Home » ලෙහෙසියෙන් ඇවිත් පහසුවෙන් ගිය පරිසර හිතකාමියා සංජීව කවිරත්න

ලෙහෙසියෙන් ඇවිත් පහසුවෙන් ගිය පරිසර හිතකාමියා සංජීව කවිරත්න

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ලෙහෙසියෙන් ආවේය – පහසුවෙන් ගියේය. නමුත්, මේ දෙක අතර කාලය අපතේ ගියේ නැත” කාල් මාකස් තැබූ සටහනක එසේ දක්නට ලැබේ. යමෙක් සිය ජීවිතය පිළිබඳව එවැනි සටහනක් තැබීමට හැකි අයුරින් ජීවත් වුවානම්,එය සුවිශේෂී වූවකි.

මීට වසර 10කට පෙර අප අතරින් වියෝවූ සංජීව කවිරත්න මැතිතුමා එකී ප්‍රකාශය තුළ අපට හඳුන්වා දීමට හැකි චරිතයකි. සංජීව දශක හතරකට මඳක් වැඩි කාලයක් අප අතර ගත කළේය. එකී කාල සීමාව තුළ ඔහු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරමින් ඉටුකළ මෙහෙවර වර්තමානයේ දේශපාලන අංකුරයින්ට අධ්‍යයනය කළ යුතු සටහන් රැසක් දක්නට ලැබේ. සංජීවගේ චරිතයේ වූ සුවිශේෂී ලක්ෂණයක් වූයේ ඔවුන්ගේ සෑම කාරණයක්ම නිරතුරුවම සිදු කරනු ලැබූයේ සමාජය සමඟ සංවාදයක යෙදෙමිනුයි. ඒ තුළින් ඔහු සමාජය කියවීමටත්, සමාජයේ අවශ්‍යතා හඳුනා ගැනීමටත් උත්සුක විය.

සංජීව පුවත්පත් කලාවෙත් දේශපාලනයේ දීත් සාර්ථක වීමේ රහස වූයේ එයයි. එම දැනුම උකහා ගැනීමට ගැමි ගෙදරක පිලක, වනාන්තරයක, ගල්තලාවක, දුෂ්කර මාවතක යෙදෙන පා ගමනක් ඔහුට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. කොළඹ ආනන්ද විද්‍යලයෙන් අධ්‍යාපනය ලැබූ සංජීව පාසල් කාලය තුළම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දායක විය. ඒ ලේක් හවුස් පුවත්පත්වලට වාර්තාකරුවකු ලෙස කටයුතු කරමිනුයි. පාසල් අධ්‍යාපනය නිමා කළ සංජීව ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතට පුවත්පත් කලාවේදියෙකු ලෙස එක් වූයේ ගවේෂණශීලි මාධ්‍යකරණයට වඩාත් නැඹුරු වෙමිනි.

පාරිසරික වාර්තාකරණය

විශේෂයෙන්ම පාරිසරික වාර්තාකරණය ඔහුගේ විෂය ක්ෂේත්‍රය අතර වඩාත් ආකර්ෂණීය වූවකි. එය ඔහු උපන් මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට, ලග්ගල වැනි සුන්දර ප්‍රදේශවල පරිසරයට ආසක්ත වීමෙන් සිදු වූවකි.

ඔහු පරිසර හිතකාමී පරිසරයට ආදරය කරන අයෙකු නිසාම, ලග්ගල පිහිටි නකල්ස් පාරිසරික කලාපයේ ජෛව විවිධත්වය සුරැකීමට කැප වූයේ විශාල අභියෝගවලට මුහුණ දෙමිනි. වරෙක පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය වුවද ඒ වෙනුවෙන් අත් හැරීමට සූදානම් බව කීවේ පිටවල පනත ආශ්‍රිතව ඉදිකිරීමට ගිය හෝටලයකට එරෙහිව ඔහු කළ විරෝධය හකුළා ගන්නා ලෙස තමන් නියෝජනය කළ පාර්ශ්වයන්ගෙන්ම එල්ල වූ බලපෑමකට ප්‍රතිචාර ලෙසයි. ඔහු එලෙස තම මන්ත්‍රී ධුරය වුවද නකල්ස් රක්ෂිතයේ ආරක්ෂාව වෙනුවෙන් පරදුවට තැබුවේ ඇයි? සංජීව විශ්වාස කළේ තමා සැම විට සිටිය යුත්තේ තමන් නියෝජනය කරන පොදු මහජනතාව වෙනුවෙන් බව සිතා කටයුතු කළ නිසාය. ජනතාව පාලනය කරන්නට කෙටි කලකට පත්වූ පාලකයින්

ජනතාවගේ උරුමයන් කෙලෙසන්නට උත්සාහ දරන්නේ නම් තනතුරු තානාන්තර වෙනුවට ජනතාව සහ ඔවුන්ගේ උරුමයන් රැකීමට කටයුතු කරන්නා සැබැවින්ම දේශප්‍රේමී මානව හිතවාදී සිතුම්, පැතුම්වලින් යුක්ත අයකු වේ. එවැනි ක්‍රියාවලියක් සැබැවින්ම උදාර කටයුත්තක් ලෙස හැඳින්වීමට පුළුවනි.

ජනතාව සිතන දේ පාලකයින් වෙත පාලනය තුළම සිටිමින් දැන්වීමට සංජීවට ශක්තිය ලැබුණේ පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ලැබූ පන්නරය තුළ බව පැහැදිලිය. සංජීව සෑම විටම මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේ පාලකයින් සහ ජනතාව අතර පාලමක් ඉදිකරන්නටය.ඔහුගේ වෑයම වූයේ බිම්මට්ටමේ මතවාද ඉහළතලයකට ගෙනවිත් ජනතාව ජයග්‍රහණය කරවීමයි.

සංජීව දේශපාලනයට පිවිසියේ තම පියාගේ අඩිපාරේ යමිනි. පළාත් සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු එම සභාවන් තුළ සැම විටම හඬ නැං වූයේ පොදු ජනතාව වෙනුවෙනි. දූෂණයට එරෙහිව ඔහු නැංවු හඬ පළාත් සභාවේ පක්ෂ, විපක්ෂ, සියලු දෙනාගේම ඇගයීමට ලක්විය.

මනා සූදානම් වීම සංජීවගේ සුවිශේෂී ගුණාංගයකි. ඔහු කළ කතා තුළ තර්කානුකූල බව තොරතුරු සහ විසඳුම් යන සියල්ල ඇතුළත් විය. පොත පත පරිශීලනයට මහත් ඇල්මක් දැක්වූ සංජීව සැම විටම කියවීම පුරුද්දක් කොට ගත් අයෙකි.කිසිවිටක කිසිවෙකුට එරෙහිව කතා නොකළ සංජීව යමෙක් තමා ඉදිරියේ යමෙකුට එරෙහිව කරනු ලබන ප්‍රකාශයකට හො ඉඟියකින්වත් අනුබල නොදුන්නේ විශාල පාඩමක් නිහඬවම කියාපාමිනි.

භූමියේ භාරකරුවා

සංජීව නිතරම පළ කළ අදහසක් වූයේ ඔහුගේ සෑම ක්‍රියාවකටම ණය ගැති වන්නේ පොත්පත්වලට බවයි.එය තරුණයෙකු වශයෙන් ඔහු අවබෝධ කරගෙන සිටියා පමණක් නොව පොත පත කියවන්නට අතහිත දීමටද ක්‍රියා කළේ තමා උකහාගත් දැනුම ලබාගත් අයුරු සමාජයට ද වටහා දෙමිනි. ඔහු රසවතෙකි, ගායනයට දක්ෂතා පෙන්නු සංවේදී මිනිසෙකි. පවුලේ සාමාජික හමුවක දී වේවා, මිතුරු හමුවකදී හෝ වේවා, දේශපාලන වේදීකාවකදී හෝ වේවා ඔහු එම අවස්ථාවන් කෙසේ හෝ ගීතයෙන් රසවත් කළේ සංජීව තුළ සැඟව සිටි කලාකාමී පුද්ගලයා අවධි කරවමිනුයි.

ලග්ගල, පිටවල පතතේ, පරිසරික අධ්‍යයනය සඳහා මධ්‍යස්ථනයක් ඇරඹීමට කටයුතු කළද, සංජීවට එය යාථාර්ථයක් බවට පත් කර ගැනීමට ජීවිත කාලය අවකාශය සලසා නොදුනි. මහවැලි ගංගා තීරයේ පැතිරුණු යෝධ නිදිකුම්බා උවදුර මැඬලීමට විශාල උත්සාහයක් දැරූ සංජීව එම ව්‍යාපෘතිය යම් තරමකට සාර්ථක වූ විට ලැබුවේ නිරාමිස සතුටකි.

සංජීව නිරතුරුවම සොබාදහම පිළිබඳව බුදුදහමෙන් හා අන් ආගමික ශාස්තෘවරුන්ගේ මඟ පෙන්වීමෙන්ම සියැටල් වැනි වර්තමානයේ පරිසරය පිළිඳව විශිෂ්ට අදහස් පළ කළ සියල්ලන්ගේ අදහස් එක්කොට සටහන් තබාගත් අයෙකි. ඔහු පරිසරය පිළිබඳ දැක්වූ අදහසක් වූයේ මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජුට දැක්වූ අදහස රටක පාලකයින්ට මඟ පෙන්වන බවයි.

එනම් පාලකයා යනු “භූමියේ භාරකරුවා මිස හිමිකරුවා නොවේ.” යන දැක්මයි. මේ පරිසරය භුක්ති විඳින්නන් සහ ප්‍රතිලාභීන් වන අප සැම මහපොළොවේ සාරගුණය රැකීමත් වර්ධනය කිරීමත් එය අනාගත පරපුරට උරුම කර දීමත් කළ යුතු බව සංජීව තරයේ විශ්වාස කළා පමණක් නොව එයට කැප වී ක්‍රියා කළේය. සංජීව ප්‍රදේශයේ ගරුතර මහ සංඝරත්නය නිරතුරුවම හමු වූ අයෙකි. බොහෝ සිද්ධස්ථානවල පොත්ගුල ඔහුට විහාර මන්දිරයක් බඳුවිය. හින්දු කෝවිල, මුස්ලිම් පල්ලිය, මෙන්ම කතෝලික දේවස්ථානයද සංජීවගේ ජීවිතයට කළ බලපෑම සුළු පටුනොවේ. ඔහු ජාතිවාදියෙකු හෝ ආගම්වාදියකු නොවුණ අතර, අපගේ මාතෘභූමිය තුළ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නැඟීමට වෙර දැරූ අයෙකි.

මීට වසර දහයකට පෙර අද වැනි දිනයක අපෙන් සමුගත් සංජීව සොහොයුරාගේ නොනිමි මෙහෙවර සංජීවගේ ආදරණීය බිරිඳ රෝහිණී විජේරත්න කවිරත්න මැතිනිය ඉදිරියට ගෙනයාම යනු සංජීවට කළ හැකි සැබෑම උපහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන. දයාබර සොයුර, සසර වසනතුරු මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා! නිවනින් සැනසේවා!

ඒරානන්ද හෙට්ටිආරච්චි 
ගුවන් විදුලි සංස්ථාවේ 
හිටපු අධ්‍යක්ෂ ජනරාල්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division