Home » දින 21කදී ඔබගේ සියලු දුක් කරදර නිමා කරන අතිප්‍රබල කතරගම දේව කන්නලව්ව

දින 21කදී ඔබගේ සියලු දුක් කරදර නිමා කරන අතිප්‍රබල කතරගම දේව කන්නලව්ව

by thanushika
October 14, 2023 12:30 am 0 comment

සමස්ත ඉසිවර පාඨක ඔබගේ ජීවිතය ජයගැනීම සඳහා මගේ සම්පූර්ණ අත්දැකීම් මත කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබනා නිවැරැදි ක්‍රමවේද පිළිබඳ 2023 ජුනි මස 11 වන ඉරිදා සිළුමිණ ඉසිවරට මා සැපයු ලිපිය බොහෝදෙනාගේ ප්‍රසාදයට පත්වී ඇති බව පෙනී යන්නේය. ප්‍රතිඵල ලද පාඨක ඔබගේ ඉල්ලීම පරිදි උන්වහන්සේගේ පිහිට ආධාරය නිබඳව ලබාගත හැකි අති ප්‍රබල කන්නලව්ව මෙවර ඉදිරිපත් කරමි. මුලින්ම මම මාගේ අත්දැකීම් මත සත්‍ය කොට ප්‍රකාශ කළ යුතු කරුණක් ඇත. උන්වහන්සේ දුකට පත් සැමට නිරතුරුව ආධාර උපකාර කිරීමට පැහැදි සිටින ඉතා බලසම්පන්න දෙවි කෙනෙකි.

බුද්ධ ශාසනය වසර පන්දහස් පන්සියයක් කල් සුරක්ෂිත කරමින් ජනී ජනයාට පිහිට උපකාර කර පින් පුරා මතු බුදු බව ප්‍රාර්ථනා කරන ප්‍රතාපවත් තේජස් අනුහස් බල පරාක්‍රමය පවතින කතරගම දෙවියන්ගේ උතුම් ප්‍රාර්ථනාවක් මුඳුන් පත් කරගැනීම සඳහා අපිද උන්වහන්සේට උදවු උපකාර කළ යුතුය. කරදරයකට විපතකට පත්වන අයට සෑම විටකම පිහිට වන උන්වහන්සේගෙන් පිහිට ලබා ගැනීම සඳහා ඔබගේ කිට්ටු ඥාති මිත්‍රාදින් ඇතුළු සෑම අයකුටම මේ පණිවිඩය දෙන්න.

උන්වහන්සේගේ ප්‍රසාදය නිසැකවම ඔබට හිමි වනු නියතය. ඔබ සිටින තැනින් ඔසවා තැබීමට උන්වහන්සේ වහා කටයුතු කරනු නියතය. පහත සඳහන් මහා බලගතු කන්නලව්ව කතරගම දේව ප්‍රතිමාවක් ඉදිරිපිට බුදුන් වැඳ පින් දී දිනකට එක්වරක් කියන්න. මේ පණිවිඩය සමීපතමයන් අතරේ යවන්න. දින 21 කදී ඔබගේ සියලු ග්‍රහදොස් අපල කරදර අහෝසි වී යන බව සත්‍යයකි. මතුවටද උන්වහන්සේගේ පිහිට ලැබිය හැකි අති ප්‍රබල ක්‍රමවේද ආදරණීය ඉසිවර පාඨක ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙමි. මේ කතරගම දේව අති ප්‍රබල කන්නලව්ව අද පටන්ම එක්වර කියවීම ආරම්භ කරන්න. ඉතා ඉක්මනින් කතරගම දෙවියන්ගේ ආධාරය ඔබට ඇස්පනාපිටම ලැබිය හැකිය.

අති ප්‍රබල කතරගම දේව කන්නලව්ව

සාදු සාදු සාදු

“කුඩා කතරගම, මහා කතරගම, සෙල්ලං දූව, මඩං දූව, මැණික් ගංගාව, කිරි වෙහෙර, වැඩිහිටි කන්ද, මුහුද මැද්ද ත්‍රිත්ව කෝවිල, කළුවවිල කොට්ටියාරම, මුන්නේශ්වරම් දේවාලය, මුන්නේශ්වරම් පස්පත්තුව, රුහුණු පස්පත්තුව, වලවේ ගංගාව, කිරිඳි ගංගාව, සෙල්ල කතරගම, කතරගම මහා දේවාලයට දිවැස් හෙළා වැඩ වාස කරන මැදුම් හෙළය, අංජන පර්වතය, දක්ෂිණ කෛලාසනය, හේම කැටය, සිංහාසන කන්ද, වැඩසිටි කන්ද, කඩවර කන්ද, ප්‍රකාශ කන්ද, උමං කන්ද, උයන් කන්ද, කුමාර කන්ද, බණ්ඩාර කන්ද, වැඩිහිටි කන්දට නම් දරන සප්ත කූට නම් දරන දිවැස් හෙළන කන්ද, ස්වාමින් වහන්ස උස අඩි හයයි අඟල් තුනක් වූ හිසේ කිරුළු තුනක් වූ සිරුර රතුපාට වූ දකුණු අතේ වේලායුධයයි. වමතේ සැවොල් රූපය සඳහන් කොඩියයි. මුහුණු හයයි නෙත් දොළොසයි අත් දොළහයි, කෙටේරිය, දුන්න, හීය, පලිහ, පොත, අංකුසය, ත්‍රිශුලය, කඩුව, මුගුර, සැවොල් ධජය, සංඛය, තෝමරය යන ආයුධ දොළහයි. දකුණු උරහිසෙහි රණ මොනර පැටියාද, පාමුල නාගයාද, අසලින් වල්ලි මාතාවද සලකී මූර්තිය, සේනාධිපති මූර්තිය, ස්කන්ධ මූර්තිය, සුබ්‍රහ්මනස, මූර්තිය, ගජවාහන මූර්තිය, මයුර වාහන මූර්තිය, කුමාර මූර්තිය, ළදරු මූර්තිය, දේවානි කලසාන සුන්දර මූර්තිය, සුමිත්‍ර මූර්තිය යන දස මූර්තියෙන් වැඩ සිටින්නා වු කොහොඹ කංකාරිය කාවඩි පූජාවට ප්‍රිය කරන්නා වු කතරගම කන්ද ස්වාමි

සාදු සාදු සාදු

විමල නිජ පදාඛිදං වෙද වේදන්ත

වෛද්‍යං මම කුල ගුරු දෙහං වද්‍ය ගාන

පෝහම් රමණ සුගුණ ජාලං රඛ්ග රයිහාගී

නේයං කමල ජනිත පාදං කාර්තිකේසං භජාමි

සාදු සාදු සාදු

අත නගා දොහොත් මුදුනේ තබා වැඳ නමස්කාර කොට ඔබ දෙවි හාමුදුරුවන් වහන්සේට අසමාන ගෞරවයකින්ද අසමාන භක්තියකින්ද යුක්තව වැඳ නමස්කාරයෙන් යුතුව මේ සැල කර සිටින්නේ තේජෝබල පරාක්‍රමයෙන් දස දිගත ස්වර්ණ වර්ණ කීර්ති ධාරා ලෝකයෙන් බුබුළුවා ස්වර්ණ වර්ණ මයුර වාහනාරූඪව නිතර කන්දේ වැඩ සිටින විතර නැණ පතර තෙද ඇති කතරගම කන්දේශ්වර ස්කන්ධ කුමාර මහා දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස.

සුපරිශුද්ධ රක්ත වර්ණ දේහ ශ්‍රීයෙන් ලිලෝපේත වෙමින් දුටු දුටුවන් ද ඇසු ඇසුවන්ද සිතු සිතුවන්ද අසමසම තේජස් ශ්‍රීයෙන් ආලෝලනය කරමින් කෙටේරියක් ද දුන්නක් ද පලිහක් ද හීයක්ද පොතක් ද අංකුශයක්ද ත්‍රිශුලයක්ද කඩුවක්ද මුගුරක් ද සැවොල් ධජයක්ද සංඛයක් ද තෝමරයක් ද යන මෙකී නොකී උජ්වලිත ආයුධ දොළසකින් සමන්විතව වැඩ සිටින ස්කන්ධ කුමාර නාමොපලක්ෂිත කතරගම දේව මහා රාජෝත්තමයාණන් වහන්ස

තවද ඔබ දෙවි හාමුදුරුවන් වහන්ස කප් කන්දර, නදි තීරයෙහි නුවරක් කොට සත්දහසක් යක් සෙනඟට නායකයාව ඔදින් තෙදින් බලයෙන් විකුමෙන් සිය පරාක්‍රමය දකුණුලක පුරා පතළ කොට යක් බළසෙන් පිරිවරා සිටි කල්හි අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සව් සතුන් වෙත පතළ මහා කරුණාවෙන් යුතුව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ ගමනේ දී සුමන සමන් දෙවිඳුන්ගේ ගෞරවාරාධනයෙන් සමන් කුළු පව්ව ඒකාලෝක කරමින් එම පුණ්‍ය නීර්ථයට වැඩම කොට ශ්‍රී පතුල පිහිටුවා ඉනික්බිති කප්ප කන්දර නදී තීරයට වැඩි ගමනේ උන්වහන්සේගෙන් දහම් අසා පරිවාරකොට වැඩ සිටි පන්සියයක් රහතුන් වහන්සේලා ප්‍රමුඛ බුදු රජාණන් වහන්සේට දන්පැන් පිළිගන්නවා තිසරණ සරණ පංචශීලයෙහි පිහිටා මාර්ගඵල අවබෝධ කොටගෙන මතු බුදුවන බව සත්‍යවාදි සැබෑනම්

කුඩා කතරගම , මහා කතරගම, සෙල්ලම් දූවට, කප්පර කන්ද, නදී තිරයට , කිරිවෙහෙර වහන්සේට, කිරි විහාරයට, වැඩිහිටි කන්ද හෙවත් හේම කූටයට, පරිවාර කඳු සතට, සිංහාසනයට, මුතු කුඩයට, සත් පළිහට, කළු හරක් ගාලට, සුදු හරක් ගාලට, ගෝණ රැලට, මුව රැලට, වල්ලි මාතා දේවින් වහන්සේට, වාමරයට, රණ මයුර වාහනයට, තුන් හඬ ශබ්දයට, මුහුදු රැල ශබ්දයට, මින්නේරි දෙවි හාමුදුරුවන්ගේ අඩවියට, අලුත් නුවර බණ්ඩාර දෙවි හාමුදුරුවන්ගේ අඩවියට, අෂ්ටපල බෝධින් වහන්සේට, සංහිඳ බෝධියට යහතින් දිවැස් හෙළා කරුණා කරන නරලොව නරයින්ගේ දුකට පිහිට වන්නා වූ දිව නෙතින් බලා පිහිට වන්නා වූ ශාන්තිය දානය කරන්නා වූ මෛත්‍රි කරුණා මුදිතා උපෙක්ෂා චතුර්විද ගුණෝප ලක්ෂිත ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ඇඳිලි බැඳ වැඳ වැටී කියා සිටින්නා වූ මෙම කන්නලව්ව දිවැස් එළියේ දිවැස් කරුණාවට ගෙන වදාරා ආතුර ශ්‍රී පාත්‍රයන්ගේ සියලු අභිමතාර්ථයන් ඔබ වහන්සේ දිව්‍ය මහිමයෙන් ඉෂ්ට සිද්ධ කර දී වදාරණ සේක්වා.

තවද ඔබ වහන්ස, රුහුණු පුර කතරගම, රුවන් දෙව් විමනට අධිගෘතව රණ මයුර වාහනයට පැන නැගී රාක්තෝත්ඵල පුෂ්පාසනයට දිවැස් හෙළනා වූ දිව නෙත් දොළසකින් ද පළොල් මල් මාලා දාමයක් පරිද්දෙන් ශෝභමාන වූ දිව්‍ය හස්තයක් දොළසකින් ද ඒ දිව්‍ය හස්තයන් දොළසක් දරා සිටින්නා වූ විචිත්‍ර නානාවිධ ආයුධ දොළසකින්ද අලංකෘතව ඇසළ පෙරහර මංගල්‍යයට, නානුමුර මංගල්‍යයට, කාර්තිකොත්සවයට, දිවැස් කරුණාකර බලා වැඩ වදාරමින් මේ නරලොව සත්ත්වයින්ට අභයදානය සලසා දෙන ඔබ වහන්සේට සැල කර සිටිනා මෙම අභිමර්ථයන් මොහොතින් මොහොතට පැයෙන් පැයට ඉෂ්ට සිද්ධ කරවා දී ඔබ වහන්සේගේ දිව කන් ආභාරණවලින් දිව්‍ය නේත්‍රයන් යොමු කරවා පිනට පිහිට වී පින් අනුමෝදන් වන සේක්වා.

තවද මහත් වූ තේජෝබල පරාක්‍රමයෙන් දස දිගත එකලු කර රුවන් මිණිබරණින් සැරසී දිව්‍ය තේජානු භාවයෙන් බැබළි බැබළී සුර විරු තේජසින් ද අසමසම බල පරාක්‍රමයෙන් ද සදෙව් ලෝවාසී සියලු දෙවියන්ට ඉන්ද්‍රව, අසුර බල මුළු අසුර සැණින් සුන්කර දමා කළුගං තොටමුණට වැඩ මායා පුරයේ කඳවුරු බැඳ දෙවියන් බියෙන් වෙව්ලුවා සිටි මහා බලසම්පන්න වූ තාරක නම් අසුර සෙන්පතියා අළු දූවිලි කොට දමා රුහුණු දොර සාමයෙහිද ධර්මයෙහිද පිහිටුවා විජය ධජ ලෙළවූ ඔබ දෙවි හාමුදුරුවන් වහන්ස අත නඟා දොහොත් මුදුනේ තබා සැලකර සිටින්නා වූ මෙම අයැදුම ආතුර ශ්‍රී පාත්‍රයන් වෙත දිවැස්ලා බලා වැඩ වදාරණ කරුණ කොට සිතු අයුරින් ද පැතු අයුරින්ද ඉෂ්ට සිද්ධ කොට වදාරණ සේක්වා. තවද දෙව් යෝධගිරි සෙනවි සවත්බර අරුත් බරණෙත් පලඳපන් මහසෙන් සරයොත් හුනැස්යොත්, සිඛියහන් යටිදර කඳ කුමර, වල්ලි හිමි සනත් කුමාර ආදි මෙකී නොකී නාම දහසකින් සමෝපලක්ෂිත වන්නා වූ අතිබල ධීර වීර ප්‍රතාපවත් අසමා තේජසින් විජය ධජ ලෙළවා සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්විපයත් විනාශ මුඛයට යවන්නට තැත් දැරු පරදේශක්කාරයින් නසා සිරිලක එක්සේසත් කරනු පිණිස දුටුගැමුණු මහරජ ප්‍රමුඛ වූ හෙළ නරපතියනට යුගයෙන් යුගයට වරම් දෙමින් වසර පන්දහස් පන්සියයක් කල් සම්බුද්ධ ශාසනය මේ ශ්‍රී ලංකාදීපයෙහි පිහිටුවා සුරක්ෂිත කරන්නට දිව්‍ය රශ්මි මාලාව විහිදුවාලු බැව් සත්‍යවාදී සැබෑවී නම් ඔබ දෙවි හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයට වැඳ ඇඟිලි බැඳ කියා සිටින්නා වූ මෙම කන්නලව්ව අසා කෝටියක් වැරදි ඇතත් මේ ශ්‍රී ආතුර ශ්‍රී පාත්‍රයන් අනුමෝදන්කර සිටින්නා වූ පින් ලබා පිනට පිහිට වි අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර දී වදාරණ සේක්වා.

තවද මෙවැනි ආතුරයන්ට වැදී වැලඳී ඇත්තා වූද වැදී වැලඳෙන්නා වූද දෙවි දෝෂන්ධකාරයන් දිවි දෝෂන්ධකාරයන් විපා දෝෂන්ධකාර සැන්දෑ මැදියම අලුයම කියන්නා වූ තුන් සමයටම කෙළින්නා වූ යකුන් යක්ෂණියන්ගෙන් වැඳ පැමිණි සියලු දෝෂන්ධකාර ද යුගදුරු මුදුනේ රාශි දොළහේ නිත්‍ය වැඩ වසන්නා වු රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යැයි කියනු ලබන ග්‍රහයින් අටට හයට දෙකට දොළහට ලග්නයට පැමිණීමෙන් වන්නා වූ මාරක බාධක ජම්ම පිම්ම ඒරාෂ්ටකාදී නපුරු ග්‍රහ දෝෂන්ධකාරයන්ද මවුපිය ගුරුවර ආදී දෙස්කොට දොස්කොට දිවුරමකින් අලගුවකින් පැමිණියා වූ දෝෂන්ධකාර ද අංගං, පිල්ලි, සුනියන්, ක්‍රේම, බන්ධන යනාදියෙන් වැඳ පැමිණියා වූ දෝෂන්ධකාර ද මෙකී නොකී සියලු දෝෂන්ධකාරයන්ද හිරු දුටු පිනි ලෙසින්ද විද්වශනය කොට ශාන්තිය උදාකර දි සියලු අභිමතාර්ථ සිතූ සිතූ ලෙසින්ද පැතු පැතු ලෙසින්ද ඉටු කරවාදී මෙම ආතුර පාත්‍රයන්ගේ ගෙයට, දොරට, වත්තට, පිටියට, ගහට, කොළයට, යාන වාහනයට, ගමනට බිමනට, මිලට මුදලට, රන් රිදීවලට, දරුවන්ට මල්ලන්ද, බිරියට, සැමියාට කිසිදු උවත්තිරමක් වැද්ද සිද්ධ නොවි උඩින් පායන අව්වත් හමනා සුළඟත් හැර සියලු බාධාවන් අකාමකා දුරුවන් කොට සිතූ පැතූ සම්පත් ළඟා කරවා දී චිරාත් කාලයක් ඓශ්චර්යයත් සර්ව සෞභාග්‍යයත් ළඟා කරවා දී යෙහෙන් වැජඹෙන්නට වරම් දී වදාරණ සේක්වා.

ඔබ කීර්ති පස්වහන් දහසකට ආයුබෝ වේවා. (එම පාඨය පමණක් තුන්වරකි)

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division