Home » ක්‍රොකස් නගර ශාලා ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද?

ක්‍රොකස් නගර ශාලා ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද?

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

ක්‍රොකස් සිටි ශාලාවේදී 300කට අධික පිරිසක් ඝාතනය කිරීම පසුගිය වසර 20 ක කාලය තුළ රුසියාවේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වන අතර පසුගිය දශක භාගය තුළ ලෝකයේ සිදු වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකකි. එහෙත්, බටහිර ප්‍රධාන ධාරාවේ ප්‍රචාරක යන්ත්‍රයේ බොහෝ දෙනෙක් එය හැඳින්වූයේ “වෙඩි තැබීමක්”, ඇතැම් විට “සමූහ වෙඩි තැබීමක්” හෝ සරලව “ප්‍රහාරයක්” යනුවෙනි. රුසියාවේ සාමාන්‍ය වැසියන් කෙරෙහි බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ඇති සංවේදනය කොතරම් ද යන්න එමඟින් පැහැදිලි කෙරේ.

ක්‍රොකස් නගර ශාලා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ සංවිධායකයා ලෙස දේශපාලන බටහිරට, විශේෂයෙන් එක්සත් ජනපදයට යොමු කරන සාක්ෂි තමන් සතු බව රුසියානු බුද්ධි අංශ පවසයි. අනෙක් අතට, වොෂින්ටනය අවධාරණය කරන්නේ එය පිටුපස අයිඑස්අයිඑස් සිටින බවට “ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි” පවතින බවයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එක්සත් ජනපදයට මෙය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව රුසියානු බුද්ධි අංශ විමතිය පළ කරයි. නමුත් සිද්ධිය වූ ස්ථානයේ සිටි රුසියානු ආරක්ෂක සේවාවන්ට පවා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබුණි. තව ද බෝල්ටික් මුහුදට යටින් දිවෙන නෝර්ඩ් ස්ට්‍රීම් නළ මාර්ග විනාශ කළේ කවුරුන්ද යන්න තවමත් අභිරහසකි. “අභිරහස් ගැඹුරු කිමිදුම් හැකියාවෙන් යුත් යුක්රේන කණ්ඩායමක්” ඊට සම්බන්ධ බවට රුසියාව සැක කරයි. මේ සියල්ලටත් වඩා, 21 වන සියවසේ වූ ලොව ගමන් මඟ වෙනස් කළ සැප්තැම්බර් ප්‍රහාරයෙන් වසර 23කට පසුව තවමත් වොෂින්ටනයට තම විමර්ශන අවසන් කිරීමට නොහැකිව ඇත. එහෙත්, මොන යම් හෝ හේතුවක් නිසා, ඔවුන් කිලෝමීටර් 10,000 ක් දුරින් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න “ක්ෂණයකින් දැන ගැනීම” සහ ඔවුන්ගේ ප්‍රියතම රූකඩ තන්ත්‍රය “ප්‍රහාරය හා කිසිදු සම්බන්ධයක් නැත” යනුවෙන් අවධාරණය කිරීම බටහිර ප්‍රභූ පෙළැන්තිය ඒ පසු පස සිටින බවට ඉඟියක් බැව් රුසියානු මාධ්‍ය පෙන්වා දෙයි. රුසියාව යුක්රේන මැදිහත්වීම පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර එක්සත් ජනපදය කීව් පාලනය ආරක්ෂා කිරීමට උත්සුක විය.

නව කොන්සර්වටිව්වාදී නිලධාරිනියක වන වික්ටෝරියා නුලන්ඩ් (2014 වසරේ යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී නායක වික්ටර් යනු කොවිච් බලයෙන් පහ කිරීමට ඇය සෘජුව මැදිහත් විය) රුසියාවේ විශේෂ හමුදා ක්‍රියාන්විතයේ දෙවන සංවත්සරය රුසියාවට තර්ජනය කිරීමට අවස්ථාවක් කර ගනිමින් කියා සිටියේ”, “පුටින් මේ වසරේ යුද පිටියේදී යම් පිළිකුල්සහගත විස්මයකට මුහුණ දෙන බවට” සහතික විය හැකි බවයි. දින කිහිපයකට පසු ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුව හැර ගියාය. නුලන්ඩ් පමණක් නොව, පසුගිය වසරේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ හිටපු සභාපති ජෙනරාල් මාර්ක් මිලී ද රුසියාවට මෙවැනිම තර්ජනයක් එල්ල කළේය.

“මධ්‍යම රාත්‍රියේදී තම ගෙල සිඳිනු ඇත්ද යන්න ගැන නොසිතා නින්දට යන රුසියානු ජාතිකයකු නොසිටිය යුතුය,” මිලී උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසීය.

මේ සියල්ල මඟින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නේටෝවට රුසියාව සමඟ යුද්ධයක් අවශ්‍ය බවද?

ඉතා මෑතකදී ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොන් රුසියාවට එරෙහි ඍජු මැදිහත්වීමක් පිළිබඳව ප්‍රකාශ කළේ ය. නමුත්, යුරෝපයේ බොහෝ නායකයන් මේ උමතු ව්‍යාපෘතියට තමන් එක් නොවන බව අවධාරණය කළේ ය. නේටෝවට දැන් අවශ්‍යව ඇත්තේ රුසියාව ප්‍රථමයෙන් ප්‍රහාරයක් සඳහා යොමු කිරීමේ උපායමාර්ගයකි. එය කළ හැකි එකම ක්‍රමය නම් ප්‍රතික්‍රියාවක් අවුළුවාලීමයි. ලොව වඩාත්ම ආක්‍රමණශීලි හමුදා කාටලය ක්‍රොකස් නගර ශාලාවේදී ත්‍රස්ත ප්‍රහාරය සංවිධාන කළේ එම අරමුණින් බව ඩ්‍රැගෝ බොස්නික් නමැති භූදේශපාලනික සහ යුද විශ්ලේෂකයා පෙන්වා දෙයි. ඒ ආකාරයෙන්, නේටෝව රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කර පසුව මොස්කව් පාලනය “ආක්‍රමණිකයා” ලෙස හුවා දක්වමින් දේශපාලන බටහිරට “ආරක්ෂක යුද්ධයක්” කිරීමට අගනා කඩතුරාවක් ලබා දෙනු ඇතැයි ඔහු පවසයි. නේටෝවේ සියලු රටවල් හෝ ඉන් බහුතරයක් යුද්ධය සඳහා සහභාගි කරගත හැකි ඇති එකම මාර්ගය එයයි. කෙසේ වෙතත්, පැන්ඩෝරා පෙට්ටිය විවෘත කළ පසු, එය ආපසු හැරවීමේ හැකියාවක් නොමැත. ලෝකය ක්‍රමයෙන් න්‍යෂ්ටික යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බැව් නිසැකය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division