Home » කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීම සුබ පණිවිඩයක්

කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීම සුබ පණිවිඩයක්

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

– රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය හා මුදල් ප්‍රතිපත්තිය හැසිරවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය පළ කර සිටියා
– අත්‍යාවශ්‍ය භාණ්ඩ රේගු වේ ගොඩබෑමට යන වියදම මෙන්ම බදු ප්‍රමාණය ප්‍රසිද්ධ කරන්නට කටයුතු කරනවා

IMF කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීම හරහා තෙවැනි ණය වාරිකය ලබාගැනීමේ සාර්ථක පියවරක් රජය පසු කළා. මේ දිගු පියවර ගැන සඳහන් කළොත්?

පසුගියදා ආර්ථියේ වැදගත් පියවරක් ජයග්‍රහණය කරන්න අපිට හැකි වුණා. IMF සමඟ අපි ඇතිකරගත් විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි සමාලෝචනය සිදුකර කාර්ය මණ්ඩල එකඟතාවයකට ඒමට හැකි වුණා. අපේ රටේ ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමට මෙය තීරණාත්මක සන්ධිස්ථානයක්. පළමු සමාලෝචනය අවසන් වූ පසුව අපිට ඒ මොහොතේම කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණා. පසුව දීර්ඝව සාකච්ඡා කර තමයි කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියේ. දෙවැනි සමාලෝචනයේ වැදගත්කම වන්නේ අපි විසින් ඇතිකරගත් එකඟතා නියමානුකූලව ඉටුකර කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇති කර ගැනීමයි. මීට මාස 18කට පෙර අපේ රටේ විදුලිය පැය ගණනාවක් තිබුණේ නැහැ. ඉන්ධන සඳහා පෝලිම්වල සිටියා. උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගියා. භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. විදේශීය සංචිත මහ බැංකුවේ තිබුණේ නැහැ. මේ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කළේ නැහැ. විදේශ ප්‍රේෂණ ප්‍රමාණ එවීම අඩු වුණා. මෙවැනි තත්ත්වයක් තුළයි දේශපාලන පෙරළියක් ඇති වුණේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාරගත් පසු දේශපාලන ස්ථාවරත්වය සකස් කළා.

ආර්ථිකයේ හැකිළීමක් විපක්ෂයේ සහයෝගයකින් තොරව සමඟ මේ ගමන ඉදිරියට ගෙන යාමට රජයට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වුණා…?

ඔව්. අද ඇතිවී ඇති තත්ත්වය බලන්න. 70%ට තිබුණු උද්ධමනය පෙබරවාරි මස වෙද්දි 5.1% දක්වා අඩු වී තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගනිද්දි විනිමය අනුපාතය නිල වශයෙන් තිබුණේ රුපියල් 330ට. අද විනිමය අනුපාතය ස්ථාවර වී රුපියල් 300 සීමාවට පැමිණ තියෙනවා. ඉදිරියේදී රුපියල් 300 පහළට ගෙන ඒමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. කාර්තු 6කට පසුව එකදිගට ආර්ථිකයේ හැකිළීමක් සිදු වුණා. 2022 වසරේ 12%ක් වූ හැකිළීම 2023 වසරේ 3% දක්වා අඩු කර ගැනීමට හැකිවුණා. 2023 වසරේ මුල් කාර්තු දෙකේ හැකිළීමක් තිබුණට තුන්වැනි කාර්තුවේ 2.6% කුත් හතරවැනි කාර්තුවේ ආර්ථිකය 4.5%කුත් වර්ධනයක් පෙන්නුම් කළා. මේ තත්ත්වයට ආර්ථිකය පත්වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනිකුත් මූල්‍ය ආයතන ලංකාවට ලබාදුන් සහයෝගය නිසයි. එය ඉදිරියට ගෙන යාමට හැකිවුණේ ජනාධිපතිතුමා හා රජය කැපවීමෙන් කටයුතු කළ නිසයි.

IMF එක රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය මෙන්ම මුදල් ප්‍රතිපත්තිය හැසිරවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය පළ කර තියෙනවා. මෙය වැදගත් සන්ධිස්ථානයක් නේද?

පසුගිය කාලයේ අපේ රටේ අසීරු ප්‍රතිසංස්කරණ සිදු කළා. කවදාවත් නොගත් අසීරු තීන්දු තීරණ ගන්න වුණා. මේවා ගන්න සිදු වුණේ හොඳ ආර්ථික තත්ත්වයක් රටේ ඇති කර ගැනීමටයි. IMF එක අපේ රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය හැසිරවීම මෙන්ම මුදල් ප්‍රතිපත්තිය හැසිරවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය පළ කර තිබෙනවා. උද්ධමනය පාලනය කිරීමට මෙන්ම විනිමය අනුපාත ශක්තිමක් කිරීමට ගත් පියවර මෙන්ම රාජ්‍ය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ගත් පියවර ගැන ප්‍රශංසනීයව පවසා තියෙනවා. රාජ්‍ය මූල්‍ය ආදායම කළමනාකරණය කරද්දි රාජ්‍ය ආදායම 2023 දී 8%-11% දක්වා ගමන් කළා. මෙහි ඉලක්කය 15% දක්වා වැඩි කිරීමයි. ලොකුම අභියෝගය ආර්ථික පසුබෑම තුළ මූල්‍ය වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව අහිමි වීම තුළ දේශීය වෙළෙඳපොළින් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමට අරමුදල් රැස්කිරීමට සිදුවීමයි. මේ නිසා විශාල පොලි අනුපාතයක් ගෙවීමට සිදු වුණා. 2023 වසරේ සමස්ත රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්. එයින් 9%ක්ම පොලි ගෙවීම්. මෙය කළමනාකරණය කරගත හැකි එකම සාධකය වන්නේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ලෝකයා තුළ ඇති කිරීමයි. මේ නිසා මේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පිවිසීම මේ අවිනිශ්චිතා ඉවත් කිරීමට හොඳ පණිවිඩයක්.

තුන්වැනි කාර්තුවේදී ලැබීමට නියමිත මුදල ලැබෙන දින වකවානු සඳහන් කළ හැකිද?

මේ කාර්ය මණඩල එකඟතාවයකට පැමිණීම හරහා අමෙරිකානු ඩොලර් මිලියන 337ක ප්‍රමාණයක් ඊළඟ විධායක මණ්ඩලයේදී අනුමත කිරීමට නියමිතයි. මේ එකඟතා විධායක මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 337ක්වූ තුන්වැනි වාරිකය ලබා ගැනීමට හැකි වෙනවා.

IMF එක ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන සියල්ල ඒකාබද්ධව කටයුතු කිරීම මෙහිදි වැදගත්. IMF එකඟතාව ආ පසුවයි අනිකුත් බැංකුවලට මේ මුදල් නිෂ්කාශනය කිරීමේ හැකියාව පවතින්නේ.

කාර්ය මණ්ඩල එකඟතාව හරහා ඉදිරියේදී අපිට අත්විය හැකි වාසිදායක තත්ත්වය කුමක්ද?

දැන් අපේ ණය හිමියන්ට විශ්වසනීය බව පිළිබඳ සහතිකයක් ලබාදීමට අපිට හැකිවෙලා තියෙනවා. මන්ද ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වූ ද්විපාර්ශ්වික එකඟතාවයන් අවබෝධතා ගිවිසුම් බවට පරිවර්තනය කරගත යුතුයි. අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්ම ජපානයත්, ඉන්දියාවත්, ප්‍රංශයත් නිල ණය හිමියන්ගේ කමිටුව හා පැරිස් ක්ලබ් සමඟ ඇති කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා දැන් පවත්වමින් යනවා. චීනය සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා කරගෙන යනවා. මේ කටයුතු අවසන් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට පිවිසීමට හැකි වෙනවා. බැදුම්කර හිමියන් සමඟ කරන සාකච්ඡා අවසන් කිරීමට මේ තත්ත්වය ඉතා වැදගත්. එසේම IMF පෙන්වා දුන්නා, මේ ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බව. මේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අද ජනතාවට ලැබෙමින් පවතිනවා. ආපසු හැරවීම තුළින් වන්නේ ආර්ථිකය නැවතත් බිඳ වැටීමයි. ආසියාවේ රටවල් අතරින් පාලන විනිශ්චය සම්න්ධයෙන් වාර්තාවක් එළිදැක්වූ පළමු රටත් ශ්‍රී ලංකාවයි. මේ සම්බන්ධ රජයේ වැඩපිළිවෙළ පෙබරවාරි මස අපි ප්‍රකාශයට පත් කළා.

නමුත් තවමත් IMF ගමන් මඟ පිළිබඳ විවිධ අය විවිධ චෝදනා නඟනවා?

මේ ආකාරයේ ධනාත්මක ආර්ථික තත්ත්වයකට රට ගමන් කරද්දී ඊට ප්‍රතිවිරුද්ධව අදහස් ප්‍රකාශ කරන කණ්ඩායම් ඉන්නවා. මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීමට දින දෙක තුනකට පෙර එක්තරා ආයතනයක් විසින් IMF එකඟතාවලින් අපි සම්පූර්ණ කර ඇත්තේ 33%ක් බව සඳහන් කර තිබුණා. රජය එසේ එකඟතා බිඳ වට්ටවා ඇති නම් මේ ආකාරයේ සාර්ථක කාර්ය මණ්ඩල එකඟතාවයකට පිවිසෙන්නේ කෙසේද? යන්න මේ අය තේරුම් ගත යුතුයි. මේ අය රජය සම්බන්ධයෙනුත් අවතක්සේරු ලබා දී තියෙනවා. 7% කින් රජයේ ප්‍රසාදය අඩු වෙලාලු. එසේ වූයේ නම් IMF එක මේ ආකාරයෙන් ධනවාදීව රට දෙස බලන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුයි.

විපක්ෂය පසුගියදා IMF නියෝජිතයන් හමු වුණා. ඔවුන් ඒ සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළාද?

විමසීමක් කිරීමට අවශ්‍යය වුණේ නැහැ. නමුත් අපට පෙනී ගියේ රජය ගෙනියන වැඩ පිළිවෙළ ගැන විපක්ෂයේ කණ්ඩායම් පවා පිළිගෙන තියෙන බවයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ අසීරු කර්තව්‍යයේදී ඔවුන්ට නායකත්වය ලබා දීමට කිසිවෙකුත් නොමැති වීමයි

විපක්ෂය පවසනවා ඔවුන් බලයට පත්වුවහොත් IMF සැලැස්ම වෙනස් කරන බවට?

මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මතුපිටින් පෙනෙන තරම් පහසු නැහැ. මිලියන 22 ජනතාවගේ අවශ්‍යතා මෙන්ම අනාගත අභියෝගවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයකටයි අපි ගමන් කරන්නේ. මේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා ගිවිසුම හෝ ප්‍රතිපත්ති වෙනස් කරන බවට වූ කාරණා බොරු.

තෙවැනි ණය වාරිකය ලැබීමත් සමඟ ජනතාවට සහනදායි තත්ත්වයක් අත්විඳිය හැකිද?

විනිමය අනුපාතයට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ගිහින් තියෙනවා. තෙල්, විදුලි මිල සංශෝධනයේදී වාසිය ජනතාවට ලබා දුන්නා. පසුගිය කාලයේ බඩු මිල වැඩිවීමට සාපේක්ෂව මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා වෙළෙඳ ඇමැතිවරයාගේ සහයෝගය ඇතිව ඉදිරියේදී රේගුව ආනයනය කරන අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ රේගුවේ ගොඩ බෑමට යන වියදම මෙන්ම බදු ප්‍රමාණය ප්‍රසිද්ධ කරන්න. එවිට අසාමාන්‍ය ලෙස ජනතාවගෙන් මුදල් උපයන අය කවුරුන්ද කියා බලාගත හැකි වෙනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division