැක්වීමක් ලෙස 1963 වසරේ දී ඉඩම් කොමසාරිස් තනතුරට සී.එල්. පත්කිරීමට ඩී.ඇස්. සේනානායකයන් කටයුතු කළේය.

වික්‍රමසිංහවරුන්ගේ ඥාති සබඳතා ජාලය බද්දේගම කුරුණෑගල, කැලණිය, සේදවත්ත යන පෙදෙස් පුරා දිවයයි. බද්දේගම ගුණවර්ධනවරුන්, ගාල්ලේ වික්‍රමසිංහවරුන්, කැලණියේ විජේවර්ධනවරුන්, සේදවත්තේ ජයවර්ධනවරුන් අතර පයුරුපාසනය දේශපාලන වාද විවාද රැසකට මුල පිරුවේය.

ඔහුගේ පරපුරේ ඇත්තන් සහ එම පිරිස රට දැය, සමය වෙනුවෙන් කළ මෙහෙවරින් බිඳක් සඳහන් කළේ ජනතාවට සේවය කිරීමේ රනිල්ගේ දේශපාලන පුනරාගමනය අහඹුවක් නොවන බව පැවසීමටය.

සැබෑ අලින්ගේ කතාවට අනුව තනි අලියෙකු වීම රැළට අවනත නොවී මුරණ්ඩු වීමය. එම අලියාට පෙරමග හමුවෙන සියලු දේ විනාශ කොට දමයි. ගම් වදියි. අවසානයේ දී කවුරු හෝ කෙනෙකු දඩබ්බරයාට ගිනි බිඳියි.

මේ තනි අලියා බලය හඹා නොගියේය. බලය ඔහු හඹා පැමිණියේ ද නැත. පරපුරෙන් පෙළපතින් උරුම වූ දේශපාලනය තුළ හේ සීරු මාරුවෙන් ගමන් කළේය. දේශපාලන බලය සහ නායකත්වය සඳහා සෙස්සන් බල කඳවුරු හා බල සේනා තර කරද්දී තමා අපේක්ෂා නොකළ බොහෝ දෑ ඔහු වෙත පැමිණියේය. බල තරග හා බල අපේක්ෂා දෙස බැලූ උපේක්ෂා සහගත බව නිසාම වත්මනේ දී දැයට මඟ කියන පහන් ටැඹක් බවට වික්‍රමසිංහයන් පත් වී සිටියි.

2022 වසරේ ජූලි 09 මතකට නගා ගනිමු. ව්‍යස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති වැඩ බලන ජනපති ලෙස පත් වීම සිදුවිය. අනතුරුව වික්‍රමසිංහයන් වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට අනුව අනුප්‍රාප්තික ජනපති ලෙස පත්විය යුතු බැවින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමෙන් පසුව ඉතා පහසු ජයග්‍රහණයක් ලබමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් විය.

එම හෙයියම්මාරුව සිදුවන මොහොත වන විට රට පත් වී තිබුණු තත්ත්වය මෙසේය. නිදහස ලබාගෙන වසර 73ක් ගතව තිබෙන මොහොත වන විට විදේශ සංචිත ඩොලර් මිලියන 07ට පහත බැස තිබුණි. දිනෙන් දින රුපියලේ අගය ද පිරිහීමට පත්විය. බේත් හේත්, කෑම බීම පමණක් නොව විදුලිය, ගෑස් හිඟය ද තිබුණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දොකොන පත්වුණු විලක්කුව දෙවුරමතට ගත්තේය. මුදල් ඇමැතිකම ඉල්ලා සිටීමට පවා ඔහුට සිදුවිය. ඔහු මේසා පැමිණි දිගු දේශපාලන ගමනේදී රැස්කරගෙන තිබුණු රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිතයට ගනිමින් රාජ්‍ය නායකකාරකාදීන් සමඟ සාකච්ඡා ඇරඹුවේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡාවකට හෝ කැමැත්ත ප්‍රකාශ නොකර සිටීම වැනි දැඩි තීරණයක එළඹ සිටි මොහොතක ඉන්දියානු රජයේ මැදිහත්වීම මත ආධාර කිරීම කෙසේ වෙතත් සාකච්ඡාවකට පමණක් කැමැත්ත ප්‍රකාශ කළේය.

අසල්වැසි ඉන්දියාව මිත්‍රත්වයේ දෑත දිගු නොකළේ නම් සිදුවීමට ගිය ඛේදවාචකයේ දිග පළල මෙතරම් යැයි ගිණිය නොහැකිය. විටින් විට දිග දුර ගිය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා ඇතුළුව මුල් වාරිකය තහවුරු වෙමින් තිබීම නිසා බැංකු ණයවර ලිපි නිකුත් කිරීම ඇරඹුවේය. ජනතාවට හුස්මක් කටක් ගැනීමට ඉස්පාසුවක් ඇතිවෙමින් තිබුණි. ඔටුන්න හිසේ පලඳා ගැනීමට හැකි ආත්ම ශක්තියේ හෙබි කිසිවෙකු ඒ මොහොතේ දී ඉදිරියට පැමිණියේ නැත. ඔවුහු දෙන්නම් බැටේ කලාව භාවිතයට ගනිමින් හැංගිමුත්තන් සෙල්ලමේ යෙදුණේය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් කෙමෙන් කෙමෙන් අතුරුදන් විය. ලෙඩට දුකට බේත්හේත් රෝහල වෙත ලැබෙමින් තිබිණි. රතු සහෝදරවරු ඩොලර් එවන්න එපා යැයි කළ අවවාදය නොතකා රටවිරුවෝ ඩොලර් එවීම ආරම්භ කළෝය. සංචාරකයන් පැමිණීමට පටන් ගත්හ.

මේ මොහොත වන විට අඳුරු වලා අතුරින් යම්තමින් රිදී රේඛාවක් පායමින් තිබේ. රටේ ආර්ථික දේහයට වැළඳී තිබෙන අට අනූවක් රෝ බිය තුරන් වී නැති මුත් දේහයට ප්‍රතිශක්තිය ලැබෙමින් තිබේ. දැන් දැන් රට කරවන තනතුර භාර ගැනීමට පෝලිමට පැමිණෙන පිරිස දිනෙන් දින වැඩිවෙමින් තිබේ.

සිහින දැකීමේ වරදක් නැත. දුටු සිහින සැබෑ කර ගැනීමට තරම් විභවයක් සිහින දකින්නන්ට තිබෙනවාද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ විභවය කාලයක් පුරා රැස් කෙට පත් ප්‍රායෝගික දේශපාලනඥයෙකි. මේ මොහොත වන විට වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොහොට්ටුවේ ඇසුරට වැටී සජබයට ඇරයුම් කරමින් සිටින්නේ ඔටුනු පැලඳගැනීමේ පටු ආශාවෙන් නොවන බව අවබෝධ කොට ගත යුතුය.

වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට අර්බුදයෙන් ගොඩගැනීම සඳහා කලට ඔබින අයවැයක් ඉදිරිපත් කළේය. එමෙන්ම ඒ සඳහා බහුවිධ ක්‍රියාමාර්ග රැසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය ගැන විමසිලිමත් ලෙස බලා සිටිය යුතුය. සියල්ල දත් කෙනෙකු නැත. මුහුණ සමඟ අමනාප වී නහය කපා ගත් ප්‍රධාන විපක්ෂය කරන්නේ සමගි සන්ධානයකට එළඹෙමින් රටක් ගොඩනැඟීමට මාන බලනවා වෙනුවට තනි අතින් අත්පුඩි ගැසීමටය.

සංවර්ධන වුණු සෑම රටක්ම පළමුව සිදුකර තිබෙන්නේ එරටේ අධ්‍යාපන ක්‍රියාවලිය යාවත්කාලීන කිරීමය. ඉන් කලඑළි බසින තරුණ තරුණියෝ පෙරළා නිෂ්පාදන ආර්ථිකය විසින් අවශෝෂණය කරගනු ලබන අතර ආර්ථිකය විසින් නැවත නැවත අවධ්‍යාපනය මඟින් කරළියට කැඳවන තරුණ තරුණියෝ අවශෝෂණය කර ගැනීම සිදුවේ.

ඒ අනුව 1980 සිට 1988 තෙක් රනිල් වික්‍රමසිංහයන් පියවර රැසක් හා නවාංග බොහොමයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට මුසු කළේය.

ඉංග්‍රීසි බස භාවිතය තහවුරු කිරීමට ඩෙලික් ප්‍රගුණව, පූර්ව සේවා දුරස්ථ සේවා ගුරු පුහුණුව, පාසල් දිවා ආහාරය, මීපේ සෞන්දර්ය ආයතන ඇරඹීම, නොවිධිමත් අධ්‍යාපනය දියුණු කිරීම, ගුරු හිඟයට පිළියම් ලෙස දිස්ත්‍රික්ක ගුරු සේවාව හඳුන්වාදීම එම සේවය වසර 60 තෙක් දිගු කිරීම, භික්ෂු ගුරු පුහුණුව සඳහා වෙනම විදුහලක් ස්ථාපිත කිරීම, ගුරු දෙගුරු සමිති වෙනුවට පාසල් සංවර්ධන සමිති ඇරඹීම, පාසල් සුපරික්ෂාවේ ඒකකය පාසල් පර්ෂද ක්‍රමය, ළමා නිර්මාණ වැඩසටහන්, පාසල් සැලසුම් ඒකකය, නොමිලයේ පොත් ලබාදීම, අන්ධ සිසුන්ට ද පොත් ලබාදීම, කොට්ඨාස අධ්‍යාපනික කාර්යාල පිහිටුවීම, ජාතික තරුණ සේවා සභාව හා එක්ව ශිෂ්‍ය උපදේශන සේවයක් ඇරඹීම වැනි ඉසව් ගැන නැවත සිහි කඳවා ගත යුතුය.

ලෝක භූ දේශපාලනය පිළිබඳව මෙන් ම කලාපීය භූ දේශපාලන චලන පිළිබඳව අවබෝධයක් තිබෙන රනිල් වික්‍රමසිංහයන් එහි මතුපිටින් දිවයන දේශපාලන ප්‍රවාහයට වඩා එහි යටිපෙළ ගැන යාවත්කාලීන අවබෝධයකින් යුතුය.

ඉදිරි වසර තුන ඇතුළත ලොව තුන්වැනි ආර්ථික බලවතා බවට අසල්වැසි ඉන්දියාව පත්වෙනවා ඇත. එහි ආර්ථිකය නැමැති මහා සාගරයෙන් දිය දෝතක් ගැනීම පමණක් අප රටට සංවර්ධනයේ අරුණලු උදාකර ගැනීමට හැකිය.

මේ මොහොත වන විට විවිධාකාර මත ගැටුම් මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට ඇත. ඊළඟට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුය. ඒ සඳහා පොදුවේ සාකච්ඡා කොට එළඹුණු තීන්දුව අපට ණය දුන් ආයතන සමඟ සාකච්ඡා කළ යුතුව ඇත. ඒ සඳහා වට මේසයට ඇරයුම් කරන විට විපක්ෂය සිදුකරන්නේ යට මේස සාකච්ඡා කරමින් මේ වතාවේදී හෝ සංවර්ධනය නැමැති බස් රථයට නැඟීමට පෙර සීනුව නාදකොට බස් රථය පිටත්කර යැවීමටය.

නූල කැඩුණු සරුංගලයක් සේ රට අයාලේ ගමන් කරමින් තිබුණු මොහොතක තනි අලියෙකු ඉටු කළ මෙහෙවර ගැන අවතක්සේරු කිරීම ගුණමකු පුද්ගලයින්ට භාර කරමු.

රනිල් වික්‍රමසිංහ වත්මන් ජනපතිවරයාට රට දැය සමය වෙනුවෙන් තව බොහෝ දෑ ඉටු කළ හැකි බව අවිවාදිතය. අලියා තනිකර පහරදීම රැළේ අනෙකුත් අලි විසින් නොකළ යුතුය. මාර්තු මස 24 දින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපන් දින සමරුව නිමිතිකොට පළකළ ගුණ වැයුමකි.

 

lජයන්ත කන්නන්ගර

ඌව පළාත් සභාවේ

හිටපු එජාප මන්ත්‍රි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division